Menu Close

රත්තරං

හන්දියෙ මාලු විකුණපු සයිමන් අයියගෙ පුතාට කවුරුත් කිව්වෙ රත්තරං කියල. මිනිහගෙ ඇත්ත නම මොකක්ද කියල කවුරුත් දැනගෙන හිටියෙ නෑ. සමහර විට පොඩි කාලෙදි අම්ම “මගෙ රත්තරං පුතා” කියල කතා කරන්න ඇති. පස්සෙ ඒක කටට හුරුවෙලා හැමෝම රත්තරං කියන්න ඇති. කොහොම වුණත් මිනිහගෙ ගති සොබාවයත් එක්ක ඒ නම හොදටම ගැලපුණා. කොයි කාටත් ගුණේ ඇති හිත හොඳ කොලුගැටය කියල රත්තරං ගැන ගමේ මිනිස්සු කතා වුණා. රත්තරං ඉස්කෝල  ගියේ අටවෙනි පන්තියට වෙනකං විතරයි. කොහොමත් අද්යාපනේ මිනිහට වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඉස්කෝල යනව කියල රත්තරං වැඩි හරියක් කලේ යාලුවො එක්ක කැලෑ පැනපු එක. රත්තරං ගෙ අම්ම නැතිවුණේ රත්තරං දෙකේ පන්තියෙ ඉද්දි. තව කසාදයක් කරගන්නත් සයිමන්ට ඒ හැටි වගක් තිබ්බෙ නෑ. ඉතිං රත්තරං ගේ ලමා කාලෙත් කැලෑ කොලේටම ගෙවිල ගියා. රස්සාවක් කරපං කියල නෑදෑයන්ගෙ බලකිරීමට රත්තරං මාලු ලෑල්ලෙ අත් උදව්වට ගියා.
ගස් කපන සීබට් ගෙ පුතා ගුණපාල තමා රත්තරං ගෙ ගජ යාලුව. දෙන්න ඉස්කොලනේ කට්ටි පැන්නෙත් එකටමයි. කැලෑ වැදිල පිස්සු නැටුවෙත් එකටමයි. කොතන වුණත් දෙන්න දකින්න පුලුවන් වුණෙ එකට. ශරීර සොබාවයෙන් රත්තරංට තිබුණේ හීන්දෑරි අහිංසක පෙනුමක් වුණාට ගුණපාල උසමහත හැඩි දැඩි එකා. දවසක් දෙන්න කුරුම්බ කඩන්න ගිහිං ගුණපාල ගහෙන් වැටිල කකුල කඩා ගත්තු වෙලාවෙ ගුණපාලව උස්සං ඉස්පිරිතාලෙ දිව්වෙ රත්තරංම යි. සතියක් විතර ඉස්පිරිතාලෙ නැවතිල ගුණපාල බලා කියාගෙන වැඩකටයුතු කරදුන්නෙත් රත්තරංම යි. 
කොහොම වුණත් ගුණපාලගෙ එක්තරා දුර්ගුණාංගයක් තිබුණ. මිනිහට ගෑණු පේන්ඩ බෑ. පාරක තොටක හරි ස්ත්‍රී පරාණයක් දැක්කොත් ගුණපාල විසිල් පාරක් ගහල මොකක් හරි කටකැඩිච්ච කතාවක් කියනවම තමා. නමුත් ගමේ මොකක් දෙයකදි රත්තරං එක්ක එකතුවෙලා හරි හරියට වැඩකරන නිසා ගුණපාල ගමේ කාගෙත් හිත දිනාගෙන උන්නෙ.
“ඔය ගෑණු පෙරේතයව අස්සරේ නොකර ඉදපං”
සයිමන් දවසක රත්තරං ට කිව්ව.
“ගුණපාලය මොකා වුණත් මයෙ මොකෝ. ඌ මාත් එක්ක එක බත්පත බෙදාගෙන කාපු එකා”
රත්තරං කියුවෙ එහෙම. නමුත් කාටත් නොදැනෙන්න මිනිහ ගුණපාලට අවවාද කරපු බව නම් ඇත්ත. ඒත් ගුණපාල කියන්න එහෙම ලේසියෙං කවුරුත් කියන දෙයක් අහන එකෙක් නෙමේ.
සිරිමලී එක්ක රත්තරං ගෙ හිතවත් කම වැලි සෙල්ලම් බත් උයන කාලෙ ඉදංම තිබුණ එකක්. ඒකාලෙ.. සෙල්ලං ගෙවල් හදන කාලෙ, හැමදාම ගෙදර තාත්තට උන්නෙ රත්තරං ..අම්මා සිරිමලී.. රත්තරං ගෙ ගෙවල් කිට්ටුවට වෙන්නයි සිරිමලී උන්නෙ. ගමේ පොඩි උං සෙල්ලමට එකතු වුණේ ඒ ගෙදර පල්ලෙහා තිබ්බ පාලු ඉඩමට. ඉතිං සිරිමලීලගෙ දිහාවත් රත්තරංට අමුතු තැනක් වුණේ නෑ. බලන අය නං හිතුවෙ දෙන්න අතර තිබුනේ ආලවංතකමක් කියල, ඒත් ඒක ඇත්තටම මොකක් ද කියල ඒ දෙනන් වත් දැනගෙන උන්නෙ නෑ. 
ගුණපාලගෙ අමුතුම වෙනසක් සිද්දවෙමින් පවතින බව සිරිමලී ට තේරුම් යමින් තිබුණ. බොරු දේවල් හදාගෙන ගුණපාල සිරිමලී එක්ක කතාවට පැටලෙන්න හදමින් හිටිය. නමුත් සිරිමලී පුලුවන් තරම් ගුණපාලව මග ඇරිය. දවසක් දා නාන තොටුපලට ගිහින් එන අතර මගදි මග රැකල හිටපු ගුණපාල සිරිමලී ගෙ අතින් අල්ලාගත්ත. කටේම තියන වල් කතා දෙසාබාල ගුණපාල සිරිමලීව පොළඹව ගන්න උත්සහ කරා. රණ්ඩු කරල, පොර බදල කොහොම හරි සිරිමලීට පැනගන්න පුලුවන් වුණා. රත්තරං ගෙන් කිසිදෙයක් වසංකරගෙන ඉන්න සිරිමලීට පුලුවන් කමක් තිබුණෙ නෑ. නමුත් ගුණපාල ගැන කාරණා නම් සිරිමලී, රත්තරංගෙ කණේ තියන්න ගියෙ නෑ. ඒත් මේ සිද්දියෙං පස්සෙ හැමදෙයක්ම රත්තරංට කියන්න ඕන කියල සිරිමලී හිතුව. 
“උබ රටේ ලෝකෙ ගෑණු එක්ක ඕන විගඩමක් නටාගනින්. හැබැයි සිරිමලී විතරක් ඕවට ගාවගන්න එපා..”
සිද්දය දැනගත්තට පස්සෙ රත්තරං ගුණපාලට අවවාද කලා
“ඇයි උබ ඒකිගෙ බාප්ප ද… උබට විතරද ඒකිත් එක්ක ආලෙ කොරන්න පුලුවන් අපිට බැරිද..”
ගුණපාල සුපුරුදු උද්දච්ච කමින් උත්තර දුන්න.
“අපි අතරේ ඒම මගුලක් නෑ…ඒකි වෙන කාටත් වඩා මා එක්ක හිතවත්..එච්චරයි. උබ ඒකිට කරදර නොකර හිටපන් ඒ ඇති..”
“හරි හරි බං…”
ගුණපාල එහෙම කිව්වත් හිත ඇතුලෙ ගින්දර බුර බුරා නගිමින් තිබුණ. රත්තරං ට විස්තරේ කිව්ව එක ගැනත් ගුණපාල උන්නෙ තරහින්. තමන්ට අවස්තාවක් එනකං හොඳ ඉවසීමෙන් ගුණපාල බලාගෙන උන්න. දවසක් හැන්දෑවක ගුණපාලට අවස්තාවක් උදාවුණා. එදා ගෙදර හිටියෙ සිරිමලී විතරයි. වටපිට බලල කාත් කවුරුත් ලඟ පාතක නැති බවට සැක ඇර ගත්ත ගුණපාල හෙමිං සැරේ ගෙට රිංගුව. සිරිමලී උන්නෙ කුස්සියෙ වැඩ කරමින්. හොරෙන් අඩි තිය තියා කුස්සියට ආව ගුණපාල, පිටිපස්සෙන් ගිහින් එකපාරම සිරිමලීව බදාගත්ත. සිරිමලී කෑගහන්න උත්සහ කළා. නමුත් හැඩිදැඩි ගුණපාල ඉණේ හංගගෙන ආව රෙදි පටියෙන් සිරිමලීගෙ කට ගැටගැහුව. සිරිමලී බේරෙන්න වෙර දැරුත් මේ සැරේ නම් වෛරෙන් වගේම රාග ගින්නෙන් අසීමිතව දැවෙමින් උන්න ගුණපාල එක්ක හැප්පෙන්න සිරිමලීට අමාරු වුණා. ඒත් සිරිමලීගෙ පෙර පිනකට වගේ එදා ඒ වෙලාවෙම රත්තරං මාලු වගයක් අරගෙන සිරිමලී ගෙ ගෙදරට ආව. සුපුරුදු පරිදි කුස්සය පැත්තෙන් ගෙට ගොඩ වදිනකොට සිද්දවෙමින් තිබුණ දර්ශනේ දුටුව රත්තරං ගේ ඇඟ පුරා විදුලියක් කෙටුව වගේ වුණා..
“මං උබට කිව්ව නේද පාහරයෝ” 
කියාගෙන රත්තරං ගුණපාල දිහාවට දුවගෙන ආව.
“ඇයි තොගෙ අණ පිලිපදින්න තෝ මහඒජන්ත උන්නාන්සෙද බොල ..”
කියාගෙන ගුණපාල රත්තරං දිහාට පැන්න. එසැණින් රත්තරං දුන්න පා පහරින් ගුණපාල විසිවෙලා ගිහින් දඩෝං ගාල බිත්තියෙ හැප්පුණා. ගුණපාලව බිත්තියට හේත්තු කරල මේසෙ උඩ තිබ්බ මන්න පිහිය අතට ගත්ත රත්තරං ගුණපාල ගෙ බෙල්ලට පිහිට තිබ්බ. රත්තරං හොඳට මූණ ලංකරල ගුණපාල දිහා බැලුව. ඒ ඇස් දෙකෙන් මතුවෙච්ච ගිණි පුපුරු වලට ගුණපාලව පිච්චිලා ගියා වගේ වුණා. ඒත් සුපුරුදු පරිදි ගුණපාලගේ වාචාල කට ඉස්සර වුණා. 
“කොටපන් පුලුවන් නම් ..කොටපන් බලාගෙන ඉන්නෙ… අනේ පලයං කැහුටො යන්න…”
රත්තරං වේගෙන් ගුණපාලගෙ දකුණු අත ඇදල අරගෙන බිත්තියට තද කරල, මාලු කපන්නැහේ මන්නෙන් කොටාගෙන කොටාගෙන ගියා. ගුණපාලගෙ අතේ ඇඟිලි හතරක් ගැලවිලා බිම වැටුණ. බුදු අම්මෝ.. කියල කෑගැහුව ගුණපාල ලේ පෙරාගෙන පාර දිව්ව. රත්තරං ගෙ අතින් මන්නෙ බිම වැටුණ. අනිත් පැත්ත හැරුණු රත්තරං සිරිමලී දිහා එක පාරක් බලල වත්ත කොනේ දං පදුරු මැද්දෙන් නොපෙනී ගියා. නිල්පාට කොටු වැටුන සුදු කමිසයක් ඇදගෙන රත්තරං, වෙල මැද්දෙන්, කඩමණ්ඩයට යන  පාර දිගෙ, බැහැගෙන යන ඉර පසුබිම්ව ඇවිදයමින් හිටි බව සමහරු දැකල තිබුණ. ගමේ මිනිස්සු රත්තරංව දැක තිබුණ අන්තිම වතාව තමා ඒ.

%d bloggers like this: