Menu Close

ආක්ටික්වල නිත්‍ය තුහින හිම භූමි දිය වුණොත් මොකද වෙන්නේ?

නිත්‍ය තුහින භූමි (permafrost) යනු මේ මිහි මත දක්නට ලැබෙන විශේෂ භූමි ප්‍රදේශයක්. පෘථිවියේ ඇලස්කාව, සයිබීරියාව හා කැනඩාව යන ආක්ටික් කලාපයේ පිහිටි ප්‍රදේශවල මේ නිත්‍ය තුහින භූමි අපට හමුවෙනවා. සෙල්සියස් අංශක බින්දුවට (00 C) පහළින් එනම් ෆැරන්හයිට් අංශක තිස් දෙකට (320F) පහළින් උෂ්ණත්වයක් ඇති, අඩු තරමින් වසර දෙකක්වත් එම උෂ්ණත්වය පවත්වා ගෙන යන බිම්වල තමයි, මේ තත්වය ඇති වන්නේ. ඒවායේ පස හා බොරලු, හිම සමඟ මිශ්‍ර වෙලයි පවතින්නේ.

නෝර්වේ රාජ්‍යයේ ලෝන්ජිඅර්තියන් අසල 
නිත්‍ය තුහින බිම් දිය වෙමින් යන අයුරු.

අපේ වායුගෝලයේ ඇති කාබන් ප්‍රමාණය මෙන් දෙගුණයක් කාබන් මෙම ලෝකයේ නිත්‍ය තුහින භූමිවල ගබඩා වි තියෙනවා. දැනට ගණන් බලා ඇති අන්දමට අනුව කාබන් ටොන් බිලියන 1500ක් පමණ මෙහි ගබඩා වී ඇතැයි සැලකෙනවා.

මේ කාබන් ලැබී තියෙන්නේ වසර දහස් ගණනක් තිස්සේ මිදී පවතින පැරණි වෘක්ෂලතා හා හිම මුසු පස නිසයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඇති වන තත්වය නිසා ලෝකයේ මේ නිත්‍ය තුහින භූමිවල හිම දිය වී යාමේ තර්ජනයක් දැන් ඇති වෙලා තියෙනවා. එහෙම දිය වුනොත් කාබන් ඩයොක්සයිඩ් හා මීතේන් ටොන් දහස් ගණනක් වායුගෝලයට එක් වෙන්න පුළුවන්.

ගෝලීය උණුසුම නිසා නිත්‍ය තුහින කලාපයේ 
හිම දිය වීමෙන් පසු එහි විලකින් මීතේන් බුබුලු මතුවන අයුරු.

නිත්‍ය තුහින බිම්වල උෂ්ණත්වය වැඩි වී හිම දිය වීමක් සිදුවුණොත් ලොව පුරා මුහුදු ජල මට්ටම එක්වරම ඉහළ යාමෙන් ගොඩබිමෙන් කොටසක් එක්වරම යට වී යා හැකියි. නිත්‍ය තුහින බිම්වල අනාදිමත් කාලයක් තිස්සේ සිර වී තිබුණු වසූරිය වැනි රෝග ඇති කළ හැකි මාරක විෂ බීජ නිදහස් වීමෙන් වසංගත රෝග ඇතිවිය හැකියි. 2016 දී සයිබීරියාවේ ඇති වූ ඇන්ත්‍රැක්ස් වසංගතය එයට එක් නිදසුනක්. බොහෝ කාලයකට පෙර ඇති වූ වසංගත හේතුවෙන් මියගිය සතුන්ගේ සිරුරුවල තිබූ රෝගකාකර විෂබීජ හිම අස්සේ නොනැසී තිබී හිම දිය වීමත් සමඟ ඒවා යළිත් සමාජයට මුදා හැරෙන්නට පුළුවන්.

මේ නිත්‍ය තුහින භූමි වසර දහස් ගණනක් හිමෙන් වැසී තිබීම හේතුවෙන් ඒ තුළ අතිතයේ සැඟවුණු රහස් බොහොමයක් සැඟවී තියෙනවා. ඒ නිසා ලෝක විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයක් යොමු වී තියෙනවා.

මෙම නිත්‍ය තුහින භූමිවල සැඟවී ඇති, එනම් වැලලී ඇති, වස්තූන් බොහෝ විට විනාශ නොවී ඒ තත්වයෙන් ම පවතින නිසා විද්‍යාඥයන්ට අතීත රහස් එළිදරවු කර ගැනීම පහසුයි. මේ භූමිවල සදා පවතින හිම නිසා සත්ව ශරීර කොටස් පවා නොදිරා ආරක්ෂා වෙනවා.

මේ නිත්‍ය තුහින භූමි කලාපයට අයත් සයිබීරියානු ප්‍රදේශයෙන් විද්‍යාඥයන්ට හමු වී තියෙනවා, වසර 2,500කට වඩා පැරණි ‍ එඬේර ගෝත්‍රික මළ සිරුරු කිහිපයක්. ඒවායේ සමෙහි කෙටූ පච්ච පවා ඒ අයුරින් ම තිබෙනු දැක ඔවුන් පුදුමයට පත් වුණා. ඒවා සිතියන්වරුන්ගේ මළ සිරුරු ලෙස හඳුනා ගෙන තියෙනවා.

සිතියන්වරුන් (Scythians) ජීවත්වුණේ ක්‍රිස්තු වර්ෂ 9 වන 4 වන සියවස් අතර කාලයේ වර්තමාන ඉරානය හා නැගෙනහිර යුරෝපයට අයත් රටවල් ආශ්‍රිතව පැවති සිතියාවෙහියි.

2010දී රුසියාවේ ආක්ටික් වෙරළේ දී හමු වී තියෙනවා, මැමත් පැටියකුගේ මළ සිරුරක්. එය වසර වසර 39,000ක් පැරණි එකක් වුනත් ඒ සිරුරෙහි රෝම එදා පැවති අයුරින් ම දක්නට ලැබිලා තියෙනවා.

මේ නිත්‍ය තුහින භූමි පෘථිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය හැදෑරීමේදී විද්‍යාඥයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මෙහි ඇති ආක්ටික් බිම් ප්‍රදේශවල පස හා ඛනිජ වසර දහස් ගණනක් තිස්සේ හිමෙන් වැසී පැවතීම නිසා ගැඹුරු කැණීම්වලින් බොහෝ දේ මතු කර ගන්න පුළුවන්. 

%d bloggers like this: