Menu Close

එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමක් මධ්‍යධරණී මුහුද පිවිසෙයි

මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශය ප්‍රධාන සන්නද්ධ අර්බුද දෙකකට නිවහන වේ.ඉන් එකක් වන්නේ 2011 නේටෝ මැදිහත් වීම නිසා අසාර්ථක රාජ්‍යයක් බවට පත් වූ ලිබියාවයි.මේ වන විට එරට අවසානයක් නොමැති සිවිල් යුද්ධයකට මැදිව සිටියි.දෙවැන්න වන්නේ සිරියාවයි.සිරියානු යුද්ධය එහි අවසානයට ලඟා වෙමින් සිටියදී අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂාවට තුර්කිය මැදිහත් වීමත් සමග වාතාවරණය නරක අතට හැරී තිබේ.සිරියාවේ ඉඩ්ලිබ් පළාත ප්‍රමුඛ අල්කයිඩාවේ අවසන් බලකොටුව රැක ගැනීමේ සටනක නිරතව සිටින තුර්කිය,නේටෝ සංවිධානයෙන්ද ඉල්ලීමක් කලේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස පවසමින්ය.ඊට අමතරව සිරියානු සහ රුසියානු ගුවන් හමුදා ප්‍රහාර මැඩලීමට ඔවුන් එක්සත් ජනපදයෙන් පේට්‍රියට් මිසයිල පද්ධතිද ඉල්ලා සිටියේය.

යූ එස් එස් ඩ්වයිට් ඩී අයිසන්හවර් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සන්ධිය පසු කර මධ්‍යධරණී මුහුදට පිවිසියේ පෙබරවාරි 29දා රාත්‍රියේදීය.ඉරිදා පස්වරුව වෙද්දී එම නෞකාව නැගෙනහිර ජිබ්‍රෝල්ටර් ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබිණි.

අයිසන්හවර් නෞකාව සමග එහි පරිවාර යුද නෞකාද මධ්‍යධරණී මුහුද පිවිසියහ.ටමහොක් කෲස් මිසයිල වලින් සන්නද්ධ නියාමක මිසයිල කෲසර් වර්ගයේ නෞකා දෙකක් වන යූ එස් එස් සැන් ජොසින්ටෝ සහ යූ එස් එස් වේලා ගල්ෆ් යන නෞකාද,යූ එස් එස් ස්ටවුට්,යූ එස්  එස් ජේම්ස් ඊ.විලියම්ස් සහ යූ එස් එස්  ට්‍රොක්ස්ටන් යන ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාද ඊට ඇතුලත්ය.

එක්සත් ජනපදයේ හයවන බල ඇණියට අයත් ප්‍රදේශවල මෙහෙයුම් සිදු කිරීමේ අරමුණින් යුතුව මෙම නෞකා කණ්ඩායම පැමිණෙන බව එක්සත් ජනපද නාවික හමුදාව පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.හයවන බල ඇණියේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඉතාලියේ නේපල්ස් නගරයේය.එහි මෙහෙයුම් ප්‍රදේශ වන්නේ යුරෝපය සහ උතුරු අප්‍රිකාවයි.මධ්‍යධරණී මුහුදද එහි කොටසකි.

අයිසන්හවර් නෞකාව පෙබරවාරි 20දා නැවත මෙහෙයුම් සඳහා එක් වන්නේ මාසයක් පමණ දිගු ප්‍රමාණන අභ්‍යාස සම්පූර්ණ කිරීමෙන් පසුවයි.එනමුත් නෞකාව වර්ජීනියා, නොර්ෆ්ලොක්හි පිහිටි සිය තොටුපොලට පැමිණියේ නැත.මේ සම්බන්ධයෙන් නාවික හමුදාව නිල මට්ටමේ පැහැදිලි කිරීමක් සිදු කලේ නැත.

නාවික ප්‍රහාරක කණ්ඩායම සතුව ෆයිටර් ජෙට් යානා බලඝන 8ක් තිබේ.ඊට අමතරව නාවික ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද සතුය.නෞකා සියල්ල සතුව නාවිකයන් 6,000 පමණ සිටියි.

මෙම දියත් කිරීමට මත්තෙන්,වසර 40ක් පැරණි නෞකාව මාස 18ක කාලයක් අලුත් වැඩියා කිරීම්වලට භාජනය විය.1990-1991 සමයේ ගල්ෆ් යුද්ධය,2000 දශකයේ ඉරාක,ඇෆ්ගන් මෙහෙයුම් සඳහා එය සහභාගී වූයේය.

අයිසන්හවර් නෞකාව සැබැවින්ම කුමන ප්‍රදේශයක් ඉලක්ක කරගෙන යාත්‍රා කරන්නේද යන්න පැහැදිලි නැත.ලිබියාව සම්බන්ධව දැන් ඇමෙරිකානු මැදිහත් වීම කලින් පැවති තරම් නොමැත.සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රශ්නයේදී තුර්කිය නේටෝවේ මැදිහත් වීමක් අවශ්‍ය යැ‍යි පවසා තිබේ.

source:sputniknews.com

 

%d bloggers like this: