Menu Close

ශ්‍රී ලංකා not Vs England – නවවෙනි කොටස

“…… ඕක විසි කරදාලා හොඳට සබන් දාලා වීදුරුව හෝදලා තියන්න- කියලා නෝනක්කානේ මට කිව්වේ…..” මානෙල් නංගී කිව්වේ නෝනාගේ මරණය සිදුවී දින කිහිපයකට පස්සේ හිස් ‘ග්‍රැමොක්සෝන්’ බෝතල වගයක සුලමුල හොයද්දීය.

අපේ ගෙදර පොඩි එකෙක් අසනීපවුණු වහාම අම්මා අතට ගන්නේ කුස්සි රාක්කයේ තියෙන රුබාබ් වතුර………

ගොඩාරියක් ඉස්සර ලියවුණු පෝස්ටුවකදී අපේ ගෙදර පොඩිවුන්ට ලෙඩ හැදුණාම කෙරෙන ප්‍රතිකාර ගැන කිව්වා මතකය.

කාට හරි එහෙම අසනීප වුණු වහාම අපේ අම්මාට පිහිට වෙන්නේ අපේ කුස්සියේ රාක්කයයි. අම්මා රාක්කය ළඟට යන්නේ ‘රුබාබ් වතුර’ බෝතලය හොයාගෙනය.
ඉස්පිරිතාලයෙන් වුණත්, පන්නිපිටියේ (පරණ පාරේ- කන්ද උඩ හරියේ තිබුණු) ආණ්ඩුවේ ඩිස්පෙන්සරියෙන් වුණත් ඕනෑම ලෙඩකට බෙහෙත් දෙද්දී ‘රුබා වතුර’ත් දෙයි. අනෙක් හැම බෙහෙතකටම වඩා ඒ ගැන විශ්වාසයක් අපේ අම්මාට තිබුණේ කොහොමද?
උම්මග්ග ජාතකයේ කියවෙන විදිහට නම් ‘මහෞෂධ කුමාරයා’ උත්පත්තිය ලබන අවස්ථාවේ ‘සඳුන් ගැටයක්’ මිට මොලවාගෙන උන්නේල! ඒ සඳුන් ගැටය දිව්‍ය ඖෂධයක් වැනි වීල. එයින් සුඟක් ගලගා දුන් විට ඕනෑම අසනීපයක්………..
උම්මග්ග ජාතකය කියලා එකක් තියෙනවාද කියලාවත්……….

අපේ අම්මා උම්මග්ග ජාතකය කියලා එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැති වර්ගයේය. ඒත් එයාට ‘රුබා වතුර’ අර කිව් විදිහේ දිව්‍ය ඖෂධයක් වෙලා තිබිණි. රාක්කයේ තිබුණු බෙහෙත් බෝතලය මහාර්ඝ වස්තුවක්වී තිබ්බේ එබැවිනි.

“වෙන බෙහෙත් ඕනේ නෑ…. බෙහෙත් කුඩු මුලක් දිය කරලා පොවන්න යනකොට තමයි, උඹලගෙත් ගිරියෙන් පල්ලෙහාට තල්ලු කරගන්න බැරි…. 
රුබා වතුර විතරද පෙවෙන්නේ? දැන් උණ බැහැගෙන යන්නේ. 
රුබා වතුර ටික තිබ්බාවේ…. ඒකත් ඉවර නම්, ආයේ කාට හරි ලෙඩ වෙච්චි ගමන් උස්සගෙන දුවන්නත් ඕනි මමමනේ….”
අම්මා එහෙම කියන්නේ අපෙන් කවුරු හරි ඇයගෙන් බෙහෙත් ඉල්ලූ වෙලාවටය.  එහෙම බෙහෙතකට කියලා අප ඉල්ලුවොත් ඉල්ලන්නේ රුබා වතුර විතරය. එහෙම වුණේ අපට රුබා වතුරත් ‘ඔරේන්ජ් බාර්ලි’ වගේ අමුතු රසයක් ගෙන දුන් හින්දාය.
කුස්සි රාක්කයේ හිස් වස බෝතල් කිහිපයක්ම තිබුණේ ලොකු නංගී ………….

ලොකු නංගී මියගියදිනවල, ගෙදර හතර දෙනෙකුටම සරම්ප හැදී සිටි බව මතකයිනේ? ඉතින්, බඩා මල්ලියාට උණ වැඩි වුණ බව මානෙල් නංගී මට වාර්තා කළේ ඒ අතරේය. 

 “ලොකූ… බඩාට ටිකක් උණ ගතිය වැඩියි වගේ. බෙහෙත් ටිකක් ගේන්නවත්…..”
“අම්මා කරනවා වගේ, ඉස්සෙල්ලා රුබා වතුර ටිකක් දීලා බලමු. බෝතලේ රාක්කේ ඇති නේද?”
මට හිතෙන්නේ රුබා වතුරවලට expire date එකක් නැතිවා වෙන්නට ඇතිය. එහෙම තිබිලා කල් ඉකුත් වුණත් වස වන්නේ නැති බව ෂුවර්ය. එහෙම වෙනවා නම් හෙම අපේ ගෙදරින් ළමා මරණ කිහිපයක්ම වාර්තා වෙනවා සිකුරුය. ඉතින්……
එදා කුස්සි රාක්කය ළඟට ගියාමය, මානෙල් නංගිට එහි තිබී හිස් ග්‍රැමොක්සෝන් බෝතල දෙක තුනක්ම හම්බ වුණේ. 
“මේවා තමයි එදා නෝනක්කා වීදුරුවකට දාලා තිබිලා බොන්න මතක නැති වෙලා තිබ්බේ…. මට ඒ ගඳ තවම මතකයිනේ….  වීදුරුව හෝදන්න ගියාම….”
තවත් තරුණ ගුරුවරයෙකුත් සියදිවි හානි කරගෙන තිබුණේ නිස්කාරණයේ…….

කුස්සි රාක්කයේ හිස් ග්‍රැමොක්සෝන් බෝතල දෙක-තුනක්ම තිබුණේ, ලොකු නංගී කිහිප වතාවක්ම වහ බොන්නට ගිහින් නිසාද?

ඒ සැකය මතුවුණේ, ඒ අස්සෙම තවත් මරණයක් ගැන ආරංචියක් ලැබුණාමය.
බුවෙනකබා විදුහලේ තරුණ ගුරුවරයෙකුත් සියදිවි නසාගෙන තිබුණේය; අහේතුකවය. එහිදී පශ්චාද් මරණ පරීක්ෂණයක් සිදුකොට තිබිණි. “ඒ සර්ගේ මොළේ ගෙඩි වගයක් තිබුණය කියන්නේ… සැරෙන්-සැරේ මැරෙන්න හද-හදා ඉඳලා තියෙන්නේ. කිහිප සැරයක්ම අහුවෙලා බේරාගෙනත් තියෙනවලු…..”
එහෙම සැරෙන්-සැරේ එක-දෙක කරුණු එකතු වුණේය!
මොළයේ ගෙඩි වගයක් නිසා අවපීඩනයක් ඇති වේලු. සමහර දෙනෙකුට ඒ නිසා අපස්මාරය වැනි තත්ත්වයක් පවා ඇතිවීමටත් ඉඩ තිබේලු. එවැනි රෝගීන් වරින්-වර සියදිවි නසා ගැනීමට තැත් කරන්නේලු.
අවුරුද්දකදී 3,500 දෙනෙකු විවිධ මානසික රෝගී තත්ත්වයන් නිසා ජීවිතය …………

“විවිධ මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3,500ක් පමණ දිවිනසාගන්නවාය කියලා කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහත්තයා ප්‍රකාශ කරලා තිබුණේ පසුගිය සතියේ. 

ඒ වාර්තාවේ හැටියට නම් 2020 වසරේදී මානසික අවපීඩන තත්ත්වය ඉතාම ඉහළ තැනක වැජඹෙන රෝගයක්. පිරිමින් 8 දෙනෙකුගෙන් එක අයෙකුටත්, කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක අයෙකුටත් කියන අනුපාතයට මේ ලෙඩේට ගොදුරුවෙන බවත් කියවෙනවා. ඒ විතරක් නෙවෙයි… මෙහෙම දිවිනසා ගන්නා මානසික රෝගීන් වැඩි දෙනෙක් අවුරුදු 15- 40 අතර වයස් කාණ්ඩයේලු.
එහෙම ලෙඩුන් වෛද්‍යවරුන් හමුවේ තම රෝගී තත්ත්වය හෙළි කරන්නට මැලිවීමත් ඔවුන්ගේ ස්වභාවයලු!
“ඔබේ පරම්පරාවේ කිසිවෙක් මානසික රෝගයක් නිසා පීඩාවට පත්වෙලා තිබෙනවද?” වෛද්‍යවරයා විමසයි.
“අපොයි නෑ! එයාලා හැමෝම සතුටෙන් ඒක විඳගත්තා!” රෝගිනිය පවසයි!!! එහෙම කියන්නේ පහත තියෙන කාටූනයේය.
අපොයි නැහැ! එයාලා සේරම ඒකෙන් සතුටු වුණා!!

මං මේ කාටූනය දැක්කේ ප්‍රදීප් ජයතුංග හිතවතාගේ මුහුණු පොතේ තියෙද්දීය. 

මෙහෙම ඒවා දැකලා හිනාවෙන අතරේම ඒවායේ යටින් කියවෙන අදහසත් ග්‍රහණය කරගන්නට අපට හැකි නම්…. 
ලෙඩ-දුක් ගැන මැසිවිලි කියමින්; නහයෙන් අඬමින් හිඳීමට කැමති කොපමණ දෙනෙක් අප අවටම සිටිත්ද?

එහෙමවුන් අතරෙත් කරුණු විමසන- විචක්ෂණ උදවිය හිඟ නැත.
“පුෂ්පාත් නිසඳැස් එහෙම ලිය-ලියා හිටියා නේද? මැරෙන්න කිට්ටුව ලියපු එව්වා කියවලා බැලුවේ නැතිද?”
නෝනාගේ hand bag එක ඇදලා බලන්නට අපට කල්පනා වුණේ එතකොටය. 
අනේ, කලින්; ලොකු නංගී මැරෙන්නට කලින් අප මේවා ගැන හාන්කවිසියක්වත් දැනගෙන උන්නා නම්………… 
අප වඩාත් විමසිල්ලෙන් හිටියා නම්….
ලොකු නංගිටත් මානසික අවපීඩනය ඇති වුණේ මොළයේ ගෙඩි නිසාද?

හය මාසයක් විතර කාලයක් තිස්සේ නෝනා ලියූ ලියුම් තොගයක් අත්බෑගයේ තිබිණි. ඒ හැම එකක්ම ‘මරණය තුරුලු කරගන්නට ඇතිවුණු ආසාවක්’ ගැන ලියැවුණු ඒවාය. 
සුන්දර සදාකාලික නින්දක් ගැන ලියැවුණු ඒවාය. 
තවමත් ඒවා අපේ ගෙදර කොතැනක හෝ සැඟව හිඳියි.

“ඒවා ඔහේ තිබිච්චාවේ ලොකා. කාටවත් මොකටද? දැන් ඒ වගේ ලෙඩ අඳුනාගන්න ලෙහෙසියි. බෙහෙතුත් තියෙනවනේ….”
ලොකු නංගි අදෘශ්‍යමානව ඉඳගෙන කියන්නීය.
එයාම ලියුම් ටික අදෘශ්‍යමාන කරලා; හංගලා තියලාත් වගෙය.
“ඔන්න නෝනා, මං ඒවා බ්ලොග් එකට දමන අදහස අත්හැරියා. ඒත්….
-…. ඔයා දන්නවද, ඔයාගේ මරණේ නිසා මාවයි හොඳටම කරදරේ වැටුණේ. ඔයා මැරුණය කියලා බොරලැස්ගමුවේ කඩේ වහන්නද? 
බතික් එකත් වැහෙන ගානට තිබුණු බව ඔයාට මතකයිනේ. ගෙදර ආදායම නැති කරගෙන බැරි හින්දා මටයි කඩේට යන්න වුණේ!”
පරස්තාවට කලින් රස්සාවක් හොයාගන්නට ඕනෑ හින්දා අපේ අනිල් මල්ලී……….

ලොකු නංගිගේ මරණය අපේ අනිල්, අජිත් මල්ලිලා දෙන්නාටම ලොකු ඉඩක් විවර කර දුන්නේය. ඒ දෙන්නාගේම ප්‍රේමවන්තියෝ අපේ ගෙදරට ඇවිත් ගියහ. 
අනාගත නෑනලා දෙන්නා ගැනම නිල නොවෙන විදිහට මට කිව්වේ මානෙල් නංගිය. 

“තමුසේ මට කිව්ව බවක් අඟවන්නේ නැතිව ඉන්නවා…..”

පරස්තාවක් කර ගන්නට නම් කොල්ලෙකුට රස්සාවක් තියෙන්නට ඕනෑය.
ඒ කීම ඇදහූ නිසාද කොහෙද අනිල් රස්සාවක් හොයාගත්තේ උසස් පෙළ විභාගයට වාඩි වුණත් එක්කමය. (අපේ ගෙදරින් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ අනිලුත්, අජිතුත් විතරය. එංගලන්තයට ගිය තුන්දෙනා වුණත් උසස් අධ්‍යාපනයට යොමු වුණේ නැත.)
“අනිල්, තමුසෙ කවද ඉඳලද සිගරට් බොන්න පටන් ගත්තේ?”
දවසක් අනිල් මල්ලී සිගරැට්ටුවක් උරමින් ඉන්නවා අතටම අහුවුණාම, මං ඇහුවා මතකය.
නිඳි මරන්නට දුම්බීම උදව් වෙනවාද?

“නෑ ලොකා, රෑට නිඳිමරන්න අමාරුයි නිකම්ම. සිගරට් එකක් බිව්වම නිඳිමත නැති වෙනවා!” අනිල් නිදහසට කිව්වේ ඒ කාරණයයි.

“එහෙනම් අද ඉඳලම ඔය රස්සාවට නොයා ගෙදර නවතිනවා. 
තමුසෙට සිගරට් බොන්න ඕනේ නම් ඒක වෙනයි, 
රස්සාව හරියට කරන්න ඕනේ හින්දා සිගරට් බොන්න ඕනේ නම් ඒක වෙනයි…..” 

මම කීවෙමි. අද නම් මට හිතෙන්නේ ඒ දිනවල මා දරදඬු වුණා වැඩිත් වගෙය කියලාය.
අනිල් හොයාගෙන තිබුණු රස්සාව ‘සිකියුරිටි කෙනෙකු’ වීමය. 
ඒ දවස්වල උස-මහත-කඩවසම් පෙනුම තියෙන තරුණයන්ට කිසිම අමාරුවක් නැතිව හොයාගන්නට තිබුණු රස්සාව සිකියුරිටි රාජකාරියයි.
අන්නා ඒ රස්සාව අත හැරියේ නැත; සිගරට් බීම අත හැරියේත් නැත; මත්පැන් බීමත් අල්ලා ගත්තා මිස!
පසුගිය ඉරිදා; හරියටම දවසත් එක්ක කියනවා නම් පෙබරවාරි 9 වෙනිදා රාත්තිරියේ, අපේ දිහාවේ පුංචි මධු සාදයක් පැවැත්වුණේය.

මධු සාදයක් පැවැත්වෙන අතරේ එක්කෙනෙක් …(රිචර්ඩ් ගේබ්‍රියෙල් මහතාගේ චිත්‍රයකි.)

“තමුසෙගෙ ඔය හෝන්දු-මාන්දු ගති සේරම යනවා ටිකක් දාගත්තා නම්…” කෙනෙක් යෝජනා කළේය. ඒ මට කෝචෝක් කරන්නටය.

“එච්චර තමයි මට අඩුවෙලා තියෙන්නේ…” කියා පටන් ගෙන මං ‘වෙඩි පිපිරෙව්වේ’ තරහට නොවේ. මා අවුස්සන්නට හැදුව අයගේ සතුට ඒක නිසාය. 
එතකොට, මගේ කතාවට අපූරු කවියක් කියලා උත්තර දුන්නේ එතැන හිටි නෝනා මහත්මියකි. (ඇගේ වංහුං මෙතැනට ඕනෑ නැහැ නේද?)
          බීමෙහි ඇති සැපත්
          එහි ඇති මනා ගුණයත්
          බොන සුදනෝ මිසක්
          නොබොන අනුවණ දනෝ නොදනිත්! (සභාවේ සිනා හා අත්පොළසන්!)
මත්පැනින් තොර, අමද්‍යපික ‘නිදි’ බලහත්කාරයෙන් ‘මතට තිත’ තියනවාට විරුද්ධය; නොබොන අයට බලහත්කාරයෙන් පොවනවාටත්  විරුද්ධය. එහෙම පටන් ගෙන බේබද්දන්වී ඉන්නා අය දැනටත් මට හමුවෙති. දුක ඒකය!!!
අර කවිය මෙතැනට එබුවෙත් එයින් කියවෙන අරුත නිවැරදි යැයි මා සිතන නිසා නොවේ. එය රසවත් ප්‍රබන්ධයක් බැවිනි.
අනිල්ගේ කලණ මිතුරන්…(වමේ සිට) ශිරානි, ස්වර්ණකාන්ති, අනුලා, රේණුකා, තෙන්නකෝන් ගුරුතුමා සහ උදිතා. පිටිපසින් සිටින්නේ නලින් සොයිසා යුවලයි…. 

ඉතින්, අපේ අනිලුත් මත් වතුරට අත තිබ්බේ පාප මිත්‍රයන් කියූ නිසාය. 
ඊට පස්සේ කල්‍යාණ මිත්‍රයන් කියූ හින්දාවත් එය අත හරින්නට මිනිහාට ශක්තියක් තිබුණේ නැතිය. 

සිරි ලංකාවේ ඉන්නා වැඩි හරියක් එවන් ආත්ම ශක්තියක් නැති අයද?

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2019 කළ ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ තිස්ලක්ෂ තිස්පන්දහස් එකසියහතළිස්තුන් දෙනෙක්; 30,35,143 මත්පැන් බොති. පිරිමි 30,14,557 ක්ද කාන්තාවන් 20,586 ක්ද වශයෙනි.
ඒ අතරින් 10,63,383ක් දෙනා දිනපතාම මත්පැන් බොති! 
අදටත් අපේ අනිල් මල්ලී ජීවතුන් අතර නම් ඒ සංඛ්‍යාව තවත් එකකින් වැඩිවෙනවා සිකුරුය.
ගිය අවුරුද්දේ පිළිකාවෙන් පීඩා විඳ මියයන තෙක්ම අන්නා ඒ දෙකටම; සිගරට්- මත්පැන් දෙවගයටම තදින් ඇබ්බැහිවී උන්නේය; විවාහයත්, බිරියත්, දරු තිදෙනෙකුගේ සෙනෙහසත් බේබදුකම නිසාම ජීවිතයට අහිමි කරගත්තේය. 
මට තවමත් පුදුම හිතෙන්නේ, අපේ තාත්තා බීම නිසා පිරිහුණු තරම; ඒවායේ ආදීනව දැක-දැකත් අනිලා බීමට පුරුදුවීමය.
එදා ගොඩිගමුව කනත්තේදී ඔයාලා කට්ටිය foto ගත්තා නේද?

“අනේ නිමල් අයියේ, අනිල් කොච්චර ලස්සන හැන්ඩියෙක්ද ඒ කාලේ?” උදිතා සූරියආරච්චි අනිල්ගේ මළගමට පැමිණි වෙලේ ඇහුවාය. 
උදිතා විතරක් නොව, මෛත්‍රීත් අනිල්ගේ පාසල් මිතුරු-මිතුරියෝ රැසකුත් මෘතදේහය දැක විස්මයට පත් වූහ. 

අන්නා මියයද්දී ඉතිරිව තිබ්බේ ඇටයි, හමයි විතරය.

අනිල්ගේ එවක පෙම්වතියත්, මෛත්‍රීත් (ජනාධිපතිව හිටි කෙනා නොවේ.) විතරය මා දැන හිටියේ. 
හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගේ ‘රසෝඝය’ හරහා උදිතාව දැනගෙන හිටියත් ඇය මහරගම බුවෙනකබාවේ, අපේ මල්ලිලා එක්ක අකුරු කළ බව මා දැනගත්තේ අනිල් මල්ලිගේ මළගම දවසේය.
“උදිතා නංගී, එදා කනත්තේදී ඔයාලා යාළුවො කට්ටිය ෆොටෝ ගත්තා නේද? අනිල් ගැනත් මේ වතාවේ ලියවෙන නිසා බ්ලොග් එකට දාන්න හොඳ ෆොටෝ දෙකක් විතර තියෙනවද බලන්නකෝ.” මම උදිතාට මැසේජ් එකක් යැව්වෙමි.
ෆොටෝ විතරක් නෙවෙයි ලැබුණේ. උදිතාගේ මතක සමුදායක්…. මේ එයින් බිඳක්…….
ගොඩිගමුව සුසාන භූමියේදී අනිල්ගේ පාසල් මිතුරන්… (මැදින් සිටින්නේ දීපාල් මල්ලී හා ධර්මේය.)

“…… අනිල් කියන්නේ සිකියුරිටි ජොබ් එකකට යන්න තරම් සුදුසු කෙනෙක් නොවෙයි අයියා. එයා කොච්චර දක්ෂ කෙනෙක්ද? එක පැත්තකින් විතරක් නෙමේ හැම පැත්තෙන්ම….. 
මට මතක් වෙනවා අපි අටේ පන්තියෙන් නවය පන්තියට යද්දි, අටේ පන්තියෙදි හොඳම ළමයි ටික තෝරලා තමයි ‘නවය A පන්තිය හැදුවේ…. 

-හැම පන්තියකම එකේ ඉඳලා පහ දක්වා ස්ථාන ගත්ත ළමයි හතළිහක්…

-ක්‍රීම් එක කියලා තමා අපේ තෙන්නකෝන් සර් කිව්වේ…. ඒකට මාත් අනිලුත් හිටියා… 
-ඉතින් ඒ පන්තිය අපට කවදාවත් අමතක නොවන පන්තියක්.. NCGE කියන විභාගයට අපි ලිව්වේ ඒකෙදියි…. විභාගයක තියන බැරෑරුම්කමක් නොදැනෙන වයස අවුරුදු 14 විතර සිටි අපි හරිම උද්යෝගයකින් විභාගයට මුහුණ දුන්නා… මට මතක විදියට නම් අපේ පන්තියේ සිටි හැමෝම ඉතා ඉහළින් සමත් උනා…..”
“ධර්මේ තමයි අනිල්ගේ හොඳම යාළුවා…” උදිතා තව දුරටත් කීවාය. 
“ඔයාලගේ පොඩි මල්ලී දීපාල් එක්ක foto එකේ ඉන්නේ ධර්මෙයි. ඒකෙ දකුණු කෙළවරේ ඉන්නේ නලින්ගේ වයිෆ්. ඒකත් අපේ ඉස්කෝලේ love එකක්…. ක්‍රිකටර් නුවන් සොයිසා නලින්ගේ මල්ලී….”
ස්තුතියි උදිතා නංගී… ඔයා කියාපු විස්තරවලින් ටිකක් ඊළඟ කොටසටත් තියාගත්තා.  
ඉතින්…. අන්නා සිකියුරිටි රස්සාව කරමින් ඉඳිද්දී මට බොරලැස්ගමුවේ කඩයට යන්නට සිදුවිණි. වැඩි කාලයක් එතැනට හිරවී ඉන්නට බැරි විදියටම ‘මගේ විමානය රත් වුණේ’ය.
අපේ ආච්චිව ඉස්සරහට දමාගෙන යුද්ධයට සූදානම් වුණේ…..

“පොඩි මාමේ. මට නම් මේක හොඳටම එපාවෙලා තියෙන්නේ. ඔයාට ඉතින් කඩ කෙරුවාව පුරුදු මනුස්සයානේ …” මම කීවෙමි. ඒ පොඩි මාමා හෙවත්ආර්.වී.ජයසූරියටය. 
පොඩි මාමාත් අකමැත්තක් පෙන්නුවේ නැත. 
අකමැත්ත පෙන්වන්නට විතරක් නොවේ, එළිපිටම යුද්ධ ප්‍රකාශ කරන්නටත් එඩිතර වුණේ අපේ පවුලේ අනෙක් අයය. 

“තමුන්ගේ එකාට වැඩිය පිට එකාව ලොකු කරගන්නද හදන්නේ?”
“කවුද ආච්චියෙ තමන්ගේ එකා? කවුද පිට එකා?”
ආච්චිව ඉස්සරහට දමාගෙන කඳවුරු බැඳගත් අය ගැන එළිදරව් වුණේ එතකොටය. 
“පොඩි මාමා උඹේ සහෝදරයෙක්ද? ඌ කඩේ මල්ලිගේ පුතා වෙලාත් උන්දා තමන්ගේ පුතණ්ඩියාට කඩේ බාර දුන්නද? ඒකා බූරුවා ගහන්න පුරුදු වෙලා හිටිය හින්දා නේද උඹලගේ තාත්තා බදුල්ලෙන් මහරගමට එක්ක ආවෙත්. මම විතරක් නෙවෙයි, ගෙදර සේරමලා කියන්නේ… ඇයි උඹට කඩේ කරන්නම බැරි නම් ඒක අනිල්ට බාර දෙන්න බැරි? අනිල් නේද උඹේ සහෝදරයා….” 
වගකීමක් බාරදිය යුත්තේ වඩා සුදුස්සා තෝරාගෙනද? එහෙමත් නැතිනම් පවුලේකම- සහෝදරකම- සමීප ඥාතිකම සලකලාද?
%d bloggers like this: