Menu Close

“ජාති මිනිහ ජෝතිපාල!”

 

jeyapalanjothipala_large
Enter a caption

Image :- Comrade.lk

දෙවෙනි ලෝක යුද්දෙ බ්‍රිතාන්‍ය හමුදාවට අනියුක්තව සේවය කළ මොරිස් ජයපාලන්, යුද්දෙ ඉවර වෙලා ලංකාවට ආවේ 1945 අන්තිමදී. හෙට්ටිආරච්චිගේ රෙජිනල්ඩ් ජෝතිපාල ඉපදුණේ 1936 දී. ජයපාලන් ලංකාවට එනකොට එයාගේ තරුණ කාලේ ගෙවෙන්න පටන් අරගෙන තිබුණේ. ඒ කාලේ වෙනකොට පස්සෙ කාලේ සිංදු කියල ජනප්‍රිය වෙන විදිහට දෛවය ලියවෙලා තිබ්බ ජෝතිපාලගෙත් ළමා කාලෙන් සෑහෙන කොටසක් ගෙවිලා. ජයපාලන් සම්බන්ධ මේ කතාව පටන් ගැනෙන්නෙ ජෝතිපාල සිංදු කියන කාලේ නිසා අපි අවුරුදු කීපයක් ඉස්සරහට යමු.

මොරිස් ජයපාලන් උස, මහත රතු හාදයෙක්. කොයි වෙලාවෙත් වත්කමේ හැටියට හැඩට ඇඳලා හිටියා. ජෝතිපාලට වඩා වයසෙන් වැඩි වුණාට මිනිහගෙ මූණත් සෑහෙන දුරට ජෝතිපාලගෙ වගේ. හිනාවෙන් මූණ පිරෙනකොට හීන් වෙන ඇස්, ජම්බු වගේ කම්මුල් එක්ක, මිනිහ ජෝතිපාලගේ ලොකු අයිය එහෙමත් නැත්නම් පොඩි මාමා වගේ එකක් කියන්න පුළුවන්කම තිබ්බ. හැබැයි ජයපාලන්ට සිංදු කීමේ හැකියාව නම් බිංදුවක්වත් තිබ්බේ නෑ. වත්තේ එවුන් “පාලන් අයිය ජෝති වගේමයි..” කියල කියන නිසාම, ජයපාලන්ගෙ පපුවේ අභිමානනීය ගායකයා වෙලා හිටියෙත් ජෝතිපාල. ජෝතිගේ ජෝතිමත් සින්දුත්, “ඕනම මනුස්සයෙක් එකක් කතා කරන, නිහතමානී ගායකයෙක් කියලත් අහල තිබ්බ නිසා එන්න එන්න ජෝතිට ජයපාලන්ගේ හිතේ ඉඩ ලොකු වෙලා පූජාසනයක් හැදෙන ගානටම ආවා. ජෝති කැලැන්ඩර්, ජෝති කමිස මේ ඔක්කොම ජයපාලන්, ඩොරීන්, කෙල්ලො දෙන්න හිටපු ලෑලි ගෙදර තිබුණා.
ආරච්චිවත්තේ හිටියේ අඩු ආදාම්ලාභීන්. හැබැයි සතියකට දෙතුන්වතාවක් බජව්වක් දාන එක, කොළඹ ගිහින් පිච්චර් බලන එක, ෂෝ බලන එක මේ අය අඩු කළේ නෑ. වත්තෙත් නිතරම බජව් තිබුණා. “ජෝති කට්” මිනිහ නිසා ජයපාලන්ට නිතරම වගේ වත්තේ බජව්වල ජෝති වෙන්න අරාධනාත් ලැබුණා.
” අද අපේ මේ සාජ්ජය වර්ණවත් කරන්නේ, ආරච්චිවත්තේ ජෝතිපාල හෙවත්, අපේ, පාලන් අයියා..” දෙකක් දාගෙන, ඒ වෙනකොටත් ටිකක් වැඩි වෙලා ඉන්න විලී, මිට කරපු අත මයික් එකක් වගේ තියාගෙන වැනි වැනී කියනවා.
ඉතින් අප්පුඩි සද්දේ මැද්දේ, දිළිසෙන කමිස, සිල්ක් කලිසම් ඇඳගෙන බෝතල් තියෙන මේසේ ළඟ වාඩිවෙලා ඉන්න ජයපාලන් නැගිටිනවා. සාජ්ජේ කිව්වට ස්ටේජ් නෑ. පෙරළිච්ච ලයිට් කණුවකට පස් හේත්තුවෙලා හැදිච්චි කණ්ඩියක් තියෙන්නේ. ඒකට නැගලා මිනිහා සිංදු කියන්න පටන්ගන්නවා. සිංදු කියනවා කිව්වේ, කියනවා විතරමයි. ගයන්නේ නෑ. තාලයක් එහෙම ගෑවිලාවත් නෑ. ඒත් ඒ සිංදු කියන්නේ ආරච්චිවත්තේ ජෝති. කමිසයක්වත් නැතුව බෝතල් මේසේ වටේ ඉන්න අයගෙන් “මේස තට්ටු” – “බෝතල් තට්ටු” සංගීතේ හම්බෙනවා. බාල අරක්කු බිබී, හරක් මස් කකා පාටිය ජයට නැගලා යනවා.
ජයපාලන් ජෝති ස්ටේජ් නගින ෂෝ එකක්වත් මිස් කළේ නැහැ. අතේ සල්ලි ඇතා නැතා ෂෝ බලන්න ආවා. ජෝතිපාල ඕන මනුස්සයෙක් එක්ක කතා කරන හොඳ මිනිහා කියල අහල තියෙන නිසා, ජෝතිපාල එක්ක කතා කරන්න කවදාහරි පුළුවන් වෙයි කියල ජයපාලන් හිතන් හිටියා. ෂෝ එකක සෙනඟ අස්සෙන් අහම්බෙන් හරි ජෝතිගේ අතක් අල්ලන්න, අඩුම ගානේ ජෝතිට ඇහෙන දුරින් ඉඳල “ජෝතීඊඊ…” ගාල කෑගහන්න ඉඩ ලැබෙයි කියල මිනිහ බලන් හිටිය. ඒත් ජෝතිගේ හුළඟ වදින කිට්ටුවකටවත් යන්න ජයපාලන්ට බැරි වුණා.

දවසක් ගිනි ගිනි දවාලේ, යාලුවෙක්ගෙන් ණය සල්ලි වගේකුත් අරගෙන ජයපාලන් මරදානේ බුහාරි එක ඉස්සරහින් පාර පනින්න බලාගෙන හිටියා. හරියට වාහන. ඒ අස්සෙ භූමිතෙල් කරත්තෙ. මයිනරයක් ජයපාලන්ගෙ ළඟින්ම ගිහින් ටිකක් ඉස්සරහින් නැවැත්තුවා. මයිනරේ ඉස්සරහ හිටියේ ගිනිකූරු කට් එකට රැවුල කපාපු සුදු මනුස්සයෙක්. ඊට වඩා උස මහත රතු මිනිහෙක් කඩයක් ඇතුලේ ඉඳන් හදිස්සියකින් වගේ ඇවිල්ල වාහනේ වාඩි වුණා. කාර් එකේ දොර වහනකොට කමිසේ කොනක් දොරට අහුවුණු නිසා ආයේ දොර ඇරලා වහන්න ඒ මනුස්සයට සිද්ධ වුණා. එතකොටයි ජයපාලන් ඒ මනුස්සය කවුද කියල හරියටම දැක්කේ. ජයපාලන්ගේ අත, කටයි පපුවයි අතරේ නතර වුණා. වාහනේ ඉස්සරහට ඇදෙනකොට, ඒ රතු උස මහත හාදය, වාහනේ කිට්ටුවෙන්ම හිටගෙන තමන් දිහා කට ඇරගෙන බලන් ඉන්න මනුස්සයට අත වනාගෙන ගියා.

ඒ තමා එච්. ආර්. ජෝතිපාල.!

දවස් ගානක් යනකම් ජයපාලන් හිටියේ අහසේ පා වෙවී. “මට ජෝතිව හම්බුණා..ජෝති මට අත වැනුවා!” කියල, දකින හම්බවෙන අඳුනන හැමෝටම කිව්වා. ඊට වඩා සූදානමෙන් හිටපු වෙලාවක ජෝතිව හමුවුනා නම් කියන දේවල් මිනිහා හිතෙන් ආයෙ ආයෙත් මවාගෙන බැලුවා. සමහරවිට ජෝතිම ඇවිල්ලා, “අයිසේ.. තමුසේ මම වගේමනෙ..” කියල කියන්නත් ඉඩ තිබුණා කියලත් වෙලාවකට මිනිහට හිතුණා. ඇත්තම එහෙම කියන්නත් ඉඩ තිබුණා. ජෝති කියන්නේ අන්න ඒ වගේ “ජාති මිනිහෙක්!” නෙ.

ජයපාලන් පඩි දාට ගෙදර එන්නෙ තෑගි පුරෝගෙන. ඉඳහිට දවසක ඒ එක්ක එයාටත් තෑග්ගක් ගැනෙනවා. හුඟක් වෙලාවට ඒක කමිසයක්. ටිකක් විතර “ලකයක්” තියෙන ජාතියේ කමිස තමයි ඉතින්. එහෙම දවසක ඩොරීන්ගෙ අයියගේ පුතා සුදත් එහෙ හිටියා. මාම කොළඹ ඉඳන් ඇවිල්ල මහන්සි නිවන අතරේ, සුදතුත් කාමරේට ඇවිල්ල ඇඳෙන් වාඩි වුණා. ඇඳේ පැත්තක තිබ්බ රත්තරන් පාට වැඩ දාපු නිල් කමිසෙ අතට අරන් බැලුවා.

“මම මට කමිසයක් ගත්තා.. “ජයපාලන් කිව්වා.

“මේක දවාලකට අඳින්න පුළුවන් එකක් නෙමේ…. ” සුදත් කිව්වේ කමිසේ ඇඟට දාල බලන ගමන්.

“කමක් නෑ.. මං ඕක රෑට අඳින්නම්… ” ජයපාලන් කිව්වා. මිනිහ බය වුණා සුදත් මේ කමිසේ ඉල්ලයි කියල. කොහොමත් ඒ කමිසේ ගැළපුණේ සුදත්ගෙ වයසට විතරයි. කෙට්ටු – පොඩි සුදත්ගේ ඇඟේ, මාමගෙ අලුත් කමිසේ එතිලා තිබුණේ ඇඳ රෙද්දකින් බීඩියක් එතුවා වගේ.
“අගේ ඇති කමිසේ..” ඩොරීන් කාමරේට එබුණා. “ඕක උඹට ලොකු වැඩියි නෙ..”

“මේක මාමගේ … ” සුදත් කමිසේ ගලවල ඇඳ උඩට දැම්මා. ” මේක අඳින්න පුළුවන් රෑට විතරයි..”
“ඉඳා.. මේ මිනිහ කොල්ලෙක් වෙන්න හදනවද…” ඩොරීන් ජයපාලන් දිහායි, ඇඳේ දිගාවෙලා තිබ්බ කමිසේ දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

“අද හවස යාලුවෙකුගේ බජව්වක් තියෙනවා… මං ඕක අඳින්නේ ඒකට…” ඔන්න ඕකයි උත්තරේ.

ජීවිතේ ගෙවුණා. ජයපාලන්ගේ වගේම ජෝතිපාලගෙත්. ළමයි බමයි ලොකු වුණා. ජෝතිපාල රටේ ජනප්‍රියම ගායකයා වුණා. ජයපාලන් ඩොක් එකේ රස්සාවෙන් පැන්ෂන් ගියා. ටිකක් විතර අතමිට හිඟ වුණා. ෂෝ බලන්න උනන්දුව තිබ්බට සල්ලි කොයින්ද ඔය හැටි ඕවට යන්න..? ජෝතිපාලව දකින්න, කතාකරන්න තිබ්බ ආසාව විතරක් වයසට නොගිහින් තිබුණා. ජෝති ඉන්න පත්තර ගෙදර එකතු වුණා. මනුස්සගේ ආසාව ගැන ඩොරීන් දැනගෙන හිටියා. ඉස්සර වගේ කොළඹ යැවිලි නෑ ෂෝ බලන්න. පව්. ස්වල්ප බරක්ද දීග දෙන්න දූලම දෙන්නෙක් ඉන්නකොට.
ඩොරීන් ගෙ ලොකු අයියගේ නෝනගේ පවුලේ මඟුලකට ආරාධනා ලැබුණා. යමක් කමක් තියෙන පවුලක එකම දූ මනමාලි. ගෝල්ෆේස් හෝටලේ තිබ්බ මඟුල සෑහෙන පිරිසකට කියල තිබ්බ. මන්ත්‍රීල, ඕවයිසීල, ලොකු බිස්නස් කාරයෝ, රේන්ද මුදලාලිලා..තව කොච්චරක්ද… ජයපාලනුත්, හොඳට ඇඳපු ඩොරීන්වයි කෙල්ලෝ දෙන්නවයි ඉස්සර කරගෙන මඟුලට ආවා. ඩොරීන්, කෙල්ලොත් එක්ක නෑයෝ ගොඩේ ඉන්නකොට, ජයපාලන් පිරිමි ගොඩේ, බෝතල් මේසයක් ගාව.

ඒ අතරේ තමයි මඟුල් ජෝඩුව පුදුම කරන්න ගෙන්නපු අමුත්තා මඟුලට ආවේ.

ඒ තමයි එච්.ආර්. ජෝතිපාල!

මනමාලිගෙ පිය පාර්ශවේ දුරින් නෑ කෙනෙක්ගේ හිතවතෙක්ගෙ හිතවතෙක් වුණු ජෝතිව මඟුල් ගෙදරට ගෙන්නලා තිබ්බේ හිතවතාගේ ලොකුකම් පෙන්නනත් එක්ක තමයි. ඒත් මොකද ඉතිං. “ජෝතිපාලත් අපේ මඟුල් ගෙදර ආවා!” කියල පස්සේ කාලෙක කියන්න මතකයක් හරි මඟුල් ජෝඩුවට ඉතුරු වෙන එකම මදැයි.

ජෝති ආවේ කෑම මේසේ අරින්න පැයකට විතර කළින්. ජෝති ආවත් එක්ක මඟුල් ජෝඩුව නිකං හේදිලා ගියා වගේ එකක් වුණා. ඔක්කොම ජෝති වටේ වට වුණා. ” ජෝති ඇවිත්..” සුදත් ඇවිල්ල කිව්වම, පැත්තකට වෙලා බෝතල් හිස්කරමින්, පිරිමි ගොඩේ උන්නු ජයපාලන්ට උන් හිටි තැන් අමතක වුණා.

කාපු ගමන් සිංදුවක් කියල ජෝති යනවලු.

මඟුල් ශාලාව හිස්වෙලා වගේ තිබ්බ. සෙනඟ ඔක්කොම ජෝති වටේ! මඟුල් ජෝඩුව අත හැරලා ජෝති වටේ රැස්වුණු ආරාධිතයෝ ටිකක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල ජයපාලන් ජෝතිපාල ගාවටම ගියා. ජෝති හිටියේ බීම වීදුරුවක් හිස් කරමින්. “සර්….” ජයපාලන් කතා කළා. ජෝති වීදුරුව මේසේ උඩ තියල ජයපාලන් දිහා බැලුවා.
කියන්නේ මොනවද කියල හිතාගන්ඩ ජයපාලන්ට බැහැ. කවදහරි ජෝතිව හම්බුණොත් කියන්න කොයි තරම් නම් දේවල් තිබ්බද? කොයිතරම් නම් දේවල් අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වුණාද? ඒත් ඒ එකක්වත් මතක් වෙන්නේ නැත්තේ ඇයි?
“සර් සර්ව මං බුහාරි එක ගාවදි දැක්ක. සර් මට අත වනං ගියේ…. ” ජයපාලන් කියාගන්න තිබ්බ මහ ගොඩක් දේවල්වලින් එකක් කිව්වා. ජෝතිපාල, ඔලුව යන්තම් නවල කරුණාවෙන් හිනා වුණා.
“සර්….. ,මං ආසම ගායකයා සර්… ” තමන් තව අවුරුදු කීපෙකින් හිටීවි කියල අනුමාන කරන්න පුළුවන් මුහුණක් තිබ්බ මනුස්සය දිහා ජෝතිපාලත් ටිකක් උනන්දුවෙන් බැලුවා. මිනිහ ඇඳලා හිටියෙත් ඊට අවුරුදු කීපෙකට කළින් තමන් ෂෝවලට ඇඳපු ජාතියේ සූට් එකක් ය කියලත් ජෝතිට තේරුණා. ” සර්, මම මොරිස් ජයපාලන්.. සර් ජෝතිපාල – මම ජයපාලන්.. ජයපාලත් වගේ ටිකක්.. ” හිතට දහිරිය අරන් කියල දැම්මා. ඊළඟට කටින් පැන්නේ කියන්න හීනෙකින්වත් හිතපු දෙයක් නම් නෙමේ.. ” මං ආසයි සර්.. සර් ඉස්සරහ සර්ගේ සිංදුවක් කියන්ඩ… ”

ජෝතිපාල, ඉස්සරහට නැමිලා ජයපාලන්ගේ උරහිසට අතක් තිබ්බා. “මරුනෙ..”

ජයපාලන් සුටුස් ගාල වේදිකාවට නැග්ග. ඊට පස්සේ සංගීත කණ්ඩායමේ නායකයට රහසක් කිව්වා. සංගීතේ පටන්ගත්ත.

ජෝතිපාල, ජෝතිපාලගෙම සිංදුවක රසිකයෙකු බවටත්, ජයපාලන්, තමන්ගේ කැමතිම ගායක රසිකයා ඉදිරියේ ගායකයා බවටත් මොහොතකින් තැන් මාරු වුණා. ජයපාලන්, ජෝතිපාලගෙ “මේ ජීවනයේ..” සිංදුව, කතාවක් පවත්වනවට වඩා ටිකක් හොඳට ගායනා කළා. ඒ විනාඩි තුනකට වඩා ටිකක් වැඩි වෙලාවේ වනක්කු සිට්ටමනි මොරිස් ජයපාලන්, එච්. ආර්. ජෝතිපාල බවට මනසින් පත්වෙලා ජෝතිමය මොහොතක් අත්වින්දා. “කරන්ඩ බැරි මගුල්…” ඩොරීන්, කෙල්ලෝ දෙන්නත් එක්ක තරහින් කුටු කුටු ගෑවා. ජයපාලන් සිංදුව කියල ඉවර වෙලා ඇස් ඇරියම දැක්කෙ, මූණෙන් එකක් හිනාවෙලා බලන් ඉන්න ජෝතිපාලව. තක්බීර්වුණු මංගල සභාව ඊට පිටිපස්සේ. ඒත් ජයපාලන්ට පෙනුණේ ජෝතිගේ ප්‍රීතියෙන් පිරුණු හිනා මූණ විතරයි. ජෝතිපාල නැගිටලා අත්පුඩි ගැහුවා.
“මරුනේ මිස්ටර් මොරිස්..”

ජයපාලන් ස්ටේජ් එකෙන් බිමට පැන්නා. ජෝතිව බදාගෙන ඉඹගත්තා. එතකොටම කැමරාකාරයා ෆොටෝ එහෙකුත් ඇල්ලුවා. ජයපාලන් ජෝතිව බදාගෙන, ඉඹගෙන මොහොතක් ඉඳලා, මංගල ශාලාවෙන් එළියට දුවගෙන ඇවිල්ල මීගමුව බස් එහෙක එල්ලිලා ගෙදර ගියා.

” මට ඒ සන්තෝසේ මගේ ඇඳේ දිගාවෙලා විඳින්න ඕන වුණා බං..” තමන්වයි කෙල්ලොන්වයි මඟුල් ගෙදර තනියෙම දාල ආව කියල කේන්තියෙන් හිටපු ඩොරීන්ට ජයපාලන් කිව්වා. ඩොරීන්ගේ තරහ නිවිල අනුකම්පාවක් මතුවුණා. ඇඳුම් අහවර කරල ඉඟුරු යහමින් දාපු ප්ලේන්ටියක් හදාගෙන කාමරේට එනකොටත් ජයපාලන් වහලේ දිහා බලාගෙන තනියම හිනා වෙනවා. කියවනවා.

“මං කිව්වෙ.. ජාති මිනිහ ජෝතිපාල!”

ඊට මාස කීපෙකට පස්සේ ජයපාලන් හදිස්සියේ මැරුණා. ඒක හදිසි හර්දයාබධයක්. ඒක හැදුණේ අර ජෝති සම්බන්ධ ජාති මොහොතේ ප්‍රීතිය වියකෙන්න කළින් නිසාද කොහෙද මිනී පෙට්ට්යේ නිදාගෙන හිටපු ජයපාලන්ගෙ මූණේ බොහොම සන්තෝස හිනාවක් ඇඳිල තිබුණ. මිනී පෙට්ටියේ පැත්තකින් ජෝතිපාලයි ජයපාලනුයි බදාගෙන ඉන්න පින්තූරෙ තියල තිබ්බ කියලත් කියන්න පුළුවන් වුණා නම් මේ කතාවට මීට වඩා ජෝතිමත් අවසානයක් දෙන්න තිබ්බා. ඒත් ඇත්තටම ඒ වාගේ ජෝතිමත් මොහොතක් වින්දටත් පස්සේ, ආයේ කතන්දරවලට අමුතුවෙන් ජෝතිමත් මොහොතවල් හදන්නේ මොකටද?

%d bloggers like this: