Menu Close

ශුක්‍රාණු වල ජීවිත කාලය. 

6799741_1මින් පෙර ලිංගික කරුණු ආශ්‍රිතව දැමූ විහිළු ලිපි දෙකක් නිසා, සමහර අය මට මැසේජ් කර නොයෙක් ආකාරයේ ප්‍රශ්ණ අසා තිබිණ. මුලින්ම කියන්න ඇත්තේ මා දොස්තර කෙනෙක් හෝ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් නොවන බවය. එහෙයින් ඒ ප්‍රශ්ණ වලට ‘බොහෝවිට සත්‍ය’ විය හැකි පිළිතුරු සේ, පොදු ‘සීරියස්’ ලිපියක් ලීමට සිත් විය. මේ අදහස් හිතවත් දොස්තරවරුන් ගෙන් සහ පොත පත මගිනි.

ශුක්‍රාණු, පිරිමි ශරීරයෙන් පිටත කොතරම් කාලයක් ජීවත් වේද ? නාන තටාකයක ශුක්‍රාණු පවතීද යන්න තීරණය වන්නේ මේ පිළිතුර මතය. වාතයට නිරාවරණය වූ විට ශුක්‍රාණු විගස මැරී යයන්නේ වියළී යෑම නිසාය. මේ ශුක්‍රාණු වේලී යාම ඉක්මන් වන තරමට ඒවා විනාශ වීමද සිදු වේ.එහෙත් එසේ වියැලී යාමට අමතරව එම විනාශ වී යන කාලය තීරණය වන්නේ තවත් පරිසර පරාමිතික මතය.

කෘතීම සේ ගැබ් ගැන්වීම සඳහා භාවිතා කෙරෙන ක්‍රම වන intrauterine insemination (IUI) හෝ  in vitro fertilization (IVF), අවස්ථා වලදී, ශුක්‍රාණු කල් තබා ගැනීමට භාවිතා කරන සාමාන්‍ය ‘ඉන්කියුබේටරයක්’ මගින් පැය 72ක් හෙවත් දින තුනක් පමණ ශුක්‍රාණු තබා ගත හැක. එහෙත් මුදවන ලද ශුක්‍රාණු [Frozen sperm] වසර ගණනාවක් වුවද තබා ගත හැක.  ගැහැණියකගේ ශරීරයට ඇතුල් වූ ශුක්‍රාණු [inside the uterus] දින පහක් පමණ කාලයක් ජීවත් වේ.

කෙනෙක් අසා තිබුනේ මාසික ඔසප් වීම වන කාලයේ ගැබ් ගත හැකිද යන්නය.

හිතවත් දොස්තර මහතෙක්ගෙන් මේ ප්‍රශ්නය ඇසූ විට පිළිතුර වූයේ; එය විය හැකි බවය. එනම් ශුක්‍රාණු වල ඇති තෙතමනය යෝනි මාර්ගයේ පවතී නම්, දින කිහිපයක් ඒවා ජීවත් වන නිසා, ඔසප් කාලය අවසානය එමගින් ස්ත්‍රිය ගැබ් ගැනීමට හැකිය. ඔක්සිජන් නිසා ශුක්‍රාණු විනාශ නොවේ. ශුක්‍රාණු වල චලනය, ඒවා තෙතට තිබෙන තාක් විය හැක. ආරක්‍ෂිත නොමැති ගුධ සංසර්ගය හේතුවෙන්ද ගැබ් ගැනීමට හේතු වන්නේ, ශුක්‍රාණු ඒ සමීපව ඇති යෝනි මුඛයට ගලා ඇතුල් වීමට ඉඩ ඇති හෙයිනි. 

එසේ හෙයින් කන්‍යාවකට දරුවෙක් ලැබීම ප්‍රාතිහාර්යයක් නොවන්නට ඉඩ ඇත.

මේවා ලියන විට විහිළු කතාවක් ලියන්නට නම් සිතේ. ශුක්‍රාණු දෙකක් අතර වූ සාකච්චාව මෙසේ විය.

ශුක්‍රාණු 1 :- … “ඩිම්බයක් ලඟට යන්න තව කොච්චර වෙලා ඇයිද ? මට නම් දැන් හරි මහන්සියි…!
ශුක්‍රාණු 2:-  … “වෙලා යයි වගේ පේනවා … !..  “තාම උගුර පහු කළා විතරයි… !

නාන කාමරයක බේසමක් හෝ නාන තටාකයක දී ශුක්‍රාණු කාන්තාවකගේ ශරීරයට ඇතුල් වීමේ ඉඩකඩක් ඇත්තේම නැති තරම් වේ. විශේෂයෙන් උණුසුම් ජලයේ හෝ රසායනික ද්‍රව්‍ය ඇති ජලයේ ඇති ශුක්‍රාණු තත්පර ගාණකින් විනාශ වේ. ඇල් මැරුණු ජලයේ ශුක්‍රාණු විනාඩි කීපයක් ජීවත් වේ. එහෙත් මෙහිදීද එම ජලයේ සිට කාන්තා ශරීරයකට ශුක්‍රාණු යෑමට තරමක් කල් යන නිසා, ඊට පෙර ඒවා විනාශ වේ. මක්නිසාදයත්, ශුක්‍රාණු යෝනියේ සිට, ගැබ්ගෙල [Cervix] තෙක් පැමිණ, එතැන්සිට ෆැලෝපියන් නාල [fallopian tubes] හරහා  ගර්භාෂය [Uterus] තෙක් යා යුතුය.

ශුක්‍රාණු චලිත වේගය හා සසඳන විට, මෙය තරමක් දීර්ඝ ගමනකි. ශුක්‍රාණු විනාශ වීමත්, එහි වේගයත් ගැබ් ගැනීම පිළිබඳ බලපාන කරුණු වේ. ශුක්‍රාණු වල මේ ගමන ඩිම්බ තෙක් නොයන්නේ නම්, ගැබ් ගැනීමක් සිදු නොවේ. ඒ නිසා මේ ආකාරයෙන් ගැබ් ගැනීමක් සිදු වීම, ‘නොවන්නේමය’ යන තරමට නිගමනයකට පැමිණිය හැක.

සාමාන්‍ය සංසර්ගයකදී ශුක්‍රාණු මිනිත්තු කීපයකින් ෆැලෝපියන් නාල වෙත යොමු වේ. මේ අවස්ථාව සරු කාලයක් නම්, හෝමෝන බලපෑම හේතුවෙන් ඒ ගමන ශුක්‍රාණු වලට තවත් පහසු වේ. ගැබ් ගැනීමක් පහසු වන්නට ගැබ් ගෙල ශ්ලේෂ්මල [Cervical mucus] තෙත්ව, ප්‍රශස්ත ආකාරයෙන් තිබිය යුතුය. ශුක්‍රාණු තරලයේ ඇති ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම මේ ගැබ් ගැනීමට බාධාවක් වන එකම එක කරුණක් පමණි. ගැබ් නොගැනීමට එය පමණක් එකම හේතුව නොවේ.   

එසේ හෙයින් ශුක්‍රාණු වල ජීවිත කාලය ගැබ් ගැනීම සඳහා වන වැදගත් පරාමිතියකි. අසහනය [Stress] , ඉහළ උෂ්ණත්වය, සමහර ඖශධ වර්ග, වැරදි ආහාර පාන යනාදිය නිසා ගැබ් ගැනීම වැළක්වේ.

එසේ හෙයින් ඉස්ලාමික මහාචාර්ය වරු කී පළියට නාන තටාක වල ගැබ් ගැනීම් වත්, පැරණිය යයි කියන සමහර පොත පතෙහි ඇති ආකාරයට ස්ත්‍රියකගේ නාභිය හෙවත් බුරිය, පිරිමියෙක්ගේ ඇඟිල්ලකින් ඇල්ලූ විට ගැබ් ගන්නේ නැත. මෙහි ඒ පොතට තරමක් වැරදී ඇති බවක් පෙනේ. ‘බුරිය’ සහ ‘ඇඟිල්ල’ යන වචන ඒ කාලයේ කුණුහරුප වෙන්නට ඇත. තවද පැරණි ජනප්‍රවාද වල ඇති ආකාරයට, පිරිමින් නාන තැන් වලට ස්නානය සඳහා යන ස්ත්‍රීන් අනාරක්ෂිත ගැබ් ගැනීම් වළකාලීමට ‘කැවුමක්’ කා යා යුතු බවද කියැවේ. කැවුමක් කෑම කෙසේ වුවද, කැවුම රැගෙන කපාටයක් සේ යෝනියේ,…   … නෑ එක්කෝ, ඕව කියන්න හොඳ නැහැ …;)

මේ අතර බුදු දහමේ කියවෙන ගැබ් ගැනීමට හේතුවන කාරණා තුනද විමසීම වටී.

එනම්, 1.ස්ත්‍රියගේ සරු කාලය, 2. ගැහැණු පිරිමි සංසර්ගය සහ 3. උපදින්නට උරුම කාරයා එතන සිටීම [The being to be born should be existed at the time, – Reference:- What the Buddha said by Ven Narada thero ] යන කාරණා තුනම එකවිට සිදු විය යුතුය. මේ අවසාන කාරණාව නම් නවීන විද්‍යාවට මෙතෙක් අසු වී නැති තැනක් බව, දරුවන් ලබා ගැනීමට බොහෝ වෙහෙස වූ යුවලක් එවන ලද මැසේජ් එකක තිබිණ. 

දරුවන් නොමැති වුවද, ඔවුන් දරුවන් ලබා ගැනීමට අවශ්‍ය වන සාධක වලින් පොහොසත්ව සිටියහ. එසේම ආර්ථක වශයෙන්ද පොහොසත් වූ ඔවුන් එංගලන්තයේ රෝහළක් කරා ගියේ, කෘතීම සේ දරුවන් ලබා ගැනීමේ ක්‍රමයකින් දරුවෙක් ලබා ගැනීමටය. ඇත්ත වශයෙන්ම ඒ රෝහළ , රෝහළක්ම පමණක් නොව නවීන විද්‍යාගාරයකින්ද සමන්විත විය. නිරෝගී ඩිම්බයකට එක් කල ශුක්‍රාණු මගින් යුක්තානුවක් සාර්ථකව තැනිණ. එය ගර්භාශයේ තැන්පත් වීමද සාර්ථකව සිදු විය.

නමුත් දින කීපයකදී පරීක්ෂා කරන විට ගැබ් ගැනීමක් සිදු වී තිබුනේ නැත. මේ ආකාරයට බොහෝ වතාවක් එම පරීක්ෂණය කලද ගැබ් ගැනීමක් සිදු නොවීය. සාමාන්‍යයෙන් 20%- 30% පමණ ප්‍රමාණයක් ගැබ් ගැනීම් නොවන බව එහි සිටි දොස්තරවරුන්ගේ මතය විය. ඒ පරිශ්‍රමය ඒ ආකාරයේ දෙයක් විය. ගැබ් ගැනීමකට වාසනාවක් නැතැයි සිතු මේ යුවල නැවත ලංකාවට පැමිණියහ. තවත් වසර කීපයකින්, කිසිම ආකාරයේ කෘතීම ක්‍රමයක් භාවිතා නොකර ඒ ස්ත්‍රිය ගැබ් ගන්නා ලදී. ස්වභාවික සේ නිරෝගී දරුවෙක් බිහි විය.

මේ ආකාරයේ උදාහරණයක් අර්ථ දැක්විය හැකි එකම ක්‍රමය ඉහත දැක්වෙන 3 වන හේතුව විය හැක. 

මින් පෙර විහිළුවක් සේ ලියු ලිපි සීරියස් ගන්නේ නම්, දුකෙන් පීඩාවෙන් සහ සැකයෙන් සිටින්නේ නම්, ජීවිතයේ ඇති ප්‍රයෝජනයක් නැත.   🙂 … එවැනි අයට කියන්න ඇත්තේ, ජීවිතයේ එක්තරා මොහොතක මිලියන ගණනාවක් දුවන්නන් පසු කර, පළවෙනි තැනට ඔහු හෝ ඇය පැමිණි නිසා සතුටු විය යුතුය යන්නය…. 😉     

එහෙත් එය වෙන්න ඇත්තේ නම්, කිසිසේත් නාභිය පිරි මැදීමෙන් හෝ, පිරිමින් සිටින නාන තටාකයක නෑමෙන් හෝ, කැවුම් නොකා ඇලේ දොළේ නෑමෙන් නම් නොවේ… ! 

%d bloggers like this: