Menu Close

මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය

විස්‍සයි විස්සට අපෙන්…

මී මැසි පාලනය ද දක්ෂයාට ජයගත හැකි පරිසරයට ඉතා වැදගත් හොඳ විනෝදාංශයකි. බාලදක්ෂ ව්‍යාපාරය දක්ෂයාට උනන්දුවක් ඇති අයට ජයගත හැකි ධෛර්ය සම්පන්න අයට පෙරට යා හැකි ළමයාගේ දක්ෂතා එලිදැක්වීමට ඇති වේදිකාවකි. ඉලක්කයකට ගමන් කරන ගමනකට හරියට වැඩක් කරන්නට පාර කියාදෙන්නට නිර්මාණය කළ අලුත්ම වැඩසටහන වනුයේ BEE SCOUTING   වේ.

මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය

මී මැසි පාලනය සඳහා උනන්දුවක් දක්වන සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, මෙන්ම බාලදක්ෂිකා ඔබ සැමට අපිත් සමග එක්විය හැකියි. මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය. මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය හා ඔබත් එක්වීමට කැමති නම් මූලස්ථාන කොමසාරිස් චමින්ද වාරියප්පෙරුම මහතා 0774 52 6 2 62 ඇමතිය හැකියි.
මී මැස්සන් ඇතිකිරීම මඟින් මී පැණි හා මී ඉටි ඇතුළු මී මැස්සන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය සඳහා ලබාගැනීමට යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය මී මැසි පාලනය නමින් හැඳින්විය හැකිය. ලංකාවේ බොහෝ ප්‍රදේශයන් තුළ මී මැසි පාලනය ඉතා සරුසාරව සිදුකරයි. අවම පිරිවැයකින් වැඩි ආදායමක් සහ ආත්ම තෘප්තියක් ලබාගත හැකි කාර්යයක් ලෙස මී මැසි පාලනය හඳුන්වා දිය හැකිය. මී මැසි පෙට්ටි තුළින් මී මැසි පාලනය ඉතා සාර්ථකව සිදුකරන පුද්ගලයන් බොහෝ සිටී. ඇතැම් පිරිස් මී මැසි පාලනය විනෝදාංශයක් ලෙසද සිදුකරයි. මී මැසි පාලනය වර්තමානයේදී බොහෝ ගම්වල පිරිස් ස්වයං රැකියාවක් ලෙසද සිදුකරයි. 
වර්තමානයේ මී පැණි ඉල්ලුමෙන් සියයට අසූවක් ගෙන්වන්නේ පිටරටිනි. ලෝකයේ මේ වනවිට මී පැණි සඳහා වන ඉල්ලුම ඉතා ඉහළය. එහි ඉල්ලුම කොතෙක්දැයි කිවහොත් ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ලංකාවට පැමිණෙන සංචාරකයන් බොහෝ විට පැණි වදය සමග පැණි කෑමට රුචියක් දක්වයි. සාමාන්‍යයෙන් පැණි සමග පැණි වදයක් රුපියල් 1500කට පමණ අලෙවි කළ හැකි වන අතර, වෙළෙඳපොළේ මී පැණි බෝතලයක් රුපියල් 2000කට ආසන්න මුදලකට අලෙවි වේ. මී මැසි පෙට්ටියකින් සාමාන්‍යයෙන් අවුරුද්දකට මී පැණි කිලෝ 8-10ත් අතර ප්‍රමාණයක් කැඩිය හැකි වේ.

මී මැසි වර්ග

මී මැසි ගණයට අයත් මැසි වර්ග 5ක් ලංකාවේ දක්නට ලැබේ. කනෙයි මැස්සා, දඩුවැල් මැස්සා, සහ මී මැස්සා, බඹරා, දෙබරා මේ වර්ගයි.

සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි. Trigona iridipennis යන විද්‍යත්මක නාමයෙන් හඳුන්වන ⁣කනෙයි මැස්සා ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර පැණි ඉතා ස්වල්පයක් නිපදවනු ලබයි. Dammar Bee ලෙස ඉංග්‍රිසි භාෂාවේ හඳුන්වනු ලබන කනෙයි මැස්සා ශ්‍රී ලංකාවේ වෙසෙන බිඟුන් අතරින් කුඩාම හා විත රහිත එකම බිඟුන් විශේෂය ලෙස හැඳින්වෙයි. අනෙකුත් බිඟුන්ට මෙන් විෂ ග්‍රන්ථි හා විත විදීමේ හැකියාව මෙම කනෙයි මැස්සාට නොමැති බැවින් තම ආරක්ෂාව සඳහා සතුරා හපා කෑම පමණක් සිදුකරති. (මෙය මිනිසුන්ට නම් නොදැනෙන තරම් වේ) ආරක්ෂාව සඳහා තම ඇලෙනසුළු ඉටි යොදාගැනීමත් සිදු කරයි. අනෙකුත් බිඟුන්ට වඩා මොවුන්ගේ ඇති තවත් විශේෂත්වයක් නම් අනෙකුත් බිඟුන් ඉහල සිට පහලට වද ඉදි කල ද කනෙයි මැස්සෝ පහල සිට ඉහලට වද ඉදි කිරීම සිදුකරති. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගණයෙහිලා ඉතා වැදගත් කෘමියෙකු බව අමතක නොකල යුතුය.

කනෙයි පැණි, මී පැණි වලටද වඩා ඖෂධීය ගුණයෙන් ඉහල බව සොයාගෙන තිබේ. මේ වන විට කනෙයි පැණි බෝතලයක වෙළඳපල මිල රු.10,000.00 ඉක්මවයි. කනෙයි පැණි වලට ඇති මෙම වෙළඳපල ඉල්ලුමත් නඩත්තුව පහසුවීමත් හේතුවෙන් වාණිජ වශයෙන් කනෙයියාවන් වගා කිරීමට ඉන්දියාව වැනි රටවල් පෙළඹී ඇත. වර්ථමානය වන විට මී මැස්සන්ට වැලඳෙන Sackbrood වෛරසය, ඉටි පනු හානිය හා වරොරා මයිටාවා වැනි හේතු නිසා මී පැණි කර්මාන්තය කඩා ⁣වැටීමකට ලක් වී ඇත. එබැවින් ඊට ආදේශකයක් ලෙස කනෙයි මැස්සන් වගාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීමට කාලය එළබෙමින් පවතී.

දඩුවැල් මැස්සාද බඹරා මෙන් කලින් කල තැනින් තැන සංක්‍රමණය වන්නෙකි. අඩ අදුරු ස්ථාන වල පිහිටි පහත් අතු පතර තනි වදයක් බැද ගනී. එය කුඩා වදයකි. මෙම පැණි උසස් පැණි වර්ගයක් ලෙස සැලකුවද ලබා ගත හැකි පැණි ප්‍රමාණය ඉතා සුළුය.

එලි මහනේ පිහිටි උස් ගස්, තලා හෝ උස් ගොඩනැගිලි වාසස්ථාන කර ගන්නා බඹරා ලොකු මී මැස්සෙකි. විශාල ප්‍රමාණයක් නිපදවයි. බඹර පැණිද මී පැණි බව අමතක නොකල යුතුයි. හුදෙක් එලි මහනේ තනි වදයක් බදින හා තැනින් තැන කලින් කලට සංක්‍රමවීමේ ස්වභාවික ගති පැවතුම් ඇති බැවින් ගෘහස්ථ බඹරුන් ඇති කල නොහැක. එසේම බඹර පැණි වල ඇති ජලය නිසා මත්වන සුළු නිසා බඹර පැණි අගයෙන් වැඩි යැයි සැලකුවද එය ගුණයෙන් වැඩි පැණි වර්ගයක් ලෙස සැලකේ.

අප ඇති කරන මී මැස්සන් ඉහත සදහන් මී මැසි වර්ග දෙකට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාව තුල වෙසෙන මී මැස්සා “Apis cerana indica “ යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ මී මැසි ජනපදයක් තුල සාමාන්‍ය වශයෙන් මී මැස්සන් 2500 – 10000 ත් අතර ප්‍රමාණයක් වෙසෙයි. තවද උපරිම වශයෙන් විශාල ජනපදයක් තුල මී මැස්සන් 20000 ක් පමණ ජීවත් වෙයි. ඔවුන් වෙනස්ම ජීවන රටාවක් ගත කරන සතෙකි සම්පූර්ණයෙන්ම අදුරු ස්ථාන ප්‍රිය කරන මෙම කෘමියා එක් ස්ථානයක බොහෝ කාලයක් රැදි සිටි. එකිනෙකට සමාන්තරව ක්‍රමාණුකූලව වද කිහිපයක් ගොඩ නගයි. ගස් බෙන, තුඹස්, ගස් වැටි හෝ එවැනි ඉඩ පහසුකම් ඇති අදුරු ස්ථාන වල තම ජනපද පිහිටුවා ගනී. මෙම ජීවන රටාව නිසාම මෙම මීමැස්සා ගෘහස්තව ඇති කිරිමට හැකි වී ඇත.

මී මැසි පෙට්ටි

මී වද වර්ගවල සැලකිය යුතු තරම් ප්‍රාදේශීය වෙනස්කම් පවතී. මී මැසි පෙට්ටිය වහලය, මුදුන් කවරය, පළමු පැණි පෙට්ටිය, දෙවන පැණි පෙට්ටිය, පිළා පෙට්ටිය, පතුළේ ලෑල්ල යන කොටස් වලින් යුක්තය. පිළා පෙට්ටියේ වද බැඳීම සඳහා රාමු සපයා ඇති අතර, පැණි පෙට්ටිවල වද බැඳීම සඳහා පැණි රාමු ඇත. මී වද පෙට්ටියක් සෘජුකෝණාස්‍රාකාර දැව පෙට්ටි ගොල්ලකින් සමන්විත අතර, ඒවා චලනය කල හැකි ප්ලාස්ටික් හෝ දැව රාමු වලින් යුක්තය. ඒ හැම රාමුවක්ම ඉටි පතක් (sheet of wax) හෝ ප්ලාස්ටික් පදනමක් රඳවා තබා ගැනීමට සමත්ය. පැණිවදයක් ඇතිකිරීමට පෙර මී මැස්සන් විසින් පදනම් පත් මත කෝෂ සාදා ගනී. පදනම කෝෂ-ප්‍රමාණ දෙකකින් සමන්විත වේ. සේවක පදනම මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක ‍කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසයි.

පහළ පෙට්ටිය හෝ සමූහ මැදිරිය තුළ මී මැසි රැජින හා බොහෝ මී මැස්සන් වාසය කරති. උඩ පෙට්ටියේ හෝ උපරිම ව්‍යුහයේ පැණි පමණක් අඩංගු වේ. තරුණ මීමැස්සන් පමණක් ඔවුන්ගේ උදරයේ පට්ටක වලින් වාස්සවා මී ඉටි පෙති (Wax flakes) නිපදවයි. ඔවුන් මධු පටලන කෘතිම මී ඉටි පදනමකින් තැනීම අරඹයි. ඉන්පසු ඔවුන් මී මැසි පැටවුන් බලාගැනීම හෝ මධු හා රේණු මී වදයේ කෝෂ තුළ තැන්පත් කිරීම සිදුකරති. 

මී මැසි පෙට්ටි සහ එහි ඇතුළත රාමු නිෂ්පාදනය සිදුකරන්නේ මී මැස්සාට විස නොවන සැහැල්ලු ලී වර්ග වලිනි. බොහෝ විට මේ සඳහා කැන්ද ලී භාවිත කරයි. තවද මෙම පෙට්ටියකට නිශ්චිත වූ මිම්මක් තිබේ. මුල් කාලයේදී භාවිත වූ මී මැසි පෙට්ටි හතරැස් ආකාරයේ වූ අතර, එහි උෂ්ණත්වය ඉතා ඉක්මනට හීන වීම හේතුවෙන් සෘජුකෝණාශ්‍රාකාර මී මැසි පෙට්ටි භාවිත කරයි. ලංකාවේ භාවිත කරනු ලබන මී මැසි පෙට්ටිවලට වඩා චීනය, ඉන්දියාව වැනි රටවල මී මැසි පාලනය කරන්නන් භාවිත කරනු ලබන පෙට්ටි ප්‍රමාණයෙන් විශාලය.   

නවකයන්ට මී මැසි පාලනය

මී මැසි ජනපදවල බෝවීම ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පරිසරයෙන් ලැබෙන ආහාර ප්‍රමාණය හා කාළගුණික සාධක මතයි. අවට පරිසරයේ පිහිටි ශාකවල පුෂ්ප පිපීම මත ජනපදයට ලැබෙන ආහාර එනම් පැණි සහ පරාග ප්‍රමාණය තීරණය වේ. අධික වියළි සහ වැසි සහිත කාළගුණවල (අහේනි කාලයේදී) මැස්සන්ට ආහාර සපයා ගැනීම අපහසු වන බැවින් බෝවීම අඩු වේ. ශ්‍රී ලංකාවේ මෝසම් වැසි අවසාන සමයේදී එලඹෙන ශාකවල පුෂ්ප නිපදවන කාලයක්, එනම් මල් වාරයක් දක්නට ලැඹේ මෙම කාලයේ§ ආහාර හිඟ වීමෙන් දුර්වලව තිබූ ජනපද වර්ධනය ආරම්භ වේ. එහෙයින් මෙය වර්ධක කාලය වශයෙන් හඳුන්වනු ලැඹේ මී මැසි ගහනය වැඩිවීම සිදු වන්නේ වර්ධක කාලයේදිය. යහපත් පරිසර තත්ත්ව යටතේ ජනපදයට ලැබෙන පැණි හා පරාග ප්‍රමාණය වැඩිවන අතර ළපටි මැස්සන් සිටින විට රාජ ජල්ලි නිෂ්පාදනය ඉහළ යයි. රැජිනට ලැබෙන විශේෂ ආහාරය වන රාජ ජල්ලි හොඳින් ලැබෙන විට රැජිනගේ බිත්තර දැමීමේ සීග්‍රතාවය ද ඉහළ නැංවේ. ජනපදවල ගහනය වැඩි වීමත් සමඟම අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල යාම හා රාජ ජල්ලි නිෂ්පාදනය වැඩිවීමත්, රැජිනගෙන් ලැබෙන පෙරමෝනය සමාකාරව විසිරී නොයාමත් හේතුවෙන් ජනපද කට්ටි බෙදීයාම සිදුවේ. ජනවාරි කාලයේදී බොහෝ විට කට්ටි කැඩෙන කාලය ආරම්භ වේ. මෙසේ කට්ටි බෙදිමේ දි මව් රැජින වැඩකාර මැස්සියන් කණ්ඩායමක් සමඟ ඉවත් වීම සිදුවේ.

මී මැසි ජනපදයක් ඇති කර ගැනීම සඳහා කළ යුතු මුල් ම කටයුත්ත වන්නේ මී මැසි ජනපදයක් ඇති තැනකින් එවැන්නක් ලබා ගැනීමයි. එසේ නොමැති නම් මී මැසි රංචු බෙදී යන අවස්ථාවක ගෙන්වා ගැනීමට උපක්‍රම යෙදීමයි. මෙසේ ඉවත්වන නව ජනපද ගමන් මැස්සන් වන අතර එම ජනපදයක් හට්ටි, මුට්ටි, කළ, බෙන පැරණි කලයක්, කොටයක් ආදී විවිධ ආකාරයේ රුකුල් තැබීමෙන් පහසුවෙන් අල්ලා ගත හැකිය. කළයට දුම්මල දුම් අල්ලා තැබීමෙන් වැඩි ආකර්ශනයක් ඇතිවේ. එසේත් නොමැති නම් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක් ලැබෙන තුරු ගස් අතුවල හෝ රුකුල් තුළ තනි පොදියක ආකාරයෙන් දිනක් දෙකක් ගත කරති. නවක මී මැසි පාලකයන්ට මෙවැනි ජනපදයක් අල්ලා ගැනීම වඩාත් උචිත වේ. මෙසේ කළයකට පැමිණෙන මී මැස්සන් පසුව මී මැසි පෙට්ටියක තැන්පත් කළ හැකිය. මේ අන්දමට කළය වෙනුවට කට පළල හට්ටි දෙකක්ද මූණට මුහුණලා තැබීමෙන්ද මී මැස්සන් ආකර්ශණය කරගත හැකිය. මෙවැනි අන්දමට සකසන කළය හෝ හට්ටි දෙක අඩි 5-6 ක් උස් වූ තැනකින් තැබිය යුතුය. මේ සඳහා සිසිල් සෙවළ සහිත පරිසරයක ඇති ගසක දිරාපත් නොවූ කරුවක් ඉතාමත් යෝග්‍ය වේ.

අත්තක් වැනි තැනක බඳින ලද මී මැසි පොදියක් අත්ත සමග කඩා ගෙන පෙට්ටියක දොරටුව අසල තැබීමෙන් මී මැස්සන් පෙට්ටිය තුලට ඇතුල් වෙයි. මීමැසි රංචුව උස අත්තක රැඳී සිටින අවස්ථාවක පොල් කොළ ගොටුවක් වැනි ගොටුවක් වැනි දිග ලීයක බැඳ මී මැසි පොදිය එම ගොටුවට ගෙන පෙට්ටිය තුළ තැන්පත් කළ හැකි ය. මී මැස්සන්ට හිංසා නොවන අයුරින් රජ මැස්සිය අල්ලා ගැනීමට හෝ සුදුසු ම ආකාරය නම් මී මැස්සන් පොදියක් එකවර අල්ලා පෙට්ටියකට දමා අනෙක් මැස්සන්ට ද පෙට්ටිය තුළට ඒමට ඉඩ සලසා දීමෙන් ගමන් මැසි පොදියක් පෙට්ටි ගතකල හැකියි. රජ මැස්සිය පෙට්ටිය තුලට ඇතුල් වූ විට අනෙක් සියලු මැස්සන් ද ඒ තුළට ඇතුලු වෙයි.

අලුතින් අල්ලා ගත් මී මැසි රංචුවක් නිවැරදි ආකාරයකට සකස් කළ මී මැසි පෙට්ටියක බහාලීමට පෙර රජ මැස්සියට බිජු දැමීම සඳහාමී වද එකක් ‍හෝ දෙකක් සැපයීම කළ යුතු ය. එවැනි අවස්ථාවක වෙනත් මීයකින් වදයක් ලබා ගැනීම කළ යුතු ය. මී මැසි රැජින වහා බිජු දැමීම ආරම්භ කරයි. ඒ සමග අලුත් මී පෙට්ටියට ආහාර සැපයීම ද කළ යුතු ය. මී මැසි ජනපදයක් පෙට්ටිවල රැඳවීම උදේ වරුවෙහි සිදු කළ යුතු ය. මේ අවස්ථාව වන විට පැණි රැස් කිරීම සඳහා පිට ව ගොස් ඇති මී මැස්සියන් නැවත එම ස්ථානයට පැමිණෙන තෙක් රංචුව අල්ලා ගත් ස්ථානයේ ම තිබෙන්නට හැරිය යුතු ය. ස්ථිර ස්ථානයකට ගෙන යාම කළ යුත්තේ රාත්‍රි කාලයේදී ය. මී මැසි ජනපදය ස්ථිර ව රඳවන ස්ථානය අවට හොඳින් පිරිසිදුව තබා ගත යුතු ය.

මී මැසි පාලනය

මී මැසි පාලනයේදී පළමුවෙන් සිදුකළ යුත්තේ පෙට්ටිය තුළට වද තැන්පත් කිරීමය. මෙහිදී ස්වාභාවික මී වද කඩා තැන්පත් කළ යුතුය. සාමාන්‍යයෙන් එක් මී මැසි පෙට්ටියක් සඳහා ස්වාභාවික වද දෙකහමාරක් පමණ තැන්පත් කළයුතු අතර මී වදයෙහි උෂ්ණත්වය නැතිවීමට පෙර එය මී මැසි පෙට්ටියෙහි තැන්පත් කළ යුතුය. එසේ නොමැති වුවහොත් වදයේ සිටි කීටයන් ජීවිතක්ෂයට පත් වේ.

මී මැසි පාලනය සිදුකිරීමේදී සතියකට වරක් මී මැසි පෙට්ටි හොඳින් නඩත්තු කළයුතු අතර, එය ඉතා පිරිසුදුව තබා ගැනීමටද සිදුවේ. වර්ෂා කාලයේදී මී මැස්සන්ට ජනපදයෙන් පිටවීමට නොහැකි වන නිසා එම කාලයේදී මී මැසි ජනපදය නඩත්තු කිරීමට විශාල වෙහෙසක් දැරීමට මී මැසි පාලනය කරන්නන්ට සිදුවේ. විශේෂයෙන් මී මැස්සන්ට ආහාර ලබාදීමටද මෙහිදී ඔවුන්ට සිදු වේ. ඒ සඳහා සීනි උණු වතුර සමග කලවම් කරමින් පෙට්ටියෙහි යට කොටසින් තැබිය යුතුය.  
මී වදයක ජීවය රඳා පවතින්නේ එහි රැජින නිසාය. පිරිමි මැස්සෝ නව පරම්පරාවක් බිහිකරන අතර රැජින සමඟ එකතුවීමෙන් ජනපදය වර්ධනය කරතිි. ජනපදයක සිටින රැජිනක් සිය ජීවිත කාලයෙහිම බිත්තර දමයි. රැජින වද කුහරයට බිජුව බැගින් තැන්පත් කරයි. බිත්තර මඟින් ගැහැනු සතුන් පිරිමි සතුන් ද බෝවේ. ගැහැනු සතුන්ගේ බිජු අවධිය දින තුනකි. කීට අවධිය දින පහකි. පිලා අවධිය දින දොළහකි. සුහුඹුල් අවධිය දින පහත් හතත් අතර වේ. ජීවිත කාලය සති හත් අටත් අතර වේ. පිරිමි සතුන්ගේ බිජු අවධිය දින තුනකි. කීට අවධිය දින හයත් හතත් අතර වන අතර පිලා අවධිය දින දාහතරත් පහළොවත් අතර වේ. සුහුඹුල් අවධිය දින හතත් දහයත් අතර වේ. 
රැජිනක් නොමැති අවස්ථාවලදී වැඩකාර මී මැස්සියන් බිත්තර දැමීම සිදුකරති. ජනපදයක යම් හේතුවකින් රැජිනලා දෙන්නෙක් සිටියහොත් වදයෙහි සිටි තරුණ රැජිනන් පිරිමි කිහිපදෙනෙක් සමග ජනපදයෙන් පිටවී යයි. අනෙක් රැජින ඉතා මහලු වයසක පසුවේ නම් ඇය මිය යනතෙක් අනෙක් රැජින බලා හිඳියි. රැජිනට මී මැසි පෙට්ටියෙන් පිටවීමට නොහැකි වන ලෙස තබාගත යුතුය. රැජින නොමැති නම් එම ජනපදය අක්‍රීය වේ. මෙහිදී රැජිනට සහ පිරිමි මී මැස්සන්ට පිටව යා නොහැකි වන සේ රැජින ගාඩ් නම් කොටස පෙට්ටියෙහි පහතින් තබා ඇත. ඉන් පිටව යා හැක්කේ ගැහැනු මී මැස්සන්ට සහ කුඩා මී මැස්සන්ට පමණි. පිරිමි මී මැස්සන් ගැහැනු සත්ත්වයාට වඩා ප්‍රමාණයෙන් විශාලත්වයක් ගනී. මී මැසි ජනපදය වඩාත් ක්‍රියාශීලී වේ නම් පෙට්ටියෙහි යට කොටසෙහි කුණු නොරැඳෙයි. තරුණ සහ අලුත් රැජිනක් ජනපදයෙහි සිටියදී ජනපදය ඉතා ක්‍රියාශීලී තත්ත්වයකින් යුක්තය. එවිට ඉතා හොඳ පැණි නිෂ්පාදනයන් ලබාගත හැකිය. 

මී පැණි නිෂ්පාදනය

පැරණි මීපැණි වලින් ශරීරයේ මේදය අඩුකරන අතර ස්ථුල පුද්ගලයන්ට ගුණදායකයි. අතීසාරය රෝගය සදහා ලබාදෙයි.මීපැණි වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගුවේ. මේවගේ කොලොස්ටරෝල් අඩංගු නොවීමද විශේෂත්වයකි. මී පැණි තුල බහුලව ඇත්තේ සරල සීනිය. අනතුරුව ජලය අඩුකිරීමෙන් පසුව ඉටි පියනකින් ආවරණය කර තබන මී පැණි මේරූ පැණි ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාව තුල මෙවන් මී පැණි වර්ග හතරක් පවතියි . 
• මාකෂික – මෙය රතු පැහැති මී මැසි විශේෂ නිපදවන අතර තල තෙල් පැහැය ගනී. සිරුරේ සියුම් ස්ථාන කෙරෙහි ක්‍රියාත්මක වෙයි. දිරවීමට වඩාත් පහසු වන අතර ගුනයෙන්ද ඉතා ඉහල.
• භ්‍රමර – මෙම මී පැණි සුදු පැහැති වන අතර ලිස්සන සුලුය. දිරවීමට තරමක් අපහසු වන අතර අධික පැණිරස කින් යුක්තය.
• කෙෂුද්‍ර – මෙම මී පැණි වර්ගය කුඩා මී මැස්සන් විසින් නිපදවයි. දිරවීමට පහසු වන අතර ශීත ගුනයෙන් යුක්තය.
• පෙත්තික – ව්ශාල මීමැසි වර්ග නිපදවයි. ගිතෙල් පැහැති වියලි පැණි වර්ගයකි. තරමක් උෂ්ණ වන අතර බඩ පපුව දැවිල්ලට හේතු වේ.

ස්වභාවික වශයෙන් මී මැස්සෝ කාල පරිච්ඡේද තුනක් ගත කරති. එනම් වර්ධක අවධිය, පැණි වාරය හා අහේනි කාලයයි. මේ එක් එක් අවධිවල කළයුතු කාර්යයන් විවිධ වේ. මී මැස්සා විසින් ලබාගන්නා මල් පැණි උගේ ශරීරයේ රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය කිරීමෙන් පසු මී පැණි බවට පත්වේ. මී පැණිවල වැඩි වශයෙන් ඇත්තේ සරල සීනිය. මේ නිසා මී පැණි ශරීරයට ඉක්මණින් උරාගත හැකි පෝෂ්‍ය ආහාරයක් වේ. එම නිසා ඖෂධයක් වශයෙන් මී පැණි නොයෙකුත් රෝගාබාධයන්ට නිර්දේශ කරනු ලැබේ. පසුව එහි ඇති ජලය අඩුකර ගැනීමෙන් පසුවද කුහර ඉටි පියනකින් ආවරණය කරනු ලැබේ. මෙසේ ආවරණය කළ පැණි මේරු පැණි ලෙස හැඳින්වේ. මී පැණි ලෙස නිස්සාරණය කළයුත්තේ මෙම පැණිය. 

පරිසර හිතකාමී මී මැසි පාලනය

ලෝකයේ සපුෂ්ප ශාක බොහොමයක් පරාගනය වන්නේ සතුන් මගිනි. මේ නිසා මී මැසි ගහනය අඩුවීමෙන් ශාක පරාගනය වීම අඩුවේ. එමගින් එම ශාක වල පැවැත්මට තරජන එල්ලවේ. එමෙන්ම කෘෂිකාර්මික කටයුතු වලදී භාවිතා වන උග්‍ර විශ සහිත කෘමිනාශක මගින් ද මී මැස්සන් විනාශ වීම සිදු වේ. මී මැස්සන් ප්‍රායෝගිකව ඇති කිරීමට උනන්දුවීම තුළින් කෘෂිකර්මය නගාසිටුවීම ගෝචර ශාක වැඩි වශයෙන් වගා කිරීම, කෘමිනාශක ශාක වලට යෙදීම නැවැත්වීම මගින් මී මැස්සන් යම් ප්‍රමාණයක් හෝ ආරක්ෂා කිරීමට හැකිවේ. පැණි පරාග හොදින් තිබෙන ශාක ගෝචර ශාක ලෙස හදුන්වන අතර මෙම ශාක තිබෙන ස්ථානයක මී මැසි ජනපද සීග්‍රයෙන් වර්ධනය වේ.
 

මී මැසි ජනපදයක් මී පැණි ලබා ගන්නා කාල වකවානු දෙකකි. රබර් වගාව ආශ්‍රිතව පෙබරවාරි – මාර්තු ද අනෙකුත් ප්‍රදේශවල ජූනි – සැප්තැම්බර් ද වේ. මී මැසි පාලනය කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න මේ වනවිටත් ඔබට අවබෝධයක් නොමැති නම් ඒ සඳහා මුලින්ම අවබෝධයක් ලබාගත යුතුය. මෙහිදී මී මැස්සන් රොන් ගන්නා සීනියාස් ඇන්ටිගොහොත්, අඹ, මාර, පොල්, සියඹලා, කෝන්, රබර්, මොර, කුඹුක් දිවුල් ආදී ශාක බහුල ස්ථානයක මී මැසි ජනපදයක් ස්ථාපනය කළ යුතුය.
පොල්, රබර්, වල් සූරියකාන්තා, සීනියාස්, දොඩම්, කෙසෙල්, කාමරංගා සහ කෝපි යන ශාක වඩාත් සුදුසු ශාක වේ. අඹ, කජු, මොර, මාදං, සියඹලා, වීර, පලු, කෝන්, දිවුල්, ගල්සියඹලා වැනි පලතුරු ශාක මෙන්ම බුරුත, ගම්මාලු, කුඹුරැ, මාර, මී ආදිදැවමය ශාක ද හොඳ පැණි වහනයක් ලබා ඳේ. කලවැල්, බොකල වැල්, ඇන්ටිග්නන්, වුඩ් රෝස් වැනි වැල් වර්ග ද හොදින් පැණි ලැබෙන පුෂ්ප නිපදවයි. පොල්, පුවක්, තල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාක ද මී මැස්සන්ට ආහාර සපයා දෙයි. හිඟුරු, පුපුල, ඇහැල, රණවරා, බොර, කුඩුදවුල, කෝපි, ග්ලිරිසීඩියා, ඇකේෂියා වර්ග, ඉපිල් ඉපිල්, කැලිඇන්ඩ්‍රා වැනි ශාක මෙන්ම තල, මුං, කව්පි, සුරියකාන්ත, බඩෛරිඟු වැනි කෘෂිකාර්මික බෝගයන් ද මී මැස්සාට ආහාර සපයයි. එසේම වල් පැළෑටි, තෘණ, අලංකාරය සඳහා වවන මල් වර්ග ද මී මැස්සාට යැපීමට උපකාරී වේ. 
මී මැස්සා යනු බෝග වගාවටද හිතකර කෘමියෙකි. එම නිසා ගෙවතු වගාව ආශ්‍රිතව මී මැසි පාලනය ව්‍යාප්ත කිරීමෙන් ගෙවත්තේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළනැංවිය හැකි අතර, වැඩි අස්වැන්නක් ලබා ගැනීමට, ඖෂධීය හා අධික පෝෂණ ගුණයකින් යුත් මී පැණි පරිභෝජනය කිරීමටද හැකි වේ. මී පැණි ආහාරයට ගැනීමෙන් රෝග සුව වන අතර, රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් ශරීරයේ ඇතිවන බව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ තුළින් පෙන්වා දී තිබේ. එමෙන්ම මී පැණිවල ශරීරයට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි සරල සීනි අඩංගු බැවින් ඉක්මනින් ශක්තිය ලබාදෙන ආහාරයක් වශයෙන්ද රෝගීන්ට සහ වැඩිහිටියන්ට ලබාදෙයි. මී පැණි දෛනිකව පරිභෝජනයට ගත හැකි නම් එය පුද්ගල සෞඛ්‍යයට ඉතා හිතකර වේ.

වැඩි තොරතුරු – scouting.lk හෝ Scouting Magazine යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.

%d bloggers like this: