Menu Close

ලංකා සාන්ත සහ ඩේමියන්

(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද දේශීයහා අනන්‍යවැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය – දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය සරල වැඩි, වැඩකට නැතිතැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා….”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.

-ප්‍රියන්ත ෆොන්සේකා –

%d bloggers like this: