Menu Close

IPL සල්ලි අඩු කරයි.

මෙම මස 29 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සමාරම්භක තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත වුවද තරගාවලිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු කරවන පුවත් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා..

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාත්මක වියදම් අඩු කිරීමේ මෙහෙයුමේ එක් පියවරක් ලෙසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් වෙත පිරිනැමීමට නියමිත මුදල් ත්‍යාග හරි අඩකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අයි.පී.එල්. තරගාවලියේ ශූරයන් හට හිමිවන ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල මෙවර ඉන්දීය රුපියල් කෝටි 10 දක්වා පහත දමා තිබෙනව.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දක්වා තිබුණේ අනුශූරයන් ස¼දහා හිමිවන ඉන්දීය රුපියල් කෝටි 12.5ක මුදල අදාළ වියදම් කප්පාදුවේ තවත් එක් පියවරක් ලෙසින් ඉන්දීය රුපියල් කෝටි 6.25 දක්වා අඩු කළ බවයි. තවද අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 4.3 බැගින් පිරිනැමීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන්ට පැය අටකට වඩා අඩු ගුවන් කාලයක් සහිත ආසියාතික රටවල් අතර (ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය) ගුවන් ගමන් සිදු කිරීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන බවද අදාළ වියදම් කප්පාදුවේ එක් පියවරක් ලෙසින් සිදුකරන බවද මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Share with Friends

%d bloggers like this: