Menu Close

දොළහ වෙද්දී – දෙවෙනි කොටස

ඒ කාලයේදී අප කළ වික්‍රමවලින් එකක් වුණේ…….

ඒ අතරේ වාර විභාගයත් ආවේය. එහෙම දවස්වලට ඉස්කෝලේ යන්නට එන්නට වෙලාවක් නැත. විභාග කාල සටහනක් තිබුණත් ඒවා තාත්තලාට කියන්නට යන්නේ කවුද?


ඒ කාලයේදී අප කළ ලොකුම වික්‍රමවලින් එකක් වුණේ ‘දං කැලේට රිංගීම’ය. එහෙම රිංගුවේ විද්‍යාකරේ ළමුන් විතරක් නොවේ. බුවෙනකබාවේ ළමයිනුත් …..  එකෙක් දෙන්නෙකුත් නොවේ. අප එහෙ යන කොයි වෙලාවේ වුණත් අඩුම තරමින් දහ-දොළොස් දෙනෙක්වත් දං කැලයේ හිටියෝය.

ලොකුම දං කැලය තිබුණේ ගුරු අභ්‍යාස විද්‍යාලය කිට්ටුවය. දැන් මහරගම ජනාධිපති විද්‍යාලය තියන හරියෙන් පටන් ගත්තාම ට්‍රේනින් කොලේජ් එක හරියට යනකල්ම දං කැලේය.

දෙවැන්න තිබුණේ මහරගම පන්සල පාරේය. ‘පන්සල පාර’ කියන්නේ දැන්ය. එතකොට ඒකට කිව්වේ ‘බරවගොඩ පාර’ කියලාය. එහෙම කියන්නට පටන්ගත් කාලයේය මහරගමට ‘හික්ගස් හන්දිය’ කියලා කියන්නට ඇත්තේ. 
R.L. Brohier හා J.H.O. Paulusz විසින් සම්පාදිත ‘Land, Maps & Surveys’ පොතේ සිතියමක විදිහට නම් මහරගම කියා ගමක් තියා හික්ගස් හන්දිය කියා තැනක්වත්……
මුල සිටම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අයගෙන් කෙනෙකු වන ඉතිහාසකාමී Pra Jay උන්නැහේ සෑහෙන කාලයක සිටම නිදිට බලපෑමක් කරමින් හිඳියි. 
සැරින්-සැරේ එක-එක උපාමාරු යොදමින් Pra Jay කරන්නට යන්නේ අවැඩක් හෙම නොවේ.

සති කිහිපයකට කලින් ‘1908 දී හම්බන්තොට හද්දා පිටිසර ගමක් වූ බද්දේගමට ආ සුද්දා’ පොත ගෙනත් දුන්නේය. “නිමල් ඉඩ තියෙන විදියට කියවලා බලන්නකෝ!”. ඒ සඳහා ඉඩ ලැබෙන්නටත් කලින්ම, ‘ඉණ වට බැඳි කුසල – කොළඹ දිස්ත්‍රික්කයේ ගමක පරිණාමය’ පොතත් ගෙනවුත් දුන්නේය. ඒ දෙකම ගම්වල ඉතිහාස කතාන්දරය.

Pra Jay දත කන්නේ කොහොමෙන් හරි නිමල් දිසානායක ලව්වා ‘මහරගම ඉතිහාසය’ ලියවන්නටය.

නිදි තමන්ගේ ජීවිත කතාව ලියද්දී ආගිය තැන්- අදාළ තැන් ගැන දන්නා ටික කියනවාට වඩා මේ රාජකාරිය කොයිතරම් බැරෑරුම්ද?

නොයෙකුත් උපාමාරු යොදමින් Pra Jay හදන්නේ මහරගම ඉතිහාසය ලියන්නට ……….
ප්‍රා ජේම ගෙනවුත් පෙන්වූ, ඉපැරැණි සිතියමක කිරුලපන, පාමංකඩ, නුගේගොඩ, කළුබෝවිල, පැපිලියාන, බොරලැස්ගමුව, බෝකුන්දර, පිළියන්දල සේරම තිබෙයි. අනෙක් පැත්තෙන් ඇතුල් කෝට්ටේ, මිරිහාන, කිඹුලාවල, මාකුඹුර, හෝමාගම, පිටිපන සේරමත් තිබෙයි.

ඇරැව්වලත් සලකුණු කොට තියෙන ඒ සිතියමේ මහරගම තියා හික්ගස් හන්දිය කියලා තැනක්වත් නැතිය!

එකල ඒ තරමටවත් ‘තැනක්’ නොතිබුණු මහරගම දැන් ලෝක ප්‍රසිද්ධය.

ඒ ඇඳුම් හින්දාය. මෙහේ ඇඳුම් කර්මාන්තය පටන් ගත්තේ ‘පාංකඩ’ ඇඳුම්වලිනි.
සල්පිටි කෝරලයේ සිතියම හොඳින් බලන්නෙකුට…………
ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වුණේ ‘පාංකඩ පමුණුව’යි. 

පමුණුවෙන් මහරගමටත්….. එතැනින් හතර වටේ ප්‍රත්‍යන්තවලටත් විහිදී ගිය ඇඳුම් කරුමාන්තය දැන් කෙරෙනුයේ ‘පාංකඩ’වලින් නොවේ. ඒ ගැන නම් ‘පාංකඩ පමුණුව’ නමින් පෝස්ට්ස් කිහිපයක් නුදුරේදීම ලියවෙනු ඇත.

එහෙව් මහරගම, පන්සල පාරෙන් ගිහින් වමට හැරුණාම තියෙන දඹහේන පාර ඉසව්ව පුරාමත් දං ලන්දකි. 
සයිස් එකේ හැටියට නම් තුන්වැන්න තිබුණේ පමුණුවේය. 
කබොක් ගල් කැපීම නිසා තැනින් තැන ලොකු වලවල් හැදී තිබුණු ඒ දං කැලෑවේත් දැන් නම් එක දං ගහක්වත් ඉතිරිවී නැත. 

තවත් දං කැලයක් මහරගම ඇල්හේන පාරෙත් තිබිණි.

මේ එක තැනකවත් දැන් නම් දං ගහක් බෙහෙතකට ගන්නටවත් ඇත්තේ නැත.

ඈත තිබුණු දං කැලෑවලට දැන් කියන අරුමෝසම් නම් හොයන්නට නොගියත් පමුණුවේ තිබුණු දං කැලයට කියන නම නම් හරිම ප්‍රසිද්ධය. 
Chandana Garden! 
ඉඩම් කෑලිවලට කඩා වෙන්දේසි කරන්නන් ඒ තුන්වෙනි; කබොක් වළවල් පිරී තිබුණු දං කැලයට දැමුවේ ‘චන්දන උද්‍යානය’ කියන නමයි. හැබැයි ඒ ඉසව්වේ එකම එක සඳුන් ගහක්වත් තිබ්බේ නම් නැත!
රෙද්දෙ චන්දන උයන! හොර හරක් මැරුවේ, කසිප්පු පෙරුවේ……
ඒකට මොකද? අතේ සතේ නැති ධනපාලලා ඉන්නේ. කඩුලු දහඅටෙන්ම පනින සීලවතීලා ඉන්නේ. යෝනියක් තියෙන අයෝනිලා, කඳ-බඩ යස අපූරුවට ආරලා තියෙන ඉරෝෂන්ලා එහෙමත් ඉන්නේ. 
මොට්ටම මොට්ට, ගොන් තකතීරු ඥානපාලලා- ඥානදාසලා- ඥානසේකරලා හෙමත් හිඟ නැති රටේ, පැත්ත පලාතක සඳුන් ගහක් නොතිබුණු තැනක් සඳුන් උයනක්ම වුණේය!

“එහෙන් ඉඩමක් ගන්න? රෙද්දේ චන්දන උයන. යකෝ, ඕකෙ හොල්මනුත් ඇති.

-දන්නේ නැතිනම් අර කොටුවේ අම්මණ්ඩිගෙන් අහගනින්.… හොර හරක් මරණ තරමක් මැරුවේ ඔහේ. කසිප්පු පෙරුවේ ඔහේ. 
කවුද දන්නේ මිනී කීයක් ඔය කබොක් වළවල්වල හංගලා තියෙනවද කියලා?” 
චන්දන උද්‍යානයේ ඉඩම් වෙන්දේසි කරන කාලයේ ඉඩමක් ගන්නට උනන්දුවූ අපේ අම්මාට විරුද්ධව තාත්තා නිෂේධ බලය පාවිච්චි කළේ එහෙම කියමිනි.

මේ දං කැලෑවලට මහා පොදු සාධකය වුණෙත් ඔය කබොක් වළවල්ය. ඊළඟට එව්වාට සිත් ඇදගන්නා උජාරු නම් දමා වෙන්දේසි කිරීමය. දැන් ඒ හැම ඉසව්වකම posh ගෙවල්ය! සොරි, ගෙවල් නොවේ. මන්දිරය!
ආයෙමත් වාර විභාග කාලෙට යමුකෝ!
ඉතින් ආයෙමත් වාර විභාග කාලයට යමුකෝ. 

එහෙම වෙලාවකය මං පළමු හා අවසාන; මෙන්ම එකම වතාවටත් ගෙදරට හොරෙන් ‘තුන්මං හන්දිය’ බැලුවේ! ඒ විස්තර මතක නැතිනම්, තරහ නැතිව ‘අනේ කුරුලු කූඩුවලට’ පෝස්ටුව  බලන්නකෝ. 

ආසාවට, කොලුකමට දං කඩන්නට ගියත් මං දං කැඩුවා විතරය. කෑවේ නැත. ඇයි කියලාද අහන්නේ? 

මේකය! එහෙම ගමන් අපේ ගෙදර ළමයින්ට සපුරා තහනම්ය. තාත්තාගෙන් අවසර නොගෙන ගිහින් අහුවුණොත් සබ්බුවය. 
ඉතින් දං කන්නේ කොහොමද? කොච්චර කැඩුවත් මං කට හරියට ගත්තේ ‘එළ දං’ විතරය!

දං දෙවර්ගයකි. වැඩියෙන්ම තියෙන්නේ ඉදුණාම හොඳටෝම දම් පාට වෙන වර්ගයයි. ඉදෙද්දී ළා කහ පාටකට හුරු කොළ පාටකින් දිළිසෙන වර්ගය එළ දංය. 
එව්වා කොච්චර කෑවත් සාක්කි ඉතිරි වෙන්නේ නැත.
නීති දමන තරමටම ඒවායින් බේරී; රිංගා ගිහින් වැඩ කරගන්නට …………
ඒ අතින් අපේ තාත්තා මට ලොකුම උදව්වකුත් කරලා වගේය. 

තාත්තා නීති දමන තරමට ඒවායින් ප්‍රවේසම් වෙන්නත්, ඒවාට යටින් රිංගා යන්නටත්, වංගු ගහන්නටත්, අහු නොවී වැරැදි කරන්නටත් මා සූක්ෂ්ම වෙලාය. 
ජීවිතයේදී ඒ නුවණින්; ඒ සූක්ෂ්මකමෙන් මං කොච්චර ප්‍රයෝජන අරගත්තාද? 

(වස් කවි කීම පෝස්ටු එයට හොඳම උදාහරණයකි). ඒ වෙනුවෙන් මා අපේ තාත්තාට හොඳටෝම ණයගැතිය.

එහෙම වුණත් 1966 මාර්තු මාසයේ අග හරිය වෙද්දී; පළමුවෙනි වාර විභාගය එළඹෙද්දී මම ඒ තරමටම ඇට්ටකුණාවී නොහිටියෙමි.

“නිමල්, විභාගේ අන්තිම දවසේ යමුද අපේ ගෙදර?”
පියසිරි එහෙම ඇහුවේ කිසිවෙකුටත් නෑහෙන තරමේ හීන් හඬකිනි.

“ඔයාලගේ ගෙදර? කොට්ටාවේ…..?” මට කියවුණේ හෙමින්මත් නොවේ. 

අපේ තාත්තා කියලා තිබුණු විදිහට අපට අමතර ගමන්-බිමන් කොහෙවත් යන්නට තහනම්ය. යනවා නම් කලින් කියලා අවසර අරගෙන ඉන්නට ඕනෙය. 
ටිකකට පෙරාතුව කිව්වා වගේ දං කඩන්නට යනවා වගේද, කොට්ටාවට යන එක? 

හොරෙන් යන්නට වෙලාව හදාගත්තත් බස් එකට සල්ලි…. සත විස්සක් විතරවත් යයිනේ!
ඇත්ත කියන්නාට මතක තබාගන්නට දෙයක් නැතිය!
“ගෙදරට කියන්න ඕනි නෑ. විභාගෙ ඉවරවෙන දවසේ යං. එක subject එකයිනෙ තියෙන්නේ.”

“ඒ වුණාට බස් එකට සල්ලිත්…..”
“මම ඔයාට කිව්වද සල්ලි හොයාගන්න. මාත් එක්ක අපේ ගෙදර ගිහින්, ආයේ මහරගමට එනකලුත් මම එනවා. බස් ෆීස් එක මගෙන්… එනව නේද?”

“ඔයාලගේ ගෙදර අය….?” 
මට ඇහුණේ ඉබේමය. අපේ පාසල් යහළුවෙකු ගෙදරට කැන්දාගෙන එන්නට කලිනුත් තාත්තාගෙන් වරම් අරගෙන ඉන්නට ඕනෙය. 
පියසිරිට එහෙම තහංචියක් නැතිවාවත්ද?

මෙහෙම කියාගෙන යද්දී අදටත් මට පුදුම හිතෙයි. මේවා සේරම මගේ මතකයේ නිදන්වී තියෙන්නේ කොහොමද? උත්තරය දැක්කේ FB පෝස්ටුවක තියෙද්දීය.

If you tell the truth you don’t have to remember anything. 
ඇත්ත කියන්නාට මතක තියාගන්නට දෙයක් නැතිය.
එහි සැඟවුණු යමක් වෙතියි මා සිතුවේ නැත. මට උවමනා වුණේ……….
එදා ‘යමුද අපේ ගෙදර?’ කියලා පියසිරි කියුවේ ඇයිද යන්න මට වැදගත් නොවීය.

එහි සැඟවුණු යමක්; වෙනත් අරමුණක් තිබිණි යැයි මා සිතුවේ නැත. 
එහෙනම් මා එහි යන්නට සැරසුණේ ඇයි? 
මට උවමනා වුණේ ඔහුගේ ඇරයුම පිළිගන්නටය. එසේ කොට පියසිරිට සතුටක් ඇති කරවන්නටය! අපේ මිතුරුදම තවත් තහවුරු වෙනවාට මම කැමති වීමි.

“ඔයාලගේ ගෙදර අය මොනාවා හරි කිව්වොත්….”

“අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයිනේ…. අම්මා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්නෑ.”
“ඇයි තාත්තා….?”

“තාත්තා නෑ…… ඒ වුණාට මාමලා, බාප්පලා, නෑදෑයෝ ගොඩක් ඉන්නවා අපේ ගේ ළඟම… එකම වත්තේ. එයාලා ඔයාව අල්ලගන්න එන්නෑ. මම ඉන්නවනේ, බයවෙන්න එපා.”
රංජි, මෙහාට වරෙන්! තාත්තාගේ හඬ ඒ තරම් දයාබර එකක් නොවේ!
මා කතා කළේ ඔළු භාෂාවෙනි. බෙල්ල කෙලින් තබාගෙන මුහුණ මෘදුව වමට හා දකුණට අඩ කවයක් පරිද්දෙන් සොලවා…..! 

පියසිරිගේ දෙනෙත් දිලිසුණේය. “ඔන්න පස්සේ හෙම බැහැයි කියන්නෑ, හරිද?” එදා කතාව සමාප්ත කරමින් පියසිරි මට කිව්වේ තරවටුවක ස්වරූපයෙනි.
වෙනත් වාරාවසාන විභාග දවස්වලදී වගේම ඉඩක් ලැබුණු ගමන්ම කාගේ හෝ දිහාවක යන්නට, දං කඩන්නට යන්නට ගියත්, මේ වතාවේ ඒ හැම විටෙකම හිතේ උඩින්ම තිබ්බේ පියසිරිගේ ආරාධනයයි. 
හැබැයි, ඒ ගැන කිසිම කිසිවෙකු හා නොකියන්නටද මම වගබලා ගත්තෙමි. 

එහෙම කළේ පියසිරිගේ කල්ලියට මගේ මිතුරන් හෝ මා හෝ අයත් නොවුණු බැවිනි.
‘කාටවත් කියන්නෙපා!’ කියලා ඔහු මට කියා තිබීමත් ඊට හේතුවක් විය.

විභාගය අවසාන වෙන දවසට කලින් දවසේ හවස අපේ තාත්තා මට අඬ ගැහුවේය. 

“රංජී, මෙහාට වරෙන්….” ඒ ‘වරෙන්’ කීමේ හඬ හොඳ නැත. ඒ හින්දාම මා යන්තම් තත්ත්පර වුණාවත්ද?
මතක විදිහට නම් එදා ගුටි කන වැඩ එකක්වත් මගේ අතින් කෙරිලා තිබ්බේ…….
“මොකද යකෝ, සැරයක් කතා කළාම එන්න බැරි කොරවෙලාද?”
“අ අ අ ඇයි තාත්තේ?”

“මෙහෙට වරෙන්… තව ළඟට… යකෝ තව ළඟට වරෙන්, මාව ඔතනට ගෙන්න ගන්නෙ නැතිව.”

ඒ අඩි දෙක-තුන යන්නට කල්පයක් ගෙවෙන්නට ඇතිවා නිසැකය. එතකොටම අම්මාත් එතැනට එබුණාය. “කවුද උඹට බුලත් දුන්නේ…. පලයන් අන්නරහෙට, මෙතැන මගෙන් මැරුම් නොකා.”

දැන් මට මුත්‍රා බරකුත් හැදිලා තරම්ය. දැන් නම් කිසිම සැකයක් නැත. මොනවාම හරි වැරදිලාය. ඒත් වැරදුණේ මොනවාද? මතකයේ විදියට නම් එදා මා’තින් ගුටි කන වැඩ මොනවාවත් කෙරිලා නැත.

“උඹ දන්නවනේ මේ තාත්තගේ හැටි. ආයේ අමුතුවෙන් මතක් කරන්න ඕනි නැහැනේ…. බොරු කියන්න ඕනි නම් කියපන් පුතේ. හැබැයි අහුවුණොත් නම් තෝව ඇහේ ඉඳලා පට්ට ගහනවා…. මේ… මෙහෙ මගේ ඇස් දෙක දිහා බලපන්… බලාගෙන උත්තර දීපන්….” 

අද නම් මං ඉවරය; ඉවරෙටම ඉවරය!
කාගේද මේ පොත්?
එතැනම තිබුණු මගේ ඉස්කෝල පොත් ටික තාත්තා අතට ගත්තේය. එහෙනං ඉස්කෝලේ වැඩක්…

“කාගෙද මේවා?”
“ඔව්වා…. ඔව්වා…”
“ඔව් යකෝ. කාගෙද මේ පොත්?” තාත්තා අඩියකුත් පොළොවේ හැප්පුවේය.

“ඔය මගේ පොත්නෙ තාත්තේ.”

“මගේ… එතකොට මේක කාගෙද?” පොත් ගොඩේ තිබුණු එක පොතක් ඇතුළෙන් කුඩා කොළ කැබැල්ලක් එළියට ගනිමින් තාත්තා ඇසුවේය.

එතකොටය මට මතක් වුණේ. 
එදා පාසල ඇරෙන්නට ඔන්න-මෙන්න තියලා පියසිරි මා ළඟට ආවේය. “පොතක් දෙනවා!” අර කැඩෙටින් කරවද්දී විධාන දෙන ස්වරයෙන්ම මට කිව්වේය. “මොන පොතක්ද?” 
යෝ වදතං පවරෝ මනුජේසු…. ළඟට මගේ සගයා කිව්වේ ‘ජේසුගෙ අම්මට බාගෙට …..’
මගේ ප්‍රශ්නයට උත්තරයක් නොදීම ඩෙස්කුව උඩ තිබුණු පොතක් අතට ගත් පියසිරි එය එහා-මෙහා පෙරළුවේය. පෙරළන අතරේම පන්තිය පුරාම ඇහැ යැව්වේය. 
ඒ සමඟම අතේ තිබුණු කොළ කැබැල්ලක් පොත ඇතුළට දමා මගේ අතටම දුන්නේය.

“හොරෙන් බලන්න.” හෙමින් කොඳුරා, වගේ-වගක් නැතිවා වගේ ඈතට ගියේය. ඒ එක්කම පාසල ඇරෙන ඝණ්ටාව නාද වුණේය.

වෙනදා පුරුද්දටම  හැමෝම වැඳගෙන ‘යෝ වදතං පවරෝ මනුජේසු….. ශාක්‍ය මුනී භගවා කතකිච්චෝ…..’ කියද්දී මගේ අල්ලපු වැටේ හාදයා ‘ඡත්ත මානවක ගාථා’වේ දෙවෙනි පදය කිව්වේ වෙන විදිහකටය.

“ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ”.

අපෙන් එහෙම දේවල් කෙරුණේ ආගමකට හෝ ජන වර්ගයකට හෝ අපහාසයක් කරන්නට නොවේ. අහිංසක විහිළුවක් කරන්නටය; ළඟින් ඉන්නා අය හිනා ගස්සන්නටය; මැරෑටිකමටය.

මා වෙනදා වාගේ හඬ නඟා අත්වැල් ඇල්ලුවේ නැතත් ගාථා සජ්ජායනය අවසානයේ පාසල ඇරෙන්නට ඇත. පොකුරට කොලු රෑනට එකතු වුණාට පස්සේ මට අනෙක් සේරම අමතකව යන්නටත් ඇත.
අඹ, දඹ, රෑන, හුණු, කන, මූණ වචන ටික එක යට එක ලියලා ඉවර වෙලා……..
“මොකක්ද මේ? කවුද මේක උඹට දුන්නේ?”

මගේ ඇස් උඩ ඉන්දුණේය. ලෙඩේ තේරුණේය…

එදා පන්තියේදී මගෝඩි වැඩක් වුණේය. “ලස්සන වැඩක් කියන්නද?” අපේ ඩෙස්ක් පේළිය ළඟට ආ වසන්ත ඇහුවේය.

“හා, හා, ලස්සන එකක් නම් කියපන් මචං, ටීචර් එන්න කලින්.” කවුදෝ උල්පන්දම් දුන්නේය.

“අඹ දඹ රෑන හුණු කන මූණ.” වසන්ත කීවේය.
“ඕකේ මොකක්ද බං තියෙන ලස්සනේ?” දෙවැන්නාත් කීවේය.

“අන්න ටීචර් එනවා. ‘අඹ දඹ රෑන හුණු කන මූණ’ වචන ටික එක යට එක ලියාගෙන ගිහින් මුල් අකුරු ටික එකතු කරලා බලපන්කො…. ලස්සන නැද්ද කියලා. හැබැයි ටීචර්ට හොරෙන්…” 

එහෙම කියාගෙන ගිය වසන්ත වාඩි වුණේ පියසිරිට එහා ඩෙස්කුවේය. ඒකා පියසිරිට මොනවාදෝ කියනවාත්, පියසිරි ඇට්ටර හිනාවක් පානවාත් මං බලාගෙනය.

ටීචර් ඉඳිද්දීම, අපේ පේළියේ කට්ටිය කාටත් හොරෙන් ‘ඒ මුලකුරු’ එකතු කළෝය. 
ඇත්තම කියන්නේ නම් එහි තුන්වෙනි වචනය කුණුහරුපයක් බව විනා ඊට වැඩි දෙයක් ඒ වනවිට මම නොදත්තෙමි.
කල්පනා කරන්න දෙයක් නෑ. ඇත්ත කියපන්….
පියසිරි ලියාගෙන ආවේ ඒ කතන්දරේද? කොළ කෑල්ලේ තිබ්බේ ඒකද?

“කල්පනා කරන්න දෙයක් නෑ. ඇත්ත කියපං…. කවුද මේක උඹේ පොතට දැම්මේ…?”
“පියසිරි….”

“පියසිරි තොගෙ අම්මගේ වාහෙද? ඌ ඇවිත් උඹේ පොත් අස්සට අරවා-මෙව්වා දානකල් බලා ඉන්නේ? ඉතින් උඹත් මේක කියවලා හංගගෙන ආවා!”

“අඅඅ…. අන්..න්….නේ නෑ තාත්තේ…. මං කියෙව්වේ නැහැ…..”

“දිවුරපන්…. මගේ ඔළුවේ අත තියලා දිවුරපන්……”
………
%d bloggers like this: