Menu Close

සදාචාරාත්මක උපද්‍රවය හා අහිතකර තේරීම

නිදහස් වෙළඳපොළක් සාමාන්‍යයෙන් කාර්යක්ෂමයි. කාර්යක්ෂම වෙළඳපොළක නිදහසට බාධා කරන බොහෝ අවස්ථා වලදී වෙන්නේ එහි කාර්යක්ෂමතාවය අඩු වෙන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාඥයෙකු සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළකට කරන මැදිහත්වීම් අනුමත කරන්නේ නැහැ.

ඉහත සාමාන්‍ය තත්ත්වය වෙනස් වන සුවිශේෂී තත්ත්වයන් තිබෙනවා. නියාමනය වෙනුවෙන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පෙනී සිටින්නේ ඒ වගේ අවස්ථා වලදීයි. නියාමනය හරහා වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට මැදිහත් විය යුත්තේ එසේ කිරීම යුක්තියුක්ත කරන පැහැදිලිව හඳුනාගත් හේතුවක් ඇති විටක හා නියාමනය මගින් පවතින ගැටළුව ඉවත් කළ හැකි බව පැහැදිලිව පෙනෙන විටකදී පමණයි. එවිට නියාමනයේ ඉලක්කය පැහැදිලියි. පවතින ගැටළුව නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන ස්වභාවික ගැටළුවක්නම්, නියාමනය හරහා එම ගැටළුව ඉවත් කළ විට වෙළඳපොළේ කාර්යක්ෂමතාවය තවත් ඉහළ යා යුතුයි.

ඇතැම් වෙළඳපොළ ගනුදෙනු කාර්යක්ෂම නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර තිබෙන තොරතුරු අසමමිතියයි (Information asymmetry/ asymmetric information problem). සෞඛ්‍ය හා මූල්‍ය වෙළඳපොළ වල බොහෝ විට මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකියි. ලෝකයේ හැම රටකම වගේ මේ ක්ෂේත්‍ර කිසියම් අයුරකින් නියාමනය කෙරෙන්නේ එම වෙළඳපොළ වල අසමමිතික තොරතුරු ගැටළු පවතින බව පොදු පිළිගැනීම නිසයි.

අසමමිතික තොරතුරු ගැටළු ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගැනෙනවා. ඒ සදාචාරත්මක උපද්‍රව ගැටළු (moral hazard problem) හා අහිතකර තේරීම් ගැටළු (adverse selection problem) ලෙසයි. සදාචාරත්මක උපද්‍රව ගැටළු ඇති වන්නේ ගනුදෙනුවකට ඇතුළු වීමෙන් පසුවයි. අහිතකර තේරීම් ගැටළු ගනුදෙනුවක් සිදු වීමට පෙර ඇති වනවා.

අපේ පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් සෑම් පෙරේරා විසින් දැමූ ප්‍රතිචාරයේ කොටසක ඔහු මෙහෙම ලියනවා.

80 දශකයේ මුල මගේ ජීප්පුවට ෆුල් ඉන්ෂුවරන්ස් වලට රුපියල් 450 වැනි මුදලක් තාත්තාගෙන් ලබාගෙන රුපියල් 180 වැනි මුදලකට තර්ඩ් පාටියක් දාලා රුපියල් 270 වංචා කළා….

තවත් ඇනෝ කෙනෙකුත් කතන්දරයක් ලියලා තිබෙනවා. එයින් කොටසකුත් දමන්නම්.

මටත් ඔහොම දෙයක් උනා. මම අද උදේ තාත්තාගෙන් ක්ලාස් යන්න කියලා රුපියල් 5000 ක් ඉල්ලා ගත්තා. ඊට පස්සේ උදේ ගෙදරින් ගිහිං ක්ලාස් එක ලග කෙල්ලෝ බැලුවා අට නමය වෙනකන්.

ඊට පස්සේ උදේ 11 වෙනකන් එහෙට මෙහෙට විවි ඉදලා බාර් ඇරියම ඒකට ගිහිං භාගයක් ගහලා රයිස් එකකුත් කෑවා. බිල ආවා 1800 ක්. ඊට පස්සේ රුපියල් 2000 ක් වේටර්ට දීලා සිගරට් එකකුත් ගෙන්න කියලා බැලන්ස් එක මිනිහට දුන්නා ටිප් එක විදියට. ඊට පස්සේ ඉතිරි 3000 ත් අරං එලියට බැස්සා බාර් එකෙන්.

ඊට පස්සේ එතනම තිබ්බ ස්පා එකක බෝර්ඩ් එක දැකලා ඒකට ගියා. එකේ කෑලි හිටියා හතර පස් දෙනෙක්. එකෙන් මම තෝරා ගත්තා…

මේ අවස්ථා දෙකම සදාචාරත්මක උපද්‍රව ගැටළු සඳහා උදාහරණ. සදාචාරත්මක උපද්‍රව ගැටළුවක් කාල නොගැලපීම් ගැටළුවක් (time inconsistency problem) ලෙසත් හැඳින්විය හැකියි. දෙමවුපියන් දරුවෙකුට කිසියම් මුදලක් දෙන කොට දරුවාගෙන් ඒ වහාම නැවත ආපසු ලබා ගන්නා දෙයක් නැහැ. එහෙත්, එම මුදල දීමෙන් ඔවුන් බලාපොරොත්තු වන දෙයක් තිබෙනවා. ඒ දරුවාගේ දිගුකාලීන යහපතයි. මෙහිදී දරුවාගේ යහපත කියන එක නිර්ණය වන්නේ දෙමවුපියන්ට සාපේක්ෂවයි. තමන්ගේ යහපත ලෙස දරුවා විසින් හඳුනා ගන්නා දෙය එයම නොවෙන්න පුළුවන්.

සෑම්ගේ රක්ෂණ ආවරණය වෙනුවෙන් ගෙදරින් මුදල් ගෙවන්නේ ඒ මගින් රිය අනතුරකදී සෑම්ට විය හැකි හානිය අවම කිරීමේ බලාපොරොත්තුවෙනුයි. දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන්නේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසයි. මේ අවස්ථා වලදී දෙමවුපියන්ට ලැබෙන දෙය දරුවන්ගේ අනාගත සතුටයි. අනාගතයේදී ලැබෙන දෙයක් වෙනුවෙන් දැන් මුදල් ගෙවන නිසා මෙහි කාල නොගැලපීම් ගැටලුවක් තිබෙනවා. දරුවන් තමන්ගේ යහපත සේ දකින දෙය දෙමවුපියන් ඔවුන්ගේ යහපත සේ දකින දෙයම නොවීම නිසා මෙයම තොරතුරු අසමමිතිය පිළිබඳ ගැටළුවක්ද වෙනවා.

සාමාන්‍ය වෙළඳපොළ ගනුදෙනු වලදීත්, වෙනත් අවස්ථා වලදීත් සදාචාරත්මක උපද්‍රව ගැටළු සුලභව පැන නගිනවා. දුරකථන සමාගමක් සමඟ ජංගම දුරකතන පහසුකම් හෝ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න ගිවිසුමක් අත්සන් කර කලින්ම මුදල් ගෙවීමෙන් පසුව අදාළ සමාගම විසින් කලින් පොරොන්දු වූ සේවය ලබා නොදෙන්න පුළුවන්. එවිට පාරිභෝගිකයාට කළ හැකි දෙයක් නැහැ. ඇය ඒ වන විට මුදල් ගෙවා අවසන්. හොරු අල්ලන්න පත් කරගත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු හොරකමකින්ම වැඩ අල්ලන්න පුළුවන්. තම්බින්ට ගේම දෙන්න පත් කරගත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු තම්බින්ට කප්පම් දෙන්න පටන් ගන්න පුළුවන්. නමුත්, කරන්න දෙයක් නැහැ. ඒ වන කොට ආණ්ඩුව බලයට පත් කර ගෙන ඉවරයි.

අපි වාහන රක්ෂණ වෙළඳපොළටම එමු. සෑම්ට වගේ හැමෝටම ගෙදරින් සල්ලි ලැබෙන්නේ නැහැනේ. රක්ෂණ ආවරණය මිල දී ගන්න වෙන්නේ තමන්ගේම සල්ලි වලින්. වාහනේ පාරට දමන්නනම් තර්ඩ් පාර්ටි එකක් කොහොමටත් දමන්න වෙනවනේ. නමුත්, ෆුල් ඉන්ෂුවරන්ස් දමන්නම අවශ්‍ය නැහැ. පාරිභෝගිකයාට තේරීමක් තිබෙනවා. එහෙමනම්, ෆුල් ඉන්ෂුවරන්ස් දමන්නේ කොයි වගේ පාරිභෝගිකයෝද?

තමන් ජීවිතේට වාහනේ හප්ප ගන්නේ නැහැ කියලා ෂුවර් කෙනෙක් ෆුල් ඉන්ෂුවරන්ස් එකකට මුදල් වැය කරන්නේ නැහැ. නමුත්, තමන් වාහන එළවන විදිහට ඕක කොයි වෙලේ කොහේ ඇන ගනීද කියා ෂුවර් නැති කෙනෙක් බොහෝ විට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා. ඊට පස්සේ වාහනේ හැප්පුනත් අතින් සල්ලි යන්නේ නැති නිසා කුරුල්ලා වගේ එළවන්න පුළුවන්නේ. ඒ කියන්නේ රක්ෂණ ආවරණයක් විකිණුවාට පස්සේ සදාචාරාත්මක උපද්‍රවයකට මුහුණ දෙන්න වෙන්නේ රක්ෂණ සමාගමටයි.

රක්ෂණ සමාගම් වල ඉන්නෙත් බබ්බු නෙමෙයිනේ. ඒ අය ඔය ටික දන්නවා. ඒ නිසා රක්ෂණ සමාගම් දැන දැනම පාඩු කර ගන්නේ නැහැ. රක්ෂණ ආවරණයක් විකිණුවාට පස්සේ රියැදුරන් වඩා නොසැලකිලිමත් වන බවත්, ඒ නිසා රිය අනතුරු ඉහළ යන බවත් දන්නා රක්ෂණ සමාගම් විසින් රක්ෂණ ආවරණයේ මිල නිර්ණය කරන්නේ ඒ ඉහළ යන අවදානමටත් ගානක් එකතු කරලයි.

ෆුල් ඉන්ෂුවරන්ස් දාලා පාර බදු ගන්න බලාගෙන ඉන්න අයට ඔය ඉහළ මිල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, එහෙම නැති හොඳ රියදුරනුත් ඉන්නවනේ. අවුල තියෙන්නේ ඒ අයටත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්නවානම් ගන්න වෙන්නේ අර ඉහළ මිලට වීමයි. ඒ මිල ගෙවා ෆුල් ඉන්ෂුවරන්ස් දමන එක පාඩු නිසා ඔවුන් තර්ඩ් පාර්ටි එකකින් සෑහීමකට පත් වෙනවා. කිසියම් විදිහකින් නරක රියැදුරන් හා හොඳ රියැදුරන් වෙන් කර ගැනීමේ හැකියාවක් රක්ෂණ සමාගමට තිබුණානම් ඔවුන්ට හොඳ රියැදුරන්ට පමණක් අඩු මිලකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් විකුණන්න තිබුනා. ඒත් රක්ෂණ සමාගමට මිහිහෙක්ගේ මූණ බලලා හොඳ රියදුරෙක්ද නරක රියදුරෙක්ද කියා හිතා ගන්න අමාරු නිසා තමන්ට පාඩු නොවෙන්නනම් කරන්න වෙන්නේ හැමෝම නරක ගොඩට දමලා මිල තීරණය කරන එකයි. එහෙම වැඩි මිලක් නියම කළාම හොඳ රියැදුරන් කොහොමටත් නොඑන නිසා අන්තිමට රක්ෂණ ආවරණ ගන්න එන්නේ නරක රියැදුරන්ම පමණයි. අහිතකර තේරීම් ප්‍රශ්නය කියන්නේ ඔන්න ඕකටයි.

සදාචාරාත්මක උපද්‍රව ගැටළු ගනුදෙනුවකින් පසුව ඇති වුනත්, අහිතකර තේරීම් ප්‍රශ්නය නිසා වෙන්නේ ගනුදෙනුවක් කොහෙත්ම සිදු නොවීමයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක මහජන නියෝජිතයින් විදිහට නරක මිනිස්සු තේරී පත් වීමටත් මෙය හේතුවක් වෙනවා. ගොඩක් අය හිතන විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි වැඩි හරියක් හොරු. මුලදී එහෙම නැති අයත් පස්සේ හොරු වෙනවා.

ඔය වගේ ප්‍රචලිත මතයක් තියෙද්දී හොරෙක් නොවන අවංක පුද්ගලයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුනා කියා හිතමු. දැන් මේ අවංක මනුස්සයා තමන්ගේ අවංකකම තහවුරු කරන්නේ කොහොමද? පෝස්ටර් වලටනම් කවුරුත් අවංකයි. ඒ නිසා, අවංක මනුස්සයෙක් වුනත් වැටෙන්නේ හොරු නැත්නම් වෙන්ඩ හොරු ගොඩටයි. තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

දැන් මිනිස්සු හිතන්නේ කොහොමද? නොදන්නා අලුත් හොරෙක්ට වඩා දන්න පරණ හොරාම හොඳයි! අන්තිමට පරණ හොරු ටිකම ඇතුළේ. අහිතකර තේරීම් ප්‍රශ්නය ඔන්න ඔය වගේ එකක්.

%d bloggers like this: