Menu Close

මුහුදු වෙරළක ඇය මම…

“ඔයා දන්නවද
අහස කියන්නෙ කිසිම දෙයක් නැති
හිස්ම හිස් තැනකට”
ඈ පැහැදිලි කරමින් උන්නා ය
“එතකොට වළාකුළු?
ඒවත් බොරු ද?”
මම ඇගෙන් ඇසීමි
“ඒව නිකං මායාවල්
පේන්න තියනව විතරයි
ඔයා දැකල තියනව ද
කවදාවත් කිසිම කෙනෙක් 
වළාකුළක් අතින් අල්ලන හැටි”
“එහෙනං ඔයා කියන විදිහට
ගඟක් කියන්නෙ නිකංම වතුර ගොඩකට?”
හරස් ප්‍රශ්නය නැවතත් මගෙනි..
“ඔව් ඒක ඇත්ත
කොහෙන් හරි පටන්ගෙන
පහත් බිම් හොය හොය
තැනිතලා දිගේ 
පහලට 
පහලට
ගලාගෙන යන වතුර ගොඩකට මිස
ගඟක් කියන්නෙ වෙන මොකක් ද?”
සුළඟක් හැමීය එවිට වේගෙන්
මූද අද්දර අපි උන්න
ලාබ අවන්හලේ
වහලයේ පොල් අතු සෙළවුණි
සර සර හඬින්….
මං දමාගෙන හිටිය
බාටා සෙරෙප්පුවේ
පෑගෙන පොල් ගහත්
හෙළවුණාදෝ මංදා
ඒ හුළඟට..
ඒත් ඇගේ 
අව් කණ්නාඩි යුගලේ
බැබළෙමින් තිබුණා
බැස යමින් හිටපු මළානික ඉර..
“ඔව් ගඟක් කියන්නෙ
නිකංම වතුර ගොඩකට
අන්න ඒ වගේ
කවියක් කියන්නෙත් වචන ගොඩකට
තේරුමක් නැති වචන ගොඩකට”
කටකොණින් හිනා වී
කියා දැම්මා ඒ වචන ටික ඇය..
අවන්හල අද්දර 
බිත්තියේ
අලුතෙන්ම ඇඳ තිබුණ
යෝධ දියකිඳුරිය
ඇහැක් අඩවන් කර
හිනාවුණා මට.

%d bloggers like this: