Menu Close

Ship of Thesus (2012)

ජෛන ආගමික ආධ්‍යාත්මික හරයන් පුරුදු පුහුණු කරන පූජකයින් පිරිසක් ඈතට විහිදුණු අබලන් මාවතක් දිගේ ඇවිද යනවා. කොයි අත බැලුවත් ක්ෂිතිජ ඉම දක්වාම පැතිරුණු අනත්ත තැනිතලා බිමක් පමණයි. තැනිතලාවේ පිහිටුවා ඇති හුළං පෙති නිතරම හුළඟට කරකැවෙමින් තිබෙනවා. ඒ සුළං පෙති වල යෝධ සෙවණැලි මතින් තනි සුදු ඇඳුමෙන් සැරසුණ පූජක පිරිස ඈතට ඈතට ඇවිද යන අතරේ පසුබිමෙන් ඇහෙන්නෙ හිත නිවන සියුම් සංගීතයක්. මේ නොනැවතී කරකැවෙන සුළං පෙති ජීවිතේ විශම චක්‍රය ද ? අනන්තය දක්වාම විහිදෙන වළ ගොඩැලි පිරුණු මාවත නොනිමි සංසාරය ද.?
ඇත්තටම අපි කවුද ? අපි පරමාදර්ශ විදිහට හිස මත තියාගෙන ඉන්න විශ්වාසයන් දෙදරා යන්න පටන්ගත්තට පස්සෙ අපිට ඉතිරි වෙන්නෙ මොකක්ද ? අපි සූදානම්ද ජීවිතේ විසින් අපිට මුණගස්වන අස්ථිරතාවන් ඒ හැටියට බාරගන්න ? නැත්නම් හිනාවෙන්න හේතු දහසක් තියෙද්දිත්, ලතැවි ලතැවි ඉන්නෙ ඇයි මිනිස්සු..? කෑගහල අඬල, වැළපිල, සටන් කරල නමුත් වෙනස් කරගන්න බැරි සමහර දේවල් අපිට ඇති. සමහර දේවල් හමුවේ අපි විසින් අපිව ම පීඩාවට පත්කර ගැනීම විතරක් නොවෙනස්ව පවතිනව ඇති. ඒත් මොහොතක් නතරවෙලා බැලුවොත්.. ජීවිතේ මහ පොතක් වගේ.. කියවා ගත හැකි දේවල් බොහොමයි.. අපි පුරුද්දට ඔහේ ගසාගෙන යනවා මිස මේකෙ සැබෑ ස්වරූපය කියවගන්න උත්සහ කරන්නෙ නෑ.. Ship of Thesus මේ කිසිම ගැටලුවකට උත්තර සපයනව වෙනුවට අපිට මේ පැවැත්මෙ අනියතතාවන් දිහා බලාඉන්න සලස්වනව. සවිස්තරාත්මකව ඉදිරිපත් වෙන සිද්ධිවාචක ස්වරූපයකට වඩා, සංක්ෂිප්තව (Abstract), රූපරාමු සහ පුද්ගලයන් අතරෙ හුවමාරු වෙන දෙබස් ආධාරයෙන් මේ චිත්‍රපටය ලොකු කතාවක් කියනව. මේක සිනමා කවියක් වෙන්නෙ ඒ නිසා. කවියක් කියන්නෙ භාෂාවන් මතු කරගන්න පුලුවන් සංඥාර්ථ, ධ්වනිථාර්ථ, උත්ප්‍රාස මේ දේවල් අරගෙන ජීවිතය කියන විශාල පදාසයෙන් පොඩි අංශුමාත්‍රයක් අරගෙන පෙන්වීම. කවියකින් දෙයක් විස්තර කරන්නෙ නෑ. දෙයක් ඉඟිකරනව පමණයි. සිනමාවත් එවැනි ගැඹුරු කාව්‍යාත්මක ප්‍රකාශනයක් විදිහට භාවිත කලහැකි බවට හොඳ උදාහරණයක් Ship of Thesus. එකිනෙකාට අසම්බන්ධිත චරිත තුනක් මුල්කරගෙන වැඩි කලබලයකින් තොරව ගලා යන Ship of Thesus චිත්‍රපටය ඒ අතින් වඩා සමීප වෙන්නෙ රූපමය භාවනාවකට. චිත්‍රපටය ඇතුලෙ අපි දකින බොහොමයක් සිදුවීම් වලට ඇයි එහෙම වෙන්නෙ කියල අවස්තා සම්බන්ධයක් හදල දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් අතරෙ සිදුවන මානුෂික ගණුදෙනු දිහා අපි බලාඉන්නව.
අවසාන වශයෙන් ප්ලේටෝ ගෙ ගල් ගුහාව පිළිබඳ උපමාකතාව ගැන යමක් සඳහන් කරන්නම්. මොකද ඒ අවබෝධය මේ චිත්‍රපටය නරඹන කෙනෙකුට වැදගත් වෙන නිසා. සමාජය කියන්නෙ ගල්ගුහාවක හිරවුණු මිනිස්සු සමූහයකට සමාන දෙයක් බව ප්ලේටෝ කියනව. මේ ගුහා ගත මිනිස්සු ආලෝකය ලබාගන්නෙ ගිනිමැලයක ආධාරයෙන්. ගිනිමැලයෙ ආලෝකයෙන් ගල් බිත්ති මත මැවෙන හෙවණැලි සැබෑ ම දේවල් බවට මේ ගුහාගත මිනිස්සු විශ්වාස කරනව. නමුත් මේක හුදු මායාවක් පමණක් බව අවබෝධ කරගන්න බොහෝම ටික දෙනෙක් විතරක් ගුහාවෙන් පිටත ලෝකයට පාර හොයාගන්න බව ප්ලේටෝ කියනව. ගුහාගතව ජීවත්වෙන්න කැමති මිනිස්සු එයින් පිටස්තර ලෝකයක් සොයා යන්න කැමති නෑ. ඔවුන්ට අවශ්‍ය තමන් දකින මේ මායාව සැබෑවක් බවට අදහගෙන ඒ මත්තෙම ජීවිතේ ගෙවා දමන්න. ඉතින් මේ ප්ලේටෝ ගේ ගුහාව කොහොමද චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ කියන කාරණය නොකියා ඒ කුතුහලය පමණක් ඉතිරි කරන්නම්. ඒ වගේම Ship of Thesus කියන්නෙ මොකක්ද කියල චිත්‍රපටය ආරම්භයෙදිම පැහැදිලි කරනව. ඒ මොකක්ද කියල වටහා ගන්නත් නරඹන කෙනෙක්ටම ඉඩ තිබ්බොත් හොඳයි කියල මං හිතනව.
%d bloggers like this: