Menu Close

ප්‍රීතිමත් කුමාරයා

නගරයට ඉහළින්, උස කුළුණක මුදුනේ ප්‍රීතිමත් කුමාරයාගේ පිළිමය තිබුණා. ඔහුගේ මුළු සිරුර ම සිහින් රන් පත්‍රයෙන් අලංකාර කර තිබුණා. ඔහුගේ දෑසේ නිල් මැණික් දෙකක් දිලිසුණා, ඒවගේම කඩු මිටේ දීප්තිමත් ව පෙනුණේ රත් මැණිකක්.

හැමදෙනාම කුමාරයාව නිරතුරුව අගය කළා. “ඔහු සුළං දිශා දර්ශකයක් තරම් දැකුම්කලුයි” තමන්ට බොහොම කලාකාමී අදහස් තිබෙන බවට මතයක් ගොඩනඟන්නට කැමැත්තෙන් උන් නගර සභා නිලධාරියෙක් කීවා. “ඒත් එතරම්ම ප්‍රයෝජනවත් නම් නැහැ” ඒ එක්කම ඔහු කීවේ මිනිසුන් ඔහු ප්‍රායෝගික නැති කෙනෙක් යැයි වරදවා වටහා ගනී යැයි බියෙන්.

“ඇයි ඔයාට ප්‍රීතිමත් කුමාරයා වගේ වෙන්න බැරි?” හඳ ඉල්ලමින් හඬන කුඩා දරුවෙකුගෙන් ඔහුගේ මව ඇසුවා. “ප්‍රීතිමත් කුමාරයා නම් කවදාවත් එක එක දේවල් ඉල්ලමින් කරන ඇඬිල්ලක් ගැන හීනෙකින් වත් හිතන්නේ නැහැ”

“මේ ලෝකේ එක්කෙනෙක් හරි බොහොම සතුටින් ඉන්න එක ලොකු දෙයක්” අලංකාර පිළිමය දෙස බලාගෙන උන් බලාපොරොත්තු සුන්වූ මිනිසෙක් සෙමෙන් මිමිනුවා.

පිරිසිදු සුදු ඇඟලුම් සහ රත් පැහැති කබා පැළඳ සිටි අනත්දරු නිවසේ දරුවන් පල්ලියෙන් පිටවෙද්දී පිළිමය දැක “ඔහු දේවදූතයෙක් වගේ” කීවා.

“ඔයාලා කොහොමද දන්නේ? ඔයාලා දේවදූතයෝ දැකලා නැහැනේ” එය ඇසී ඔවුන්ගේ ගණිතය ගුරුවරයා ඔවුන්ගෙන් ඇසුවා.

“ආ අපි දැකලා තියෙනවා, හීනවල” ළමුන් පිළිතුරු දුන්නා. ළමුන් හීන දැකීම අනුමත නොකළ ගුරුවරයා එය අසා නපුරු බැල්මකින් රවා බැලුවා.

එක් රාත්‍රියකදී පුංචි ලිහිණියෙක් නගරයට ඉහළින් පියාසලමින් සිටියා. ඔහුගේ මිතුරන් සියලු දෙනා ඊට සති හයකට කලින් ඊජිප්තුව බලා පියාසර කර තිබුණා. ඔහු ඔවුන් හා නොගොස් නතර වී තිබුණේ ඉතාම ලස්සන දිය තණ පඳුරක් හා ප්‍රේමයෙන් වෙලී උන් නිසායි. පළමුවරට ඈ ඔහුගේ නෙත ගැටුණේ වසන්ත කාලයේ මුලදී විශාල කහ පැහැති සලබයෙක් හඹාගෙන ගඟ පහළට ඉගිලෙද්දී. ඇගේ සිහින් ඉඟ දැක ඈ වෙත ආකර්ෂණය වූ ඔහු ඈ හා දොඩන්නට නතර වුණා.

කල් නොයවා අදාළ කාරණා ගැන කතාකරන්නට ප්‍රිය කළ ලිහිණියා, “මම ඔබට ප්‍රේම කරන්නද?” කියා ඇසූ විට තණ පඳුර හිස පහත් කර ඔහුට ඇගේ කැමැත්ත පෙන්වූවා. ඉතින් ඔහු පියාපත් දියෙහි ගාවමින්, රිදී රැළි නංවමින්, ඈ වටා කීප වරක් පියාසර කළා. ඔහුගේ මේ ප්‍රේම රංගනය මුළු ගිම්හාන කාලය පුරාවටම පැවතුණා.

“මේක නම් මහා විකාර සම්බන්ධයක්” අනෙත් ලිහිණින් කිචිබිචි ගෑවා. “ඈට කිසිම වස්තුවක් නැහැ, නෑදෑයෝත් වැඩියි.” ඇත්තටම ඈ වැනිම තණ පඳුරු ගඟ පුරාම පෙනෙන්නට තිබුණා. සරත් කාලය එළඹුණු විට ලිහිණින් හැම දෙනාම ඉගිලී ඈතට ගියා.

ඔවුන් යන්නට ගිය පසු පුංචි ලිහිණියාට මහත් පාළුවක් දැනුණා. ඒ වගේම ඔහුගේ පෙම්වතිය ගැන නොරිස්සුමක් දැනෙන්නටත් වුණා. “ඇගේ කිසිම කතාබහක් නැහැ” ඔහු කීවා, “ඒ වගේම සුළඟ එක්ක අඟර දඟර පානවා වැඩියි”. ඇත්තටම සුළඟ හැමූ හැම විටකම ඈ බොහොම සුන්දර ලෙස නැමි නැමී ආචාර කරනු පෙනුණා. “ඈ තරමක් ගෙදරට කොටු වූ කෙනෙක් බව මට තේරෙනවා” ඔහු තවදුරටත් කීවා. “ඒත් මම සංචාරයට ප්‍රිය කරන කෙනෙක්, ඒනිසා මගේ බිරිඳත් ඊට ප්‍රිය කළ යුතුයි”

“ඔබ එනවාද මා සමඟ යන්න?” ඔහු අවසාන වශයෙන් ඇගෙන් ඇසුවා. ඒත් දිය තණ පඳුර හිස සලා අකමැත්ත පළ කළේ ඈ ඇගේ නිවසට තදින්ම බැඳී උන් නිසායි.

“ඔබ මට ඔච්චම් කළා” එය දැක ඔහු කෑ ගැසුවා. “මම යනවා පිරමිඩ තියෙන පැත්තට!” එසේ කියා ඔහු ඉගිලී ගියා.

දවස පුරාම ඉගිලුණු ඔහු රෑ වෙද්දී නගරය වෙත ළඟා වුණා. “අද රෑට මම නවතින්නේ කොහේද? නගරය මා වෙනුවෙන් ලැහැස්ති වී ඇති කියලා මම හිතනවා”

ඔහු උස කුලුන මුදුනේ පිළිමය දුටුවේ එවිටයි.

“මම අද රෑට මෙතැන නවතින්නම්.” ඔහු කීවා. “තැනත් හොඳයි, හොඳ වාතශ්‍රයකුත් තියෙනවා”. එසේ කියූ ඔහු ප්‍රීතිමත් කුමාරයාගේ දෙපා මුල නතරවුණා.

“මට තියෙන්නේ රන් පැහැති නිදන කාමරයක්” ඔහු වටපිට බලමින්, නිදාගන්නට සූදානම් වෙමින් තමාටම හෙමින් කියාගත්තා. ඒත් නින්දට කලින් තමන්ගේ හිස තටුව අස්සේ සඟවා ගන්නට යද්දී ලොකු දිය බිඳුවක් ඔහුගේ ඇඟට වැටුණා. “මේ නම් හරිම විශ්මයක්” ඔහු පුදුම වුණා. “අහසේ එකම වලාකුළක් වත් නැහැ, තරු බොහොම දීප්තිමත්ව දිලිසෙනවා, ඒත් මෙන්න වහිනවා! උතුරු යුරෝපයේ දේශගුණය නම් අන්තිමයි. දිය තණ පඳුර නම් වැස්සට හරි මනාපයෙන් උන්නා. ඒත් ඒ ඇගේ ආත්මාර්ථකාමී බව නිසා යි.”

එවිටම තව දිය බිඳුවක් වැටුණා.

“වැස්සෙන් වත් හෙවණක් දෙන්න බැරි නම් පිළිමයකින් වැඩක් ඇතිද? හොඳ දුම් කවුළුවක් වත් හොයාගන්නට ඕනෑ” මෙසේ කියා ඔහු පියාපත් විදා ඉගිල යන්නට සැරසෙද්දී තුන්වෙනි දිය බිඳුවත් වැටුණා.

ඉහළ බැලූ ලිහිණියා දුටුවේ කුමක්ද?

ප්රීතිමත් කුමාරයාගේ දෑස කඳුළින් පිරී තිබුණු අතර ඔහුගේ රන් පැහැති කොපුල් හරහා කඳුළු ගලා යමින් තිබුණා. සඳ එළියේ දිස් වුණු ඔහුගේ මුහුණේ සුන්දර බව නිසා පුංචි ලිහිණියාට ඔහු ගැන මහත් අනුකම්පාවක් දැනුණා.

“ඔබ කවුද” ඔහු ඇසුවා

“මම ප්රීතිමත් කුමාරයා”

“එහෙනම් ඔබ වැලපෙන්නේ ඇයි?” ලිහිණියා ඇසුවා; “ඔබ නිසා මම හොඳටම තෙමුණා”

“මිනිස් හදවතක් ඇතිව මා ජීවත්ව උන් කාලයේදී කඳුළු කියන්නේ මොනවාද කියාවත් මා දැනගෙන උන්නේ නැහැ” පිළිමය පිළිතුරු දුන්නා. “මම වාසය කළේ ශෝකයට ඇතුළුවීමට තහනම්ව තිබුණු සන්-සූසි මාලිගයේ. දිවා කාලයේදී මම මගේ සගයන් හා එක්ව උද්‍යානයේ ක්‍රීඩා කළා. සවස්වරු වලදී මම මහා ශාලාවේ නර්තනයන්ට නායකත්වය දුන්නා. උද්‍යානය වටා බොහොම උස් පවුරක් තිබුණත් ඉන් එපිට තිබුණේ මොනවාදැයි හොයන්නට මම කවදාවත් උනන්දු නොවුනේ මගේ ජීවිතය ඉතාම ලස්සනට තිබුණු නිසා යි. මගේ අමාත්‍යවරු මට කීවේ ‘ප්‍රීතිමත් කුමාරයා’ කියලා යි. සැපත කියන්නේ සතුට නම් මම ඇත්තටම සතුටින් හිටියේ. ඉතින් ඔය විදිහට මම ජීවත් වුණා, මැරිලා ගියා. දැන් මම මැරිලා නිසා ඒ අය මාව මේ උස් තැනක රඳවලා තියලා. මෙතැනට මගේ නගරයේ අවලස්සනත්, දුක්ඛිත බවත් හොඳට පේනවා. මගේ හදවත ඊයමින් තනා තිබුණත් වැලපෙනවා හැරෙන්නට මට කළ හැකි වෙන දෙයක් නැහැ”

“මොකක්? ඒ කියන්නේ මෙයා තනි රත්තරන් නෙමෙයි ද?” ලිහිණියා තමන්ටම කියාගත්තා. එහෙත් ඔහු ඉතා ආචාරශීලී නිසා එවැනි පෞද්ගලික දේ නොඅසන්නට ප්‍රවේසම් වුණා.

“බොහොම දුර ඈතක” පිළිමය සෙමෙන්, ගීතවත් හඬකින් තවදුරටත් කියන්නට වුණා. “බොහොම දුර ඈත කුඩා පාරක එක්තරා දුප්පත් ගෙදරක් තිබෙනවා. ඒ ගෙදර එක කවුළුවක් විවරවයි තිබෙන්නේ, එයින් මට පේනවා මේසයක් අසල වාඩිවී සිටිනා කාන්තාවක්. ඇගේ මුහුණ ඇදී ගිහින්, ඈට හරි වෙහෙස පාටයි. ඈ ඇඳුම් මසන්නියක් නිසා ඇගේ දෑත ඉඳිකටු ඇනීමෙන් රත් පැහැ ව, රළු ව පෙනෙනවා. රැජිනගේ ලස්සනම පරිවාර කාන්තාව ඊළඟ රාජකීය නැටුමට අඳින්නට නියමිත සැටින් ගවුමේ මල් මසමිනුයි ඇය සිටින්නේ. ඒ කාමරයේ කෙළවරක ඇගේ පුංචි පුතා අසනීපයෙන් වැතිරී ඉන්නවා. උණක් වැළඳී සිටින ඔහු දොඩම් ඉල්ලමින් හඬනවා. ඒත් ඔහුගේ අම්මාට ගඟෙන් ගත් ජලය මිසක් ඔහුට දෙන්නට වෙනත් දෙයක් නැහැ. ඒ නිසා ඔහු හඬමින් ඉන්නේ. පුංචි ලිහිණියෝ පුංචි ලිහිණියෝ, මගේ කඩුවේ කොපුවේ ඇති රත් මැණික ඇයට දෙන්නට බැරිද? මගේ දෙපා මේ පාදමට සවිවෙලා නිසා මට හෙලවෙන්නට බැහැ”

“ඊජිප්තුවේ කට්ටිය මම එනතුරු මඟ බලාගෙන ඉන්නේ.” ලිහිණියා කීවා. “මගේ යහළුවෝ නයිල් ගඟේ ඉහළ පහළ පියාඹමින් විශාල නෙළුම් මල් එක්ක කතා කරමින් ඇත්තේ. ඉක්මනින්ම ඒ අය උතුම් රජුගේ සොහොන්ගෙයි නිදන්නට යාවි. ඒ රජු එතැන තීන්ත ආලේපිත මිනී පෙට්ටියක සැතපිලා ඉන්නවා. ඔහුගේ සිරුර කහ පැහැති මුදු රෙදිවලින් ඔතා කුළුබඩු වර්ගවලින් සුවඳ කවාලායි තිබෙන්නේ. ඔහුගේ ගෙල වටා පච්ච වර්ණ ගලින් සැදුණු මාලයක් පළඳවා තිබෙනවා. ඔහුගේ දෑත් පරඬැල් වගේ.”

“පුංචි ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක එක රැයක් ගතකරලා මගේ පණිවිඩකරු වෙන්න? අර පුංචි දරුවාට හරිම තිබහයි, ඒ අම්මාට හරි දුකයි”

“මම ළමයින්ට කැමති නැහැ” ලිහිණියා පිළිතුරු දුන්නා. “පහුගිය ගිම්හාන කාලේ මම ගඟබඩ වාසය කරද්දී අර තිරිඟු මෝල හිමියාගේ මහා අණක් ගුණක් නැති කොල්ලෝ දෙන්නා මට නිතරම ගල් වලින් ගැසුවා. අපි ලිහිණියෝ බොහොම වේගයෙන් පියාඹන අය නිසා උන්ට කවදාවත් මට වදින්න නම් ගල් පාරවල් ගහන්න බැරි වුණා. ඒ නැතත් අපේ පවුලේ හැමදෙනාම කඩිසර බවට හරි ප්‍රසිද්ධයි. ඒත් මම නම් සලකන්නේ ඒ වැඩේ අපට කළ අගෞරවයක් හැටියට.”

ඒත් ප්‍රීතිමත් කුමාරයාගේ දුක්බර පෙනුම දැකලා පුංචි ලිහිණියා ට අනුකම්පා හිතුණා. “මෙතැන හරිම සීතලයි” ඔහු කීවා. “ඒත් මම තව එක රැයක් ඔබ එක්ක ඉඳලා ඔබේ පණිවිඩකරුවා වෙන්නම්”

“ඔබට බොහොමත්ම ස්තූතියි පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා.

ඉතින් ලිහිණියා කුමාරයාගේ කඩුවෙන් රත් මැණික ගලවාගෙන, එය හොටයේ තබාගෙන නගරයේ පියැසි වලට ඉහළින් පියාසර කළා. ඔහු සුදු පැහැති කිරිගරුඬ දේවදූතයන් අඹා තිබුණු පල්ලියේ උස් කුලුන පසු කළා. ඔහු රජ මාලිගය පසු කරද්දී නැටුමක හඬ ඇසුණා. ලස්සන කෙල්ලක් තම පෙම්වතා සමඟ සඳලුතලයට පැමිණියා. “අහසේ තරු කොයිතරම් අලංකාරද” ඔහු ඈට කීවා. “ආදරයේ බලය කොයිතරම් අපූරු ද?”

“හෙට රාජකීය නැටුමට අඳින්න මගේ ගවුම ලෑස්ති ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා” ඈ පිළිතුරු දුන්නා. “මම අණ කළා ගවුමේ විසිතුරු මල් මහන්න කියලා, ඒත් ඇඳුම් මහන්නියන් හරිම කම්මැලියි”

ඔහු ගඟට ඉහළින් පියාසර කරද්දී නැව්වල කුඹගස්වල එල්ලෙන ලන්තෑරුම් දුටුවා. යුදෙව් ජනාවාස පසු කරද්දී වයසක යුදෙව්වන් එකිනෙකා හා හෙට්ටු කරමින්, තඹ තරාදි වල සල්ලි කිරමින් සිටිනු දුටුවා. අන්තිමේදී ඔහු දුප්පත් නිවසට ළඟා වී ඇතුළට එබී බැලුවා. කුඩා දරුවා උණ විකාරයෙන් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටියා, ඔහුගේ අම්මා මහන්සිය නිසා නින්දට වැටී සිටියා. ඔහු ගේ තුළට ගොස් මේසය මත තිබුණු ඇගේ දිදාලය අසලින් විශාල රත් මැණික තැබුවා. ඉන්පසු ඔහු ඇඳ වටා ඉතා මුදු ලෙස පියාඹා ඔහුගේ පියාපතින් දරුවාට පවන් සැලුවා. “මට හරිම සිසිලක් දැනෙනවා.” දරුවා කීවා. “මට සනීප වෙනවා වෙන්න ඇති”; එසේ කියා ඔහු සැප නින්දකට වැටුණා.

ලිහිණියා සතුටු කුමාරයා වෙත පියාඹා ගොසින් ඔහු කළ දේ ගැන විස්තර කීවා. “හරි පුදුමයි” ඔහු කීවා, “වටපිට සීතල වුණත් මට දැන් හරි උණුසුමක් දැනෙනවා.”

“ඒ ඔබ යහපත් දෙයක් කළ නිසා.” කුමාරයා කීවා. පුංචි ලිහිණියා මේ ගැන කල්පනා කරමින් නින්දට වැටුණා. කල්පනා කිරීම ඔහුට නිතරම නිදිමත ගෙනාවා.

පසුදින උදා වුණු පසු ඔහු ගංගාවට ගොස් දිය නාගත්තා. “හරිම විශ්මිත සංසිද්ධියක්” පාලම උඩින් ගමන් කරමින් සිටි පක්ෂි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙය දැක පුදුම වුණා. “සීත කාලයේ ලිහිණියෙක්!” ඉනික්බිති ඔහු ප්‍රාදේශීය පුවත්පතට ඒ ගැන දීර්ඝ ලිපියක් ලීවා. එය කාටවත් නොතේරෙන වචන වලින් පිරී තිබුණත් බොහෝ දෙනා එහි වැකි උපුටා දැක්වූවා.

“අද රෑට මම ඊජිප්තුව බලා යනවා,” කී ලිහිණියා ඒ ගැන සිතමින් සතුටින් පසු වූවා. ඔහු නගරයේ හැම පොදු ස්මාරකයක් වෙතම ගිය අතර පල්ලියේ කුලුන මත බොහෝ වෙලාවක් ගත කළා. ඔහු යන යන තැන උන් ගේ කුරුල්ලන් ඔහුව දැක “කොයිතරම් වැදගත් අමුත්තෙක්ද!” කියා එකිනෙකාට මුමුනනු ඔහු ඉතා ආශාවෙන් අසා සිටියා.

සඳ නැඟ ආ විට ඔහු නැවතත් ප්‍රීතිමත් කුමාරයා වෙත ගියා. “ඔබට ඊජිප්තුව වෙත ගෙනයන්නට දෙයක් තිබේ ද?” ඔහු ඇසුවා. “මම මේ පිටත්වෙන්න සූදානම් වෙන්නේ”

“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක තව එක රැයක් ගතකරන්න?”

“මා එනතුරු අනිත් අය ඊජිප්තුවේ බලාගෙන ඇති” ලිහිණියා පිළිතුරු දුන්නා. “හෙට මගේ මිතුරන් දෙවෙනි ඇළ මාර්ගය වෙත පියාසර කරනු ඇති. ඒ අවට පන් ගාල් වල දිය අශ්වයෝ වැතිරිලා ඇති. කළුගලින් තැනුණු සිංහාසනයක මෙම්නොන් දෙවියන් හිඳගෙන ඇති. ඔහු මුලු රෑ පුරාම තරු දිහා බලාගත්වනම හිඳ, උදා තරුව දිලිසේද්දී එක් වරක් පමණක් සතුටින් කෑගසා ඉනික්බිති නිහඬ වෙනවා. මධ්‍යහ්නයෙදී කහ පැහැති සිංහයන් දිය බීමට ඉවුර වෙත එනවා. උන්ගේ ඇස් කොළ මැණික් වගෙයි, උන්ගේ ගර්ජනයට ඇළේ ශබ්දයත් පරාදයි.”

“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “දුර ඈත නගරයෙන් අනෙත් පස සොල්දර කාමරයක මට තරුණයෙක් පෙනෙනවා. ඔහු කඩදාසි පිරුණු මේසයක් මතට නැඹුරු වී සිටින්නේ. ඔහු සිටිනා තැනට කිට්ටුවෙන් වීදුරුවක දැමූ පරවුණු වයලට් මල් පොකුරක් තිබෙනවා. ඔහුට ඇත්තේ දුඹුරු පැහැ බොකුටු කෙහෙරැළි, ඔහුගේ දෙතොල දෙළුම් මෙන් රත් පැහැතියි. ඔහුට තිබෙන්නේ හීන වලින් මත් වුණු විශාල දෑසක්. වේදිකා අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නාට්‍යයක් ලියා ඉවරකරන්නට ඔහු උත්සාහ කරමිනුයි සිටින්නේ. එහෙත් අධික සීතල නිසා ඔහුට තවදුරටත් ලියන්නට බැහැ. උදුනේ ගින්දර නැහැ, කුසගින්න නිසා ඔහු ක්ලාන්තයෙන්.”

“මම ඔබත් එක්ක තව දවසක් ඉන්නම්” ඇත්තටම හොඳ හදවතක් තිබුණු ලිහිණියා පිළිතුරු දුන්නා. “මම ඔහුට තවත් රත් මැණිකක් ගිහින් දෙන්නද?”

“අහෝ! දැන් තව රත් මැණික් නම් ඉතිරිවෙලා නැහැ,” කුමාරයා කීවා; “මට ඉතිරිවෙලා තියෙන්නේ මගේ දෑස විතරයි. ඒවා සකසා තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දියාවෙන් ගෙනා දුර්ලභ නිල් මැණික් වලින්. ඉන් එකක් උගුල්ලාගෙන ගොස් ඔහුට දෙන්න. ඔහු එය ආභරණකරුට විකුණා කෑමත්, දරත් මිලදී ගනීවි. ඊටපස්සේ ඔහුගේ නාට්‍යය ලියා ඉවර කරාවි.”

“ආදර කුමාරයෝ” ලිහිණියා කීවා, “මට ඒක නම් කරන්න බැහැ”; එසේ කියා ඔහු වැලපෙන්නට ගත්තා.

“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “මම ඔබට දෙන අණ පිළිපදින්න.”

ඉතින් ලිහිණියා කුමාරයාගේ ඇසක් උගුල්ලාගෙන ශිෂ්‍යයා වාසය කළ සොල්දර කාමරය වෙත පියාසර කළා. එහි වහලයේ සිදුරක් තිබුණු නිසා ඔහු පහසුවෙන් එයින් රිංගා කාමරයට ගියා. තරුණයා තම හිස දෑතේ සඟවාගෙන සිටි නිසා ඔහුට පියාපත් හඬ ඇසුණේ නැහැ. ඔහු හිස ඔසවා බලද්දී පරවුණු වයලට් මල් පොකුර ළඟ නිල් මැණිකක් දුටුවා.

“මාව අගය කෙරෙන්න පටන් අරගෙන,” ඔහු සතුටින් කෑගැසුවා; “මේක නාඳුනන ප්‍රශංසා කරන්නෙකුගෙන් තෑග්ගක්. දැන් මට මගේ නාට්‍යය ඉවර කරන්න පුළුවන්.” ඔහු සිටියේ ඉතාමත් සතුටින්.

පසුදා ලිහිණියා නැව් තොට වෙත පියාසර කළා. යෝධ නැවක කුඹ ගස මුදුනේ හිඳ ඔහු නාවිකයෝ ලණු යොදාගෙන නැවෙන් විශාල පෙට්ටගම් පිටතට අදින අයුරු නැරඹුවා. පෙට්ටගමක් නැව් බඳෙන් මතුවුණු හැම වතාවකම ඔවුන් “හීව්-අ-හෝයි” කියා බෙරිහන් දුන්නා. “මම ඊජිප්තුවට යනවා” ලිහිණියාත් කෑගැසුවා, එහෙත් කිසි කෙනෙක් එය ගණනකට ගත්තේ නැහැ. සඳ නැඟ එද්දී ඔහු නැවතත් ප්‍රීතිමත් කුමාරයා වෙත පියාසර කළා.

“මම ආවේ ඔබෙන් සමුගෙන යන්නට” ඔහු කීවා.

“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “ඔබට බැරිද මාත් එක්ක තව එක රැයක් ගතකරන්න?”

“දැන් සීත කාලය,” ලිහිණියා පිළිතුරු දුන්නා, “බොහොම ඉක්මනින් සීත හිම වැටෙන්නට පටන් ගනීවි. ඊජිප්තුවේ නම් කොළ පාට තල් ගස් උඩට ඉර අව්ව සැරට වැටිලා ඇති. කිඹුලෝ මඩේ වැතිරිලා කම්මැලිකමෙන් වටපිට බලනවා ඇති. මගේ සගයෝ ටික බාල්බෙක් පන්සලේ කැදලි තනනවා ඇති. ඔවුන් දිහා බලාගෙන රෝසපාට, සුදු පාට කොබෙයියන් එකිනෙකාට කරව් කරනවා ඇති. ආදරණීය කුමාරයෝ, මම ඔබගෙන් සමුගෙන යා යුතුයි. මට ඔබව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඊළඟ වසන්තයේදී මම ආපිට එද්දී ඔබ දන් දුන්නු මැණික් වෙනුවට මම ඔබට මැණික් කැට ගෙනත් දෙන්නම්. මා ගෙනැවිත් දෙන රත් මැණික රතු රෝස මලකටත් වැඩියෙන් රතු පාට වේවි, නිල් මැණික මහා මුහුද තරම්ම නිල් පාට වේවි.”

“පහත චතුරශ්‍රයේ ඉන්නවා ගිනිකූරු විකුණන පුංචි කෙල්ලක්” කුමාරයා කීවා. “ඈ අතින් ගිනිකූරු සියල්ලම කාණුවට වැටිලා, නාස්තිවෙලා. මුදල් නැතිව ගෙදර ගියෝතින් ඇගේ පියා ඇයට පහර දේවි. ඇය හඬමින් ඉන්නේ. ඇයට සපත්තුවත්, උණුසුම් මේස්වත් නැහැ, ඇයගේ පුංචි හිසට ආවරණයක් නැහැ. මගේ අනෙත් ඇසත් උගුල්ලාගෙන ගොස් ඇයට දෙන්න, එතකොට ඇයට පියාගෙන් ගුටිකන්නට වෙන එකක් නැහැ.”

“මම ඔබ එක්ක තව එක රැයක් ගතකරන්නම්,” ලිහිණියා කීවා, “ඒත් මට නම් බැහැ ඔබේ ඇස උගුල්ලන්න. ඔබ එතකොට සම්පූර්ණයෙන්ම අන්ධ වේවි.”

“ලිහිණියෝ, ලිහිණියෝ, පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා. “මම ඔබට දෙන අණ පිළිපදින්න.”

ඉතින් ඔහු කුමාරයාගේ අනෙත් ඇසත් උගුලුවාගෙන පහතට පියඹා ගියා. ඔහු ගිනිකූරු විකුණන දැරිය වෙත පහත් වී මැණික ඇගේ අත්ලේ රැඳෙව්වා. “හරිම ලස්සන වීදුරු කෑල්ලක්” කෑගැසූ දැරිය සිනාසෙමින් තම නිවස බලා දුවන්නට වුණා.

ඉනික්බිති ලිහිණියා කුමාරයා වෙත නැවතත් ආවා. “ඔබ දැන් අන්ධයි,” ඔහු කීවා “ඒනිසා මම හැමදාම ඔබ ළඟින්ම ඉන්නම්”

“එපා, පුංචි ලිහිණියෝ,” අසරණ කුමාරයා කීවා, “ඔබ ඊජිප්තුව බලා යා යුතුමයි.”

“මම හැමදාම ඔබ ළඟින්ම ඉන්නම්” කී ලිහිණියා කුමාරයාගේ දෙපතුල අසල නින්දට ගියා.

ඊළඟ දවස මුළුල්ලේම ඔහු කුමාරයාගේ උරහිස මත හිඳ තමන් දුරු රටවලදී දුටු අමුතු දේ ගැන විස්තර කරන්නට වුණා.

නයිල් ගඟේ ඉවුරුවල පේළි ගැසී සිටිමින් හොට අගින් රන් මසුන් අල්ලන අයිබිස් කොකුන් ගැන, කාන්තාරයේ වෙසෙන, ලෝකය තරමටම පැරණි, සියලු දේ ගැන දන්නා ස්ෆින්ක්ස් ගැන, කහ පැහැති මාල අතින් ගෙන තමන්ගේ ඔටුවන් අසලින් සෙමෙන් ගමන් ගන්නා වෙළෙඳුන් ගැන, කළුවර ලී තරමටම කළු පැහැති, විශාල පළිඟු ගෝලයකට වන්දනා කරන සඳේ කඳු වලට අධිපති රජු ගැන, තල් ගසක නිදන, පූජකයන් විසි දෙනෙකුගෙන් පැණි කැවුම් ලබන තෙදැති කොළ සර්පයා ගැන, පැතලි විශාල පත්‍ර මත නැගී වැව තරණය කරන, නිරතුරුව සමනලයන් සමඟ සටන් කරන අඟුටුමිට්ටන් ගැන විස්තර ඔහු කුමාරයාට කීවා.

“ආදරණීය පුංචි ලිහිණියෝ,” කුමාරයා කීවා, “ඔබ මට ආශ්චර්යමත් දේ ගැන කියනවා, එහෙත් මේ ලෝකේ වඩාත්ම ආශ්චර්යවත් දේ තමයි මිනිසුන් සහ ගැහැනුන්ගේ ඇති වේදනාව දරා ගැනීමේ හැකියාව. මිනිසුන්ගේ දුක්ඛිතකම තරම් තවත් අභිරහසක් නැහැ. මගේ නගරයට ඉහළින් පියාසර කරන්න පුංචි ලිහිණියෝ, ඔබ දකින දේ මට කියන්න.”

ඉතින් ලිහිණියා විසල් නගරයට ඉහළින් පියාසර කළා. පෝසතුන් තමන්ගේ අලංකාර නිවෙස්වල සාද පවත්වද්දී හිඟන්නන් ඒවායේ ගේට්ටු අසල හිඳ සිටින අයුරු ඔහු දුටුවා. ඔහු අඳුරු මාවත් වල පියාසර කරද්දී, බඩගින්නේ පෙළෙන දරුවන්ගේ සුදුමැලි මුහුණු හිස් බැල්මෙන් අඳුර දෙස යොමු වී ඇති අයුරු දුටුවා. පාලමක ආරුක්කුවක් යට කුඩා ළමුන් දෙදෙනෙක් එකට ගුලි වී සිටියේ උණුසුම් වීමට තැත් කරමින්. “අනේ, අපිට කොයිතරම් බඩගිනිද!” ඔවුන් කීවා. “ඔතැන නිදාගන්න බැහැ” කියා මුරකරු කෑගැසූ විට ඔවුන් වැස්සේම යන්නට ගියා.

ඔහු ආපසු පියඹා ගොස් කුමාරයාට ඔහු දුටු දේ කීවා.

“මගේ ඇඟ පුරා තියෙන්නේ පිරිසිදු රත්තරන්,” කුමාරයා කීවා, “ඔබ එය රන් පත්‍රයෙන් පත්‍රය ගැලවිය යුතුයි. ඒවා මගේ දුප්පතුන්ට දෙන්න. ජීවත්ව සිටින අය රත්තරනින් සතුට ලබාගන්න පුළුවන් බව නිරතුරුව විශ්වාස කරනවා.”

ලිහිණියා රන් පත්‍රයෙන් පත්‍රය ගලවද්දී ප්‍රීතිමත් කුමාරයාගෙන් අඳුරු අළු පැහැයක් දිස් වෙන්නට ගත්තා. ඔහු රන් පත්‍රයෙන් පත්‍රය දුප්පතුන්ට දෙන්නට ගත් විට පුංචි දරුවන්ගේ මුහුණු රෝස පැහැයෙන් බැබලුණා, ඔවුන් වීදි පුරා සෙල්ලම් කරන්නට ගත්තා. “අපිට දැන් පාන් තියෙනවා!” ඔවුන් සතුටින් කෑ ගැසුවා.

ඉනික්බිති හිම වැටෙන්නට ගත්තා, හිම වැටුණාට අනතුරුව තුහින පැතිරෙන්නට වුණා. මංමාවත් රිදියෙන් තැනුණු තරමට බබළමින් දිලිසෙන්නට වුණා. ගෙවල්වල වහලින් පහළට හිම කූරු එල්ලෙමින් තිබුණේ කඩු වගේ. හැමකෙනාම උණුසුම් ලොම් කබා පැළඳගෙන එහා මෙහා ගියා, පුංචි ළමුන් රතු තොප්පි පැළඳගෙන හිම ක්‍රීඩා කළා.

අසරණ පුංචි ලිහිණියාට එන්න එන්නම සීතල වැඩිවුණා. එහෙත් ඔහු කුමාරයාට බෙහෙවින්ම ආදරය කළ නිසා ඔහුව අත්හැර යන්නට සූදානමක් තිබුණේ නැහැ. බේකරි හිමියාගේ අවධානය වෙනතක තිබෙන වේලාවලදී ඔහු බේකරිය අසල වැටී තිබුණු පාන් රොඩු ආහාරයට ගත්තා. අත්තටු ගසමින් සිරුර උණුසුම්ව තබාගන්නට උත්සාහ කළා.

එහෙත් අන්තිමේදී තමන් මියයන්නට නියමිත බව ඔහුට වැටහුණා. කුමාරයාගේ උරහිසට පියාසර කරන්නට ඔහුට ශක්තිය තිබුණේ යන්තමින්. “ආයුබෝවන් ආදරණීය කුමාරයා!” ඔහු මිමිනුවා, “මට ඉඩ දෙනවාද ඔබේ අත සිපගන්නට?”

“ඔබ අවසානයේදී ඊජිප්තුවට යන්නට සූදානම් වීම ගැන මට සතුටුයි පුංචි ලිහිණියෝ” කුමාරයා කීවා “ඔබ මෙහි සිටියා කල් වැඩියි. මම ඔබට ආදරේ නිසා මගේ දෙතොලට හාදුවක් දෙන්න”

“මම යන්නේ ඊජිප්තුවට නෙමෙයි,” ලිහිණියා කීවා. “මම යන්නේ මරණයේ නිවසට. මරණය නින්දේ සොහොයුරා නොවේද?”

එසේ කියා ඔහු ප්‍රීතිමත් කුමාරයාගේ දෙතොල් මත හාදුවක් තබා ඔහුගේ දෙපා පාමුල මැරී වැටුණා.

ඒ මොහොතේම පිළිමය තුළින් අමුතුම ඉරිතැලුම් හඬක් ඇසුණා, හරියට යමක් බිඳී ගියා වැනි හඬක්. ඇත්තටම සිදුවී තිබුණේ පිළිමයේ ඊයම් හදවත හරියටම දෙකට පැළී යාමයි. ඇත්තෙන්ම එය බොහොම දරුණු සීත කාලයක්.

පසුදා උදෑසනින්ම නගරයේ නගරාධිපති නගර සභාවේ නිලධාරීන් දෙදෙනෙක් සමඟ චතුරශ්‍රයේ ඇවිදිමින් සිටියා. ඔවුන් කුලුන පසුකර යද්දී ඔහු පිළිමය දෙස හිස ඔසවා බැලුවා. “අයියෝ, ප්‍රීතිමත් කුමාරයා මහා කසිකබල් පාටයි!” ඔහු කීවා.

“ඇත්තටම කසිකබල් පාටයි!” නිතරම නගරාධිපති කියන දේට එකඟ වෙන නිලධාරීන් දෙදෙනාත් කීවා. එසේ කියා ඔවුන් පිළිමය වඩාත් හොඳින් දැක බලාගන්නට එය කිට්ටුවට ගියා.

“කඩුවේ තිබුණු රත් මැණික හැලී ගිහින්, ඔහුගේ ඇස් දෙකම නැහැ, ඒ මදිවට ඔහුගේ රත්තරන් පාටත් මැකිලා ගිහින්,” නගරාධිපති කීවා. “ඔහු දැන් හිඟන්නකුට වඩා ටිකයි හොඳ!”

“හිඟන්නකුට වඩා ටිකයි හොඳ!” නගර සභා නිලධාරීන් ද කීවා.

“ඔහුගේ දෙපා මුල මැරුණු කුරුල්ලෙක් පවා ඉන්නවා!” නගරාධිපති තවදුරටත් කීවා. “අපි ඇත්තටම ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන කුරුල්ලන්ට මෙතැන මැරෙන්න තහනම් බවට.” නාගරික ලිපිකරුවා මේ යෝජනාව සටහන් කරගත්තා.

ඉතින් ඔවුන් ප්‍රීතිමත් කුමාරයාගේ පිළිමය කඩා දැමුවා. “ඔහු තවදුරටත් අලංකාර නැති නිසා ඔහු තවදුරටත් ප්‍රයෝජනවත් නැහැ,” සරසවියේ කලාව පිළිබඳ මහාචාර්යවරයා කීවා.

ඔවුන් පිළිමය උදුනක ලා උණු කළ අතර ඒ ලෝහයෙන් කුමක් තැනිය යුතුදැයි තීරණය කරන්නට නගරාධිපති විසින් නිලධාරීන් රැස් කර රැස්වීමක් පැවැත්වූවා. “අපි අනිවාර්යයෙන්ම තව පිළිමයක් තැනිය යුතුයි,” ඔහු කීවා, “එය මගේ පිළිමයක් විය යුතුයි.”

“මගේ පිළිමයක්” නගර සභා නිලධාරීන් හැම දෙනාම කියා ඔවුන් බහින් බස් වන්නට ගත්තා. මම ඔවුන්ව අන්තිමට දකිද්දීත් ඔවුන් බහින්බස් වෙමිනුයි උන්නේ.

“මේක නම් හරිම පුදුමයක්!” වාත්තු වැඩපොළේ ප්‍රධානියා තමන්ගේ සේවකයන්ට කීවා. “මේ බිඳුණු ඊයම් හදවත උදුනේ ලෑවත් උණු වෙන්නේ නැහැ. අපිට ඒක ඉවතලන්නට වෙනවා.” ඉතින් ඔවුන් එය මැරුණු ලිහිණියා වීසි කර දමා තිබුණු කුණුගොඩටම එයත් වීසිකළා.

———————————-

“නගරයේ ඇති වටිනාම දේවල් දෙක මට ගෙනැවිත් දෙන්න,” දෙවියන් ඔහුගේ සුර දූතයෙකුට කීවා. සුර දූතයා ඊයම් හදවතත්, මියඇදුණු කුරුල්ලාත් දෙවියන් වෙත ගෙනැවිත් දුන්නා.

“ඔබ හරියටම තෝරාගෙන,” දෙවියන් කීවා. “මගේ පාරාදීස උයනේ මේ පුංචි කුරුල්ලා සදාකාලිකව ගී ගයාවී, ප්‍රීතිමත් කුමාරයා මගේ රන් නගරයේ වෙසෙමින් මට ප්‍රශංසා කරාවි.”

From the book ‘Happy Prince and Other Tales’ by Oscar Wilde, first published in 1888

Published in Sannasa March 2020 Page 16

Picture from Sannasa

%d bloggers like this: