Menu Close

ඇමරිකානුවෙකුගේ පැය විසි හතර ගෙවෙන හැටි

දවසකට තියෙන්නේ පැය විසි හතරක් පමණයි. ඔය පැය විසිහතර ඇතුළත කරන්න කොයි තරම්නම් වැඩ තියෙනවද? කන්න, බොන්න, නිදා ගන්න, නාන්න, රෙදි හෝදන්න, කඩේ යන්න, ළමයින්ගේ හෝම්වර්ක් කරන්න, යාලුවෝ ආශ්‍රය කරන්න, රූපවාහිණිය නරඹන්න, ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න… ඔය ඔක්කොම කරන්න කාලය අවශ්‍යයි. හැබැයි ඔය ඔක්කොම කරන අතරම ආදායමක් උපයන්නත් අවශ්‍යයි. ආදායමක් උපයන්න වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න, වැඩට යන්න එන්න, රස්සා හොයන්න යොදවන්න වෙන්නෙත් ඔය තියෙන පැය විසිහතරම තමයි.

තියෙන පැය විසි හතර මේ හැම දේකටම යොදවන්නේ කොහොමද කියන එක එක් එක් පුද්ගලයාගේ කැමැත්ත අනුව තීරණය වන දෙයක්. විශේෂයෙන්ම ඇමරිකාව වගේ ධනවාදී රටක කැමති කෙනෙකුට අඩුවෙන් වැඩ කර වැඩියෙන් විවේක ගන්න හෝ වැඩියෙන් වැඩ කර අඩුවෙන් විවේක ගන්න අවශ්‍ය නිදහස තිබෙනවා. ඒ නිසා, එක් එක් පුද්ගලයා තමන්ගේ පැය විසිහතර යොදවන්නේ එකම ආකාරයට නෙමෙයි. පවුලක් පන්සලක් වුනාට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් වැඩි වෙලාවක් ආදායම් උපයන රස්සාවක් කරන්නත්, අනිත් එක්කෙනා ගෙදර වැඩ වැඩි ප්‍රමාණයක් කරමින් අඩු කාලයක් ආදායම් උපයන කටයුතු වල නියැලෙන්න, එහෙමත් නැත්නම් රැකියාවක් නොකරම ඉන්න, එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්.

එක් එක් ඇමරිකානුවා තමන්ගේ පැය විසිහතර විවිධ කටයුතු සඳහා යොදවන ආකාරය වෙනස් වුවත්, මේ කටයුතු සඳහා යොදවන සාමාන්‍ය කාලය දෙස බලා ඇමරිකානුවෙකුගේ සමාජ ජීවිතය පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්. පහතින් විස්තර කෙරෙන්නේ 2018 වසරේදී සාමාන්‍ය වශයෙන් ඇමරිකානුවෙකුගේ පැය විසිහතර ගෙවුණු ආකාරයයි.

1.  පෞද්ගලික නඩත්තුව සඳහා පැය 9 කුත් මිනිත්තු 35ක කාලයක්-  මෙයින් පැය 8 කුත් මිනිත්තු 49ක කාලයක් යොදවන්නේ නිදා ගන්නයි. නින්ද යන තුරු සහ අවදි වීමෙන් පසුව ඇඳට වී සිටින කාලයත් එයට ඇතුළත්. ඉතිරි මිනිත්තු 46ක කාලය නාන්න, මූණ සෝදන්න, දත් මදින්න, වැසිකිළි කැසිකිළි යන්න, නියපොතු කපන්න, මේක්අප් දමන්න ආදියට ගත වන කාලයයි.

2. කෑම බීම ගැනීමට පැයකුත් මිනිත්තු 11ක් – රැකියාවෙහි යෙදීම, රූපවාහිණිය නැරඹීම හෝ වෙනත් වැඩක් කරන අතර කෝපි කෝප්පයක් බීම මෙයට ඇතුළත් නැහැ. ප්‍රධාන කටයුත්ත ලෙස කෑම බීම ගැනීම කරන කාලය පමණක් මෙයට ඇතුළත්.

3. ගෙදර වැඩ සඳහා පැයකුත් මිනිත්තු 47ක් – මෙයින් මිනිත්තු 35ක් යන්නේ කෑම ඉවීමට හා හැලි වලං සේදීම් වලටයි. රෙදි සේදීම වැනි අනෙකුත් ගෙදර වැඩ වලට මිනිත්තු 33කුත්, වත්ත පිටියේ වැඩ වලට මිනිත්තු 11කුත් ගත වෙනවා.

4. කඩේ යාමට දවසකට මිනිත්තු 43ක් වැය වෙනවා. සැලූන් යාම වැනි පිටතින් කර ගන්නා පෞද්ගලික නඩත්තු සඳහා වැය වන කාලයත් මෙයට ඇතුළත්.

5. දරුවන් හා වයස්ගත දෙමවුපියන් වැනි පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ගත කරන කාලය මිනිත්තු 31ක්.

6. පවුලේ සාමාජිකයින් නොවන පිට මිනිස්සුන්ට උදවු කිරීමට යොදවන කාලය මිනිත්තු 13ක්.

7. ආදායම් උපයන කටයුතු හා ආශ්‍රිත කටයුතු වෙනුවෙන් යොදවන කාලය පැය 3 කුත් මිනිත්තු 34ක්. මෙයින් වැඩ කරන කාලය පැය 3 කුත් මිනිත්තු 14ක්. ඉතිරි මිනිත්තු 20 ප්‍රධාන වශයෙන්ම රැකියාවට යාම ඒම සඳහාත්, රැකියා සඳහා ඉල්ලුම් කිරීමට හා සම්මුඛ පරීක්ෂණ ආදිය සඳහාත් ගත වන කාලයයි.

8. ආගමික හා සමාජයීය කටයුතු සඳහා යොදවන කාලය මිනිත්තු 18ක්. මේ කාලයෙන් අඩක් පමණ ආගමික කටයුතු සඳහාත්, ඉතිරි අඩ වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වෙනුවෙනුත් වැය වෙනවා.

9. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන කාලය මිනිත්තු 28ක්.

10. විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වැය කරන කාලය පැය 5කුත් මිනිත්තු 16ක්. මෙයින් පැය 2කුත් මිනිත්තු 50ක් වැය වන්නේ රූපවාහිනිය නැරඹීමටයි. ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න වගේ දේවල් වලට ගත කරන කාලය මිනිත්තු 38ක්. ක්‍රීඩා හා ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදවන කාලය මිනිත්තු 17ක්.

11. දුරකථන ඇමතුම්, ඊමේල් වැනි සන්නිවේදන කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 9ක්.

12. මෙහි සඳහන් නැති වෙනත් කවර හෝ කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 16ක්.

මේ අනුව පෙනෙන පරිදි ඇමරිකානුවෙකුගේ පැය විසි හතරෙන් 40%ක පමණ කාලයක් ගත වෙන්නේ නිදාගැනීමට සහ පෞද්ගලික නඩත්තුව වෙනුවෙනුයි. තවත්, 22%ක පමණ කාලයක් ගෙවෙන්නේ  විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙනුයි. රැකියාවට යාමට ඒමට ගත වන කාලය හා රැකියාවක් හොයා ගැනීමට ගත වන කාලයද ඇතුළුව රැකියාව වෙනුවෙන් වැය කෙරෙන කාලය මුළු කාලයෙන් 15%ක් පමණයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වුවත් හැම ඇමරිකානුවෙක්ම මේ සියලු කටයුතු වෙනුවෙන් කාලය යොදවන්නේ නැහැ. නිදා ගන්න කාලය යොදවන එකනම් හැමෝම කරන දෙයක්. එහෙත්, අධ්‍යාපනය සඳහා කාලය යොදවන්නේ 7.9%ක පිරිසක් පමණයි. ඒ අය දවසකට පැය 5කුත් මිනිත්තු 50ක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරනවා. මිනිත්තු 28ක සාමාන්‍ය අගය හැදී තිබෙන්නේ මේ පිරිස නිසයි.

මේ ආකාරයෙන්ම වැඩ කරන සාමාන්‍ය කාලය පැය 3 කුත් මිනිත්තු 14ක් වුවත්, ආදායම් උපයන කාර්යයක නිරතවන වැඩිහිටි ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය (2018 වසරේදී) 42.5%ක් පමණයි. ඉතිරිය ප්‍රධාන වශයෙන්ම විශ්‍රාමිකයින්, පූර්ණකාලීනව අධ්‍යාපනයෙහි නිරත වූවන් හා ස්වේච්ඡාවෙන් රැකියාවක් නොකර සිටින අයයි. රැකියා විරහිත අයත් මේ ඉතිරි පිරිසට ඇතුළත්. රැකියාවක නිරතව සිටින ඇමරිකානුවෙකු වැඩ කරන දිනකදී වැඩ කරන පැය ගණන පැය 7කුත් මිනිත්තු 36ක්.

ඇමරිකානුවෙකු කොරියානුවෙකු, මෙක්සිකානුවෙකු හෝ රුසියානුවෙකු තරම් පැය ගණනක් වැඩ කරන්නේ නැතත්, බොහෝ බටහිර රටවල සතියකට වැඩ කරන පැය ගණනට වඩා වැඩියෙන් වැඩ කරනවා. පහත තිබෙන්නේ 2018 වසර සඳහා OECD දත්තයි.

මට සාපේක්ෂවනම් සතියකට පැය 34ක් වැඩ කරන්නට වීම නරක දෙයක් නෙමෙයි. මා ඉතා කැමැත්තෙන් ඊට වඩා පැය ගණනක් වැඩ කරනවා. කොහොම වුනත්, යුරෝපයේ බොහෝ රටවල සතියකට වැඩ කරන පැය ගණන මීට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ ඇයි?

එක හේතුවක් යුරෝපයට සාපේක්ෂව ඇමරිකානුවන්ට වැඩ කරන්නට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබීම. ඇමරිකාවේත් අවම වැටුප් නීති වැනි බාධක නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන නමුත් එය වෙනත් බටහිර රටවල තරමටම වෙන්නේ නැහැ. මේ දවස්වලනම් අවම වැටුප් වල බලපෑමක් නැති තරම්. ඉහළ අවම වැටුප් වැනි මානුෂික සේ පෙනෙන එහෙත් අමානුෂික නියාමන ක්‍රියාමාර්ග හරහා වගේම වැටුප් මත අය කරන අධික බදු හරහාත් යුරෝපයේ බොහෝ රටවල වැඩ කිරීම අධෛර්යමත් කර නිකම් සිටීම ධෛර්යමත් කෙරෙනවා. ඇමරිකාවේ මෙය සිදු වෙන්නේ සාපේක්ෂව අඩුවෙන් නිසා ඇමරිකානුවන්ගේ වැඩ කරන්නට තිබෙන උනන්දුව වැඩියි.

පහළ මට්ටමේ රැකියා කරන ඇමරිකානුවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම අමාරු නිසා විශාල පැය ගණනක් වැඩ කරනවද? පෞද්ගලික අංශයේ පහළම මට්ටමේ රැකියා කරන, එනම් තමන්ගේ යටතේ වෙනත් සේවකයින් කිසිවෙකු නැති අය සතියකට වැඩ කරන පැය ගණන සාමාන්‍ය ඇමරිකානුවෙකු සතියකට වැඩ කරන පැය ගණනටත් වඩා යම් තරමකින් හෝ අඩුයි. මේ කාණ්ඩයේ සේවකයින් 1965 පමණ කාලයේදී සතියකට පැය 38ක් 39ක් පමණ වැඩ කළත්, 2000 පමණ වන විට මේ පැය ගණන 33ක් 34ක් පමණ දක්වා අඩු වුනා. පසුගිය වසර විස්ස ඇතුළත මේ පැය ගණන ලොකුවට වෙනස් වී නැහැ.

ඉහළ ආදායම් ලබන වෘත්තිකයින් මීට සාපේක්ෂව සතියකට සෑහෙන පැය ගණනක් වැඩ කරනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ වෛද්‍යවරුන්ගෙන් අඩක්ම සතියකට පැය 50 ඉක්මවා වැඩ කරනවා. 23%ක්ම පැය 60 ඉක්මවා වැඩ කරනවා.

සමස්තයක් ලෙස ඇමරිකාවේ වෘත්තිකයින් පහළම ස්ථර වල රැකියා කරන පිරිස් වලට වඩා සතියකට පැය දෙක තුනක්වත් වැඩියෙන් වැඩ කරනවා. ඒ ඔවුන් වැඩ කිරීමෙන් හෝ වැඩ කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ වලින් සතුටු වන නිසා මිස අඩුවෙන් වැඩ කළොත් ඇමරිකාවේ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි.

ඇමරිකන් ආර්ථික ක්‍රමය සකස් වී තිබෙන්නේ මහන්සි වී වැඩ කරන අයටත්, වඩා කාර්යක්ෂම රැකියා කරන අයටත් වාසි වෙන අයුරින් මිස වැඩ නොකර සිටීම හා ඵලදායී නැති රැකියා වල දිගටම නිරතව සිටීම ප්‍රවර්ධනය කෙරෙන අයුරින් නෙමෙයි. හැකි තරම් අඩුවෙන් වැඩ කර හැකි තරම් වැඩි වෙලාවක් නිකම් සිටීම සමාජවාදීන්ගේ ඉලක්කයක් මිසක් ධනවාදීන්ගේ ඉලක්කයක් නෙමෙයි. ධනවාදය විසින් පුද්ගලයෙකුගේ රුචිකත්වය අනුව වැඩියෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට වැඩියෙනුත්, අඩුවෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට අඩුවෙනුත් වැඩ කිරීමට අවස්ථාව සලසනවා.

%d bloggers like this: