Menu Close

විප්ලවවාදියෙක් හමු වුනෙමි


ඒ ජවිපෙ-එජාප භිෂණය දරුණුවටම පැවති 88/89 වකවානුවයි. එය අප සරසවි සිසුන්යැයි පැවසීමට තබා කෙඳිරීමටද බියවූ සමයකි. දෙමව්පියන්ගෙන් හැම දෙයටම මුදල් ඉල්ලීමට නොහැකි නිසා අප බොහෝ දෙනෙකු කුමක් හෝ අවිධිමත් රැකියාවකට යොමු විය. උපකාරක පන්ති හෙවත් ටියුෂන් මේ අතරින් ප්‍රධාන විය.

අප එදවස බොරලැස්ගමුව පරෝපාකාර මාවතේ නිවසක පදිංචි වී සිටි අතර, මම සතියකට වතාවක් අබේරත්න මාවතේ පිහිටි නිවසක සිසුවෙකුට උපකාරක පන්තියක් පැවැත් වුයෙමි. මේ සඳහා යාමට තිබු  කිලෝමීටර 2-3 ක දුර ඇතුලත පාරවල් වලින් පාගමනින්ම යාමට මම පුරුදු වී සිටියෙමි. එම මාර්ගයේ එක් හරියක පාළු කනත්තක් තිබුණි. එකල එහි වැටවල් කැඩී බිඳී ගොස් තිබුණු අතර ගේට්ටු නොවීය. මේ කනත්ත වටේ පාරෙන් යනවාට වඩා කනත්ත මැදින් යාමෙන් මීටර දෙතුන් සියයක් මාර්ගය කෙටි කරගත හැකි විය.

දිනක් මම සවස් වරුවේ පන්තිය නිමවී පැමිණෙන විට කනත්ත අසලදී වර්ෂාවක් ඇරඹුණි. මේ නිසා මම කනන්තේ පාංශකූලය දීම සඳහා මෘත ශරීරය තැම්පත් කරන කුඩා ශාලාවට දිවගොස් එහි කොට බිත්තිය මත වාඩි වුනෙමි. එවිටම කනත්තේ කැලෑවට ගොස් තිබූ කොටසකින් මතු වූ කිසිවෙකු වේගයෙන් මා සිටින දෙසට දිව ආවේය. ඔහුගේ එක් අතක කුඩා පිහියක්ද, අනෙක් අතේ සිලි මල්ලක්ද විය. එම පුද්ගලයා මගේ වයසේම වාගේ විය. ඔහුද වර්ෂාවෙන් බේරීමට දිව ආ බව පෙනුණි.

මා දෙස බලා සිනාසුනු තරුණයා “මාර වැස්සක්, හිතුවේ වත් නැහැ වහී කියල ඉර පායලා තිබුණු විදියට” යයි කීය.  ඔහු ඇඳ සිටි දුර්වර්ණ වූ ටී ෂර්ට් එකත්, මැහුම් ලෙහුණු කොට කලිසමත්, අඩියටම ගෙවුණු රබර් සෙරෙප්පු දෙකත් ඔහුගේ දරිද්‍රතාවය කියා පෑවේය. එහෙත් මෙම තරුණයා කඩවසම් පෙනුමකින් යුක්ත විය. 

ටික වෙලාවකින් අපි කුළුපඟ කතා බහකට අවතීර්ණ වුනෙමු. ඔහුගේ අතේ ඇති මල්ලේ යම් කොළ වර්ගයක් වැනි යමක් දුටු බැවින් මම “බෙහෙතක් හොයන්න ආවද?” කියා ඇසුවෙමි.

මදක් නිහඬව සිටි තරුණයා “නැහැ මල්ලි, ඇත්තටම මම ආවේ කැලේට වැවිලා තියෙන මැල්ලුම් කොළ ටිකක් කපාගෙන යන්න. රෑට උයන්න” කියා උත්තර දුන්නේය.

එතැන් සිට අපි දෙදෙනා බොහෝ පෞද්ගලික කාරණා කතා බහ කළෙමු. ඔහු සහ දෙමව්පියන් සිටින්නේ කනත්තට යාබද රජයේ ඉඩමක කුඩා පැල්පතකය. නිවස අවට ඉඩමෙහි ඔහුගේ දෙමව්පියෝ මඤ්ඤොක්කා සහ බතල පාත්තියක් වගා කර ඇත. ඔවුන් ඉරිදා කරගම්පිටියේ පොළට මෙහි පලදාව රැගෙන ගොස් විකුණා ඒ ලැබෙන මුදලින් ජිවත් වෙති. තරුණයා ගරාජයක වැඩකර ඇති අතර එයට නිතරම පොලිසියෙන් පැමිණ වැඩකරන තරුණයන්ගෙන් ප්‍රශ්න කරන්නටත් තර්ජන ගර්ජන කරන්නටත් වූ බැවින් තරුණ වියේ පුතුන් සිටි ගරාජය හිමිකරුවා එය වසා දමා ඇත. දැන් ඔහු දෙමව්පියන්ට අත් උදව් දෙමින් ජීවත්වෙයි.

“බයයි මල්ලි ඉන්න, රස්සාවක් කරන්නේ නැහැ කිව්ව ගමන් පොලිසියෙන් ගෙනිහින් නෙලනවා”, ඔහුගේ දෙනෙතේ ඇත්තේ අසරණ කමකි. මගේ තත්වයද ඔහුගෙන් ඒ හැටි වෙනස් නොවන බව මම නොකියා සිටියෙමි.

“අපි පවුල් දොළහක් විතර වත්තේ ඉන්නවා ගෙවල් අටවාගෙන. හැමෝම කරන්නේ ඔය එළවළුවක් පලාවක් වවාගෙන පොලට ගිහින් විකුණගන්න එක. ඒකත් ඉතින් සතියට එක පාරයිනේ”.

මම මදක් කල්පනා කලෙමි. මම ඔහුගේ තැන සිටියා නම් කරන්නේ මොනවද කියා සිතුවෙමි. ඉන් පසු මම ජිවිතේ පලවෙනි ව්‍යාපාරික උපදේශනය මෙම තරුණයාට ලබා දුනිමි.

“ජයන්ත, ඔයා මෙහෙම කරන්න. පුලුවන්නම් කොහෙන් හරි බයිසිකල් කට්ටක් හොයාගෙන ඒකෙ ලගේජ් එකට ලොකු ලී පෙට්ටියක් හයි කරගන්න. ඔයගොල්ලන්ගේ වත්තේ කට්ටිය වවන දේවල් ඔයාට උදේට නයට ඉල්ලගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඒවා මේ පැත්තේ ගෙවල් වලට විකුනන්න බලන්න. හැබැයි ටිකක් කෑගහන්න, චාටර් වෙන්න වෙනවා”.

“මේ දවස්වල මිනිස්සු වැඩිය එහෙ මෙහෙ යන්නත් කැමති නැති නිසා ගේ ළඟටම ගෙනත් දෙන එක ගන්න කැමති වෙයි” මම කතාව අවසාන කලෙමි.

“නියම වැඩේ මල්ලි, බයිසිකල් කට්ටක් තියෙනවා එක මාම කෙනෙකුගේ ගෙදර. ලී පෙට්ටිය ගහගන්න මට පුළුවන්. වැඩ කරපු ගරාජ් එකේ මහත්තයගෙන් ලී පතුරු ටිකක් ඉල්ලා ගන්න පුළුවන්” ජයන්ත මා සිතුවාට වඩා බොහෝ සෙයින් සතුටු වන බව පෙනුනි. ඔහු තව විනාඩි කිහිපයක් මා සමග කතා කලත් ඔහු සිටියේ බොහෝ දුර කල්පනාවකය.

වැස්ස තුරල් වන විට “මම තව වැල් කොහිල දළු ටිකක් කපාගන්න දුවන්නම්. කළුවර වැටුනොත් අමාරුයි” කී ජයන්ත පඳුරු අතරින් නොපෙනී ගියේය.

නැවතත් මට ජයන්තව හමු වුයේ ඊට වසරකට පමණ පසුවය. එවිට රටේ තත්වය සන්සුන් වී සරසවි විවෘත වී තිබුණි. මම සරසවියට යාම පිණිස උදෑසන බස් නැවතුම් පොළ වෙත පියනගමින් සිටියෙමි. මා පසුකර ගිය C-90 යක් එකවරම නැවැත්විය. බයිසිකලයේ පිටුපස විශාල ලී පෙට්ටියක් විය. මා අසලට යන විට හෙල්මටය ගැලවූ පුද්ගලයා “මල්ලි මාව මතකද?” කියා විමසීය.

ජයන්ත දැන් බිත්තර වෙළදාමක් කරයි. උදේට පළාතේ නිෂ්පාදකයන්ගෙන් බිත්තර ලබාගන්නා ජයන්ත ඒවා කඩ වලට බෙදයි. එමගින් ඔහුට හොඳ ආදායමක් ලැබෙන බව ජයන්ත නිහතමානිව කීය. මෝටර් බයිසිකලයද ඔහුගේමය. පාවිච්චිකළ රථයක් ගත් බවත්, එහි මිලත් ජයන්ත මා සමග කීය. දැන් පාපැදියේ එළවලු රස්සාව කරන්නේ ඔහුගේ පියාය. එළවලු කොටුවලට සාත්තු කිරීමටත්, අවට වගා කරුවන්ගෙන් පලදාව එකතු කිරීමටත් ඇති බැවින් ඔහුගේ මව දැන් පොලෙහි වෙළඳාමට නොයන බව ඔහු කීය.

“මල්ලිගේ පැලෑන් එක නම් නියමයි. ඉන්නකෝ පොඩ්ඩක්, මම හිතුවා කවද හරි හම්බ වෙයි කියල” කියමින් මෝටර් සයිකලයෙන් බට ජයන්ත බෑගයක් ගෙන පෙට්ටියෙහි තිබු බිත්තර එහි අසුරන්න විය.

“මේ මොකටද” මම ඇසුවෙමි. 

“මල්ලිට මේ බිත්තර ටිකක් දෙන්න. හම්බ වුන එක කොච්චර දෙයක්ද”.

මා සරසවියට යන බැවින් බිත්තර ගෙනයාමට නොහැකි බව ඉතා අසීරුවෙන් මම ජයන්තට පැහැදිලි කර දුන්නෙමි. “එහෙනම් මම ගෙදරට ගෙනත් දෙන්නම්” යයි ජයන්ත කීවත් මම කෙසේ හෝ ඒ කතාවත් මග හැරියෙමි. කතා කිරීමට බොහෝ දේ තිබුණත් මගේ හදිස්සිය නිසා අපට ඉක්මනින් සමුගන්න සිදුවිය.

ඉන් පසු වසර දහයක් දොළහක් පමණ ගත විය. ජිවිතයේ බොහෝ වෙනස්කම් සිදුවිය. ජයන්තව මට අමතකම වී ගියේය.

දිනක් යම් කටයුත්තකට ගොස් එන අතර මම අත්තිඩිය ප්‍රදේශයේදී තැඹිලි ගෙඩියක් බිමට සිතා මෝටර් රථය නවත්වා අසල පිහිටි කඩයකට පිය නැගුවෙමි.

එය තරමක විශාල හාල්, සීනි, පිටි වැනි සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ රාශියක් තිබෙන සිල්ලර සහ කුඩා තොග වෙළඳ සලකි. එහි  එළියේ මනාවට එළවලු ඇතුරූ  විශාල ලී තට්ටුවකි. ඒ අසල තැබූ තැඹිලි වලු කිහිපයකි. වයස අවුරුදු 18 ක පමණ කොලු ගැටයෙක් එහි අඩු එළවලු පුරවයි. 

බීමට තැඹිලි ගෙඩියක් කපන්න යැයි කොලු ගැටයාට කියූ මම කඩය තුලට දෑස යොමු කලෙමි. එහි  කුඩා ඉනිමගකට නැග තවත් තරුණයෙක් පෙට්ටි වගයක් රාක්කයක තැම්පත් කරයි. අනෙක් කෙලවරේ ඇති කැෂියර් මේසය පිටුපස කඩේ හිමිකරුවා යයි සිතිය හැකි අයෙක් මුදල් ගණන් කරමින් කොලයක යමක් ලියයි. ඔහුගේ කරේ ඝනකම රත්‍රං මාලයකි. තරමක තරබාරු මේ පුද්ගලයා ජයන්ත වත් දෝයි මට නිකමට සිතුණි. මා අවසන් වරට දුටු නව යොවුන් තාරුණ්‍යයෙන් සැහෙන එපිටට පිය නගා තිබුනද ඒ මුහුණේ හැඩරුවෙන් නම් ජයන්තමය. 

ඒ සමගම යම් සමාගමකට අයත් ලොරියක් ඇවිත් කඩය ඉදිරිපිට නැවැත්වුනි. ඉන් පිටතට බට, අත් කොට කමිසය හැඳ, ටයි පටියක් දා ගත් අලෙවි නියෝජිතයෙක් කඩය තුලට පිය නැගීය. බාහිර අයට ඇතුළු විය නොහැකි සේ සකස් කර තිබු කෙටි පියන්පත් අසලට ගිය අලෙවි නියෝජිතයා “ජෑන්ත මුදලාලි” යයි තරමක හඬින් කතා කලේ මගේ සැකය තහවුරු කරමිනි. හිස ඔසවා බලු ජයන්ත හිනිමගේ සිටි ගැටයා අමතා පියන්පත් අරින ලෙස සංඥාවක් කළේය. ඔහු මා දෙස නොබැලීය. ඒ සමගම තැඹිලි ගෙඩිය කැපූ ගැටයා එය මට පිළිගැන්වීය. 

තැඹිලි ගෙඩිය පානය කල මම ගැටයා අතට මුදල් දී වාහනයට පැමිණියේ ලොවක් ජයගත්තා වැනි සතුටකිනි. ඉන් පසු මම කවදාවත් ඒ කඩයට නොගියෙමි. ජයන්ත මාව හැඳින ගැනීමක් මට අවශ්‍ය වුනේ නැත. මා දෙසවත් නොබලා ඔහු ඔහුගේ ජයග්‍රාහී කතාව අග ඉදන් මුලටම මට පහදා දුන් බව මට වැටහුණි. කවුරුවත් නොදන්නා නමුත් ඒ ජයග්‍රහණයේ කෙළවරක මගේ නමත් ලොකු අකුරෙන් ලියවී ඇති බව මට සිතුනි. 

අද ජයන්ත කොතැනක සිටිනවාදැයි මම නොදනිමි. මම ඒ පලාතෙන් බොහෝ දුර ඈතකය. එහෙත් මට කනත්තේ දී හමුවූ ජයන්තට වඩා බොහෝ සෙයින් හොඳ ජීවන තත්වයක් ජයන්ත විසින් තව විසි තිස් දෙනෙකුට වත් ඍජුව මෙන්ම වක්‍රවද ලබා දී ඇති බව මට නොඅනුමානය.
ජයන්ත මට සැබෑ විප්ලවවාදියෙකි. අවි අතට ගෙන සමාජය වෙනස් කිරීමට කියා සමාජය සතු දේම විනාශ කල ජයන්තගේ සමකාලිනයෝ බොහෝ දෙනෙක් සමාජයට තබා තම දෙමව්පියන්ටවත් යමක් නොකර අකාලයේ මිය ගියෝය. ඔවුන් මුළු සමාජයම වසර ගණනාවකින් ආපස්සට ගෙන ගියහ. අදටත් ඔවුන්ගෙන් ඉතිරි වූ අතලොස්ස ඒ විනාශය අභිමානයෙන් සමරති. අළුතෙන් සමාජයට පිය නගන තාරුණ්‍යයද ඒ මගම ගෙන යති. 

ලිප්ටන් වට රවුමේ, වෝඩ් පෙදෙසේ, පිටකොටුවේ දවස් ගණන් තම කාලයද අනුන්ගේ කාලයද කා දමන තාරුණ්‍ය පිළිබඳව අසන දකින හැමවිටම මට ජයන්තව මතක් වෙයි. ඔවුන්ගේ සටන ජයන්තගේ සටන වුණා නම්….. 

ජපානයේ, දකුණු කොරියාවේ, තායිවානයේ සිදු වුනේ, අද වියට්නාමයේ මෙන්ම බංගලාදේශයේ පවා සිදුවන්නේ මේ විප්ලවය නොවේදැයි මට සිතේ. 

මේ ලිපිය කියවා තව එක විප්ලවවාදියෙක් බිහිවේ නම් එය මට රජකම ලැබුනාට වඩා අගනේය. 





%d bloggers like this: