Menu Close

මේ කොයි යන්නේ

ඒ පක්‍ෂ දේශපාලනය මිනිසුන්ගේ ඇට මිදුළු තුල ස්ථාපිත වී තිබූ 70-80 වකවානුවයි. ජිනදාස නියතපාල යනු එවකට සිටි ප්‍රකට දේශපාලන චරිතයකි. ඔහු ප්‍රසිද්ධ වී තිබුණේ කාලයෙන් කාලයට පක්‍ෂ මාරු කිරීම සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඔහු එක් පසකින් අනෙක් පසට මාරු වුයේ මහා මැතිවරණයක් ආසන්නයේදීය. නමුත් නියතපාල මහතාට බොහෝ විට වැරදුනි. ඔහු අළුතින් එක්වන පක්ෂය හැමවිටම පාහේ චන්දය පැරදුණි. මේ නිසා ඒ දවස්වල ප්‍රකට  කියමනක් විය. එනම් “නියතපාල ඇති තැන ආණ්ඩුව නැත. ආණ්ඩුව ඇති තැන නියතපාල නැත” යන්නයි. 
රොනී ද මේල් මහතාද මෙලෙස පක්ෂ මාරු කල අයෙකි. සමහරු මේ නිසා ඔහුව හැඳින්වුයේ “පනී ද පිල්” යනුවෙනි. නියතපාලට මෙන් නොව රෝනීට නම් හැමවිටම වාසනාව තමා ළඟ රැඳුනි.
මගේ මව් පස ඥාතීන් අතර උග්‍ර යූ එන් පී කාරයන් මෙන්ම ශ්‍රී ලංකා  කාරයන්ද විය. වාමවාදින් කිහිප දෙනෙක්ද සිටියේ නැතුවාම නොවේ. මොවුන් හමුවන බණ, දානේ, මගුල්, අවමගුල් කටයුතු වලදී බොහොම තදින් වාද විවාද ඇති වෙයි. මෙහිදී නියතපාල වැනි චරිත දැඩි දෝෂාරෝපණයකට හෝ ප්‍රශංසාවකට බඳුන් විය. ඔහු තම පක්ෂයේ සිටින තෙක් ඉතා ඉහලින් ගුණ කී පිරිස් ඔහු අනෙක් පසට ගිය විගසින් දරුණු අපරාධකරුවෙකුගේ තත්වයට දමා බැන වැදුනහ. මේ පක්‍ෂ දේශපාලනය 90 දශකයේද යම් පමණකට තිබුණි.
මට මතක ඇති වකවානුවට පෙර ලංකාවේ යම් පමණක ප්‍රතිපත්ති දේශපාලනයක් තිබුණු බව වැඩිහිටියන්ගේ අදහස් වලින් මෙන්ම පොත පතින්ද මම අවබෝධ කර ගතිමි. මිනිසුන් සැබෑ ලෙසම යම් දර්ශණයක් කෙරේ විශ්වාසය තැබුවේ මේ යුගයේදී යයි මට සිතේ. එවකට මිනිසුන් වාමාංශිකයන්, දක්ෂිනාංශිකයන් ආදී වශයෙන් ජීවිත කාලය පුරාම ලේබල් ගසා ගෙන ඉන්න ඇත. එවිට ජනතාවට වැදගත් වුයේ පක්ෂය හෝ දේශපාලනය නොව ප්‍රතිපත්තිය වන්නට ඇතැයි මට සිතේ. මේ අනුව  දේශපාලකයා පක්ෂය මාරු කලත් ඔහුගේ ප්‍රතිපත්තිය නොවෙනස් නම් ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග සිටීමටත්, ඔහු ප්‍රතිපත්ති වෙනස් කල හොත් ඔහු පක්ෂය තුලම සිටියත් ඔහුව අත්හැර යාමටත් මිනිසුන් පෙළඹුන අවස්ථා ඇති බව එවකට චන්ද ප්‍රතිඵල මගින් පෙනී යයි. 
නව සහශ්‍රකයේ මුල් භාගය පසු කරද්දී ප්‍රතිපත්ති සහ පක්‍ෂ දේශපාලනය පසුකරගෙන ආ ලාංකික ජන මනස පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් කරා ඇදී යන්න විය. ඇත්ත වශයෙන්ම මෙය ඇරඹෙන්නේ 90 මැද භාගයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අරඹයාය. සෑහෙන ආධාර කරුවන් පිරිසකට ඇය තම ආගම විය. වසර 2005න් පසු මේ තත්වය ඉතා තදින් පැතිරුනේ මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කොට ගෙනයි. පුද්ගල කේන්ද්‍ර පාක්ෂිකත්වයක් පමණක් නොව පුද්ගල කේන්ද්‍ර වෛරයක්ද සංකල්පමය වශයෙන් බිහිවිය. මහින්ද සහ රනිල් යන දේශපාලකයන් මෙහි පෙරමුණේ සිටියෝය. 
පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය යනු යම් ආකාරයක ඇදහීමකි. ඇදහීමක ඇති සුවිශේෂී ලක්ෂණය නම් ඇදහීමට භාජනය වන්නා අතින් කිසිඳු වරදක් සිදුවිය නොහැක යන දැඩි මතය අදහනු ලබන්නන් විසින් ධාරණය කරගැනීමයි. පුද්ගල කේන්ද්‍ර වෛරයේදීද මේ හා සමානම ඍණාත්මක මතයක් ගොඩනැගෙයි. 
මේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය රටක් ඉතා දරුණු අගාධයකට ගෙන යා හැක. හිට්ලර්, පොල්පොට්, ස්ටාලින්, ඉඩි අමීන්, රොබට් මුගාබේ ආදී නායකයන් බිහිවන්නේ අන්තගාමී පුද්ගල කේන්ද්‍ර වාදයක් පෙරටුකොට ගෙනය.
පුද්ගල කේන්ද්‍ර වාදයට තම මනස බිලි දෙන තැනැත්තෙකු ක්‍රමයෙන් තම විශ්ලේෂණ හැකියාවන් මොට කරගනී. මේ තත්වය දිගටම පැවතුන හොත් ටික කාලයකින් මෙම පුද්ගලයා අඳ බාලයකු බවට පත්වෙයි.  තම දේශපාලන ආගමික නායකයා කුමන පියවරක් ගත්තත් එය නිවැරදි ලෙස සිතීමටත් ඒවා සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමටත් ඔහු පෙළඹෙයි. මේ සමගම තම අදහස් වලට ප්‍රතිවිරෝධී මත ඉදිරිපත් කරන්නන් සතුරන් ලෙස  සලකා කටයුතු කිරීමටත් අර  පුද්ගලයා පුරුදු වෙයි. මුලදී උපහාස, අපහාස වලින් ඇරඹෙන තම අප්‍රසාදය පළකිරීම අන්තිමේදී ගුටිබැට හුවමාරු හෝ මිනීමැරුම් වලින් කෙලවර වීමටද ඉඩ ඇත. 
ලංකාව  මේ වන විට පසුකරන්නේ පුද්ගල කේන්ද්‍ර වාදයේ හාස්‍යජනක අවධියයි. තම දේශපාලන විරුවා අද කරන දෙය සාධාරණිකරණය කරන්න පොලවේ පස් කමින් හැපෙන අනුගාමිකයන්ට දින කිහිපයකින් තම වීරයා අංශක 180 කින් දිශානතිය මාරු කරනු පෙනෙයි. එවිට ඔවුන්ට සිදුවන්නේ ඉතා බොළඳ තර්ක විතර්ක  ඉදිරිපත්කරමින් තමන්ටද ඒ දෙසට හැරීමටයි. මේ ක්‍රියා නිසා මේ පුද්ගලයන් සමාජය ඉදිරියේ විකටයන් සහ අමනයන් බවට පත් වෙයි. පසුගිය කාලයේදී විදේශයන්හි අධ්‍යන කටයුතු කරනා උගත් යයි සම්මත පුද්ගලයන් පවා මේ ආකාරයෙන් ඉතා අසරණ කවටයන්ගේ තත්වයට පත්වනු දැකීම ඇත්තෙන්ම වේදනාකාරීය.
මේ තත්වය තුල විශාලම අකරතැබ්බයකට මුහුණ දෙන්නේ දෙවන පෙළ දේශපාලකයන්ය. ඔවුන්ට තම නායකයා බේරාගැනීමට ඇඳි වත උනා දමා සකල විද නර නාටක රඟපෑමට සිදුව ඇත. මෙය වර්තමානයේ හාස්‍යජනක මෙන්ම ජුගුප්සාජනක රංගනයන් බවට පත්ව ඇත. ඒවා අනාගතයේ ඇති වීමට නියමිත ත්‍රාසය හා භීතිය දනවන ජවනිකාවල පෙරනිමිති ලෙස හඳුනා ගැනීමට ඔබට නොහැකිවුවහොත් එය ජාතියේම අභාග්‍යයක් වනු ඇත. 

රටක ජනතාව බහුතරයක් කුසීත විට, සොරකමට වංචාවට ලැදි විට, තම යුතුකම් ඉටු කිරීමට මැළිවන විට, මුළු සමාජයම  සමස්තයක් වශයෙන්  පිරිහී යයි. එවැනි සමාජයක් හැමවිටම උත්සහ කරන්නේ තම පිරිහීමේ වරද කා මත හෝ පැටවීමටය. නැතිනම් යම් අද්භූත බලවේගයක් හෝ පුද්ගලයකු විසින් තමන් බේරා ගනිතැයි සිතා ඒ පසුපස දිවයාමය. විදේශ කුමන්ත්‍රණ, ආක්‍රමණකාරී බලවේග, රාවණා නැගිටින තෙක් බලා සිටීම, ජ්‍යෝතිර්වේදීන්, නොයෙකුත් වහන්සේලා සහ තුමන්ලා සරණ යාම, ලෝහ කැබලි, පාෂාණ, නූල් කෑලි ඇඟ දැරීම තුලින් අපල දුරුවේ යයි සිතීම, ආදිය මේ සමාජ පරිහානියේ පැහැදිලි ගති ලක්‍ෂණයන්ය. මේ ආගාධයට රටේ ඉහලම තැන සිට පහලම තැන දක්වා මුළු සමාජයම වැටී ඇත. යමෙක් ඉන් මිදී ඇත්නම්, ඒ සමාජය මේ නාරා වලට තල්ලු කරමින් සිටින මාධ්‍ය ජාලා හිමිකරුවන්ය. 

දැන් පුද්ගල කේන්ද්‍රවාදය පසෙක දමා ප්‍රතිපත්තිමය වශයෙන් රටට අවශ්‍යදේ කුමක්දැයි තම තම නැණ පමණින් වටහා ගන්න. දේශපාලකයා වෙනුවෙන් නොව රටට අවැසි දෙය වෙනුවෙන් පෙනී සිටින්න. දේශපාලකයා යන “මිනිසාව” හැමවිටම හරි මගට යොමු කරන්න. එය ඔහුට හෝ රටට එරෙහි වීමක් නොවේ. ඔහු හා රට වෙනුවෙන් පෙනී සිටීමකි. මෑත අතීතයේ සමාජය මේ ලෙසින් සිතුවා නම් ලංකාව අද වෙනත් තලයකය. එසේම කෙටි කලකට දේශපාලන ආගම් බවට පත්වී පසුව ද්‍රෝහීන් ලෙස කොන් වූ සමහර දෙනෙක් අදටත්  වීරයන්ය.

නොඑසේ නම් අද වීරයාද හෙට ද්‍රෝහියෙක් වෙනු නොඅනුමානය.



%d bloggers like this: