Menu Close

නූගතෙක් ගැන කතාවක්

අද බොහෝ දෙනා උගතුන් ගැන කතා කරති. උගතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි කියති. නූගතුන් තමන් පාලනය කිරීම ගැන දුක්වෙති.
උගතා යනු කවුදැයි සමාජය විසින්ම අර්ථ දක්වාගෙන තිබේ. සමාජ සම්මත උගතෙක් වීමට නම් පාසල් යා යුතුය, ඉන්පසු විශ්වවිද්‍යාලයට යා යුතුය, උපාධි, පශ්චාත් උපාධි ලබා ගත යුතුය. ඉන් පසු ඔබට උගතා යන ලේබලය සමාජය විසින් ලබා දෙනු ලැබේ. මේ කතාව එසේ නොවූ, විසිවන ශතවර්ෂය මුල් භාගයේ එංගලන්තයේ ජිවත් වූ, නූගතෙකු ගැනය. 
විලියම්ට පල්ලියේ රැකියාව ලැබුණේ ප්‍රධාන පියතුමා නිසාමය. ඒ කාලයේ පල්ලියේ ඕනෑම රැකියාවකට ගත්තේ පාසලේ මුල් වසර තුනවත් ඉගෙනුම ලැබූ අයවයි. විලියම් පාසැල් ගියේ එකේ පන්තියට පමණි. විලියම් කුඩා කලදීම ඔහුගේ පියා මියගිය අතර විලියම්ව පාසැල් යැවීමට මවට වත්කමක් නොවීය. පාසල් යාමට විලියම්ටද කිසිඳු කැමැත්තක් නොවීය. මේ නිසා දුප්පත් විලියම්ගේ ළමා කාලය මනරම් විය.
විලියම්ව පල්ලිය අතුගාන වැඩේට ගැනීමට ප්‍රධාන පියතුමා නීතිය නැමීය. ඒ විලියම්ගේ මව සහ පියතුමා අතර තිබූ ඇයි හොඳයිය නිසාය. වයස 14 දී පටන්ගත් පල්ලිය පිරිසිඳු කිරීම වසර විසි පහක් පුරා විලියම් ඉතා සතුටෙන් කරගෙන ගියේය. විලියම්ගේ රැකියාවට කණකොකා හැඬුවේ ප්‍රධාන පියතුමා විශ්‍රාම ගිය පසුවයි. නව ප්‍රධාන පියතුමා නීති කාරයෙකි. ඔහු විලියම් කැඳවා මෙලෙස විධානය කළේය.
“විලියම් නුඹ වහාම පාසැල් අධ්‍යාපනය පටන් ගනින්. නුඹ තුන්වෙනි පන්තිය සමත් වෙනකම් නුඹට ලැබෙන්නේ මෙතෙක් ගෙව් පඩියෙන් බාගයයි. ඊට පස්සේ ආයෙමත් මුළු පඩියම ලැබෙයි. හැබැයි ඉස්කෝලේ යන්න පටන් ගත්තේ නැත්නම් මාස තුනකින් නුඹව අයින් කරනවා”
එදින සවස වැඩපල අවසන් කල විලියම් පල්ලිය වත්තේ කොනක වූ ලී අසුනක් මත ඉඳගෙන ගැඹුරු කල්පනාවක නිමග්න විය. මැදි වයසට පියමං කර සිටින විලියම්ට කුඩා දරුවන් සමග අකුරු ඉගෙනීම සිහිනෙන්වත් සිතා ගත නොහැකි කාරණයකි. කල හැකි එකමදේ රැකියාවෙන් අයින් වීමයි. ප්‍රධාන පියතුමා ළඟ බැගෑපත් වීමෙන් පලක් නොවන බව ඔහු දනී. වසර විසි පහක්ම ඔහුට ජිවිතේ බරක් නොවුයේ පල්ලියෙන් ලැබෙන දෙයින් ඔහු මෙන්ම පසු කලෙක ජිවිතයට සම්බන්ධ වූ බිරිඳ සහ දරුවාද සෑහීමකට පත් වූ බැවිනි. සැමදා පල්ලියෙන් ලැබෙන දහවල් කෑම වේලද, පාස්කුවටත්, නත්තලටත් ලැබෙන අමතර තෑගීද ඔහුට මෙනෙහිවිය. 
ඔහුටත් නොදැනීම අඳුර වැටීගෙන එමින් තිබුණි. වෙනදා මේ වෙලාවට ඔහු නිවසේ ඇති අබලන්වූ හාන්සි පුටුවේ දිගෑදී පුතුගේ සෙල්ලම් බලමින් සිටින්නේය.  ඔහු සැමදා ගෙදර යන විට අතරමග තිබෙන කුඩා කඩයෙන් පාන් ගෙඩියක් ගෙන යන්නේය. එය ඔහු සහ පවුලේ රාත්‍රී කුසගින්න නිවීය. එදින ඔහු කඩය අසලට යන විට දුටුවේ එය වසා ඇති බවයි. බේබද්දෙකු වූ කඩේ අයිතිකරු සැමදාම හවස පහේ කණිසම වැදෙද්දී කඩය වසා අසල ඇති තැබෑරුමට රිංගයි. ඔහු පාන් ගෙන එන්නේ උදෑසන පමණි. සවසට විකුණන්නේද එම පාන්මය. සමහර විට ඒවා පසුදාටද අලෙවි කරයි. 
පවුලම කුසගින්නේ තැබීමට නොහැකි බැවින් විලියම් සැතපුම් දෙක තුනක් ඈතින් පිහිටි බේකරිය වෙත පිය නැගීය. එවන විටත් බේකරියේ හවස සෑදු පාන්වල රස්නේ ගතිය තිබුණි. එතැන් සිට ගෙදර යන ගමන් විලියම් කල්පනා කරන්න විය. 
ඒ ප්‍රදේශයටම පාන් ගැනීම සඳහා ඇත්තේ බේබදු මුදලාලිගේ කඩය පමණි. එයින්ද පාරිභෝගිකයන්ට යහපත් සේවයක් නොලැබේ. මේ නිසා පාන් විකිනීමට කුඩා කඩයක් අටවා ගතහොත් ජීවිකාව සරි කරගත හැකි වෙතැයි විලියම්ට සිතුනි. 
පසුදා පල්ලියට ගිය විලියම් ප්‍රධාන පියතුමා හමුවී තමා පල්ලියේ රැකියාවෙන් ඉවත්වන බව පැවසීය. ප්‍රධාන පියතුමා නීතිකාරය වුනාට හිත හොඳ පුද්ගලයෙකි. ඔහු විලියම්ට මාස තුනක පඩිය දුන්නේය. ඒ මුදලත් වසර විසිපහක් තිස්සේ ඉතුරු කරගෙන තිබූ කුඩා මුදලකුත් යොදා විලියම් පාර අයිනේ පෙට්ටි කඩයක් අටවා ගත්තේය. 
දැන් ඔහු හිමිදිරියේ කුඩා අත් කරත්තයකුත් තල්ලු කරගෙන බේකරියට ගොස් පාන් රැගෙන එයි. උදේ දහය පමණ වන විට ඔහුගේ පාන් විකිණී අවසන් වෙයි. ඉන්පසු ගෙදර යන විලියම් බිරිඳගේ වැඩපල වලට උදව් වෙයි. නැවතත් හවස තුනට පමණ ඔහු බේකරියට ගොස් පාන් ගෙන එයි. මේ ගමනට සමහර දිනවල ඔහුගේ බිරිඳ සහ පුතාද එකතුවෙයි. ඊළඟට ඔවුන් ගෙදර එන්නේ රෑ හතට පමණය. 
ක්‍රමයෙන් විලියම්ගේ පාන් ව්‍යාපාරය සරුවිය. කඩයට පැමිණෙන කිහිප දෙනෙකු සමග කතා බස් කරන විට තේරුණේ ඔවුන් එහා ටවුමේ සිට පැමිණෙන බවයි. මේ අනුව ඒ ටවුමේද කඩයක් දැමීමට විලියම්ට සිත් විය. එය තම බිරිඳ සහ පුතාට ඔහු බාර දුන්නේය. 
වසරක් යන විට විලියම් පෙට්ටි කඩයෙන්  තරමක විශාල ස්ථිර ගොඩනැගිල්ලකට මාරු විය. බිරිඳගේ කඩයත් එසේම මාරු විය. තව ටික කලක් යද්දී ඔහු තමාගේම බේකරියක් සුළුවෙන් ඇරඹීය. එය බේකරි දෙකක් තුනක් වශයෙන් වැඩි විය. වසර දහයක් යන විට “විලියම් බේකර්ස්” මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් වී තිබුණි.  
නිෂ්පාදනය දිනෙන් දින ඉහල යන බැවින් අඛණ්ඩ තිරිඟු පිටි සැපයුමක අවශ්‍යතාවය විලියම් මහතාට තදින් දැනෙන්න විය. මේ සඳහා ඔහු ස්කොට්ලන්තයේ තිරිඟු පිටි නිපදවන්නන්ගේ සංගමය සමග ගිවිසුමකට පිවිසුණි. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එඩින්බර්ග් නුවර පුරපතිද සහභාගී විය. කිසිඳු අකුරක් ලිවීමට හෝ කියවීමට නොහැකි විලියම් ගිවිසුම්ගත වුයේ මහපට ඇඟිලි සලකුණ තැබීමෙනි. මේ පිළිබඳව එඩින්බර්ග් පුරපති තුමා යම් උපහාසයක් මුසුවූ හඬකින් මෙසේ කීවේය.
“විලියම් මහත්මයා, ඔබ විධිමත් අධ්‍යාපනයක් ලබා සිටියා නම් අද මොනවා කරනවා ඇත්ද?”
මුවඟට සිනහවක් නගා ගත් විලියම්, “පල්ලිය අතුගානවා” යැයි සැමටම ඇසෙන්න කීය.

%d bloggers like this: