Menu Close

කෝවිඩ් -19 වෛරසය ආවේ හෝඩි පොතේ ඈයාගෙන්ද? කබල්ලෑවාගේ අන්තර් ජාතික දිනය අදයි.

අපේ සිංහල හෝඩියේ වෙනත් කිසිම බසක නැති ශබ්ද දෙකක් හැඳින්වීමට අකුරු දෙකක් තියෙනවා. ඒ දුර්ලභ අකුරු දෙක වූ ‘ඇ, ඈ’ යන අකුරු හැඳින්වීමට අපේ පැරණි හෝඩි පොතක දුර්ලභ සතකුගේ රූපයක් යොදා තිබුණා මට මතකයි. ඒ ‘ඈ’ අකුර සඳහා යොදා තිබූ ‘ඈයා’ නම් සතාගේ රූපයයි. ඒ ඈයා අන් කිසිවකු නොව කබල්ලෑවායි. අද කබල්ලෑවා ගැන කතා කිරීම වැදගත් වන්නේ කරුණු දෙකක් නිසයි. එකක් ඔවුන් සඳහා වෙන් කළ අන්තර්ජාතික දිනය අදට යෙදී තිබීමයි. ලෝකයේ වඳ වී යන සතුන් අතර ඉහළම තැනක වැජඹෙන කබල්ලෑවා ගැන ලොව පුරා කතාබහ කෙරෙන, ඔවුන් රැක ගැනීමට අවධානය යොමු කරවන සුවිශේෂී දිනය අදයි. අනෙක් කරුණ අද ලොව කැලඹූ මාරක රෝග තත්වය ඇති කළ ‘කෝවිඩ්-19’ වෛරසය අපට ආවේ කබල්ලෑවාගෙන්ද යන මතයි.

කබල්ලෑවා මටත් සුවිශේෂ සතෙක්. ඒ මා කුඩා කාලයේ මුලින් ම මට සජීවී ව හමු වූ වනජීවියා කබල්ලෑවා වීමයි. මීට වසර 70කට පෙර අප වාසය කළේ නිකවැරටියෙන් සැතැපුම් 18ක් පමණ ඈතින් පිහිටි පහළ මාවතගම නම් දුෂ්කර පාසලක ගුරු නිවාසයෙහියි. එක් උදෑසනක ඒ ගම්වැසි දඩයක්කාරයෙකු ලේ පෙරෙන කොටි අතක් සමඟ කබල්ලෑවෙකු රැගෙන අවේ මගේ පියාට පෙන්වීමටයි. ඔහු දුටු ඒ අපූරු දසුන විස්තර කළ හැටි මට අද වගේ මතකයි.

‘ලොකු මහත්තයො, මං බැද්දේ කරක් ගහන කොට මං දැක්කා කොටි හපුවෙක් හුඹහක් බදා ගෙන ඉන්නවා. මං හීන් සීරුවේ කිට්ටු වෙලා බැලුවා. ඌ හුඹහට අතක් දා ගෙන එළියට ගන්න බැරුව දඟලනවා. මං කෝකටත් කියල තුවක්කුවත් මානගෙන ඉස්සරහට ගියා. ඈතදිම මං එනව දැකපු ඌ අත කටින් හපලා එක පාරටම කැළේට පැන්නා. හුඹහ කඩලා බැලුවාම මේ ගොයියා තමයි ඇතුළෙ උන්නෙ.’ ඔහු කීවා. හෝඩි පොතෙන් දැකපු ඒ සතා ඒ සන්දියෙදි ම හැබැහින්ම දැක ගන්න මට වාසනාව ලැබුනෙ එහෙමයි.

‘කොටියා හුඹහ ළඟ කූඹින් කකා හිටිය කබල්ලෑවා දැකලා අල්ලා ගන්න යන කොට ඌ හුඹහට රිංගන්න ඇති. කොටියත් ඒ පාර හුඹහට අත දමන්න ඇති. මේ අසරණ සතා බය වෙච්ච පාර කොටියගෙ අත බදා ගෙන තියෙනවා. තාමත් ඌ ඉන්නෙ ඒ විදියටමයි.’ මගේ පියා ඒ සිද්ධිය දැක්කා වාගේ විස්තර ‍‍‍‍කළා. ‘එහෙමයි, එහෙම තමා වෙන්න ඇත්තෙ’ ගැමියා ඒ කතාව අනුමත කළා.

බියක් ඇති වුණු විට හැකිළෙන කබල්ලෑවා

කබල්ලෑවා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘පැන්ගොලින්’ කියායි. ‘පැන්ගොලින් ඩේ’ කියා නම් කර ඇත්තේ ඒ නිසයි. දෙමළ බසින් කබල්ලෑවා හැඳින්වෙන්නේ ‘අලූන්ගු’ කියායි. මේ සතුන් අපේ රටේ තෙත් සහ වියළි කලාපවල දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයේ දකින්නට ලැබෙන කබල්ලෑවා ‘ඉන්දියන් පැන්ගොලීන්’ හෙවත් ‘මැනිස් ක්‍රැසිකෝඬේටා’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා. චීනය ඇතුළු අවට රටවල, එනම් නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ, මියන්මාරයේ පමණක් නොව තායිවානයේ ද දක්නට ලැබෙන්නේ ‘චයිනීස් පැන්ගොලීන්’ හෙවත් ‘චීන කබල්ලෑවා’යි. මේ කබල්ලෑවා ඉන්දියාවේ ද වාසය කරනවා. ඌ ‘මැනිස් බෙන්ටඩැක්ටිලා’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා. 

ලෝකයේ කබල්ලෑවන් විශේෂ 8ක් ඉන්නවා. කබල්ලෑ විශේෂ අටම වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් ලෙස සැලකෙනවා. කබල්ලෑවන් ආරක්ෂා කළ යුතු සත්ව විශේෂයක් ලෙස නම් කර ඇත්තේ 2016 වසරේ සිටයි. සත්ව ජාවාරම්වලට වැඩියෙන්ම ලක්වුණු සත්වයා කබල්ලෑවායි. ඌ වඳවීමට හේතුවක් වී ඇත්තේද එයයි.

ලෝක වනජීවී සංරක්ෂණ සංගමය විසින් කබල්ලාවන් සුරැකීම වෙනුවෙන් ජාත්‍යන්තර වැඩසටහන් මාලාවන් රැසක් ලොවපුරා ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා කබල්ලෑවන් වෙනුවෙන් දිනයක් ‘පැනගොලීන් ඩේ’ යනුවෙන් වෙනම සෙනසුරාදා දිනයක් ද නම් කර තියෙනවා. සෑම වසරකම පෙබරවාරි මාසයේ දෙවැනි සෙනසුරාදාටයි එය යෙදෙන්නේ. නවවැනි වරටත් පැවැත්වෙන එය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 15 දාටයි.

ලොවින් තුරන් වී යන කබල්ලෑවා හෙවත් ඈයා

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමාරයා වඩාත් ප්‍රිය කරන සතා කබල්ලෑවා යැයි ලන්ඩනයේ ‘ඬේලිමේල්’ වෙබ් අඩවියෙහි ආ පුවතක දැක්වුණා. ඒ වාර්තාවෙහි, කුමරුන් කබල්ලෑවන් ගැන කියා ඇත්තේ මෙසේයි. ‘කබල්ලෑවා ඉතා වේගයෙන් වඳ වී යමින් තිබෙන සතෙක්. මිනිසාට හිතන්නවත් බැරි තරම් වේගයෙන් ඔවුන් මෙලොවින් තුරන් වී යනවා. ඒක ශෝකයට කරුණක්! ඔවුන් මේ මහ පොළොවෙහි ඉන්නේ මිනිසා මිහිමත බිහි වෙන්නටත් කලින් සිටයි. හුඹස් කඩමින්, බිම හාරමින් වසරකට කුහුඹුවන් මිලියන 70 ක් පමණ ආහාරයට ගනිමින් දිවි රැක ගෙන ජීවත් වුණා. අනතුරකදී ආරක්ෂක පියවරක් ලෙස, කොරපොතුවලින් පිරුණු සිරුර, බෝලයක් සේ වකුටු කර ගෙන ඒ අනතුර පහව යනකල් නොසැලී සිටින්න ඌට පුළුවන්.’ විලියම් කුමරුන්ගේ ඒ කතාව සම්පූර්ණයෙන් ම ඇත්තයි.

කබල්ලෑවා අද ලොවෙන් සමු ගැනීමට ආසන්නව සිටින සතෙක්. අප්‍රිකාවේ වන දිවියන්ගෙන් හා සිංහයන්ගෙන් බේරීමට කබල්ලෑවා කොරපොතු සිරුර වකුටු කර ගන්නවා. බඩගිනිකාර විලෝපිකයන්ගෙන් බේරීමට එය කදිම උපායක්. කබල්ලෑවාගේ කොරපොතු සවිමත්. ඒවා පසාරු කිරීමට සිංහයන්, දිවියන් ඇතුළු විලෝපිකයන්ට නොහැකියි. කෙසේ නමුත් මිහිමත සිටින නපුරුම සතා වන මිනිසාගෙන් බේරීමට එම ආරක්ෂක උපක්‍රම ප්‍රමාණවත් නෑ. අනවසර දඩයක්කරුවන් කබල්ලෑවන් පණ පිටින් හෝ මරා හෝ අල්ලා ගන්නවා. පණ පිටින් අල්ලා ගන්නා කබල්ලෑවාට වැඩි මිලක් ලැබෙනවා.

චීනයේ කබල්ලෑ ගහනය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බැවින්, අද ඉන්දියාවෙන්, පාකිස්තානයෙන් පමණක් නොව අප්‍රිකාවෙන්ද ගෙන එන කබල්ලෑවන්ට චීන වැසියන් අතර ඉල්ලුමක් තියෙනවා. කබල්ලෑවා අපේ රටෙත් නීතියෙන් ආරක්ෂිත සතෙක්. ඒත් ඉඳහිට ඒ නීති විරෝධී කටයුත්ත කළ අය අහුවෙනවා. 2017 දී කල්පිටියේදී කබල්ලෑ කොරපොතු කිලෝග්‍රෑම් 130ක් ළඟ තබා ගෙන සිටි අයෙක් නීතියේ රැහැනට අහුවුණා. ඒ ප්‍රමාණය ගන්න කබල්ලෑවන් 150ක් පමණ මරන්න ඕනෑ. මේ අපරාධයේ තරම එයින්ම වටහා ගන්න පුළුවන්.

කබල්ලෑවා විශාල ඝන කොරපොතුවලින් සමන්විත, සන්නාහයක් බඳු සිරුරකට හිමිකම් කියන සතෙක්. ඌ ප්‍රමාණයෙන් කුඩායි. කුලෑටියි. දත් නැහැ. ඇස් පෙනීම දුර්වලයි. කබල්ලෑවා කුහුඹු කන්නෙක්. කබල්ලෑවාගේ දිව හරිම වැදගත්. එය උගේ සිරුරට වඩා දිගින් වැඩියි. මෙම දිවේ කෙළවර ඇත්තේ අනෙක් සතුන්ගේ මෙන් මුඛයේ නොව, අධෝ කුහරයේයි. නාසය අසල සිට වල්ගය කෙළවර දක්වා එක මත එක පිහිටි කොරපොතුවලින් පිරුණු කබොල්ලකින් යුත් සිරුරක් කබල්ලෑවා සතුයි. කබල්ලෑවා ක්ෂීරපායී සත්වයෙක්. කබල්ලෑවාට ආරක්ෂාව සපයන, ආශිර්වාදයක් වූ, කොරපොතු උගේ අවාසනාවට හේතුව වී තිබෙනවා. චීන ජාතිකයන්ගේ පමණක් නොව වියට්නාම් ජාතිකයන්ගේත් ප්‍රියතම ආහාරයක් බවට කබල්ලෑවා පත්වී ඇත්තේ ඒ නිසයි.

වෙළෙඳ පොළේ දක්නට ලැබෙන තබල්ලෑවන්ගේ කොරපොතු

කබල්ලෑවාගේ කොරපොතු ගලවා හොඳින් කුඩු කර ගැනීමෙන් පසු, රෝගාබාධ රැසකට එය ප්‍රත්‍යක්ෂ ඔසුවක් වේ යැයි චීන ජාතිකයන් විශ්වාස කරනවා. ඒවා, ආතරයිටිස්, අක්මා පිළිකා, සමේ රෝග, කුරුළෑ ආදිය පමණක් නොව ඇදුම රෝගය පවා සුව කළ හැකි විස්මිත ඔසුවක් ලෙසයි ඔවුන් සලකන්නේ. ඒත් ඒක සම්පූර්ණයෙන් ම වැරදි මතයක්. බොරු මතයක් මත අහිංසක සතකු මරා දැමීමක්. කබල්ලෑවාගේ කොරපොතු නිර්මාණය වී ඇත්තේත් වෙනත් සතුන්ගේ කුර, නිය, පිහාටු සහ ලොම් ආදිය සෑදී ඇති කෙරටීන්වලින්මයි. කෙරටීන් යනු තන්තුමය ප්‍රෝටීන විශේෂයක්. අපේ හිසකේ සහ නියපොතු සැදී ඇත්තේත් කෙරටීන්වලින්. ඒ අනුව, ඒවායේ කිසිදු ඖෂධීය ගුණයක් තියෙන්න විදියක් නැහැ. එ්ත් චීන ජාතිකයන් අතර තියෙන මේ දැඩි විශ්වාසය නිසා කබල්ලෑ කොරපොතු කිලෝවක් රුපියල් ලක්ෂ 7 ක් තරම් අධික මිලකට අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙනවා.

චීන වැසියන් කබල්ලෑවන් මරන්නේ කොරපොතු සඳහාම පමණක් නොවෙයි. කබල්ලෑ මසට ද ලොකු ඉල්ලුමක් චීනයේ තියෙනවා. ඒ මසින් සකස් කරන ආහාර, චීන වැසියන්ගේ ‘වත් පොහොසත්කම’ පෙන්වන කැඩපතක් වගෙයි. ඒ නිසා පණ පිටින් කබල්ලෑවන් ඉතා මිල අධිකයි. කබල්ලෑවකු මස් කරමින් ව්‍යංජනයක් සකසා ගැනීම හැමෝටම කළ හැකි දෙයක් නෙවෙයි. උත්සව අවස්ථාවලදී, පණ ඇති කබල්ලෑවා මස් කිරීම සිදු කෙරෙන්නේ කෑම මේසයේදීමයි. ඒ, සැබැවින්ම කබල්ලෑවකු මස් කළ බව පෙන්වීමටයි.

මේ දවස්වල ‘කොවිඩ් -19’ වෛරසයේ සුලමුල සොයා ගැනීමට චීන වෛද්‍ය පර්යේෂකයන් වෙහෙසෙනවා. වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමෙන්, එය මර්දනය කිරීමටත්, ඒ සඳහා පිළියමක් ලෙස ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ගැනීමටත්, රෝගීවූවන්ට ප්‍රතිකාර කිරීමටත් මග පෑදෙනවා. එහිදී ඒ වෛරසයේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට උත්සාහ දරද්දී, චීනුන් ආහාරයට ගන්නා සතුන්ගේ (විශේෂයෙන් වූහාන් සත්ව වෙළෙඳපොළේ විකිණීමට ඇති සතුන්ගේ) සිරුරුවල ජාන සාම්පල පැතිරෙන වෛරස සාම්පල සමඟ සසඳා බැලීමක් සිදු කෙරුණා. සත්ව විශේෂ 1,000 ක සාම්පල මේ අයුරින් සැසඳීමට යොදා ගැනුනා. මේ වෛරසයේ ජාන සියයට අනූ නමයක් ම සමාන වූයේ කබල්ලෑවන්ගෙන් ලබා ගත් ජාන ව්‍යුහයටයි. එය එසේ නම් වෛරසය වවුලන්ගෙන් කබල්ලෑවන්ටත්, ඉන්පසු මිනිසුන්ටත් බෝවී තියෙනවා. දැනට රෝගය අප අතරට ගෙනා සතා ලෙස ඇඟිල්ල දික් වෙන්නේ කබල්ලෑවා දෙසටයි.

ලොව ප්‍රධාන පෙළේ වෛරස විද්‍යාඥයකු වන එරික් ලිරෝයි පෙන්වා දෙන්නේ ‘කොවිඩ් -19’ වෛරසයේ සුලමුල සොයා ගැනීම ඉතා වැදගත් බවයි. 2002 සිට 2003 තෙක් කාලයේ සර්ස් වෛරසය ලොව කැලඹුවා. සර්ස් ආරම්භ වූයේත් චීනයෙන්. සර්ස් වෛරසය හේතුවෙන් චීනයේත් හොංකොං දේශයේත් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වුණා. සර්ස් ද කොරෝනා වෛරසයක්. සර්ස් වෛරසයේ සුලමුල සොයද්දී, එය වවුලන්ගෙන් ආරම්භ වී, කැළෑ බළලූන් හරහා ආසාදනය වූ බව තහවුරු වුණා. මෙම කැළෑ බළලූන් චීන ජාතිකයන්ගේ ප්‍රියතම ආහාරයක් වුණා. සර්ස් පැතිරීමට හේතුව කැළෑ බළලූන් බව අනාවරණය වීමෙන් කැළෑ බළලූන් ආහාර පිණිස විකිණීම වහා තහනම් කෙරුණා. ඒ වගේ අනාවරණයක් කෙරුණොත් කබල්ලෑවටත් නිදහසක් ලැබේවි.

පර්සි ජයමාන්න

%d bloggers like this: