Menu Close

විත්තිවාචකය

86696210_571017383481073_2152697656692965376_n

උන්මත්තකයන්ගේ උමතුබව දාර්ශනිකයන් වීම සදහා ප්‍රමාණවත් නොවන බව, එනම් දාර්ශනිකයකු වීමට අවශ්‍ය උමතුභාවය, සාමාන්‍ය උන්මත්තකයකුගෙ උමතු බව පරදවා යන බව මට වැටහී බොහෝ කලක් ගොස් ඇත. සාමාන්‍ය ජීවිතයේ , නිදසුනක් ලෙස මගේ අම්මාගෙ හෝ තාත්තාගෙ දෘෂ්ටිකෝණයෙන් බලන විට, අර්තකතනය වන්නෙ දර්ශනය හුදෙක්ම තේරුමක් නැති, අර්ථවිරහිත අභ්‍යාසයක් වන බවයි. පැවැත්ම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම වැඩි වනවාත් සමගම එහා බැදි ‘අමුත්ත’ ද වැඩි වෙයි. ‘ ඔබට සාමාන්‍ය ලෙස සිටීම්ට අවශ්‍ය නම් එසේ ගැටලු ගැන ඕනෑවට වඩා නොසිතා සිටම යෙහෙකි’ යන්න මෙහි අඩංගු පණිවුයයි. මගේ අර්ථයෙන් කියන්නේ නම්, නීතිය වැනි විශයක් මගින් මා සාමාන්‍ය ලෝකයේ සිටින, අමුත්තකින් තොර මිනිසෙක් බවට පත් කරයි. ඉන් අත් වන වාසි ද බොහෝය. මින් අදහස් කරනුයෙ දර්ශනය කරන්නන් ‘සුවිශේෂි’ හෝ ‘උත්කෘෂ්ට’ වන බව නොවේ. මා සහ වංගීස අතර මීට බොහෝ කලකට පෙර ඇති වූ සංවාදයක් පාදක වූයේ ඩෙකාට් ගේ ‘උන්මත්‍තකයා’ (mad man’) පිළිබදව වූ අතර එහිදී ඩෙරීඩා ගේ අර්ථකතනයක් මගින් මතු වූ කරුණ වූයේ උන්මත්තකයන් ගේ උමතුබව වුවද දාර්ශනිකයන් වීම සදහා ප්‍රමාණවත් නොවන බවයි (madmen are not mad enough to be philosophers). මේ අර්ථයෙන් ගත් කළ දර්ශනය කිරීම එක් අතකින් තීරණයකි – අනිත් අතින් මග හැර යා නොහැක්කි තත්වයකි. මා මාව හදුන්වාගන්නේ දාර්ශනියකු වීමට තරම් ප්‍රමාණවත් නොවූවද උන්මත්තක තත්වයක පසුවන්නියක ලෙසයි. මා ගන්නා තීරණ, මා සිටිනා ආස්තාන මෙන්ම මා පෙර සිටි පුද්ගලයා නොවීම වැනි දේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අවශ්‍යතාවය මා පසු කොට ගොස් ඇත. මට පිළිතුරක් දිය හැකි එකම තත්වය නම් මා දර්ශනය හැදෑරීමට තීරණයක් ගෙන ඇති බවත්, දර්ශනය විසින් මාගෙන් කැපවීමක්, වගවීමක් අයැද සිටින බවත් ය. එම නිසා දාර්ශනය යනු හුදෙක්ම ‘කල්ට්’ බවක් ගන්න ක්‍රියාවක් බවත්, සැම විටිම ඒ හා සම්බන්ධ අධිකාරිත්වයක් ඇති බව මෙන්ම එමගින් ‘විකල්ප’ අවකාශයක සිටීම අත්‍යවශ්‍ය බව හගවන්නා වූ තර්ක අතික්‍රමණය කළ හැකි, දර්ශනය වෙනුවෙන් මට කළ හැකි එකම දෙය දර්ශනය දර්ශනය ලෙස හැදෑරීමට පසුබිම සැකසීමයි. රෝමානු ජාතික මාකස් ඔරේලියස් සිය Meditations ග්‍රන්ථයෙ සපත කරන ආකාරයට-

”අඛණ්ඩ, නිරන්තර, බාධාවන් අතික්‍රමණය කළ දර්ශනය හැදෑරීමක්’ කිරීමට වෙහෙසීමයි. (a constant, disengaged, and uninterrupted study and esteem of philosophy).
එවැනි හැදෑරීමකින් තොරව කැපවීමකින් තොරව දර්ශනයේ ‘විවහාරික’ මානය ක් ඇත් ද ? එය කුමක් ද? භාවිතය න්‍යායට පරස්පර නැතිද යන ප්‍රශ්න මතු කිරීමට වත් මට සාධාරණ අයිතියක් නැති බව මගේ වැටහීමයි.

දර්ශනයේ භාවිතය පිළිබද ප්‍රශ්න කිරීමට හැකියාව ලැබීමට එය විසින් ඉල්ලා සිටින අධ්‍යනික හික්මීම අවශ්‍යය. දර්ශනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම අත්‍යවශ්‍යය. පුද්ගලත්වය අභිබවා ගිය, පුද්ගලික ඉතිහාසයන් අතික්‍රමණය කළ වගකීමක් දර්ශනය සම්බන්ධයෙන් මා තුළ ඇති බව මාගේ විශ්වාසයයි.

ඊයේ දිනයේදි නීතිය සම්බන්ධ මාගේ නිල අධ්‍යන කටයුතු නිම කළෙමි. එහිදී ඉගැනීම් කළ කාමරයේ මා තබා ගෙන සිටි, මීට වසර දෙකකට පෙර පේරාදෙණිය විශ්‍යවිද්‍යාලීය පුස්තකාලයේදි කියැවූ හයිඩෙගර් ගේ චරිතාපදානයකින් ලබා ගත් වැකියක් නෙත ගැටුණි.

“”විශ්යවිද්‍යාල පුස්තකාලයෙන් ලබා ගැනීමෙන් පසුව, ඔහු එම පොත වසර දෙකක් පුරාවට සිය කාමරයේ තබා ගත්තේ ය. වෙන කිසිවෙකු එ ම ග්‍රන්ථය ගැන විමසනවන බවක් නොවිනි. එය අන්‍යන්ගෙන් ව්‍යුක්ත වූ මෙන්ම ඔහුටම අයත් වූ ලාලසාවක නිමග්න වීමක හැගීමක් ඔහුට ගෙන දුන්නේය. වසර පනහකට පසුව වුවද ඔහු ඒ පිලිබදව සිතන ලද ඕනෑම අවස්තාවක ඒ පිලිබදව අතිශය ප්‍රහර්ශයට පත් වන ලදී. ඔහුගේ වචන වලින් වසන්නේ නම් : “හුස්රල් ගේ කෘතියෙන් මා කෙතරම් අමන්දානන්දයට පත් වී සිටියේද යත් වසරක් පාසා එය නැවත නැවත කියෙව්වෙමි. එම ග්‍රන්ථයෙන් නිකුත් වන වශීය එහි වචන, වාක්‍ය ව්‍යුහය, මෙන්ම පොතේ මාතෘකාව වසා පැතිර – එයද අභිබවා යන ලදී”.

දර්ශනයෙ අහුමුලු තුළ අපද සැරි සැරිය යුත්තෙමු. මෙය හුදෙක් පොත් කියැවීමක් නොවන අතර එය ඉතිහාසයන් ඔස්සේ යමින් එක් හිත් ඇත්තන් , අදහස් දරන්නන් අතර වන්නා වූ නොනිමි සංවාදයකි. ගැටුමකි. මා හා සොක්‍රටීස් අතර වෙනසක් නොමැත. එකම වෙනස වනුයේ ඔහු මට වසර දහස් ගණනකට් පෙර ඇතෑන්ස් හි දැනුමට ආදරය කළ අයෙක් වීමයි. අනෙක් සියල්ල මෙම සංවාදය පසුකොට හෝ පසු පසින් පැමිණෙන දෑය. නොපැමිණෙන් දෑය.

 

ශලිනි සමරනායක

%d bloggers like this: