Menu Close

untitled

දවසේ වැඩ නිමාවී
බස් එකේ තැලී පොඩිවී
හවසට ගෙදර එමි

තුවායත් කරේ දමන්
නාන කාමරේ දොර තදින් වසන්
සිංහාසනාරූඩ වෙමි
මගේ සෙරමික් සිංහාසනයේ

සිගරැට්ටුවක් පත්තු කරන්
දිග දුම් සුසුමක් පිට කරම්
“ආහ්…කෙතරම් උත්කෘෂ්ඨ ද මේ මොහොත!”
මා දවස පුරාවටම පුල පුලා බලාසිටි අවස්ථාව
කන්තෝරුවේ වහල් භාවයෙන් මිදී
මා රජවන මොහොත !

දවස පුරාවට එක එකා මගේ ඔලුවට දැමූ
ගූ ගොඩවල් වලින් නිදහස් වන මොහොත !

සුරූපී අන්තපුර ලඳුන් නැත
චාමර සලන්නට
යටහත් පහත් යටත් වැසියන් නැත
මගේ දෙපා මුල වැටෙන්නට
මැහුම් ඉරී ගිය ගෙදට්ට අඳින ෂෝට පමණක්
දෙපා මුල වටයක් එතී වැටී ඇත

රජුගේ නාමයේ කීර්තිය
පැතිරේ නාන කාමරේ දස අත
කල්පනා කරමි මම ප්‍රෞඩව
මට දිග් විජය කල හැකි මගේ හීන ගැන
මා විසින් කිරීමට සැරසෙන
වීරවික්‍රම ක්‍රියා ගැන
මකරුන් මරා දමා
බේරා ගන්නා දහසකුත් වැසියන් ගැන
උන් මගේ නම කියා ඔල්වරසන් දෙන හැටි ගැන..
“සැරදේ මහරජ සැරදේ !!”

.
.
.
.

දුම්වැටිය දැවී නිමාවේ
රජුගේ පාලන කාලය අවසන් වේ..

මිය ගිය ෆිල්ටර් කොටය වීසි කොට
ෆ්ලශ් කර දමමි සද්දෙට
එකට ගුලිවුණ
අළු , මලපහ , හීන
එක්කම
ඔක්කොම…



%d bloggers like this: