Menu Close

නිදහසට කරුණු – Reasons for freedom

හෝව් පොඩ්ඩක් හොව්…. ඔයි හිටු පෝලිං පයින්නැතුව.
පළමුවෙන්ම මෙන්න මේ සබැඳිය හරහා ඔබනලයට (Youtube) යන්න. ඒ ගෙහුං අටංපහුර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික්කෙක් දාලා අටමාගේ යුටියුබ් චැනල් එක ගොඩ දාලා දෙන්න. කොමෙන්ට් සෙක්ෂන් එකේ යාංහෑල්ල හරහා ආ බව බව සඳහන් කරලත් එන්න. අටමා වෘත්තීය යූටියුබ්කාරයෙක් කරන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න. 
පහුගිය පොටෝ ගොඩ පළ කරපු වෙලාවෙ හරිහමං විස්තරයක් ලියා නොතිබීම ගැන සෑහෙන දෙනෙක් ආඩපාලි කියා තිබුණා. කාර් පිස්සා වොක්ස්වාගන් එක ආයි පාරක් සැමන්ටිං පාට එන්න හූරලා දෙපැත්තේ සමර ගානවා කියල තර්ජනය කරල තිබුණා. දැතියා උගේ පොටෝ එකක් අපේ ගෙදර දොරකඩ එල්ලනවා කියල තර්ජනය කරල තිබුණා. ආං ඒවට වෙනම උත්තරයක් දෙන්න උවමනා හන්දාත් අපි දෙන්නා ගියපු ගමනේ ගෙඩ්ඩ පිටිං අරමුණ ගැනත් වෙනම ලියන්න ඕනෑ කියා මේ දැං හිතුනා. ඒ හංදා ඔන්න ලියාගෙන යනවා. ලියවුනොත් පළ කළා, නොලියවුනොත් මැකුවා. මැකුවොත් ………………..?
ඇත්තෙන්ම කියතොත් ඒ පොටෝවල තියෙන තැන් ගැන හරි හමං දෙයක් මං දන්නෙත් නෑ. මං දන්නෙත් ඔය පොටෝ වලින් පේන දෙයක් විතරයි. විස්සාස නෑ නේද? එහෙනං දැං ඔය අවුකන පිලිමෙ ගැනම ගම්මුකො.

හරි ඔන්න ගත්තා.

මං ඒ ගැන දන්නෙ ඒක කවුරු නමුත් රජ කෙනෙක් කාට හරි කියල හදෝපු පිළිමයක් කියල විතරයි. ඊට වැඩි විස්තරයක් දැනගන්න ඕන නං මාත් කරන්නෙ ගූගල් මුල් පිටුවෙ “අවුකන පිලිමය“ නැත්තං “aukana statue” වගේ එකක් ටයිප් කරල එන විස්තර කියවා ගන්න එක. ඕන්නං මට ඒ වගේ එකක් හොයල කොපියක් ඇරං පොඩ්ඩක් වෙනස් කරල ලියල තියන්නත් තිබුණා. ඒ වුනාට ඒක මං හොයාගත්ත දෙයක් නෙවෙයිනෙ. අනික ඉතිං කවුද දන්නෙ එවුවයෙ ඇත්ත නැත්ත. 

එතකොට අවුකන පිලිමෙ බලන්න යාමෙං මං ඇත්තටම දැනගත්ත දේවල් කිවුවොත් ලියන්න වෙන්නෙ මෙන්න මෙහෙම.
අවුකන පිලිමෙ තියෙන තැනට යන්නේ ඒ9 පාරෙන් වමට හැරිලාය. ඒ පාර යන්නේ මොකද්දෝ වැවක වැවු කණ්ඩිය උඩින්ය. වැවට බහින්න එපාය, මාරයාට අත වනන්න එපාය, කපුටන්ට ආප්ප අරං දෙන්න එපාය වගේ බෝඩ් ලැලි ගැහුවට මේ වැවේ නම නිකං කරදහියකවත් ලියා අලවන්නට වැවු බාර අයට මතක බැරිවී ඇත. අප්පට සිරි මේ ගූගල් සිතියමේ පෙන්නන හැටියට මේක කලා වැව නෙවැය. හරි හරි….. අර කාල කියන ළමයාව වැවු බැම්මට තියලා මැටි ගැහුවේ මේ වැවේ නේද? ඉස්සර ඔය පාඩම සිංහල පොතේ නැත්තං බුද්දාගං පොතේ තිවුනා. කොහෙද ඉතිං එදත් ඔය පාඩම කියාදෙත්දි මට පිටිපස්සෙං හිටි පාලිතයා “ඔය කාලගෙ අයිය තමයි බාගෙ“ කියා කීමෙන් මට ‘හුචුස්‘ කියා හිනා ගිහිං සිංහල උගන්නපු මිස්ට කේන්ති ගිහිං නැත්තං බුද්දහගම උගන්නපු විපුල හාමුදුරුවන්ට කේන්ති ගොස් වදාරා මළ කෙලියක් වුනා නෙව. හැබෑට යකෝ එතකොට ඒ ළමයව වැවු බැම්මට තියා මැටි ගැහුවෙ අහවල් ලබ්බටද? ඒක මහ සවුත්තු වැඩක්නෙ. ඒ ළමයා කලේ ගම බේරගන්න වැවු බැම්මට අත තියං හිටි එකනෙ. හරිනං ඒ ළමයට උසස්පෙළ වෙනකං ඉගෙන ගන්න සිස්සත්තයක් දෙන්න ඕනනෙ. 

එතකොට ධාතුසේන රජ්ජුරුවො නේද සිංදුවක් කිවුවෙ “වාස්තුව ඊල්ලන කාශ් යපපුතුනේ“ කියල. එතකොට ඒ රජ්ජුරුවන්ටත් මැටි ගැහුව නේද? ඉතිං මොන රෙද්දකටද යකෝ දෙන්නෙක් එක වැවට තියල මැටි ගැහුවෙ. ඊට පස්සෙ අශෝක රජ්ජුරුවංව හිරේ දාලා අජාසත්ත කියල කුමාරයෙකුත් මොකද්ද හුටපටයක් කෙරුව නේද? ඒ රජ්ජුරුවංවත් මේකටම තියලද කොහෙද මැටි ගැහුවෙ. අනේ මන්ද මේ වැව මහ කනත්තක්නෙ. 

දෙවැටවල් හිට කොන්ක්‍රීට් කරන කාලෙ මේ පාරට තාර ටිකක් දාන්න බැරිවුනානෙ අම්ප. මේ පාරෙ ගියහං ඉල ඇට කූඩුව උරිස්සට උඩිං විිසිවෙනව. තාම තියෙන්නෙ ධාතුසේන රජ්ජුරුවො දාපු තාර ටිකද කොහෙද? ඇති යන්තං ඊලඟ ටික කාපට්. හුම්මහ්… යකෝ මොකාද මේ පාරෙ වංගු නැවුවෙ. නිකං දෑකැත්ත තියල නැවුව වගේ. හම්මප තව ඩිංගෙං බතලකොටයක් ඉස්කූටරේ අරං යන්නෙ මගෙ බඩ යටිං. පරිස්සමිං යන්න ඕනැ. ල‍ෝකෙ කොහෙත් ස්කූටර් පදින ගෑනු කියන්නෙ මාරක. මේ පැත්තෙ එවුං වාහන හැප්පුනං මොනවයිං ගහනවද දන්නෑනෙ. කටු දිවුල් අතුවලිං දෙනව ඇත්තෙ. ආයි රැට්ටට උං‍ගෙ තාත්ත කොස්සෙං නෙලනව වගේ ඇති.
ඊළඟට පයිං ගිය කොටස.
මේ පිට්ටනියෙ දාල ගිහිං නං හරියන්නෑ. මේ දාම්පාසල් ශිෂ්‍යයො ටිකයි සාමීන් වහන්සෙයි වැඩිවෙලා නොගිහිං පන්දුවට වැරෙන් ෂඩ් පහරක් දෙවා වදාලොත් ඉන්ෂුවරස් බෝනස් එකටත් කෙලවෙනව. ආ අර තියෙන්නෙ රථ ගාල වෙනම. වාහනේට එක ගානෙ ගස් තියෙනව. අනේ අපුච්චේ මේ වාහන වලට ටිකට් කඩන්න ඉන්න මනුස්සයගෙ කකුල් දෙකම ආබාධිතයි නෙවැ. එහෙවු වෙලත් අනුන්ට අත නොපා දෑතෙ වීරියෙං රස්සාවක් කරන එක කොයිතරං හොඳයිද? උන්නැහැට වැඩිපුර කීයක් නමුත් දෙන්න ඕන. 

හම්මද බොල මේ කන්ද ඉනිමං හතරක් විතර උසයිනෙ. මේක කොහොම හරි නැගගත්තොත් ගොඩ. නැත්තං කනක් ඇහිල ඉන්න හම්බෙන්නෑ. නැත්තං මෙතන පටං ගනියි “ඕක තමා මං කිවුවෙ. හවසට පැයක් දෙකක් ඇවිද්ද නං ඕක වෙන්නෑනෙ. ඒ මදිවට සීනි කනව හැඳි හතර පහක් දවසට. ආයි ඔපිස්සෙකේදිත් සීනි දාලනෙ තේ බොන්නෙ. අද ඉඳං සති පනස් දෙකක් යනකං සීනි තහනං. මං හෙටම සාන්තට කියනව මීට පස්සෙ මේ මනුස්සයට තේ දෙත්දි සීනි දාල දෙන්නෙපා කියල. ඒකනෙ මං සීනි කන්නැත්තෙ. ඉඳල හිටල දවසට දෙපාරක් තේ එකට දිය කරං බොනව විතරයි.“ කියල

මේං යකෝ මේ තියෙන්නෙ රතුපාට මෑකරල්. මිටියක් දෙකක් ගෙනියන්න තිවුනා. කොහෙද ඉතිං දවස් තුනක් තියාගන්න තැනක්නෙ නැත්තෙ. බලු රංචුවක් නං ඉන්නව. මුං ටික සෙරෙප්පු දෙක උස්සයිද? එහෙම උනොත් ආයි කොහෙ හරි ටවුමක නවත්තන්න වෙනව සෙරෙප්පු ගන්න. 

පීකරයක් බැඳපු කාර්යාලයක් නං තියෙනව. පිලිමෙ බලන්න ටිකට් ගන්න ඕනද දන්නෑ. කොහෙවත් බෝඩ්ඩෙකක් ගහල නං නෑ. ගිහිං අහලම බලනව. නැත්තං අර මයික්කෙකට කට තියං ඉන්න මිනිහා “ඔය අළුපාට කමිසයක් ඇඳං ඉන්න එක්කෙනා. ටිකට් ගන්නැද්ද? හොරෙං බලන්නද යන්නෙ” කියල පීකරෙංම කියා දැම්මොත් රෙද්ද ගලෝල ඔලුවෙ ඔතාගෙන යන්න වෙන්නෙ. ආ… ඕන්නැහ්ලු. ඒ වුනාට නිකං කීයක්වත් වියදං නොකර හරිත් නෑ වගේ. 

ආ මේ ඉන්නෙ රෙදි හෝදන ජාතියෙ බේසමක පණපිටිං මල් තියාගෙන විකුණන මල්ලියෙක්. අම්ප මේ මල් ගන්න එක පවක් වෙන්න බැයිද? ඔය වතුර බේසමේ මල් තියං ඉන්නෙ ඒවාට පන තියෙන හංදනෙ. නැත්තං ඔව්ව මැලෑංසි වෙනවනෙ. අපි ඕක අරං නැට්ට බෙල්ල මුලිං කඩල මල් ආසනෙං තිබ්බං වතුරයි නැට්ටයි දෙකම නැතුව මල මැරෙනවනෙ. සමහරවිට මැරෙන්න කලිං “තෝ ගල් බල්ලා. තෝත් ඔය විදිහටම වේලිලා මැරිය” කියල සාප කරනවද දන්නෙත් නෑ. අපි ඉතිං මල් බාසාව දන්නෙත් නෑනෙ. 

යකෝ මෙහෙම හිතන්න ගියොත් නං කන්න වෙන්නෙත් නෑ. ඒක හංදා මල් මිටියක් ගන්නව. අනික ඉතිං පව යන්නෙ මල් කඩං ආපු එකාටනෙ. මාළුත් බාන මිනිහට ඇරෙන්න මාළු කඩේ එකාටයි අපිටයි පවු පිරෙන්නෑනෙ. ඒ මල් මිටිය සීයට පාඩු නෑ. මල් අටට සීයයි. ඒ කියන්නෙ මලක් දොලහයි පනහයි. ඉස්සර දොලහයි පනහට පානුත් තිබුණද කොහෙද? ආ.. නෑ ඒ තුනයි පනහට පාං තිබුණෙ. ඇනීබාගෙ කාලෙ. “හඳෙං හාල් ගෙන දෙනව කිවු. තුනයි පනහකට පාන් දුන් ඇනීබා”

හප්පද බොල‍ අපේ මාම කියන්නා වගේ මේ පිලිමෙ “ඇත්ත වසයෙම්ම ඉතා විශාල” පිළිමයක්නෙ. ඒකට හපං මේ වහලෙ. මැදට කනු එකක්වත් නෑ. අන්න බොලේ සුපර් වැඩ. දවසක් මේ වගේම තැනකදි; අර දියමුල්ලෙ සාලාවෙත් මේ වගෙම වහ‍‍ලෙ මැදට කනු නැතුව වහලෙ දවුඩල තියෙන්නෙ කොහොමද ඇහුවං අර තිලකසිරි උන්නැහැ කිවුවෙ ඒ මැදට තඩි කොන්කිරිට් කඳං දාල ඇති කියල. අම්ප දැං හැදෙන ඉංජිනේරුවො නං කිසිම කමකට නෑ. හැම එකම ලේසිවට කොන්ක්‍රීට් වලිම්මයි මවන්න බලන්නෙ. ඒ ඉස්සර සුද්දගෙ කාලෙ ඉංජිනේරුවො යකඩ වලිං පාලං හැදුවෙ. දැං කාලෙ හැදෙන කම්මැලි ඉංජිනේරුවො එක්කොම හදන්න බලන්නෙ කොන්කිරිට් දිය කරල වක්කොරල. මේකෙ පොටෝ එකක් ගහල උන්නැහැට යවන්න ඕන. මේ තියෙන්නෙ හදාපු කොම්පැනියෙ නම. “රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව”. ඈ යකෝ එහෙමත් දෙපාර්තමේන්තු තියෙද? ඇති නේද. නැත්තං මෙහෙම එකක් ගහයියැ දෙනෝදහකට පේන්න. සමහර විට “රජයේ ඇඳ පුටු මේස දෙපාර්තමේන්තුව” වගේ එවුවත් තියෙන්න පුළුවං. මේ සූර්ය කෝෂ එහෙමත් හයිකරල බලුප් දාල තියෙන්නෙ. හිහ් හිහ් හූ… මේ යක්කු සූර්ය කෝෂ හයිකල්ල තියෙන්නෙ වහලෙට යටිං. ඉතිං කොහෙංද ඉර එලියක් වැටෙන්නෙ. හැහ් හැහ්. 

මේ සරං බාග ඇඳං ඉන්න බාගෙ ටිකට් දහම්පාසල් ඇච්චො බච්චො ටික දැම්ම ගියොත් හොඳා මට මේ වෙසක් කාඩ් එකකට ගන්න පොටෝ එකක් ගහගන්න. අර සම්පූර්ණ සරම ඇඳං ඉන්නෙ දහම්පාසල් ශිෂ්‍ය නායකයො වෙන්නැති. ඉස්සර අපේ තාත්තා ගෙදෙට්ට ඉදලක් බඳිත්දි ඉට්ට අගිස් එක්කහු කරල පමාටත් ඉදල් කොටයක් බැඳල දුන්නා. මේ පොඩි එවුනුයි ලොකු එවුනුයිත් ඒ වගෙද මන්දා. ඒ වුනාට ළමයි අගිස් කෑලි වෙන්න බෑනෙ.  කොයි ඉතිං මේ දාම්පාසල් ගුරුන්නාන්සෙ පිළිම වහන්සෙගෙ සිවුරෙ රැල්ලක් ගානෙ විස්තර කියනවනෙ. මිනිහ කියන හැටියට මේ පිළිමෙ නෙලපු ගල් වඩුවා (වඩුවො කියන්නෙ ලී වැඩ කරන අය නෙවෙයිද) මේ පිළිමෙ සිවුරු රැල්ලක අංශක කාලෙ නැම්මකින් නිරූපණය කරන දේ ඇක්සයිස් පොත් දොලහක ලිවුවත් ලියන්න බෑ. පොඩි එවුනුත් එවුව පොත්වල ලියාගන්නව හිටං. ඔවුං ඉතිං ඔය සේරම කටපාඩමේ තියාගන්න එපෑ. නැත්තං ඉතිං අවුරුද්ද අන්තිමේ විබාගෙට ඔව්ව අහද්දි ලියාගන්න බැරිවුනොත් උංට ලකුණුත් නෑ. 

මේ මල් නැටි ටික දාන්නෙ කොහෙද? ආපහු ගෙනියන්න වෙයිද? යකෝ මෙව්වයෙ තියෙන වතුර ගොඩ. ආ ඔය තියෙන්නෙ ඉටි කුණු පෙට්ටියක්. මෙව්වට මල් නැටි දාද්දි හිමීට දාන්න ඕන. නැත්තං සහරා ප්ලෑස් ගැහුව වගේ තමයි. ගං බාගෙකට ඇහෙනව සද්දෙ. ගාතා කියන්න ඕනිද. ඕන්නෑ නේද? කොහොමත් මේ පාරෙ වාහන වැඩි හංදා පංසිල් අරං වැඩක් නෑ. පොලිසියෙං ඇල්ලුවොත් ඔයිං දෙක තුනක්වත් කැඩෙනව. හරි හමං බස් රැජිනක් හෙඩ්ලයිට් ගහගෙන රෝං සයිඩ් මූනටම ආවොත් නමස්කාරෙවත් ඉතුරු වෙන්නෑ. මේ මිනිස්සු පැය ගනං මෙතන මොනව බලං ඉන්නවද මන්ද? ඇයි යකෝ ඉතිං පැයක් බලා හිටියත් ඔය හැටිම තමා වෙනසක් වෙන්නෑනෙ. තැනකට ආවං පොටෝ හතරක් පහක් ගැහුවා, සෙල්පි දෙක තුනක් අරහෙට මෙහෙට උරුක් කරා, වීඩියෝ කෑල්ලක් ඔතා ගත්තා, සාය කෑල්ලක් දෙකක් බලාගත්තා ටැග්ගැහෙන් නැතුව යන්න ඕන. 

ඔන්න පේනව නේද? ඉතිං ඔය වගේ ආගමකට දහමකට නැති මහා අලුගුත්තේරු විස්තරයක් අර වගේ පොටෝ එකකට යටිං ලිවුවහම, ඒක ළමයෙක්ට විභාග ප්‍රශ්න පත්තරේක ලීහැක්ද? රෙදි අඳින දෙමව්පියො හැටියට ළමයින්ට ඒක පෙන්නැහැකිද? ඇගයීමකට, උපාධි නිබන්ධනේකට වගේ උපුටාගත හැකිද? මේ රට බලන්න හිතාගෙන ඉන්න සුද්දෙක්ට පෙන්නන්න පුළුවන්ද? බෑනේ.. ආං ඒ හංදයි මං එවුවා ලියන්නැතුව නිකං හිටියෙ.

එතකොට වන්දනා ගමනකුත් නොවී, අජ්ජහපන ගමනකුත් නොවී මොන ඉනඩුවකට ඔය ගමන ගියාද? ඕකනෙ ඊලඟට තියෙන ප්‍රශ්නෙ. ඇත්තම කියතොත් අපිට උවමනා කරල තිබ්බෙ මේ ලබ්බෙ තලාවෙ තියෙන හීතලෙං ගැලවෙලා ටිකක් රස්නෙ තියෙන තැනකට ගිහිං එන්න. ඒ වෙනකොට අපි හීතලට ගල්වෙලා දෙන්නට දෙන්නා බෙලි මිරිකා ගන්න තරං තත්වෙක හිටියෙ. 

ඉතිං චූටි මැණිකෙලගෙ ගෙදර යන්නත් පුළුවන් තමයි. එහෙත් රස්නෙයි තමයිත් එක්ක. ඒත් ඒ ගමනෙං &*^*(()) වෙන්න පුළුවං නිසා *&$%# වෙලා ##@$% වෙන්න පුළුවං. ඒ හංදා අපි ව්‍යාජ වන්දනා ගමනක් ලෑස්ති කරගත්තා. එතකොට පොටෝ ටිකක් ගහලා බුකිය පුරා දැම්මම මිනිස්සු හිතන්නෙ “අනේ මේ වගේ පිනට දහමට ලැදි පිංබර ජෝඩුවක්” කියලනෙ. අනෙක ගමේ ගියා වගේ නෙවෙයි “ට්‍රැවල් එකක් ගියා” කිවුවහම ඒක සෑහෙන වැදගත් බවකින් යුක්තයි නේද? අනික පවුලෙ අය එක්ක කියත්දි උනත් “අනුරාධපුරා ගියා” කිවුවහං, හිතන්නෙ පිනක් දහමක් කරගන්න ගියා කියලනෙ. ආං ඒ වගේ රත්වෙලා දාඩිය දාන්න ගිය අසත්තක පට්ටපල් මුසාවාදා වන්දනා ගමනක් තමුන්නැහැලා නිකං හෙනම ටුවර් එකක් හැටියට අරගෙන විස්තර බලාපොරොත්තු වුන එක මට කනම කනගාටුවක්. ඒ හංදා අපි ඇත්තටම ඊළඟට “ට්‍රැවල් එකක්” යන්නං. ගිහිං ඇවිල්ලා එව්වයෙ විස්තරත් එක්ක කාටවත් කියවන්න හිතෙන්නෙ නැති තරං ශ්‍රාස්ත්‍රීය ලියවිල්ලකුත් දාන්නං. එහෙනං හැමෝම අපි ඊළඟට යන්න ඕන කොහෙද කියල කොමෙන්ට් එකක් දාගෙන යන්නකෝ….
%d bloggers like this: