Menu Close

ISS හි සිදුවූ අමුතු පරීක්ෂණ

   අපි හැමෝම දන්නා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මිනිසුන්ට වාසය කරන්න පුළුවන් විශාල කෘතීම චන්ද්‍රිකාවක්. ((habitable artificial satellite). විවිද වර්ගයේ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන තැනක් තමා මේක. පෘථිවියේ තියෙන අභ්‍යවකාශ ආයතන 5ක් එකතුවෙලා නිපදවපු දෙයක් මේ ISS එක. 
NASA (United States), 
Roscosmos (Russia), 
JAXA (Japan), 
ESA (Europe), 
CSA (Canada)
මෙන්න මේ ආයතන වල සහයෝගිතාවයෙන් තමා ISS එක වැඩ කරන්නේ. මේක ඇතුලේ සිදුවන දහසක් පරීක්ෂණ අතරින් සිදුවෙච්ච අමුතු විදියේ පරීක්ෂණ කිහිපයක් තමයි මේ.
1. ඉලෙක්ට්‍රොනික නාසය (E -Nose)
මේ මධ්‍යස්ථානය ඇතුලේ තියෙන වාතයේ ඇති ගඳ සුවද දැන ගන්න තමා මේ ඉලෙක්ට්‍රොනික නාසය බාවිතා කරලා තියෙන්නේ. කොහොමත් අභ්‍යවකාශයෙදි අපගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව මදක් අඩුවෙනවලු. කොහොමටත් සංවෘත පද්ධතියක් වෙච්ච මේ පාවෙන විද්‍යාගාරයේ වාතයේ සංයුතිය මනින්න මේවගේ උපකරණ අවශ්‍යයි . කෑම නරක් වෙන්න කලින් ඒක දැනගන්නත්, ඊට අමතරව වාතයේ සිදුවන වෙනත් වෙනස් කම් දැන ගන්නත් මේක යොදා ගෙන තියෙනවා. 2008 දී පමණ Endeavour ෂටලය මගින් රැගෙන ගොස් ස්ථාපනය කරපු මේ නාසය සෙන්සර් 32කින් සමන්විත උපකරණයක්. බොහෝ කාබනික සහ අකාබනික ගන්ධයන් හඳුනාගැනීමට හැකියාව තිබුණු මේ උපකරණය නැවත මාස 6කට පමණ පසු Discovery ෂටලය මගින් පොලවට රැගෙන විත් ඒ දත්ත වෙනත් සංවේදක උපකරණ වැඩි දියුණු කරන්න යොදාගෙන තියෙනවා.
 මේ තියෙන්නේ ඔය කියන නහය 
ISS එකේ මේ සම්බන්ද පද්ධති වැඩි දියණු කරන්න මේ උපකරණයෙන් ලබා ගත්ත දත්ත ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.
2. පාවෙන සෙක්ස්
තාම නම් කවුරුවත් මේ වැඩේ කරලා නැහැ මම හිතන්නේ. හැබැයි අනාගතේ වසර ගණන් යන අභ්‍යවකාශ චාරිකා වලදී කරන්නත් කවද හරි අභ්‍යවකාශ දරුවෝ බිහි කරන්නත් අවශ්‍ය කරන මුලික අවදියේ පරීක්ෂණ මේක ඇතුලේ සිද්ද වෙනවා. ශුන්‍ය ගුරුත්වය යටතේ කරන්න ඕනේ මේ පරීක්ෂණ කරන්න වෙන තැනක් නැහැනේ. කොහොම වුනත් ඔයාල අපි ආසාවෙන් බලාගෙන ඉන්න ජාතියේ පරික්ෂණයක් නෙමේ මේ කරලා තියෙන්නේ. ක්ෂිරපායිගේ ප්‍රජනනය ගැන කරන මේ පරීක්ෂණ සඳහා කරලා තියෙන්නේ පරීක්ෂණාගාර මියන්ගේ ශ්රුක්කානු අභ්‍යවකාශයට අරන් ගිහින් ISS එකේ අවුරුදු 1-2ක් අතර කාලයක් තැන්පත් කරලා තියල නැවත පොලවට ගෙනල්ල පොළොවේ ඉන්න මියන්ගේ සමග සංසේචනයට යොදා ගන්න එක. මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලින අභ්‍යවකාශ චාරිකා හෝ ශුන්‍ය ගුරුත්වය යටතේ ජිවත් වෙනකොට කොහොමද බලපාන්නේ කියන එක . මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට සෑහෙන මට්ටමක DNA විකෘති වීම් (Breakdown) ඇතිවෙනවා කියල හොයාගෙන තියෙනවා මාස නමයක් වගේ තියල ගෙනාපු සාම්පල් වල .
ISS එකේ ඉංජිනේරු Nicole Stott කියන අක්ක ඔය මියන්ගේ පරීක්ෂණ කරන පෙට්ටියක් ළඟ ඉන්න පොටෝ එකක් 
තව දුරටත් ඉතින් මේවා ගැන පරීක්ෂණ සිද්ද වෙනවා 
    
3. නොමැරෙන පණුවන් 
මේක පරීක්ෂණයක් කරන්න ගිහිල්ල බලාපොරොත්තු නොවුන ලෙස සිදු වෙච්ච ප්‍රතිපලයක්. 2003 දී සිදු වෙච්ච Columbia ෂටල අනතුර ගැන හැමෝම අහල ඇති. මේ Columbia ෂටලය තනිකරම වගේ  ISS එකේ පරීක්ෂණ කටයුතු සඳහා වෙන් වුනු ගමනක්. මෙහදී අරන් ගිහින් තියෙනවා nematode නම් වටපණු විශේෂයක් ඔවුන්ගේ ප්‍රජනනය සහ වර්ධනය ගැන හදාරන්න. 
ආපසු ගමනේදී අවාසනාවන්ත විදියට මේ ෂටලය විනාශ වෙලා සියලු අජටාකාශගාමීන් ජිවිතක්ෂයට පත්වුනත් මේ වටපනුවන් ටික නොමැරී ඉඳල  තියෙනවා. ෂටලය පුපුරා යාමේදී ඇතිවන අධික තාපයට හෝ වායුගෝලීය පීඩන වෙනස් කම් හෝ වෙනත් කිසිම දෙකින් හානි නොවී මේ වට පණුවන් ජිවත් වීම ෂටල අනතුරෙන්  සිදුවූ හානිය සමග බලන කොට නොසලකියයුතු දෙයක් විදියට පෙනුනත්, විශ්වයේ ජිවය ඇතිවීම කියන දේ පිලිබදව ඒක හොඳ සාක්ෂියක් කියල තමා කියන්නේ. මොකද උල්කාපාත, වල්ගාතරු ආදී දේ මගින් ජිවය ව්‍යප්ත වෙන්න පුළුවන් කියල තියෙන මතයට ලොකු සාක්ෂියක් මේ වට නොමැරුණු වට පණුවන්.
මේ අන්න එහෙම ඉතිරි වෙච්ච වට පනුවන්ගෙන් පැවත එන වට පනුවන්ගේ පින්තුරලු. 
        
4. ඇවිලුණු ගිනි දැල් 
ගින්න සහ ගිනිදැල් වල ක්‍රියාකාරිත්වයට  ශුන්‍ය ගුරුත්වය යටතේ කොහොමද වෙන්නේ කියල බලන්න කරපු පරීක්ෂණයක් මේක. ඉටිපන්දම් දැල්ලක් අපිට හුරු පුරුදු විදියට කහපාටට ඉහලට එසවී දැල්වෙන්න පෘථිවි ගුරුත්ව නිසා ඇතිවන සන්වහනයේ ප්‍රතිපලයක් විදියට. නමුත් ශුන්‍ය ගුරුත්වයේදී මේ දැල්ල වක්‍රාකාර වෙනවා. දැලි සෑදීම ඉතා අවම වීම සහ දහනයේ කාර්යක්ෂමතාව ඉහල අගයක් ගැනීම වැදගත් කරුණු. මේ පින්තුර දෙකේ පෙන්නුම් කරන්නේ ගිනි දැල්ල පෘතිවියේදී සහ ශුන්‍ය ගුරුත්වයේදී ඇතිවන හැටි. 
     නිල්පාට දැල්ල කහපාට දැල්ලට වඩා කාර්යක්ෂමයි. දැලි අඩුයි. දුම් අඩුයි   
5. චන්ද්‍රිකා සරුංගලය.
මේ වැඩේ කරලා තියෙන්නේ කේබලයක ඇමිණු කුඩා චන්ද්‍රිකාවක් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය හරහා යනකොට විදුලිය නිපදවෙනවද කියන එක පරික්ෂා කරන්න. මේ පරීක්ෂණය අවස්ථා දෙකකදී  සිද්ද කරලා තියෙනවා. Atlantis’ STS-46 1992 වසරේදී සහ Columbia’s STS-75 1996 දී. Tethered Satellite System (TSS) කියල හඳුන්වපු මේ වැඩේ කරලා තියෙන්නේ NASA සහ ඉතාලියානු අභ්‍යවකාශ ආයතය එකතු වෙලා. Atlantis පරීක්ෂණයේදී මීටර් 256ක් දුරකට පමණයි මේ කුඩා චන්ද්‍රිකාව ඔවුන්ට යවන්න පුළුවන් වෙලා තියෙන්නේ. කේබලය හිර වෙලා නමුත් ඊට වසර 4කට පස්සේ 1996 දී Columbia පරීක්ෂණයෙදී මේ ගැටගැසූ චන්ද්‍රිකාව 19.7Km දුර යවන්න පුළුවන් වෙලා තියෙනවා. පරීක්ෂණ දෙකම 100% සාර්ථක නැති වුනත් දෙවනි පරික්ශයේදී කේබලය කැඩී යන්නට පෙර 3,500 volts සහ 0.5 amps ක විදුලියක් ජනනය කර ගන්න පුළුවන් වුනා කියල ඔවුන්ගේ වාර්තා වල තියෙනවා.


මේ තියෙන්නේ Atlantis ෂටලයේ ඉඳල යවපු සරුංගල් චන්ද්‍රිකාවේ පොටෝ එකක්

6. සුවඳ රෝස 
රෝස සුවඳට මොනවා වෙයි ද ? මේක විද්‍යාත්මක පරීක්ෂණයක් විදියට කලාට පොඩි ව්‍යාපාර අදහසකුත් එක්ක කරපු වැඩක්. International Flavors and Fragrances (IFF) කියන සමාගමේ අදහසක් අනුව ශුන්‍ය ගුරුත්වයේදී කොහොමද සුවඳ වෙනස් වෙන්නේ කියල බලන්න කරපු වැඩක් මේක. 1998 දී Discovery ෂටලය STS-95 කියන මිෂන් එකේදී තමා මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ආයතනය විසින් කුඩා රෝස ශාකයක් ෂටලය සමග යවල තියෙනවා. මේ පරීක්ෂණයේදී ඔවුන් ශාකයෙන් සුවඳ නිකුත් කරන වාෂ්පශීලි ද්‍රව්‍ය එකතු කරලා පරික්ෂා කරලා තියෙනවා. මේ පරීක්ෂණ වලදී එම ශාකයේම පොළොවේ තිබුණු එකට වඩා මේ අරන් ගිය එකෙන් නිකුත් වූ ද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්ෂව අඩු බවත් ඔවුන්ට ඉතාමත් වැදගත්ම කරුණ වූ සුවඳ පොළොවේ තිබුන ශාකයෙන් නික්මෙන සුවඳට වඩා සෑහෙන වෙනස් බවත් සොයාගෙන තියෙනවා. 
බිස්නස් අදහස සාර්ථක කර ගනිමින් පසුව මේ සුවඳ යොදාගෙන Shiseido Cosmetic කියල ආයතනයක් Zen නමින් විලවුන් වර්ගයක් නිපදවල තියෙනවා. පුළුවන් නම් හොයාගෙන ගාල බලන්න අභ්‍යවකාශ රෝස සුවඳ කොහොමද කියල. 

මේ තියෙන්නේ 1998 දී ඔය කියන පරීක්ෂණයට යොදා ගත්ත රෝස ශාකය 

මිට අමතරව තව අමුතු විදියේ පරීක්ෂණ මේ ISS එක ඇතුලේ තව වෙනවා ඇති . මේවා මේ ටිකක් පරණ අමුතු විදියේ දේවල් නිසා ලියල දැම්මේ.

ප.ලි

මේ අභ්‍යවකාශ කටයුතු සහ ලොව පුරා සිදුවන රොකට් ගුවන් ගත කිරීම් ආදිය ගැන උනන්දු වන අය සඳහා  අපේ දේශකයා ප්‍රමුඛ ව අපි හදා ගත්ත ෆේස්බුක් ගෘප්  එකක් තියෙනවා නම Nova Nauka. කැමති අය  ඇවිල්ල එකතු වෙන්න. මෙන්න ලින්ක් එක 

https://web.facebook.com/groups/1999861203467053/

 

%d bloggers like this: