Menu Close

Still Walking (2008)

සුප්‍රසිද්ධ ජපන් සිනමාකරු Hirokazu Koreeda ගේ Still Walking චිත්‍රපටයෙ හැම දර්ශනයකම තියෙන්නෙ මනා සංවිධානාත්මක බවක්. හැම දර්ශනයක්ම හරිම පිළිවෙලයි. වර්ණ භාවිතාව, අඳුර ආලෝකය මෙහෙයවා තිබීම, කැමරාකෝණ, සංගීතය… මේ හැම අතින්ම ඉතාම ඉහළයි. නමුත් විශේෂත්වය තමා එහෙම නිශ්චිත Focal Point එකක් මේ චිත්‍රපටයෙ මතු නොවීම. ඒ කියන්නෙ යම් කතාවක් පැය එකහමාරක පමණ කාලයක් තිස්සෙ ගලාගියත් කොහෙවත් කතාව කූටප්‍රාප්තියකට එන්නෙ නෑ. යම් සිදුවීම් මාලාවක් මේ කාලය පුරාම සිදුවෙනව. එපමණයි. නමුත් බොහොම කල්පනාවෙන් නිමවපු කැටයමක මතුපිට ඇඟිලි තුඩින් පිරිමදිනකොට අහුවෙන සියුම් රේඛාවන් වගේ ජීවිතය ගැන සියුම් නමුත් ගැඹුරු කියවීම් ගණනාවක් මේ චිත්‍රපටයෙන් අල්ලගන්න පුලුවන්.
පවුලක සිදුවෙන හමුවක් අතරෙ පැය 24 ක කාලයක වෙන සිදුවීම් තමා චිත්‍රපටය පුරාම තියෙන්නෙ. (අවසාන දර්ශනය ඉන් අවුරුදු ගණනාවකට පස්සෙ එක සිදුවීමක් ඇතුළත්) පවුලෙ වැඩිමල් සහෝදරයා මුහුදෙ ගිලෙමින් උන්න ළමයෙක් බේරාගන්න ගිහින් මරණයට පත්වෙලා. ඔහුව සිහිපත් කරන්න අවුරුද්දකට වතාවක් පවුලේ අය එකතු වෙනව. ඔවුන්ගෙ පියා වෛද්‍යවරයෙක්. ඔහුට උවමනා වුනේ වැඩිමල් පුත්‍රයා ත් තමන් ගිය පාරෙ යනව දකින්න. ඔහු නැතිවුණාට පස්සෙ පියාට ඉතුරු වෙන්නෙ දෙවනි පුත්‍රයා. ඒත් දෙවනි පුත්‍රයා තෝරාගන්නෙ වෛද්‍ය වෘත්තීය වෙනුවට වෙනත් යමක්. ඒ මදිවාට ඒ පුත්‍රයා විවාහ වෙන්නෙ දරුවෙක් ඉන්න වැන්දඹු කාන්තාවක් සමග. ඉතින් පවුලේ අය මුණගැහුණාම කියවෙන සාද කතා, විහිලු තහලු, ඇනුම්පද මැද්දෙ චිත්‍රපටය ගලා යන්නෙ. 
හැම කෙනෙකුටම රසවිඳින්න හැකි චිත්‍රපටයක් කියන්න අමාරුයි. කලාත්මක බවින් ඉහළ සහ යම් ඉවසීමකින් කියවාගත යුතු සිනමා කෘතියක් නරඹන්න කැමති අයට නම් මේක බොහොම අපූරු අත්දැකීමක් වේවි.

%d bloggers like this: