Menu Close

ඉඩ්ලිබ් ගුවනින් ඇද වැටෙන තුර්කි ඩ්‍රෝන් යානා,මධ්‍යස්ථ කැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම

turkish-drones-falling-in-idlib-moderate-rebels-gas-themselves-by-mistake

මාර්තු මස 5දා පෙරවරුවේදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ හෝම්ස් සහ කුනීට්‍රා පළාත්වල ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කලේය.සිරියානු හමුදාවට අනුව ප්‍රහාර එල්ල වන්නේ එදින උදෑසන 12.30ට පමණ ලෙබනන ගුවන් අවකාශය භාවිතා කරමින්ය.ඊශ්‍රායල යුද ගුවන් යානා ඔවුන්ගේ ප්‍රහාර සඳහා ආවරණයක් වශයෙන් කටාර් එයාර්වේස් ගුවන් සේවයේ සිවිල් ගුවන් ගමන් දෙකක් භාවිතා කලේය.සිරියානු පාර්ශ්වය පැවසූ පරිදි සියලුම සතුරු මිසයිල ඉලක්ක වෙත පතිත වීමට පෙර බිම හෙළුවේය.කෙසේවෙතත්,කුනීට්‍රා පළාතේ බිම් මට්ටමේ පිපිරීම් වාර්තා වූ අතර,ඒ අනුව සමහරක් මිසයිල ඉලක්ක වෙත පතිත වූ බව ඉන් පෙනී යයි.

මීට ඉහත දී මාර්තු 2දා සහ පෙබරවාරි 23දා යන දිනවලදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවට පහර දුන්නේය.මාර්තු 2දා ඊශ්‍රාලය  ප්‍රහාර හෙලිකොප්ටර් යානයක් යොදාගෙන කුනීට්‍රා පලාතේ වාහනයක් විනාශ කලේ ගෝලාන් උස්බිම්වල සිටි ඊශ්‍රායල සෙබලුන් ඉලක්ක කරගෙන ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවයි.පෙබරවාරි 23දා ඊශ්‍රායල යුද ගුවන් යානා ඩැමැස්කස් හි පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ සාමාජිකයෝ රැඳී සිටි ස්ථාන ඉලක්ක කර පහර දුන්හ.

 මාර්තු 2දා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය
මාර්තු 5දා එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරන සිරියානු ගුවන් ආරක්ෂක බලකා

ඉඩ්ලිබ් හි සිරියා-තුර්කි යුද්ධය ඇවිලී යන අතරතුර ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාරද වැඩි කර තිබෙන්නේ අහම්බෙන් නොවන බව පැහැදිලිය.

මාර්තු 4දා හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් තුර්කි හමුදාවේ සහාය ඇතිව සරාකිබ් නගරය අල්ලා ගැනීමට නැවත වරක් උත්සාහ කලේය.මෙම නගරය පිහිටා තිබෙන්නේ එම්4-එම්5 මහා මාර්ග හමුවන මංසන්ධියේය.තුර්කියේ තීව්‍ර කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාරක සහාය  සහිතව වුවත් සිය අරමුණ ඉටු කර ගැනීමට අල්කයිඩා සාමාජිකයෝ අසමත් වූහ.

සරාකිබ් හි රැඳී සිටින 25 වන විශේෂ බලකා සේනාංකයේ සහ හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුවන්ට අනුව ගැටුම්වලදී තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ට සැලකිය යුතු හානි සිදුවූ බව පැවසුවද,මිය පිරිස කොපමණදැයි සඳහන් නොකරයි.මීට ඉහතදී මෙම ප්‍රදේශයේදීම සටන්කාමීන් සිරියානු හමුදාවෙන් අල්ලා ගත් ටී-90 මෙම සටනේදී නැවත අත්පත් කරගන්නටද මෙම හමුදා ඒකක සමත් වූ අතර ඊට අදාල වීඩියෝ පටයක්ද නිකුත් කර තිබිණි

සරාකිබ් නගරයට උතුරු දෙසින් පිහිටි අෆිස් ගම්මානයට ඇතුල් වීමට සිරියානු හමුදාවට හැකි වුවද එය මුළුමනින්ම සුරක්ෂිත කරන්නට සමත් නොවූහ.තුර්කිය ප්‍රමුඛ හමුදාව එම ගම්මානය පාලනය කරන තාක් සරාකිබ් සිට ඇලපෝ දක්වා දිවෙන එම්5 මහා මාර්ගයේ කොටසේ ධාවනය වන වාහන වලට පහරදෙන්නට ඔවුන්ට හැකියාව ලැබේ.

එදින පෙරවරු කාලයේදී,නැගෙනහිර ඉඩ්ලිබ් වෙත එල්ල වූ සිරියානු කාලතුවක්කු ප්‍රහාරයකින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මිය ගොස් හයදෙනෙක් තුවාල ලැබූහ.ඊට ප්‍රතිචාර වශයෙන්,බටහිර සරාකිබ් හි අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත බෝම්බ හෙළමින් සිටි සිරියානු සුකොයි-22 යානයක් වෙඩි තබා බිම හෙළන්නට තුර්කි හමුදාව උත්සාහ දැරීය.තුර්කි ආධාරකරුවන් පැවසුවේ,එය තුර්කි ගුවන් හමුදාවේ එෆ්-16 ෆයිටර් ජෙට් යානයකින් නිකුත් කල මිසයිලයක් බවයි.කෙසේවෙතත්,බොහෝවිට මෙය එම ප්‍රදේශයේ තුර්කි හමුදාව සතු නිරීක්ෂණ මුරපොලවලින් එල්ල කල ජංගම ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක් විය හැකිය.පසුගිය සති කිහිපය තුල තුර්කි සෙබලුන් සිරියානු සහ රුසියානු යුද ගුවන් යානා ඉලක්ක කරගෙන ජංගම ගුවන් යානා නාශක මිසයිල විදින භාවිතා කරන අයුරු දැකගත හැකි විය.තුර්කි නිරීක්ෂණ මුරපොල,ත්‍රස්තවාදී කඳවුරු සමග ඒකාබද්ධව රජයේ පාලන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන්නේ යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.එනමුත් සිරියානු හමුදාවේ වටලෑමට ලක්ව තිබෙන මෙම නිරීක්ෂණ මුරපොලවල තුර්කි සෙබලුන් ආරක්ෂිතව සිටිනා පමණක් නොව,දිගටම සැපයුම් ලබා ගැනීමේ වරප්‍රසාදයද භුක්ති විදිති.මෙය,නූතන යුද්ධ පුදුම සහගත ආකාරයෙන් සිදුවන බව පෙන්වන එක් අවස්ථාවකි.

දකුණු ඉඩ්ලිබ් සහ නැගෙනහිර ඉඩ්ලිබ් හි ලද පසුබෑම් හමුවේ තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදා සිය මෙහෙයුම්වල දිශානතිය වෙනස්  කරගෙන තිබේ.මාර්තු 4දා පස්වරුවේ,තුර්කියේ සහාය ලබන අල්කයිඩා හමුදා බටහිර ඇලෙපෝ හි සිරියානු හමුදාවේ ස්ථාන වෙත පහර දුන්හ.මාර්තු 5දා උදෑසන වෙද්දී ඔවුන් අල්-ෂයික් අකිල් සහ අල්-රකිම් කඳු මුදුන අල්ලා ගත්තෝය.මෙම ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසුව ඔවුන්ට වඩා හොඳින් ඇලෙපෝ නගරයේ බටහිර කොටසට පහරදීමට අවස්ථාව උදාවේ.

පෙබරවාරි මාසයේදී තුර්කි හමුදාව ඉඩ්ලිබ් හි සිය මෙහෙයුම් ආරම්භ කිරීමේ සිට මේ දක්වා සිරියානු හමුදාව තුර්කියේ ඩ්‍රෝන් යානා 13ක් බිම හෙළා තිබේ යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසති.ඔවුන්ට අනුව ඉන් යානා 7ක් බයිරක්ටාර් ටීබී2 වර්ගයට අයත් අතර,අනෙක් ඒවා ‘TAI අන්කා‘ ප්‍රහාරක ඩ්‍රෝන් යානාය.එනමුත් ඉන් ස්වල්පයක් පමණක් දෘෂ්‍යමය සාක්ෂි ඔස්සේ තහවුරු කර තිබේ.

හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් දකුණු ඉඩ්ලිබ් හි රසායනික අවි ප්‍රහාරයක් රඟ දක්වන්නට උත්සාහ කලහ.නමුත් එය වැරදී ගොස් ත්‍රස්තවාදීන්ම එහි ගොදුරක් බවට පත් වූයේ යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මාර්තු 4දා වාර්තා කලේය.එම වාර්තාවට අනුව මාර්තු 2දා සිරියානු හමුදාව සරාකිබ් නගරයේ බටහිර දෙසින් ඉදිරියට ඇදෙද්දී හයාට් ටරිර් අල්-ෂාම් සාමාජිකයෝ රසායනික අවි අඩංගු භාජන පුපුරවා හරින්නට සැලසුම් කර තිබුණත්,විෂ වායුව ඒවා තුලින් කාන්දු වීම හරහා ත්‍රස්තවාදීන්ම ඊට ගොදුරු විය.

source:southfront.org

%d bloggers like this: