Menu Close

163. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? – Diving IV

H M S Hermes යේ අවර පෙත්ත!

ෆිලීශියන් ෆර්නෑන්ඩු හෙවත් ෆිලී තාත්තා කෙනෙක් වාගේය.

ඒ ඔහු දරුවන්සේ අපව බලා ගත් නිසා නම් නොවේ. ඔහු එහෙම බලා ගත්තේද නැත!
තාත්තා කෙනෙකු වාගේ කිව්වේ අප සමග වැඩි කතා – සිනා මනා වලට සෙට් නොවීමය.
ඕනෑම මළ මිනියක් කයිවාරුවට සෙට් කර ගන්නා තෙශාන්ත උවද ෆිලී ඉදිරියේ පදිරි වූවේය.
යන එන තැන පිංතූර මතකයක් තබා ගැනීමට පුරුදු පුහුණු වූ මා මොහොතකට හෝ පිංතූරයක් ගැනීමට සැරසුන හොත්;
 “හරි! හරි!! දැං මේ වැඩේ කරමුකෝ! පස්සෙ ෆොටෝ ගහන්න බැරියෑ!!”
කියමින් ඔහු අපව දක්කයි.

එසේම වැඩේට අදාල දේවල් මිස වෙනත් ආගත නාගත කිසිවක් නොකියයි.

අපෙන් නොවිමසයි.
අප බලෙන් කියන්නට ගියද ඒවාට කන් නොදේ.
අප ඇසුවත් දුන්නේ නිවිච්ච ප්ලේන්ටි වාගේ පිළිතුරුය.
එම පිළිතුරු තවත් වැල් බයිලා වලට තිත තැබුවේය.
කතාව වඳ කලේය.
නිදි බර කලේය.

කොටින්ම මෙම බ්ලොග් පෝස්ටුව සඳහා ඔහුගේ විස්තර දැන ගැනීමට කතා කල මොහොතේ පවා ඔහු පැවසුවේ;

 ” මට ඊ මේල් එකක් එවනවද? මට දැන් කතා කරණ්න බෑ!” කියාය.

කොටින්ම ඔහු ජෙෆ් බෝයිකොට් වාගේ අයෙක්ය. විකට්ටුවට අඟලක හෝ එහායින් මෙහායින් පන්දු  වලට ඔහු දැක්වූයේ උදාසීන ප්‍රථිපත්තියකි!
මාගේ මතකයේ පරිදි ලංකාවේ සිටින එකම කාර්මික කිමිදුම් පුහුණු කරුවා (Technical Diving Instructor) ඔහුය.

ඒ සඳහා බලපත්‍රය ලබා ගැනීම සඳහා මීටර 100 ක් කිමිදීමට හැකියාව තිබිය යුතුය.

මීටර 100 ක් කිමිදීමේදී පලමු මීටර 60 න් පසුව ආශ්වාස කිරීම සඳහා යොදා ගන්නේ Premix හෙවත් ඔක්සිජන්, නයිට්‍රජන් හා හීලියම් මිශ්‍රණයකි.
ඩ්යිවින්ග වර්ග කිහිපයකට බෙදේ. ඉන් එක් කොටසක් වන්නේ ගිලුනු නැව් ගවේශනයයි. 

මෙය හඳුන්වන්නේ Wreck Diving කියාය. ෆිලීද රෙක් ඩයිවර් කෙනෙකි. රෙක් ඩිවින්ග් වල මූලධර්ම රාශියක් පවතී. 
රෙක් ඩිවින්ග් යනු හුදෙක් දියයට ගිලුනු නැව බලා පැමිනීම පමනක්ම නොව;නැව තුලට ගමන් කිරීමද ඊට ඇතුලත්ය.
 එසේ නැවක් තුලට අතුළු වන්නේ පිටත සිට දිව යන රැහැනක්ද සමගිනි. ඒ ආපසු මග නොවැරදී නැවෙන් පිටමං වීම සඳහාය. 
මේ රෙක් ඩයිවින් වල එක් මූල ධර්මයක් පමණි.
 හාන්සි වූ හර්ම්ස් . . !


ඔබ පසුගිය වසර දෙකක තුනක කාලයක් තුල පලවූ ඉරිදා ලක්බිම, ලංකාදීප, සිළුමිණ වැනි පුවත්පත් කියැවූයේ නම් මීට වසර 60 කට පෙර එනම් 1942 අප්‍රේල් 9 වන දින මඩකලපුව අසල මුහුදේදී; ජපන්නුන් විසින් ගිල්වා දැමූ H M S HERMES නෞකාව සමග මුහුදට බිලිවූ නාවිකයින් 307 දෙනෙකු සිහිවීම පිණිස වසරක් පාසා එම නෞකාව මත මල් කළඹක් තැන්පත් කිරීමක් පිළිබඳව එහි පලවූ ලිපියක් මතකයේ ඇති.

එම මල් කළඹ තැන්පත් කරණ්නේ කරණ්නේ ෆිලීශියන් විසිනි.

මල් ගෙන කිමිදීම . . !

එම මිය ගිය නාවිකයින්ගේ; තවමත් ජීවතුන් අතර සිටින නෑදෑයින් සහෘදයින් විසින් ඒ සඳහා බර පැන දරණු ලබයි.

වර්ෂ 2012 සිට සෑම වසරකම අප්‍රේල් 9 වන දින ෆිලීශියන් හමුවීමට අවශ්‍ය කෙනෙක් මඩකලපුවේ මීටර 53 ක් ගැඹුරක කිමිදිය යුතුය.

ඒ සෑම වසරකදිම සිය ආදරණීයයන් ගේ මතක සමග; සුපුරුදු මල් කළඹ හර්ම්ස් නටඹුන් මත තැබීමට ඔහු කිමිදෙන බැවිනි.

ගුත්තිල

යූ ටියුබයේ ඇති H M S HERMES පිළිබඳ සියළුම රූප රචනා වල පාහේ සිටින්නේ ෆිලීශියන් ප්‍රනාන්දු  හෙවත් අපගෙ කිමිදුම් ගුරුතුමාය.


ලොකු ලොකුවට ඉගෙන ගත් උදවිය තමන්ගේ උපාධියට පසු පසින් එය ලබාගත් විශව විද්‍යාලය දමන්නේ එයින් උපාධියට අමතරව ලැබෙන ගැම්ම ලබාගනු සඳහාය.
 (මෙය ගැට්ටමද මන්දා! උදා: C.G.R (දෙමටගොඩ), C.T.B (කටුබැද්ද) යනාදී වශයෙන්)

එසේම අපද පවසන්නේ; අප PADI ලබා ගත්තේ ෆිලීශියන්ගෙන් බවයි. සත්තකින්ම එය ආඩම්බර විය යුතු කරුණකි!

මාස්ක්, ඩයිවින්ග් කිට්,ෆින්ස් ආදිය තිබු කාමරය වෙත අපව කැඳවාගෙන ගිය ෆිලී තෝරා ගැනීමට ඉඩ හැරියේය.

 ෆින්ස් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් ඇත. ඉන් එකක් වන්නේ සපත්තුවක් වන් මුළුපාදයම ආවරණය වන වර්ගයය. 
අනෙක වන්නේ පිටුපසට; උවමනා ප්‍රමාණයට සකසා ගත හැකි පටියක් සහිත සැන්ඩ්ල් එකක් වන් වර්ගයය.මෙම පටි වර්ගය පැළඳීමේදී මේස් කූටමක්ද ඇඳිය යුතු වන්නේය.

මාස්ක් තෝරා ගැනීම තරමක වේලාවක් ගතවන කාර්‍යයකි. මාස්කයේ පසුපස පටිය නොපැලඳ මුහුනට තබා යාන්තමින් උඩට හුස්මක් ගත් පසු එය මුහුණට සිරවිය යුතුය.

ඩයිවින් කිට් එක හෙවත් කිමිදුම් ඇඳුම ඇඳ ගත් පසු එකෙක් අනෙකාගේ පසු පස සිපරය ඇද සැකසිය යුතුය.

ඉනවටා ගැටගසා ගන්නා බර පටිය හෙවත් ….. එක තෝරා ගැනීම පලපුරුද්දෙන් ප්‍රථම වතාවට කරණ කාර්‍යයකි. එය ඉක්මණින් වෙනස් වන අගයක් නොවන අතර එකිනෙකාට වෙනස් වන අගයකි.

“ඔයා මේක ගන්න . . . . . . !” ෆිලී මා වෙතට කිලෝ 2 ක ඊයම් බර රැන්නදවූ බර පටියක් පෑවේය. 

ඒ මගේ තට්ටාන්තයේ සිට පාදාන්තය තෙක් දෙතුන් වරක් බැලීමෙන් අනතුරුව පලපුරුද්දෙනි.
 එය මවිසින් මතක තබා ගත යුතු අගයකි. එය රඳා පවතින්නේ මාගේ දේහ බර හා එහි   උත්පලවකතාවය සමගින්ය.

තමාගේ සපත්තුවේ ප්‍රමාණය කමිස කරේ ප්‍රමාණය මතක නැති වූවාට එය මිළඳී ගැනීමට ගිය අවස්ථාවේදී ඇඳ බලා ගත හැකි වුවද මෙය එසේවන්නේ නැත. 

තමාට සුදුසු නිවැරදි බර පටිය තෝරාගෙන ඇත්දැයි තේරෙණ්නේ දියට බැස කිමිදීම ඇරඹීමත් සමගය. සමහර විට ඒවන විට වෙරළෙන් කිලෝමීටර ගනනාවක් දුරින් සිටිනවා වියහැක.
 එනිසා කිමිදීම සඳහා පිටත් වීමට පෙර බර පටිය නිවැරදිව තෝරා ගත යුතු වේ.

බරපටියේ බර ස්වල්ප වශයෙන් වෙනස් වූවද කිමිදීමට මහත්  බාධාවක් ගෙන දෙන්නේ නැත.

දැනට අඩු මෙයින් එකක් පමණි . . !


බර පටිය යනු ඊයම් කුට්ටි හතරක් පහක් පටියකින්  යා කොට තැනූ බඳ පටියකි. මෙම බඳ පටිය හෙවත් බර පටිය පළඳින ක්‍රම වේදයක් වේ.

කලිසමකට දමන ඉන පටියක් සේ බර පටියක් පැලඳිය නොහැක. එයට කාරණා දෙකකි. පටිය අධික බරකින් යුක්ත වීම හා පටිය රිංගවීමට කලිසමක මෙන් තැනින් තැන ලූප; ඩයිවින්ග් ඇඳුම වටා නොතිබීම මේ කාරණා දෙකය. මෙනිසාම පටියේ බකලය හිර කිරීමට පෙර පටිය ඉන දිගේ රූටා වැටේ.

දේවානි ජයතිලකට උවද කොන්ද නැමීමට සිදුවන අවස්ථාවක් . . !


මේ කාරණාව පිටු දැකීම සඳහා පටිය ඉනට පිටුපසින් ගෙන දෙකෙළවරින් අත් දෙකෙන් අල්ලාගෙන ඉදිරියට නැඹුරුවේ. මෙවිට පටිය පිට හෝ ඉන මත රැඳේ. එවිට බකලය එම ඉරියව්වෙන්ම සිට තදකර ගනී.

බකල් නොවන Buckle

බර පටියේ Quick Release Buckle හෙවත්පහසුවෙන් මිදිය හැකි අගුල තිබිය යුත්තේද නියමිත දිශාවකටය. ඒවා සම්මතයන්ය.

මන්ද හදිසි අවස්ථාවකදී  දිය මතු පිටට පැමිණීමට සඳහා බාධාවක් වන බර පටිය මුදා හැරලීමේ පහසුව උදෙසාය.


නැට්ට දිගට තියෙන්නේ සවිකිරීමේ හා ගැලවීමේ පහසුවටය . . !
කිමිදීමකින් පසු මතුපිටට පැමිණ බෝට්ටුවේ සිටින අය වෙත පලමුව තමන් විසින්ම ලබා දිය යුතු වන්නේද මෙම බර පටිය මය.

අවසානයේ ඔහු තෙල බෙදන්නේ ඔක්සිජන් ටැංකිය, රෙගියුලේටරය, BCD (Buoyancy Control Device)  ය ගැනය.  ඔක්සිජන් ටැංකිය මුදුනේ ඇති වෑල්වය වටා දැමිය හැකි ලූපයක් BCD යේ  ඇත.

කෙලින් සිටවන ලදටැංකියේ වෑල්වයේ ලූපයෙන් එල්වන BCD ය; නැවත ඔක්සිජන් ටැංකිය හා බැඳ තබන්නේ පලල් පටියකිනි.

දැන් ඉතිරිව ඇත්තේ රෙගියුලේටරය ටැංකියට සවිකිරීමය. මෙය අංක හයක් යටතේ Open Water Sport Diver Manual – Jeppessen 1984 හතරවන මුද්‍රණයේ   T-62 , T-63 පිටුවල දක්වා ඇත. මා එලෙසින්ම මෙහි දක්වන්නම්.





1. රෙගියුලේටරය ටැංකියට ඇමිනීම ඇරඹීම  සඳහා BCD ය සවිවී ඇති පසට විරුද්ධ පසින් ඔබ එයට ලඟාවන්න. ටැංකියේ වෑල්වය ක්ෂණිකව විවෘථ කොට වෑල්වයේ හා ඒ  අවට රැඳී එක්වී ඇති දුහුවිලි, ජල වාෂ්ප වැනි දෑ ඉවත් කර ගන්න.

2.රෙගියුලේටරයේ O රිං හෙවත් මුද්‍රා වළලු පිරික්සා බලන්න. ඒවා කැඩී ඇඹරී හෝ වෙනත් අයුරකින් වෙනස් වී ඇත්නම් ඒවා නැවත අළුතින් යොදන්න.
3. සෙකන්ඩ් ස්ටේජ් (Second Stage / Primary Regulator) හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සඳහා මුඛයේ තබා ගන්න කොටස දකුණු අතින් ගෙන ෆස්ට් ස්ටේජ් (First Stage)හෙවත් ඔක්සිජන් සිලින්ඩරයේ වෑල්වයට රෙගියුලේටරයේ සවිවන කොටස වමතින් ගෙන ටැංකියේ වෑල්වය මත තබා ගන්න. (වායු නලය හෙවත් Air Hose එක ඔබගේ අනිවාර්‍යයෙන්ම දකුණු උරහිස මත පිහිටිය යුතුය.)
4.රෙගියුලේටර යෝර්කයේ ඇණය තදවන තුරු ඇඟිලි දෙකකින් තද කරණ්න. එය අනවශ්‍ය පරිදි තද කිරීමෙන් ගැලවීමේ අපහසු තාවයට මුහුණ දීමට සිදුවීම මෙන්ම O රිං කැඩී යාමටද හේතු විය හැක.
5. ඔක්සිජන් මුදා හැරෙණ තුරු වෑල්වයේ නොබ් එක ඔරලෝසුවේ කටු යන දිශාවට හෙවත් දක්ශිණාවෘථව කරකවා මුදා හරිණ්න.මෙම කාර්යයේදී වෑල්වය විවෘථ කිරීම සමග අබලන් පීඩන මාණයක් වුවහොත් බිඳී යාමකට ඉඩ ඇති හෙයින් පීඩන මානය පහතින් හා මුහුණට ඈතින් තබා ගන්න. සම්පූර්ණයෙන්ම වෑල්වය විවෘථ කල පසු වට කාලක් වසන්න.ඉන් පසු කිසියම් වායු කාන්දුවක් වෙත්දැයි හොඳින් සවන් යොමුකරණ්න.

6.පර්ජ් වැඇල්වය ඔබන්න. වායුව නිදහසේ ගලනා අයුරු ඔබට ඇසිය යුතුය. ඉන් පසු රෙගියුලේටරයේ මුඛයේ තබන කොටස හෙවත් Mouthpiece එක කටේ තබාගෙන හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කර බලන්න. පහතට හුස්ම  හෙලන විට එය සිරවී ඇත්නම් සෙකන්ඩ් ස්ටේජ් එක හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සඳහා මුඛයේ තබා ගන්නා කොටස තරමක වේලාවක් ජල භාජනයක් තුල බහා තබා මුඛයේ තබා ගන්නා කොටස තදින් පිඹින්න.

“හරි! දැන් ඉක්මනට චෙන්ජ් එකක්දා ගෙන සිලින්ඩර් දෙකත් දාගෙන යමු . . !” ෆිලීගේ හඬින් මා පියවි සිහියට ආවේය.
“මචං මේ මගුලත් එක්කද කිමිදෙන්න තියෙන්නේ . .? හි! හි!! හි!!” තෙශා ඇස යටින් බලා හිකි හිකි ගෑවේය.

ෆිලීගේ බ්ලෑන්ක් මුහුණ ඉදිරියේ මට යන්න ගිය හිනාව ඉස්මොල්ලේ ගියේය.
“යමං මරු කියවන්නේ නැතිව . . . !”
එතනට පැමිණි 6X4 ඩයල් එකක් ටැංකිය ඇමුණූ BCD ය මගේ පිටේ එල්ලුවේ මම සිතා ගන්නටත් පෙරය.
දෙවන වර තෙශාය.
තවත් විනාදි ගනනකින් අපි එකිනෙකාගේ BCD වල පටි බකල් තද කෙරුවෙමු. එය සම්ප්‍රදායකි. 
“කිසිවිටෙක තනිව කිමිදීමේ නොයෙදෙන්න . . !” යන කියමන සෑදී ඇත්තේ මෙනිසා විය යුතුය.


තවත් ටික වේලාවකින් ෆිලී පසුපස වැටී අප ඉහල මාලයට යන දැඩි අනුක්‍රමණයකින් යුත් පඩිපෙල නගින්නට වූවේය!
%d bloggers like this: