Menu Close

එක්දාස් එකසිය විසි හත

අසා බැලුවෙමි
එක්දාස් එකසිය විසි හත් වෙනි වරටත්
“හොඳින් නේද ?”
ඔව්.. හොඳින්..
..
දැල්වී ඇත
පරිඝනක තිරයක්
පසෙකින් ඇසෙයි
ඇමතුමක හඬක්
…….
“කතා කරන්න බෑ බබා
මං වැඩ දැන්
පස්සෙ ගන්නම්”
…………
ඒ පළමු වර
..
කිසිවෙකුත් නැති 
අසුනක්
මේසයක් මත 
ලිපි ගොනුවක් තුළ
යම් දෙයක් කුරුටු ගෑ
කඩදාසියක්..
ඒ දහතුන් වෙනි වර..
…..
පුරුදු මඟකින් නොව
වෙනත් මඟකින් 
පමාවී එමි..
නිවස වෙත යන පාරට
ඇවිද එමි අඳුරේ
ගසකින් ගිලිහෙන පතක් සේ
ඒ හැට අට වන වාරය යි
………..
උරහිස මත දැනෙයි
සුපුරුදු හිසක බර
සියුමැලි අත්ලක්
සොයයි මගෙ සුරත 
පපුව මත නතරවුණ
කඳුළු බිඳුවක
තෙතබරිත
පැල්ලම
බොඳව යයි කමිසයට
ඒ එකසිය හතළිස් තුන් වෙනි වර ය.
……………….
විවාහ උත්සවයක්..
ඇසෙයි සංගීත නාදය
දැල්වේ විදුලි බුබුළු අවට..
ඈතින් පෙනේ
අමුත්තන් හට
අතට අත දෙන නව යුවළ
ඒ පන්සිය තිස් එක් වෙනි වර ය..
…………………………
පියාඹායයි බස් රථය
එක්තරා උයනක් පසු කර
සේපාලිකා ගසක හෙවණේ
මිටි බංකුව
පෙනී නොපෙනී යයි 
ඈතට
…………………………………………….
හොඳින් නේද? 
අසමි
එක්දාස් එකසිය විසි අට වෙනි වරට…

%d bloggers like this: