Menu Close

වෛශ්‍යාවක ව සිට රැජිණක් වූ තියඩෝරා

තියඩෝරා චරිතය අපට හමුවන්නේ බයිසැන්තියානු අධිරාජ්‍ය සමයේ දී ය. එනම් ක්‍රි .ව. හයවන ශතවර්ෂය තුළ දී යි. ආරම්භයේ දී ගණිකාවක ව සිට පසු ව, පළමු ජස්ටීනියන් අධිරාජ්‍යයාගේ බිරිඳ වී රැජිණක් වීම ලෝක ඉතිහාසයේ සුවිශේෂී මෙන්ම අහඹු සිදුවීමකි.
තියඩෝරාගේ කුඩා කාලය පිළිබඳ ඇත්තේ තොරතුරු අල්පයකි. ප්‍රොකොපියස් නම් ඉතිහාසඥයාට අනුව තියඩෝරා උපන්නේ ක්‍රි. ව. 497 දී ය. ඇයගේ පියා අකේෂස් නැමැත්තෙක් වන අතර, ඔහුට දූවරු තිදෙනෙක් විය. අකේෂස්ගේ රැකියාව වූයේ කොන්ස්තන්තිනෝපලයෙහි පිහිටි හිපඩ්‍රෝම් (අශ්වයන් වැනි සතුන් විනෝද කටයුතු සදහා යොදාගනු ලැබූ රෝමයේ/ ග්‍රීසියේ ගොඩනඟනු ලැබූ රංග පීඨයක්) රංග පීඨයේ විනෝද කටයුතු සදහා වලසුන් පුහුණු කිරීම යි. ඔහුගේ දියණියන් තිදෙනා ම ඉතා රූමත් වූ අතර, ඔහුගේ මරණයෙන් පසු දියණියන්ගේ මව විසින් ඔවුන්ව පළාතේ ප්‍රසිද්ධ රංග වේදිකාවට හඳුන්වාදෙන ලදී. මොවුන් අතරින් තියඩෝරා අතිශයින් ජනප්‍රිය වූ අතර, ඇය කාම ආශාවෙන් පෙළුණු ඕනෑම පිරිමියෙක් සමග කිසිදු පැකිලීමකින් තොරව යහන්ගත වීමට හුරුපුරුදු වූ වෛශ්‍යාවක් බවට පත් වූවා ය. නමුත් සැලකිය යුතු කරුණක් නම්, ඇය ආරම්භයේ දී යෙදී සිටි වේදිකා රංගනය හා පසු ව යෙදුණු ගණිකා වෘත්තිය එකල බයිසැන්තියානු අධිරාජ්‍යය තුළ ගෞරවනීය නොවන රැකියා ලෙස සැලකූ බව යි.
මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින ස්ථානයක වුව ද සියලු ඇඳුම් උනා දැමීම තියඩෝරාට එතරම් අමාරු කාර්යයක් නොවීය. ඇය පිරිමින් සමග එක් වී ගැබ් ගත් සෑම අවස්ථාවක දී ම පාහේ ඇය එම දරු ගැබ විනාශ කළා ය. ඇයගේ මෙම රූප සොබාවට එක් විශේෂ පුද්ගලයෙන් වශී විය. ඔහු ජස්ටීනියන් නම් වූ අතර, රජ පවුලේ සාමාජිකයෙකි. තියඩෝරා සමග දැඩි ප්‍රේමයකින් පසු වූ ජස්ටීනියන්, මුල දී ඇය ව තම අනියම් බිරිඳ කොට තබා ගත්තේ ය. ඇය ඉල්ලන ඕනෑම දෙයක් දීමට ජස්ටීනියන් එක පයින් කැමති වූ අතර, ඔහුට ඇය ව තම නීත්‍යනුකූල බිරිඳ ලෙස තබා ගැනීමට දැඩි වුවමනාවක් විය. නමුත් එකල සෙනට් තානාන්තරයක් දැරූ පුද්ගලයෙක්ට ගණිකාවක් හෝ රංගන ශිල්පිනියක් විවාහ කරගැනීම නීතියෙන් තහනම් විය. මේ නිසා ඔහු තම මාමා වූ ජස්ටින් අධිරාජ්‍යයා හට කන්නලව් කර මෙම නීතිය ද වෙනස් කරමින් තියඩෝරා සමග විවාහ වූයේ ය.
ක්‍රි .ව. 527 දී ජස්ටින් අධිරාජ්‍යයා මියගිය අතර, ඔහුගෙන් පසු ජස්ටීනියන්, අධිරාජ්‍යයා බවට පත් ව තියඩෝරා රැජිණ බවට පත්විය. ඇය ජස්ටීනියන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කරමින් ජස්ටීනියන්ගේ දකුණු අත ලෙස කටයුතු කළා ය. ඇයගේ රාජ්‍ය පාලන හැකියාව ගැන මොනවට කියාපාන නිදසුනක් ක්‍රි .ව. 532 ජනවාරි මස දී රාජ්‍යයේ සියලු දෙනාට අත්දකින්නට ලැබුණි. ජස්ටීනියන් අධිරාජ්‍යයාට විරුද්ධ ව කැරැල්ලක් ඇති වූ අතර, එහි අරමුණ වූයේ ඔහු ව සිහසුනෙන් නෙරපා දැමීම යි. අධිරාජ්‍යයාගේ අනෙකුත් උපදේශකයින් ඔහුට අධිරාජ්‍යය අතහැර පලා යන ලෙස උපදෙස් දුන් නමුත්, තියඩෝරා කියා සිටියේ ඔහු අධිරාජ්‍යය තුළ සිට කැරලිකරුවන් මැඩ පැවැත්විය යුතු බව යි. ජස්ටීනියන් ඇයගේ කීම අනුව ක්‍රියාත්මක වූ අතර, කැරලිකරුවන් මැඩලීමට බෙලසේරියස් සෙනවියාට පැවරීය. එහි ප්‍රථිපලය වූයේ කැරලිකරුවන් හිපඩ්‍රෝමයට ගාල් කර ඝාතනය කිරීම යි. කැරලිකරුවන් මැඩ පැවැත්වූ නමුත් ඔවුන් ඒ වන විටත් නගරයට විශාල වශයෙන් හානි කර තිබුණි. ජස්ටීනියන් හා තියඩෝරා එක් ව කොන්ස්තන්තිනෝපල් නගරය නැවත සැකසූ අතර, එය අවසන් වූයේ එකල ලෝකයේ තිබූ අලංකාරතම නගරවලින් එකක් ලෙස කොන්ස්තන්තිනෝපලය වැජඹවීමෙනි. මෙම නගර නිර්මාණයෙහි විශේෂ සන්ධිස්ථානයක් වන්නේ හග සොෆියා හෙවත් ශුද්ධ වූ ප්‍රඥාවේ දේවස්ථානය නැවත ගොඩනැඟීම යි. එය වර්තමානයේ දී ද දක්නට ලැබේ.
ජස්ටීනියන් විසින් සම්පාදනය කරන ලද නීති සංග්‍රහයට තියඩෝරා විශාල කාර්යභාරයක් ඉටු කළා ය. ඒ අතරින් වැඩිමනක් කාන්තාවන් හා සබඳි නීතීන් ය. උදාහරණ ලෙස කාන්තාවන්ට දේපළ තබා ගැනීමට අයිතිය ලබා දීම, දික්කසාදය ලබා ගැනීමට කාන්තාවට අවසරය ලබා දීම, හා කාන්තාවක් දූෂණය කිරීමට මරණ දඬුවම ලබා දීම ඉන් විශේෂ වේ. තියඩෝරා වයස අවු. 48 දී බරපතල රෝගී තත්ත්වයක් මත (බොහෝ විට පිළිකාවක්යැ යි කිය යි) මියගියා ය. ඇය ව කොන්ස්තන්තිනෝපලයේ අපෝස්තුළිවරුන්ගේ දේවස්ථානයේ භූමිදාන කළ අතර, ජස්ටීනියන් මියගිය පසු ඇය අසල ම භූමිදානය කරන ලදී.
ජස්ටීනියන් හා තියඩෝරා ගැන විස්තර අපට හමුවන්නේ ප්‍රොකොපියස් නම් ඉතිහාසඥයා ලියූ ග්‍රන්ථ මඟිනි. ඔහු ජස්ටීනියන් සිටි කාලයේ දී ම ජීවත් වූ අයෙක් වූ අතර, ඔහුගේ එක් පොතක හැර අනෙක් පොත්වල ඇත්තේ ජස්ටීනියන් හා තියඩෝරා ගැන ගුණ වර්ණනාවන් ය. නමුත් ජස්ටීනියන් මියගිය පසු ප්‍රොකොපියස් විසින් ලියන ලද ‘The Secret History’ නම් ග්‍රන්ථයේ මෙම දෙදෙනාගේ පිළිකුල් සහගත පක්ෂය අනාවරණය කරයි. එහි සඳහන් වන්නේ මෙම දෙදෙනා ලේ පිපාසිත කෲර පාලකයන් බව යි.
තියඩෝරා කෙතරම් අලංකාර හා බුද්ධිමත් කාන්තාවක වුව ද, ආදරයේ නාමයෙන් ජස්ටීනියන් විසින් එතරම් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති වෛශ්‍යාවකට රාජ්‍ය පාලනයේ බරපතල වගකීම් ලබා දෙන්නේ ඇයි? මේ සියල්ල සිදුවූයේ ආදරය නිසා ම ද? නැතිනම් වෙනත් හේතුවක් තිබේ ද? මෙයට පිළිතුරක් දීමට තවම කිසිවෙකු සමත් වී නැත.
[ වසර දෙකකට පෙර Roar Sinhala වෙබ් අඩවිය සදහා ලියූ ලිපියකි. පහත ලින්කුවෙන් ගොස් එම වෙබ් අඩවියට ලියූ ලිපි කියවිය හැක.
මූලාශ්‍රයයන්:
ලෝක ඉතිහාසයේ මං සලකුණු – ජස්ටින් බෙලගමගේ
ancient-origins.net
History.com

%d bloggers like this: