Menu Close

රැඩිකල් ගැහැණියක්ව දකින්න පුළුවන් එහෙම විතරද…?

චින්තන ධර්මදාසගේ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය පිළිබඳ සිනමාවේදිනියක සහ රංගන ශිල්පිනියක වන ලංකා බණ්ඩාරනායක අගේ Facebook පිටුවේ ලියා තිබූ සටහනක්.

**************************************************************************

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය එනවත් එක්කම චිත්‍රපටය ගැන කතිකාවන්ට වඩා කැරකෙන්න පටන් ගත්තේ එකිනෙකා මඩ ගහ ගන්න කතිකාවන්. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ලංකාවේ අධ්‍යක්ෂකවරයින් සහ නළු නිළියන් තමන්ගේ චිත්‍රපට වලට ලැබෙන ප්‍රශංසා වලින් පිනා ගියාට, සාමාන්‍ය විවේචනයක් වුනත් දරාගන්න බැරිව යන හැටි අපි ඕනෑතරම් අත්විඳලා තියෙනවානේ. චිත්‍රපටියක් හදන්න දරන මහන්සිය හෝ කට්ට නිසා වෙන්න ඇති ගොඩක් වෙලාවට එහෙම වෙනවා ඇත්තේ. කොහොම වුනත් ඊට වඩා රැඩිකල් ප්‍රවේශයක් අනුගමනය කරමින් විවේචන වලටත් එහා ගොස් මඩම ඉල්ලන අධ්‍යක්ෂවරයෙක් සහ අත දිග හැරලා මඩම ගහන්න ට්‍රයි කරන පිරිසකුත් මැද චිත්‍රපටය ගැන කතිකාවක් ඇවිලීම වලක්වා තියෙනවා කියන එකයි මගේ හැගීම.

එක වරක් චිත්‍රපටයක් නරඹලා ඒ ගැන අදහස් දැක්වීම එතරම්ම සාර්ථක වැඩක් නොවුනත් බලපු උණුසුමේම ඇවිලුන අදහස් ටිකක් තමයි මේ.

මුලින්ම කියන්න තියෙන්නේ ලංකාවේ අඩුවෙන්ම දකින්න ලැබෙන ශානරයක චිත්‍රපටයක් විදිහට ඒවැනි චිත්‍රපටයක් කිරීමම මරු. විශේෂයෙන්ම කැමරා අධ්‍යක්ෂවරයා විසින් අල්ලා ගන්නා රූප විසින් චිත්‍රපටයට දෙන හැඩයට මම හරිම කැමතියි. නමුත් පිටපත විසින් දී ඇති සීමාවන්ට යටත්ව සිදුවීම් සහ හැඟීම් ගොඩ නැගීමට සමහර අවස්ථා වල යොදාගෙන තිබුන දර්ශණ මදිද කියන හැඟීම ඇති වෙනවා. එම මදිකම විසින් පිටපතේ සීමාවන් තවත් හොදින් පිටතට පෙනෙන්නට සලස්වනවා. ඒක ගොඩක් වෙලාවට ලංකාවේ සිනමා නිර්මාණ වල පොදුවේ දකින්න පුලුවන් වෙන තත්වයක්.. ඉතා අඩු පිරිවැයකින්, සීමිත දින ගණනකින්, සීමිත සම්පත් භාවිතා කරමින් නිර්මාණයක් කරන්නට වීමේ ඛේදය විදිහට ඒ ගැටලුව හඳුනා ගන්න පුලුවන්.

ප්ලොට් එක විසින් ඇවිලෙන්න හොඳ ඉඩක් හදලා දීලා තිබුනත්, සමස්ථයක් විදිහට පිටපත එතරම්ම සාර්ථක නැති නිසා හෝ පිටපත අධ්‍යක්ෂවරයා චිත්‍රපටයක් ලෙස ගොඩනගපු ආකාරයේ ඇති දුර්වලතා හෝ වෙනත් තාක්ෂණික කාරණා නිසා මේ ශානරයේ චිත්‍රපටයකින් මතු කල හැකි ප්‍රේක්ෂාව ගොඩනගන්න චිත්‍රපටය අසමත් වෙලා තියෙනවා කියන එකයි මගේ හැඟීම. චින්තන කියන විදිහට ඔහුට චිත්‍රපටය හදන්න මූඩ් එක අවුලුවපු ටැරන්ටිනෝ වැන්නෙක් හදන චිත්‍රපටයකින් අවුලුවන ප්‍රේක්ෂාව චින්තනට ගේන්න නොහැකි වෙන්නේ ඇයි කියන එක සීරියස් කාරණයක්.

නමුත් ෂාම් සහ සමනලී හරහා මෙන්ම අවශේෂ චරිත රඟපාන නළු නිලියන්ගෙන් යම් හැඩයක් මතුකරගන්න චින්තන සමත් වෙලා තියෙනවා.

ෂාම්ගේ චරිතය විසින් “ලාංකීය පිරිමියා” පිළිබඳව ගේන්න උත්සාහ කරන කියවීම සමනලී වෙත එනවිට ඒකාකෘතික රැඩිකල් ගැහැණිය (Stereotype) දක්වා ලඝු වෙන හැටි දකින්න පුලුවන්. උදාහරණයක් විදිහට චින්තාගේ නිර්මාණය ඇතුළු ලංකාවේ නිර්මාණ වල හැම රැඩිකල් ගැහැණියක්ම සිකරට් බොනවා, පිරිමියා බය කරගන්නවා, පිරිමි කිලිපොලා යන භයානක චරිත ලක්ෂණ තියනවා. එම ඒකාකෘතික ස්ත්‍රී චරිත නිරූපණය ලංකාවේ මල් වට්ටි චිත්‍රපට වල සාම්ප්‍රදායික බෞද්ධ ස්ත්‍රී චරිත තරම්ම පසුගාමීයි.

වඩා උත්ප්‍රාසාත්මක

කාරණය වන්නේ මේ දෙආකාරයේම ඒකාකෘතික ස්ත්‍රින් සෑම විටම තම නිර්මාණ වල නාට්‍යාත්මක භාවය අවුලුවන මෙවලමක් ලෙස මේ පිරිමි අධ්‍යක්ෂවරුන් හරි හරියට භාවිතා කිරීමෙන් ගැලවෙන්න චින්තන වැනි නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට පවා නොහැකි වීමයි..

ලංකා බණ්ඩාරනායක.

Share

%d bloggers like this: