Menu Close

ශ්‍රී ලංකා not Vs England – එකොළොස්වෙනි කොටස

“අයියේ, මොකද කියන්නේ? මානිත් පුංචි හින්දා අයියා කැමතියි නම් මට පුළුවන් මල්ලිකාව ගෙදරට කැන්දන් එන්න. මල්ලිකාල අම්මලත් කියන්නේ අපේ කසාදෙ ඉක්මන් කළාට කමක් නැහැ කියලයි!” සුනිල් අවසර පැතුවේ, ඒ අතරවාරයේය.

අයියේ, උඹ මොකද කියන්නේ? අපේ කසාදෙ ඉක්මන් කරලා…….
විරුද්ධ වෙන්නට හේතුවක් තිබ්බේ නැත. මම කැමැත්ත පළ කළෙමි. 
“ඒක හොඳයි රංජි පුතේ. දැන් මේ ගෙදර ළමිස්සියෝ දෙන්නෙක්ම ඉන්න එකේ, මේ නාකි මට විතරක් උන්ව බලාගන්න වාරු නැහැ බං. 
සුනිලුත් මල්ලිකාව එක්කගෙන එන්නමනේ ඉන්නේ, කවදා හරි. ඉතින් ටිකක් ඉක්මන් වුණාය කියලා මොකෝ? 
මටත් මී මුණුබුරු-මිණිබිරියෝ දැකලම මැරෙන්න පුළුවන් වෙයිනෙ.” අපේ ආච්චීත් කීවාය. 
ගෙදරක වැඩිහිටි කාන්තාවක නැති අඩුව පිරිමහින එක ලේසි නැතිය. 

වැඩියත්ම අපට එය දැනුණේ ලොකු නංගි හා බැඳුණු සිදුවීම්වලදීය. විශේෂයෙන් ඇයගේ මාස් ශුද්ධිය ඇතිවන දිනවලදීය. “රංජි පුතේ, නෝනාගේ බඩ රිදෙනවාලු. තැඹිලි ගෙඩි දෙක තුනක්වත් ගෙන්නලා දුන්නා නම්….”
ස්තිරියාවෝ වුණාම මාසේකට වතාවක් ඔහොම අසනීප හැදෙනවා බං….
“කෙහෙල්මල් තැඹිලි! බඩ රිදෙනවා නම් ලෑස්ති කරවාගෙන බෙහෙත් ටිකක් ගන්න එක්ක යං. තැඹිලිත් බෙහෙතක්යැ?” 
මගෙන් එහෙම කියවුණාම ආච්චී පෑවේ, ඔලොක්කු හිනාවකි. 

“උඹ ඕවා දන්නෙ නැහැ පුතේ. ස්ත්‍රියාවෝ වුණාම මාසෙකට වතාවක් ඔහොම අසනීප වෙනවා…. අනේ, ඉතින් මේ ගෙදර උඹලගේ අම්මා ඉන්න ඕනි කාලෙනෙ මේ. 
එහෙමනම් දැඩි-මේනි වෙච්චි දුවලා ඕවා කියන්නෙ අම්මා එක්කලා නොව? මටවත් කියනවා ඇති. 
මොකෝ, උඹට කියන්නය? 
ලොකු අයියා වුණාට උඹත් පිරිමියෙක්නේ පුතේ….” 
මානෙල් නංගිත් යොවුන් වියට පා තබමින් සිටීම තවත් ප්‍රශ්නයක් විණි. 
“එහෙම නම් සුනිල්, වෙලාවක් බලලා මල්ලිකාව කැන්දන් එමු. එතකොට මානිටත් අක්කෙක් ඉන්නවනේ…” මම කීවෙමි.
ලොකූ නංගිගේ මරණය නිසා සුනිල්ගේත්, මානෙල්ගේත් කසාද ඉක්මන් වුණේ එහෙමය…….
ලොකු නංගිගේ මරණය නිසා සුනිල්ගේ විවාහය ඉක්මන් වුණේ එහෙමය. විවාහය කෙරුණේ උත්සවයකින් තොරවය; චාමෙටය.  
ඒ වෙද්දීත් මගේ සැඟවුණු අදිටනක් තිබිණි. 
අදටත් මට ඒ ගැන හිනා නැඟෙයි. 

කූඹියාට හුලිජ්ජ පාරත් ගංගාවකි. ඒ දවස්වල මාත් කූඹියෙකි. 
චූටි නංගී; දීපානි ඉපදුණු දිනවලය, ඒ අරුම සිතිවිල්ල මගේ හිතේ පිළිසිඳ ගත්තේ. 
‘කවදා හරි චූටි නංගිගෙනුත් නිදහසක් වෙනකල් ආයේ හැරෙන්න බෑ….. 
එහෙම නැතිනම්… අපිට සල්ලි ගොඩක් හම්බ වෙලා…. 
ඔව්! එහෙම වෙන්න නං නංගිලා-මල්ලිලා හැමෝටම 
එක්කෙනාට ලක්ෂය ගානේවත් අයින් කරලා තමයි!’ 
හෝව්! පොඩ්ඩක් හෝව්!!
මා තෝරාගෙන තිබෙන්නේ ඉරණම විසිනි…….
ඉහතින් කියූ ටික නිසා, පරමාදර්ශී සහෝදරයෙකිය කියා මා හඳුන්වන්නට කලබල නොවෙනු මැනවි. ඒ title එක මට නොගැලපෙයි. 
මට එදා හිතුණේ යුතුකම් ඉටු කරන්නට තිබෙන බව විතරය; ඒ සඳහා වඩාත්ම සුදුස්සා මා බව විතරය. තේරීමක් කරන්නට ඉඩක් නැත; 
මාව තෝරාගෙන ඇත්තේ ඉරණම විසිනි. 
ඒකට කර ගහන්නට ‘වෙනින් කවුරුවත් නොව ලෙනින් මොරායස්’වත් නැත. 
හිතා බලද්දී මා කල්පනා කර තිබුණෙත් ගතානුගතික රටාවටමය. 

සල්ලි තිබුණාම සේරම ප්‍රශ්න විසඳේ යැයි මට හැඟී තිබිණි. ඕනෑම කෙනෙකු කසාදයක් බැඳගත්විට එතැනින් සේරම ප්‍රශ්න අහවර යැයි ඒ කාලයේ මමත් සිතුවෙමි. 
අනේ, මෝඩ ගහ!!
සල්ලි තිබුණාම ඔක්කොම හරි යනවාද? 
ඒ ප්‍රශ්නයේ පැතිකඩ කිහිපයක් තිබෙන බව තේරුම් යන්නේ දැන්ය.
ජීවිතවල අවුල’ගැන ලියවී තිබෙන මෙවැනි ලියවිලි කියවා බලනකොටය.

ලොව ලොකුම පොහොසතෙකුවූ වොරන් බෆට් කියන්නේ ධනය ගොඩගසා ගැනීම……….
“වොරන් බෆට් ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් තුන්හතර දෙනාගෙන් කෙනෙකි. 2008 දී ඔහු ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයා විය. 
ඒ වසරේදී ඔහුගේ ධනවත්කමේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 62ක් විය.
වොරන් බෆට්ගේ මතය වන්නේ ධනය නිර්මාණය කිරීම හැම කෙනකුටම කළ නොහැකි විශේෂ කලාවක් බවය. 
එම විශේෂ හැකියාව ඇති අය තමන් උපයන ධනය තමන් අත ගොඩ ගසා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එය සමාජය කෙරෙහි විශාල හානියක් ඇති කරන බවත්, තමන් වෙත ජීවත්වීමට අවශ්‍ය තරම් ධනයක් තබා ගනිමින් ඉතිරි ධනය පොදු යහපත වෙනුවෙන් සමාජයට මුදාහැරිය යුතු බවත්ය; 
ඔහු වැඩිදුරටත් කියන්නේ.
-ඉතාමත් හොඳින් කා බී සුව පහසු ජීවිතයක් ගත කරන කෙනකුට පවා අවශ්‍ය වන්නේ සීමිත ධනයක් බවත්, ඒ ධනය පමණක් තමා වෙත තබාගෙන ඉතිරිය සමාජයට මුදාහැරිය යුතු බවත් වොරන් කියයි.   
-බෆට් සිය දරුවන්ට දුන්නේ තම ධනයෙන් 1% බැගින් වන ප්‍රමාණයක් පමණය.
දරුවන්ට දිය යුත්තේ ඔවුන්ට නැඟී සිටීමට අවශ්‍ය තරමේ………
-ඔහු කියන්නේ දරුවන්ට දිය යුත්තේ ඔවුන්ට නැඟී සිටීමට අවශ්‍ය තරම් ධනයක් පමණක් බවය. ඊට වැඩියෙන් කිසිවක් දීම නුසුදුසු බවය. 

2006 දී ඔහු සිය ධනයේ අයිතියෙන් 83%ක් බිල් සහ මෙලින් ද ගේට්ස් පදනමට ලියා දුන්නේය. ඔහුගේ එම පරිත්‍යාගයේ වටිනාකම ඩොලර් බිලියන 30.7ක් විය. ඔහු දානශීලී ධනවාදයක් වෙනුවෙන් පෙනී සිටියේය.”
ඒ දිනවල අපට ඉසුරුමත් තත්ත්වයක් තිබුණේ නැති බව ඇත්තය. 
අග-හිඟකම් තිබුණු බවත් ඇත්තය……. එහෙම තිබියදීත්… 
මට හිතෙන්නේ කොතෙක් ප්‍රශ්න ආවත් මගේ කෙළිලොල්; සැහැල්ලු; නිදහස් ජීවන රටාවටත් මා අනුගතවී සිටි බවය. 
මට ඕනෑ වුණේ සතුටෙන් ඉන්නටය. 
හඬන වෙලාවට විතරක් හඬන්නටය; 
හූල්ලමින් සුසුම් හෙළමින් ඉන්නට නොවේ. 

ඔව්! මෙහෙම කියාගෙන යද්දී විශ්වාස කිරීමත් අසීරු බව හැබෑය. ඒත් ඇත්ත ඒකය. මම එකවර පරස්පර විරෝධී අන්ත දෙක තුනකම ජීවත් වන්නෙක් වීමි.
ඔය කාලයේ සිකුරාත් අපේ ගෙදරට බැල්ම හෙලාගෙන හිටියා වගෙය….

ඔය කාලය තිස්සේ සිකුරා අපේ ගෙදරට බැල්ම හෙලාගෙන හිටියා වගෙය. ඒ වංගියේදීමය ඊවා අක්කා අපේ මානෙල් නංගිටත් මංගල යෝජනාවක් ගෙනාවේ. 

ඒ විවාහයේ වගතුග සේරම ‘සැවුළු සංහාරය’ පෝස්ටුවලින් කියා අහවරය. 

පෝස්ටු 271ක්….. පොඩි නැත. 

නිදිගේ ජීවනාන්දරයෙන් තරමක කොටසක් ඒවායේ කියැවී තිබෙයි. ඒවා අනුක්‍රමයෙන් කියන එක නම් සක්කරයාටවත් පුළුවන් දෙයක් නොවෙනු ඇතිය. 
එහෙත් මට වඩා හොඳ මතකයක් ඇති ඔබට, මගේ ඒ අපිළිවෙලින් අවුලක් නොවෙන බව මට විශ්වාසය. 
මානෙල් නංගිගේ විවාහයත් එක්කම, මට තවත් ටිකක් නිදහස් වීමේ පොටක් පෑදුණි. 
‘එංගලන්තේ නීතිය අනුව නිමල්ලගේ අම්මට දැන් පුළුවන් අවුරුදු 16 ට අඩු නංගිලා-මල්ලිලාව එහාට එක්කගෙන යන්න. 
ලේසියෙන්ම දීපාල්ටයි, දීපානිටයි වීසා හම්බ වෙයි. 
මානි නංගිත් කසාද බැඳලා ගෙදරින් ගිහින් නිසා, බාල වයස්කාරයෝ අම්මා ළඟට ගන්න වෙනවය කියලා අපි කියමු!’
සමන්තිලා එංගලන්තයට ගියදා – පිටුපස පේලිය වමේ සිට: නිදි, සුනිල්, (මුහුණ වැසී) අනිල්, අජිත් – (මැද පෙළ: අම්මා, සමන්ති, මානෙල් – දීපානි හා දීපාල් ඉදිරියෙන්ම…….. 
තිබුණු තත්ත්වය සමාලෝචනය ක‍ර, විවරණයක් සපයලා, plan කළේ ලාල් අයියාය; ලාල් හේවාපතිරණ මහතාය. 
ලොකු නංගිට නොලැබුණු ලන්ඩන් යාමේ වාසනාව දීපාල්- දීපානි දෙන්නටවත් ලැබුණොත්! 
අවශ්‍ය ලිය-කියවිලි ළඟට කරගෙන පෝරම පුරවද්දී ලාල් අයියාට තවත් පොටක් අහුවුණේය. ලාල් අයියා එහෙමය. 
ඔහුට සදිසාවම පෙනෙයි; හැම කාරණයක්ම දකියි.  
“නිමල්, සමන්තිට තවම 16 වෙලා නැහැනෙ. 
අපි එයාටත් එක්කම වීසා ඉල්ලමු. හැබැයි, පුෂ්පාට වුණා වගේ දෙයක් වෙන්න දෙන්න බැහැ. සමාට කියන්නවත් ඕනි නැහැ. 
හරි ගියොත් යනවා- නැතිනම් අමතක කරනවා…. 
තේරෙනවානෙ. වාසනාවෙ හැටියට වැඩ සිද්ධ වෙයි.”
ඉතින් වාසනාව පෑදුණේය. 
තුන් දෙනාටම වීසා ලැබුණේය. 
එයාලා රට යන්නට සැරසෙන බව ගෙවල් පැත්තේ කාටත් රහසක් නොවිණි.

මෙච්චර දක්ෂ විදියට රඟපාන්න පුළුවන් ළමයෙක් අපේ ඉස්කෝලෙම නැහැ…….
“ලොකු අයියාව හම්බ වෙන්න ආවේ විශේෂ ඉල්ලීමක් කරන්න. 
මෙච්චර දක්ෂ විදිහට රඟපාන්න පුළුවන් ළමයෙක් අපේ ඉස්කොලෙම නැහැ. පඤ්ඤාලෝක දහම් පාසලෙත් නැහැ. 
මං ඇප වෙනවා. සමන්තිව එංගලන්තෙට යවන්න එපා…. 
ඔයාලගේ නංගිට නිළියෙක් විදිහට ඉස්සරහටම එන්න පුළුවන්…. හොඳ අනාගතයක් තියෙනවා එයාට.” 
සමන්ති නංගිටත් එංගලන්තයට යෑමට අවසර ලැබී තිබුණු බව දැනගත් වහාම SAB ගුරුතුමා අපේ ගෙදරට ඇවිත් කිව්වේය. 
සෝමවීරත් ඔහු සමඟ පරිවාරේට ආවේය. 
එයාලා හිටියේ සිහින ලෝකයකය. ඒ මගේ තක්සේරුවය. 
ඒ දවස්වල නාට්‍ය උණෙන් හොඳටම ආතුරවී හිටි ඒ දෙන්නාම, ලෝක පොලුකාර නාට්‍යවේදියෙකුවූ SS ගේ නාට්‍යයකට සම්බන්ධවී සිටියහ. 
(ඒ නාට්‍යවේදියා පසු කාලයක සිනමා නිළියන් දෙතුන්-දෙනෙකුටත්, ඔවුන්ගේ වස්තුව-වළඳුවටත් ඇන්නේලු!) 
ඒ දිනවල ජනප්‍රියව තිබුණු එම වේදිකා නාට්‍යයේ සුළු චරිත දෙකක් රඟපාමින් උන් SAB මහත්තයාත්, සෝමවීරත් තවත් වික්‍රමාන්විත කටයුත්තකටත් අත ගසා තිබිණි.
අනුන්ගේ නාට්‍යයක් හොරෙන්ම තමන්ගේ කරගෙන………….
ඒ නාට්‍යයේම නමත්, දෙබස් ටිකකුත් ටිකාක් එහා-මෙහා කොට, මහරගම පැත්තේදී කිහිප වරක් වේදිකාගත කිරීමය ඒ. 
වැඩි-වැඩියෙන් ලෝකයට විවෘත වෙමින් හිටි නිසාදෝ, මගේ අමනකම්- මොට්ටකම්- මරි මෝඩකම් මටම තේරුම් යමින් තිබුණා වැනිය. 

අර දෙන්නාම උඩ දමාගෙන කිව්වත් අපේ සමන්ති නංගිට ‘ලක්ෂ්මී බායි’ කෙනෙකු හෝ ‘මාලිනී ෆොන්සේකා’ කෙනෙකු හෝ වීමට නොහැකි බව මගේ හැඟීම විය. 
ඒ නිසා සමන්ති නංගිගේ නිළි ජීවිතය කැකුළක්ව තිබියදීම මියගියේය. 
එංගලන්තයට ගියාට පස්සේ, Sam හැබෑ ජීවිතයේදී රඟපෑවේ බිමල් මහේන්ද්‍රභායි පටෙල් එක්ක විතරය. 
‘ඔබ හොඳ ව්‍යවසායකයෙකු නම්, හොඳ ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය…..’ 
මා නොබෝදා දිනෙක ඒ ආදර්ශ පාඨය දැක්කේ, 
ජපානයේ සබන් කම්හලක ප්‍රවෘත්තියක් අග තියෙද්දීය.
ඒ ගැටලුවට විසඳුම් හොයමින් සිටියදී …………
එම සබන් කම්හලේ කටයුතු බොහොමයක් කෙරී තිබෙන්නේ ස්වයංක්‍රීයවය. සබන් ඇඹරී, කැපී, එතී, පැකට්වී 100 බැගින් ලොකු පෙට්ටිවලට ඇසිරීම! 
ඒ අතරේ හෙළිවී තිබුණේ හැම පෙට්ටියකටම 
සබන් කැට නොමැති හිස් පෙට්ටි 10ක් 15ක් වැටෙන බවය. 
එසේ සිදුවී තිබෙන්නේ timing අවුලක් නිසා බව දැනගත්තත්, තාක්ෂණික විශේෂඥයන්ට පවා විසඳුමක් දීමට බැරිවී තිබේ.
සබන් කම්හලේ සියලු සේවකයන් පවා කැඳවා විසඳුම් හොයන්නට පටන් ගෙන තිබියදී……. 
“රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයාවූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසඳිය හැකි බව පැවසීය. 
අයිතිකරු මුලදී කෝපයට පත් විය. 
ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගානක් වියදම් කර විසඳිය නොහැකිවූ ගැටළුව මෙම සුළු සේවකයා විසඳන්නේ කෙසේදැයි අයිතිකරුට සිතෙන්නට ඇත.
කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නැති නිසා 
ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ ‘
ඔබට මෙම ගැටළුව විසඳා දීමට මිලියන කීයක් ඕනෑද?’ 
යනුවෙන් පමණි.

සුළු සේවකයා ඉල්ලා සිටියේ ස්ටෑන්ඩ් fan එකක් විතරය! 

සේවකයා එය අසා පැවසූයේ “මට මිලියන ගණනක් ඕනෑ නැහැ. මට ඕන හොඳ ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි” යනුවෙනි. 

පුදුමයට පත්වූ අයිතිකරු උපහාසයෙන් සිනාසී හොඳ ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා, සබන් කැට බෙල්ට් එක දිගේ එන සබන් පෙට්ටි දෙසට දමා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. 

සබන් කැටය නොමැතිව පැමිණෙන හිස් පෙට්ටි, ෆෑන් එකේ සුළඟෙන් විසිවී ගිය අතර විසඳිය නොහැකි ගැටළුව විසඳිණි.
වැය වූයේ යෙන් තුන්දහසක මුදලක ෆෑන් එකක් පමණි!!!” 
මේ පුවත ඒ දිනවල කියවූවක් නොවේ. 
එහෙත් එදාද මම හොඳ ව්‍යවසායකයෙක් වීමි. 

එසේ වී, බොරලැස්ගමුවේ කඩය පිළිබඳව අපේ අනිලුත්, පොඩි මාමාත් කියන සවිස්තර වාර්තාවලට හොඳින් සවන් දුන්නෙමි; 
ප්‍රශ්නත් ඇහුවෙමි; 
ගණන් හිලවු ලියාගෙන එන පොත් දිහාවටත් උඩින්-පල්ලෙන් ඇහැ යැව්වෙමි.
ඔයාව ගංගොඩවිල උසාවියට එක්කන් යන්නයි ආවේ……….
ඔහොම- බොහොම සීරුවට ඒ කටයුතු කෙරෙද්දී දවසක් උදේ පාන්දරම කුකුළාත් අතින් අරගෙන, අපේ අනිල් ගෙදර ආවේය. 
“තමුසේ මොකද මේ වෙලාවේ? ඇයි, අද කඩේ අරින්නේ නැද්ද?” 
“….. පොඩි ප්‍රශ්නයක් ලොකා.” 
අනිල් තෙපර බෑවේය; ඔළුව කැසුවේය. බොහොම අමාරුවෙන් කතා කළේය…. ඒකත් කැඩි-කැඩීය.
“….. ඔයාව ගංගොඩවිල උසාවියට එක්ක යන්න තියෙනවා, නවයට කලින්.” අන්නා කිව්වේ එකෙල-මෙකෙල වෙන අතරේය; 
හෙමින් සීරුවේ නවත්ත-නවත්තලාය. 
“මං? ගංගොඩවිල උසාවියට? මොකටද?” 
“ඔයා ඉක්මනට ලැහැස්ති වෙන්නකො, ලොකා. 
පරක්කු වුණොත් තව මඟුලක්. 
ඔයාගේ නමටනේ කඩේ තියෙන්නේ. අයිතිකාරයා විදියට, ඔයාට තමයි උසාවියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ. 
මේ තියෙන්නේ සිතාසිය……..!”
%d bloggers like this: