Menu Close

නව කැළණි පාලම හා බ්‍රව්නිගේ වියෝව

මේ සතියේ  ලියන්නට කරුණු කාරනා කීපයක් යෙදුනෙන්  ඒවායින්  දෙකක් තෝරාගෙන  කෙටි සටහන් හැටියට ලියන්නට තීරණය කලෙමි.
නව කැළණි පාලම  ගැන පරණ සටහනක් 
උපුටා ගැනීම 1994 පෙබරවාරි 09 විදුසර  පත්‍රය . අදින් හරියටම වසර විසි හයකට පෙර

//කැළණි ගඟ නිසලව ගලා බසී .
ගඟ හරහා වූ පාලමෙන් රිය ගඟ ගලන්නේ ඊට නොදෙවෙනි වේගයකිනි.

නිසංසලේ ගලා යන ගං දියට මග ඇහිරෙයිනම් අවට පෙදෙස් ගංවතුරෙන් යටවන්නට පටන් ගනී .

ඒ වාගේම කැළණි පාලම විනාඩි කීපයක අවුරා තැබුවේනම් කොළඹට එන්නට හා කොළඹින් යන්නට සිටින රථ වාහන මං මාවත් වල ගංවතුරක් සේ පිරෙන්නට පටන් ගනී .

මෙවන් පසුබිමක අද කොළඹ නගරයේ ඇති ගොඩනැගිලි අතරින් අතිශයින් වැදගත් වුවකි නව කැළණි පාලම. ,,,

නව කැළණි පාලම ඉදි කරන්නට පටන් ගත්තේ 1954 දී එංගලන්ත සමාගමක් විසිනි. එය 1959  පෙබරවාරි තුන් වැනිදා මහජනතාවට විවර විය.

එවක් පටන් එය බොහෝ දේ දරා සිටියේය.

ලෝකයක බර හිසින ගත්  මිනිසුන්ගේ බර මෙන්ම බස්, ලොරි හා කන්ටේනර් පැටවූ වාහන පවා තමා මතින් ගමන් කරද්දී කැළණි පාලම ඉවසා සිටියේය .

එහෙත් කැළණි පාලමට ඒ දුක් කන්දරාව එක සේ දරා ගත නොහී පසුගියදා රෝගාතුර විය.

ඒ බව හෙළි වීමෙන් අනතුරුව දැන් එහි සුළු ශල්‍ය කර්මයක් කෙරෙමින් තිබේ .

ඒහේත් මේ සැත්කම එතරම්ම සුළු එකක් නොවන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොවූ විරූ තාක්ෂනයන් රැසක් භාවිතා වන බැවිනි . // උපුටා ගැනීම අවසන්.

ඉහත ලිපිය එදින පත්තරේ කවරයේ කතාවෙන්ද , මැද පිටු දෙක සහ තවත් පිටුවක විස්තර කර තිබුනේ පාලම ඉදි කිරීමේ තාක්ෂණය, පෙර සවි කොන්ක්‍රීට්, පාලම් බෙයාරින්ග් හා වෝටර් ජෙට් කටින් තාක්ෂනය ආදී දේවල් පිලිබඳ  විස්තර වර්ණනා සමගය .

එය ලියා අවුරුදු විසි හයකට පසුවත් ආයෙමත් වතාවක් කැළණි පාලමේ නව ඉදි කිරීමක් ගැන ලිපියක් සංස්කරණය කරමින් සිටිමි. එය ලියා ඇත්තේ අදට  අවුරුදු විසි හයකට පෙර මුල් ලිපිය ලියු විද්‍යා ලේඛකයාගේ දෙටු දියණියයි . වැඩි විස්තර ඉදිරි සතියක විදුසරේ පළවනු ඇත .


බ්‍රව්නිගේ වියෝව 
2006 පෙබරවාරි මාසයේදී අප සිටියේ ගෙදරින් ඈත තාවකාලික නිවසකය. ඒ මා රත්මලානේ සේවය කරද්දී කඩවත සිට යන්නට එන්නට බැරි නිසාය . අපේ ගෙදරට බලු පැටවෙකු ඕනෑ කියා පොඩි උන් දෙන්නා කරදර කළ නිසා මම ඒ ගැන පණිවිඩ කීපයක් යවා තිබිණි. දවසක් අප ඉල්ලා සිටි පරිදි අපට බලු පැටියෙක් ලැබී තිබුනත් ඌව දැක බලා ගන්නට  අපට තකහනියක් කඩවත යන්නට බැරි විය. ඒ නිසා  අප එනතුරු දවස් ගානක් නැනදා හා මාමා බාරයේ  ඌව තබන්නට සිදු විය. බලු පැටියා මොන පාටද කියා අසන්නටත් කලින් අපි ඌට බ්‍රව්නී කියා නම දුනිමු..  ඒ අපේ ගෙදර කලින් සිටි බල්ලා බ්ලැකී වූ නිසාය. ඌනම් නමට සරිලන පරිද්දෙන් කට්ට කළු එකෙක් වුනේය. අපේ මාමා දෙන දවල් කෑම එක උදේ කෑම එකට ඉස්සෙල්ලා කාලා දැම්මේ ඌය. 

අප හිතුවා හරිය . අපට ලැබී තිබුනේ දුඹුරුවන් මුව පොව්වෙක් වන් බලු  පැටියෙකි. ඌ පොඩි උන් රැළට වැටී සෙල්ලම් කළේය.
රෑට වත්තේ වෙනම කුඩුවකට  ඌ  දමා අප කීවේ එය ගෙදර ආරක්ෂාවට හොඳ බවය. සමහර දවසක  කාලා ඉවර වෙන කෑමද ඌට දුන්නෙමු. තවත් විටෙක ගේ ඇතුලට පැමිණ කරදර කරද්දී ඌට බැන වැදී එලවා දැමුවෙමු.
මේ සියල්ල දෙස නොපහන් සිතින් බලා සිටි ඔවිනී මගෙන් ඇසුවේ තාත්තේ  බ්‍රව්නිව ගෙනාවේ අපි ඉල්ලපු නිසා නෙවෙයිනේ?  හරියට කියන්න ඔයාලා  ඌ ගෙනාවේ ඉතිරි වෙන කෑම දෙන්නද, වත්ත මුර කරන්නද නැත්තම් කේන්ති ගියාම බනින්නද ?

එදා සිට බ්‍රව්නීට අප වැදගත් විදිහට සැලකුවෙමු . මුලින් මුලින්  ඔවිනිගේ කතාව නිසා ඇති වූ ලජ්ජාවට එහෙම කලද ටික දවසක් යද්දී ඌ ගැන හැබෑ ආදරයක් අපට ඇති විය .

තව දවසක් උන්චිල්ලා පදිමින් සිටි ඔවිනී ඉන් ලිස්සා වැටුණු වෙලාවක ඈ වැටෙනවා දුටු බ්‍රව්නී ඊට  හිනා වුනු බව කියමින් හඩා වැටුනාය . ඒ අසා අප සියල්ලන් හිනා වෙන්නට පටන් ගනිද්දී ඔවිනී ඇසුවේ බල්ලන්ට හිනා වෙන්නට බැරිද කියලාය.

මම කිව්වේ බල්ලන්ට හිනා  වෙන්න පුලුවන්ද දන්නේ  නෑ ඒත්  බල්ලෝ හා පූසොත් හීන දකිනවා කියලා මම පත්තරේක දැකලා තියෙනවා.  ඉන් පසු බල්ලන් ගැන හොය හොයා කියවන්නට පටන්  ගත්තෙමු. බල්ලන් සිය ස්වාමියන්  ගැන සිතා සිට්න්නේ උන්ට වඩා තරමක් සිරා බල්ලන් වර්ගයක් ලෙසය . ඒ සිරා බල්ල්ලන් අතරින් එක අයෙක් උගේ හාම්පුතා ලෙස තෝරා ගනී  .

 අප මහ ගෙදර හැරදා යද්දී ඌ ඒ පරිසරයෙන් මුදවා  ගෙන එන්නට බැරි විය . පහුගිය කාලයේ   ඌ බලා කියා ගත්තේ අපේ මාමණ්ඩිය  හා මස්සිනා විසිනි. ඒත් ඒ දෙන්නා කොයිතරම් බ්‍රව්නිට සැලකුවත් බ්‍රව්නිගේ වැඩි රෙස්පෙක්ට් එක  තිබුනේ මටමය. ඒ උන්ගේ  හැටිය .

කොහොම උනත් අවුරුදු දා හතරක් තනිකඩව සිටි  අපේ බ්‍රව්නි ඊයේ අවසන් ගමන් ගියේය. ඌ මගේ මතකයේ වැඩිම කලක්  සිටින සුරතලා වනු ඇත.

%d bloggers like this: