Menu Close

ඩිවිලියස්ගේ ක්‍රිකට් අනාගතය IPL යටතට.

පසුගිය කාලය පුරා ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අවධානයක් දිනා ගත් සිදුවීමක් බවට පත්වූ හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් නැවතත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීම සම්බන්ධයෙන් විශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී දක්වන දස්කම් අනුව ඩි විලියර්ස් ජාතික කණ්ඩායමට කැඳවන්නේද නැද්ද යන්න තීරණය කරන බව දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු මාක් බවුචර් දන්වා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරුවා, “අයි.පී.එල්. තරගාවලියේ දක්වන දස්කම් අනුව කණ්ඩායම සඳහා නැවතත් එක් කර ගන්නා ක්‍රීඩකයන්ට ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට පෙර විස්සයි-20 තරගාවලි කිහිපයක් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා ඔවුන් අනිවාර්යයෙන් එක් කිරීම අපගේ ඉලක්කය වගේම ලෝක කුසලානය සඳහා එක් වීමට නම් එම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේදී නැවතත් දස්කම් දැක්වීම අනිවාර්යයි. කොහොම වුණත් ඩි විලියර්ස් නැවතත් කණ්ඩායමට එක්වන තුරු අප බලාපොරොත්තු දල්වා සිටිනවා” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

තවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිවිලියර්ස් පවසා තිබුණේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් සිටින තම සගයා වන මාක් බවුචර් සමඟත් තම සමකාලීන මිතුරන්ගෙන් සමන්විත වන දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනයත් සමඟ නැවතත් අත්වැල් බැඳගැනීමට තමන් බලාපොරොත්තු සහගතව බලා සිටින බවයි.

Share with Friends

%d bloggers like this: