Menu Close

න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකයක් තැනූ විස්මිත දරුවෙක්!

න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් ^nuclear fusion reactor) තැනූ ලොව ලාබාල ම දරුවා ගැන ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. ඇමෙරිකාවේ ටෙනෙසි ජනපදයේ මෙම්පිස් නගරයේ වෙසෙන ජැක්සන් ඔස්වෝල්ට් ලෝක වාර්තා පොතට එක්වෙන්නේ වයස අවුරුදු 12දී සාර්ථක ලෙස ක්‍රියාකරන න්‍යෂ්ටික විලයන ප‍්‍රතික්‍රියාකාරකයක් නිපදවූ තැනැත්තා හැටියටයි.

වයස අවුරුදු 12 දී න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් 
තනා ලෝක වාර්තාවත් තැබූ ජැක්සන් ඔස්වෝල්ට්

ඔහුට දැන් වයස අවුරුදු 14ක්. මීට අවුරුදු දෙකකට පෙර ඔහු මේ විස්මිත කාර්යය කළේ අන්තර්ජාලය උදවු කර ගෙනයි. ඔහුට මේ නිෂ්පාදනයට වුවමනා කරන ද්‍රව්‍ය ලබාගෙන තියෙන්නේ පියාගේ සහයෙන් අන්තර් ජාලය හරහා ද්‍රව්‍ය හා භාණ්ඩ අළෙවි කරන සමාගමක් වන ඊබේ (eBay) මගින්. ඒ සඳහා පියා ඔහුට ඩොලර් 10,000ක් වටිනා උපාංග හා කොටස් මිලදී ගෙන තිබෙනවා. ඔහු ඒ සඳහා විශේෂඥ දැනුම ලබාගෙන තියෙන්නේත් අන්තර් ජාලය හරහායි.

‘මම මුලින්ම මේ වගේ දෙයක් තැනීම පිළිබඳ අනිත් අයගේ අත්දැකීම් ගැන කියෙව්වා. ඊට පස්සේ මට මේ උපකරණය තනන්න අවශ්‍ය කොටස්වල ලැයිස්තුවක් හැදුවා. ඒට පස්සේ ඒවා ඊබේ මගින් ලබා ගත්තා. තවත් යම් යම් කොටස් පිටින් ලබා ගත්තත් ඒවා හරියට ම මගේ වැඩේට ගැළපුණේ නැහැ. ඒ නිසා ඒ කොටස් මගේ ව්‍යාපෘතියට අවශ්‍ය විධියට හැඩ ගස්වා ගන්න මට සිදු වුණා.’ ජැක්සන් කියනවා.

වසරක් තිස්සේ වෙහෙස වී නිම කළ ව්‍යාපෘතිය. 
ඒ සදහා ජැක්සන්ගේ පියාට ඩොලර් 10,000ක් වැය කිරීමට සිදු වුණා.

ඔහු මේ සඳහා යොදා ගත්තේ හයිඩ්‍රජන්වල සමස්ථානිකයක් වූ ඩියුටීරියම් වායුවයි. එය රික්තක කුටීරයක් තුළ ප්ලාස්මා මධ්‍යයක් සමඟ විදුලිය වෝල්ට් 50,000ක් යොදා ගෙන තාපයට ලක්කර පරමාණු විලයනය සිදු කළා.
න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් ක්‍රියා කරන්නේ කෙසේද? වායුවක් අයන හා ඉලෙක්ට්‍රෝන වෙන් වනතුරු තාපයට ලක් කිරීමයි, විලයනය ක්‍රියාවලියක දී සිදු වන්නේ. හයිඩ්‍රජන් වැනි සැහැල්ලු මූල ද්‍රව්‍යයක් යොදා ගෙන ඒ පරමාණු එකිනෙක ගැටීමට සලස්වා ඊට වඩා බරින් වැඩි මූල ද්‍රව්‍යයක් බවට පත් කිරීම මේ විලයන ක්‍රියාවලියක දී සිදු වෙනවා. හයිඩ්‍රජන් පරමාණු ඉතා අධික තාපයක් හා පීඩනයක් යටතට පත් කළ විට මේ විලයනය සිදු වෙනවා.

ඩියුටීරියම් හා හයිඩ්‍රජන්වල ඇති ට්‍රයිටියම් න්‍යෂ්ටිය වියලනය වී හීලියම් න්‍යෂ්ටියක්, නියුට්‍රෝනයක් හැදෙනවා. ඒ සමගම අධික ශක්තියක් නිකුත් කෙරෙනවා. මේක සිදු කෙරන්නේ සෙල්සියස් අංශක මිලියන 150ක් තරම් අධික උෂ්ණත්වයකට පත් කිරීමේ දී දැඩි තාපයක් ඇති ප්ලාස්මාවක්, පරමාණුක අංශුවලින් සමන්විත සූපයක් සෑදෙනවා.

මෙහි දැක්වෙන්නේ ඉතා දියුණු න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකවලට 
යොදා ගන්නා නවීන චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාකරන අයුරු 
චිත්‍රශිල්පියකුට පෙනෙන හැටියි. මැද දම් පැහැයෙන්  
දැක්වෙන්නේ ඇතුළේ ඇති ප්ලාස්මාවයි.

මේ ප්ලාස්මාව ප්‍රතික්‍රියාකාරකයේ බිත්තිවල නොගැටී තබා ගැනීමට අධිසන්නායක දඟරයක් පිටතින් යොදවා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. එය මඳක් හෝ තාපය අඩු නොවී ශක්ති ප්‍රභවය ඉහළ මට්ටමක තබා ගැනීමට උපකාර වෙනවා. මේ විදියේ ක්‍රියාවලියක් තමයි, මීට වඩා දැවැන්ත ආකාරයකින් හිරු මතුපිටත් සිදු වන්නේ.

ඔහු සිය න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකය ඉදි කළේ ඔහුගේ ගෙදර නිදන කාමරයක් පර්යේෂණාගාරයක් බවට පෙරළා ගෙනයි. ඔහුගේ 13 වැනි උපන් දිනයට පෙර ඔහු ඒ සංකීර්ණ උපකරණය තනා සාර්ථකව ක්‍රියාවට නංවා තියෙනවා.

මේ හපන්කම කරන්නට ඔහුට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා ගත්තේ න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියා පිළිබඳ උපදෙස් ලබා දෙන, ආධුනික භෞතික විද්‍යාඥයන් සඳහා වූ The Open Source Fusor Research Consortium නම් වෙබ් අඩවියෙන්.

ජැක්සන් ඔස්වෝල්ට්

පුතාගේ මේ ව්‍යාපෘතිය ගැන වැඩි දැනුමක් නොතිබුණත් පියා වූ ක්‍රිස්, මේ සඳහා අවශ්‍ය මුදල් වසරක් පුරා ම ලබා දුන්නා. ඒ නිපැයුමට පමණක් ක්‍රිස්ට ඩොලර් 10,000කට වැඩියෙන් මුදල් යොදවන්න සිදු වුණා. ඒ වගේ වෝල්ට් 50,000ක විදුලිය වැය වුණා. ‘පුතා කරන දේ ගැන මට දැනුමක් නොතිබුණත් මම පුතාගේ ආරක්ෂාව ගැන පමණක් සැලකිලිමත් වුණා. එහි අවශ්‍ය උපදේශකයන් පුතාට සම්බන්ධ කර දුන්නා.’ ක්‍රිස් කියනවා. විදුලිය වෝල්ට් දහස් ගණනක් උත්පාදනය කරන, ඒ වගේම විකිරණ නිකුත් කරන, මෙවැනි උපකරණවලින් සිදු විය හැකි හානි හා අනතුරු ගැන පුතා දැනුවත් කරන්නට, පුතාට අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගෙන දෙන්නට ඔහු උනන්දු වුණේ ඒ නිසයි .

‘මේ වගේ ක්‍රියාවලියකට විශාල වෝල්ටීයතාවක විදුලිය භාවිත කරන්න වෙනවා. ඉන් නිපදවෙන ශක්තියට වැඩි ශක්තියක් ඒ සඳහා වැය කරන්න වෙනවා. ඒ නිසා මේ ක්‍රමය විදුලිය නිපදවන්න යොදා ගන්න බැහැ’ ජැක්සන් කියනවා.

මේ උපකරණය තැනීමට උපදෙස් ලබා ගත්තේත්, 
උපාංග කොටස් මිල දී ගත්තේ අන්තර්ජාලයෙන් සැපයෙන සේවාවලින්.

ලෝකයේ අඩු ම වයසින් න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් නිපදවූ තැනැත්තා ලෙසින් ජැක්සන් ඔස්වෝල්ට් මෙසේ වාර්තා පොත් අතරට එක්වෙද්දී තවත් එවැනි හපනුන් ඇද්දැයි සොයා බලන්නට අපට සිතුණා.

2014 දී ඇමෙරිකාවේ ප්‍රෙස්ටන්හී ජේමී එඩ්වඩ්ස් තනා තියෙනවා, වයස අවුරුදු 13 දී තමාගේ ම න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක්. ඒ සඳහා මුදල් ලබා දුන්නේ ඔහුගේ පාසලේ මුල්ගුරුතුමායි.

ඔහු මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ 2008 දී 14 හැවිරිදි ටේලර් විල්සන් නම් දරුවකු එවැනි න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් තනා ලෝක ප්‍රසිද්ධියට පත් වූ නිසයි. ඔහු තැනූ න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකය ෆැරන්හයිට් අංශක මිලියන 500ක තාපය උපදවන ප්ලාස්මා මධ්‍යයක් සහිත වූ අතර එය සවි කර තිබුණේ ඔහු ජීවත්වුණු නිවසේ ගරාජයකයි. ඔහුට විද්‍යා ප්‍රදර්ශනයකින් ඩොලර් 50,000ක් තෑග්ගක්ද ලැබී තිබුණා. ඒ සමගම ඔහුට තරුණ අයට පිරිනමන ඩොලර් ලක්ෂයක මුදලක් තේල් ශිෂ්‍යත්වයක් (Thiel Fellowship) යටතේ ලැබුණු අතර ඉන්පසු ඔහු පාසල අත හැර ගොස් පර්යේෂණ කටයුතුවලට යොමු වුණා.

ඔහු කලින් 1996දී තවත් ළමයෙකු වූ ඩේවිඩ් හාන් න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් තනා තියෙනවා. සිය මව විසින් අත්හැර දමන ලද මැටි බඳුන් තනන වැඩපොළක තැනූ මේ උපකරණය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ දැඩි දීප්තියකින් යුුත් ආලෝක ධාරාවක් නිසා බියට පත් අසල්වැසියකු කළ පැමිණිල්ලක් නිසා පරිසර ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීම නිසා 1996 ජූනි මාසයේ උදෑසනක ආරක්ෂක ඇඳුමින් සැරසුණු පරිසර ආරක්ෂක අධිකාරියේ සේවක පිරිසක් පැමිණ ඒ ගොඩනැගිල්ල කඩා දමා ඩේවිඩ් සතු සියලු උපකරණ ආරක්ෂා සහිතව උටා කාන්තාරයට ගෙන ගොස් වළලා දැම්මා.

%d bloggers like this: