Menu Close

කලින් එලියට CR&FC කණ්ඩායමට පරීක්ෂණයක්.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරේදා (1 වැනිදා) පොලිසිය සමග පැවැති තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරගයේ නියමිත කාලයට පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනය විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට ඇස් ලෙඩ වැලඳී ඇති බව පවසමින් තරගය අවසන් වීමට මත්තෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම මෙසේ ක්‍රීඩාංගණයෙන් පිටතට ගොස් ඇත.

එම රෝගය වැලඳී ඇති බවට සැක පළ කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙක්ට අදාළ රෝගය වැලඳී ඇති බව තහවුරු වූයේ යැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන්කර සිටිනවා.

කොළඹ පොලිස් පාර්ක් පිටියේ පැවැති තරගයේ 35 වැනි මිනිත්තුවේදී මුල් වරට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයන් පැති රේඛාව අසලට ගොස් ක්‍රීඩාංගණයෙන් ඉවතට යාමේ සූදානමක් දිස්වුවත්, ඔවුන් යළිත් වරක් තරගය හා එක්වුනා. නමුත් ගෙවුණු 65 වැනි මිනිත්තුවේදී අදාළ හේතුව පදනම්කර ගනිමින් සී.ආර්. ක්‍රීඩකයෝ තරගයෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒත් සමගින් තරගයේ තවත් විනාඩි 15කට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී ලකුණු 27-16කින් ජය වාර්තා කිරීමට පොලිස් පිලට හැකි විය. ජයග්‍රාහී පොලිසිය උත්සාහක දිනුම් හතරක්, ගෝල ප්‍රවර්තනයන් දෙකක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරන අතරවාරයේදී සී.ආර්. ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකි වූයේ උත්සාහක දිනුමක්, ගෝල ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර තුනක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමගින් සහභාගි වූ තරග 13න් 9ක් ජයගෙන සිටින පොලිසිය කණ්ඩායම් ශ්‍රේණියේ දෙවැනි ස්ථානයට උසස් වූ අතර දෙවැනි ස්ථානයේ පසු වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු විය.

Share with Friends

%d bloggers like this: