Menu Close

ලාංකේය C C T V  මුරබල්ලන්ට එරෙහි යුද්ධයට පෙරවදනක්

unnamed (1)

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අතින් සී සී ටී වී කැමරා මුරකරුවන්ට එරෙහි පළමු  යුද්ධය ඇරඹුණි. සුපුරුදු පරිදි මේ වන විට සිසුන්ට එරෙහිව  නීතිය ද නිර්ලෝභීව ක්‍රියාත්මක වී ඇත. එහෙත් ඔවුන්ව නිදහස් කර ගැනීමේ සටන් ඉදිරියට ක්‍රියාත්මක වෙනු ඇත.  ඉතින් මේ ලියවෙන්නේ  ශිෂ්‍ය දේශපාලනයේ ටෙරටරිය වෙත කඩා වැදුණු මේ නවීන ආවේක්ෂණ වීඩියෝ මුරබල්ලන්ට එරෙහි වීමට ඔවුන් සති අයිතිය ගැන හැකි පරිමාවෙන් එකතු කරන්නට හැකි දේ ගැන සාකාච්ඡාවක්ය.

 කෙටි කාලයක් තුළ ලොව පුරා ප්‍රචලිත වූ C C T V  පද්ධතින් වලට පළමු  ප්‍රහාරයන්  දියත් වුයේ හොරුන් දුෂකයන් සහ මැරයන්   අතින් ය. කවදත්   සමාජ පරිහාණියට හේතු වූයේ එවන් හොරුන් දූෂකයන් සහ මැරයන් යැයි ජනතාව සිතති. එබැවින් එවැනි හොරුන් කවදත් ප්‍රගතිශීලි සමාජ විරෝධයේ කොටසක් කරගන්නට කිසිවෙකුත් නොසිතති. ඔවුන්  සමාජ පරිහාණිය නම් අකාලික සදාචාරවාදය පොහොසත් කරන ප්‍රබල චරිතංගයෝ ය.  මේ නිසා හොරුන් දූෂකයන් සහ මැරයන් කඩාකප්පල්කරුවන් ලෙස සාක්ෂි සපයමින් සිසුන්ව වරදකරුවන් කිරීමේ හැකියාව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සතුව ඕනෑවටත් වඩා ඇත. එමෙන්ම ඔවුන් ඒ හැකියාව ක්‍රියාත්මක කළහ. එහෙත් මෙහි එක් සුවිශේෂයක් ඇත.

  එනම්  සිසුන්  කිසිවෙකුත් ඒ රොබෝ මුර බල්ලන් විකුණා  මුදල් බවට පත්කර නොගැනීමයි. ඒවායේ සාක්ෂි වෙනස් කර දැමූ දූෂකයන් නොවීමයි. කඩාකප්පල්කරුවන්  මෙන් ඒවා එතැනම විනාශ කොට නොදැනීමයි. ඊට වෙනස්ව  මේ ව හොරුන් දූෂකයන් මැරයන් කඩාකප්පල්කරුවන් ලෙස  චෝදනා ලැබූ සියලු සිසුන් කළේ මේ කැමරා  ගලවා නැවත ඒවායේ භාරකාරයාටම සාක්ෂි ද ඇතුව  සියල්ල බාර දීමයි.

අපි හැමෝම දන්නා පරිදි මේ තාක්ෂණික රොබෝකොප්වාදය ඇරඹෙන්නේ මහා සමාජ දුෂ්ටත්වයක් විසඳන්නටය. එහෙත් අනිත් අතට ඒ විසඳුම මිනිසා මිනිසාට එරෙහිව  නව තාක්ෂණික යුද්ධයක් දක්වා දිග් ගැස්සෙන මුල් සලකුණු මතු වෙමින් ඇත. කැළණිය ඒ යුද්ධයේ පළමු ප්‍රකාශකයෝ ය.  ඒ විතරක් නොව සිසුන් උන්ගේ සදාචාරයට එරෙහිව අපේ සදාචාරය යනුවෙන් වූ නව අභිමුඛ වීමක් එක් කළහ.

ශුද්ධ වූ පවුල,  පෞද්ගලික දේපල සහ රාජ්‍යය (ඒවාට තවත් සමාන පද ඇගයුවොත් පිළිවෙලින් ඒවා පෞද්ගලික ලිංගිකත්වය, ප්‍රාග්ධනය සහ ජාතික ආරක්ෂාව ලෙස) යනු අප කවුරුත් දන්නා සියල්ලෝම හැඩ ගැසිය යුතු, අපව හැඩගස්වන සාමාන්‍ය සමාජ ක්‍රමයයි. එම    ආයතන පද්ධතිය පවතින නිසාම  සොරුන් දූෂකයන් මැරයන් ජනනය වීමත් නිතැතින් එ තුළින්ම සිදුවෙයි. ඔවුන් විප්ලවවාදීන්ටත් වඩා සක්‍රීය බිඳවට්ටන්නන්ය ය. එහෙත් විප්ලවාදීන් ළඟ සොරුන් සතුව නොමැති දෙයක් ඇත. එනම් පවතින සමාජ ක්‍රමය පිළිබඳව ඇති සාමුහික දේශපාලන විරෝධය යි. එය සාමුහික මිනිස් පැවැත්මේ තිබිය යුතුම නිදහසකි.  ඊට අත තැබීමට කිසිවෙකුත් සිහිනෙක දී හෝ නොසිතිය යුතුය.  විප්ලවවාදියා සිතයි. සොරුන් එසේ නොසිතයි.

එමෙන්ම ඒ සාමුහික දේශපාලන විරෝධය විසින් හොඳින්ම දන්නා දෙයක් ඇත. එනම් පවතින සමාජ ක්‍රමය සොරුන්ගෙන් තොර දවසක් ගැන සිතනවා නම් ඒ, තම ක්‍රමය විසුරුවා දැමූ විට බවයි. නමුත් මිනිස් සමාජයට තවමත් එවන් වුවමනාවක් ඇතැයි සිතන්නටවත් නොහැක. අහළකවත් නැත. එ බැවින්  රාජ්‍යයට හැකි වන්නේ නීතිය ක්‍රියාත්මක කරමින්  සිර දඬුවම් නියම කරන නොනවතින අකාලික විසඳුමක් වෙත යෑමය. නැති නම් හොරුන් සහ දූෂකයන් සමග සන්ධානයකට පැමිණීමය.

එහෙත් හැම ආණ්ඩුවක්ම ඉහත විසඳුම් දෙකම ඇති පදමට ක්‍රියාවේ යෙදවීම දැන් සාමාන්‍ය දැනුමක් බවට පත් වී ඇත. ඒ දැනුම සමාජ ක්‍රම විරෝධීන් සතුකරගත් බරපතල අවබෝධයකි. අවියකි. ඉතින් රාජ්‍යයට කළ හැක්කේ ඉහත කී සොරුන්ට කඩාකප්පල්කාරීන්ට එරෙහිව ව්‍යාජ යුද්ධයක් ආරම්භ කරන්නට සිදුවීමයි. ඒ අනුව සොරුන් මිනීමරුවන් දූෂකයන් කඩාකප්පල්කරුවන් යනු  රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්ම ඉන්නා ප්‍රවර්ගයකි. එමෙන්ම රාජ්‍යයේ පැවැත්ම සමග අන්‍යෝන්‍ය සම්බන්ධයක නියැලෙන්න කොටසකි. හරියටම ගත්තොත් ඔවුන් සැබෑ සතුරා නොව සතුරා සතු සියළු ලක්ෂණ ඇති නමුත් පඹයෙකි.

කැළණියේ සිසුන් ඇරඹුවේ නිකම්ම එරෙහි වීමක් නොව ඒ පඹයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන රාජ්‍යයට එරෙහි යුද්ධයකි. සංකීර්ණතාවය එයයි. එහි දී සිසුන් තමන් එවන් පඹයන් නොවන බව ඒත්තු ගැන්වීය. සිසුන්ගේ සී සී ටී වී විරෝධය අති සාර්ථක එකක් බවට පත් වන්නේ එ නිසාය. වීඩීයෝ මුර බල්ලන්ගෙන් පිරුණු රොබෝකොප්වාදයේ තිර පිටපත ඉදිරියේ මානවාදයේ නිදහස හෑල්ලුවට ලක් කරන, මර්ධනය කරන රාජ්‍යය අශ්ශීලත්වයට එරෙහිව ගැනුණු පළමු ශිෂ්ටත්වය එයයි.  එබැවින් මෙය හුදු සිසු මර්ධනයක් ලෙස ගැනීම මෙන්ම ශිෂ්‍ය දේශපාලනය ගැන ජනතාව ළඟ ඇති සාම්ප්‍රදායික අකමැත්ත ද පුපුරා යන වැදගත් දේශපාලන ක්‍රියාවක් බවට පත් වෙයි.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

 

%d bloggers like this: