Menu Close

මෝස්‌තර එක්ක හත් වසරක් – තිස්වෙනි කොටස

“… බිත්තර තම්බලා තියාගන්නවා වගේම තමයි, බත් ඉතිරියි නං බත් ටික වැහෙන්නම වතුර දානවා. ගන්න වෙලාවට ටිකකට කලින් හොඳට වතුර බේරෙන්න තියලා ස්ටීම් කරගත්තාම හරි. ඒත් එහෙම කරලා පරක්කු නොවී ඒ බත් ඉවර කරගන්න ඕනේ. නැතිනං පිළුණු වෙන්න බලනවා…..”

ඒ පාඩම අපේ ආච්චීත් වෙනම විදියකට මට කියාදී තිබිණි…. 
දෙමටගොඩ කැන්ටිමේදී කෝකි බාස් කෙනෙකු කියා දුන් පාඩම, ඊට කලින් අපේ ආච්චීත් වෙනම විදියකට කියා දුන් එකකි.

“පුතේ…. බත් හැලියේ ඉතිරිවෙන ඩිංගට වැහෙන්න වතුර දාලා තිබ්බම උදේට දිය බත් හදාගන්න පුළුවනි. රතුලූනු ටිකක්, අමුමිරිස්, කරපිංචා ඉත්තක් හීනියට ලියලා බත් ටිකට දාලා හොඳට පොඩි කරනවා. 
ඒකටම මිටිකිරි පොඩ්ඩකුයි, ලුණුයි, දෙහියි දාලා ගත්තම ෂෝක්. ඌෂ්ණෙට කට කොන් පැලෙනවා නං ඔය විදිහට හදාගත්තු දියබත්, දවස් දෙක-තුනක් කෑවාම හරියනවා. 
ඒ තරමට ගුණයි…. සීතයි… ඇඟ නිවනවා.”

බත් වැහෙන්නට වතුර දමා වසා තිබියදී, පැසීමක් සිදුවෙමින් විටමින් බී නිපදවෙන බව දැන් පෝෂණ විශේෂඥයෝ කියති.

කැන්ටිමක් වැනි තැනකදී පෝෂණ ගුණයට වැඩියෙන් සලකා බැලෙන්නේ ලාභය ගැනය. ‘බල්ලන් මරලා හරි සල්ලි හම්බ කෙරිල්ලය’ අපේ පුරුද්ද. අනේ, එතැනදී අපේය කියලා වෙනසක් තිබුණේ නැතිය.
එය ඍජුවම බලපෑවේ අපේ බතික් අලෙවියටයි!
රිකී මහත්තයාගේ ආගමනය සිදුවෙන තුරුම දීපානි බතික් එකේදී මුල් තැන දුන්නේ ලාභයට නොවේ; ප්‍රමිතියටය. ඉවක්-බවක් නැතිව ‘ගෝඩි’ විදියට Lamp Shades නිපදවන්නට ගිහින් අපේ ළමයින්ට පුරුදු වුණු ක්‍රමය ආපිට හරවන්නට බැරි තරමේ නරක එකකි. එය ඍජුවම බලපෑවේ අපේ බතික් අලෙවියටයි. 
එච්චරක් නොවේ. රටේම බතික්වලට තිබුණු ඉල්ලුම අඩුවෙද්දී, අලෙවිය පහත බහිද්දී ඊට සමාන්තරව, විවෘත ආර්ථිකයේ අනුහසෙන් කෘත්‍රිම රෙදිපිළි රටට ගලන්නට විණි.
එහෙම වකවානුවකය, අවුරුද්දක්ම නොහිට මාස 11කින් දෙමටගොඩ කැන්ටින් කෙරුවාවට මා සමුදුන්නේ!
මා කැන්ටිමට සමු දී ආපසු එනවිට බොරලැස්ගමුවේ කඩය ඇරලාය. නෝනාත් පොඩි මාමාත් එහි කටයුතු බලාගනිමින් උන්හ. සුනිල් මල්ලිකාත් එක්ක අපේ කඩයට යාබද කඩයේ පලතුරු කඩයක් පවත්වාගෙන යමිනි. (ඒ විස්තර ශ්‍රී ලංකා not vs England පෝස්ටුවල ලියැවෙයි.) 
පහන් දැල්වීමකදී…. දයා අබේවික්‍රම, බ්‍රැඩ්මන් වීරක්කොඩි, ලාල් හේවාපතිරණ, එස්.ඒ. දිසානායක මහත්ම-මහත්මීහු……….
මගේ හිත තිබුණේ තජකයටම වෙන්වීලාය. (‘නැණ ලැබ ගත්තෙමි මගෙන් මංගල යෝජනාවක්’, මාතර තානායමේ අමු හෙළුවෙන් ‘පණ බේරපු කිරිල්ලී  වැනි පෝස්ටු මාලා ගණනාවක ඒ සමය ගැනත් යහමින් කියැවී අහවරය.) තවත් විස්තර ඉදිරියේදී ලියවෙන්නටත් තිබෙනවාය.
දැනට කිව යුත්තේ තජක වැඩවලට යාමට මට වැඩි නිදහසක් අවශ්‍යම වී තිබුණු බවයි. 
බතික් නිර්මාණ ශිල්පියකු ලෙස; ව්‍යාපාර හිමියකු ලෙස ලබනවාට වඩා වැඩි තෘප්තියක් තජක වැඩ සටහන්වලට සම්පත්දායකයකු ලෙස සහභාගිවීමෙන් මට ලැබිණි.
“ඔව් බං…. ඒ දවස්වල අපි කොච්චර නම් සතුටක් වින්දද? ලංකාව පුරාම ගියා. FPA (ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය) එකෙන් වාහනේ හම්බවුණා. සේරම වියහියදම් එහෙන්… මොනවත්ම එපා…. අපිට කොච්චර මිනිස්සු අලුතින් අඳුනාගන්න ලැබුණද?” අදටත් මර්වින්, ඉන්දිරා, සුනීතා වැනි අය කියති.
හොඳට හිතා බලද්දී ‘නිදි’ටම සුවිශේෂ වුණු තව කාරණයකුත් තිබුණු බව පෙනෙයි.
රට ජාතිය ආගම වෙනුවෙන් ජින්තු ගෙවාගෙන රමණය කරන වීරයන්ට ආසිරි වේවා……….
මගේ නිර්වචනයේ හැටියට නම් අපේ අම්මාත්; තාත්තාත් දෙදෙනාම ‘අධිෂ්ඨානයකින් යුතුව’ දරුවන් උත්පාද කළ අය නොවෙති. දැන් නම් රට- ජාතිය- ආගම බේරාගන්නට; මහා ජාතිය සුළු ජාතිය බවට පත්වීමෙන් වලක්වාගන්නට හිතාගෙන- පෙරුම් පුරාගෙන- දණහිස්වල ජින්තු ගෙවාගෙන ‘රමණය’ කරන අය ඉන්නවා වෙන්නැති. ඔවුන්ට ආසිරි වේවා!
අපේ අම්මා පිරිමියෙකුට පැදුර පෑගුණත් බඩ-ගැබ්බර වෙන්නියකි. තාත්තා යාන්තම් දැලි-රැවුල එද්දීම ඉහටත් උඩින් මදන විසේ ඇතිවුණුහාදයෙකි. ඒ දෙන්නාගේ සුසංයෝගයේ ප්‍රතිඵලය අප දහදෙනෙකි.
මුල් පෝස්ටු රැසකම මේවා කියා තිබේ. යළිදු කීවේ මගේ යටිහිතේ තිබුණු ආශාවක් ගැන කියන්නටය.
දුප්පත් පවුලක- නංගිලා මල්ලිලා නව දෙනෙකුගේ ලොකු අයියා විදිහට ලොකු බරක් අදින්නට මට සිදුවුණේය. 
අපේ අම්මාටවත්, තාත්තාටවත් අප සිපගන්නට, හුරතල් කරන්නට වෙලාවක් තිබුණේ නැත. එහෙම කරන්නට ඕනේ යයි එයාලා හිතූ පාටක්වත් පෙනුනෙත් නැත. ඒ අඩුව ගැන මැසිවිලි නොකිව්වත්, තවත් ළමයෙකුට එවන් දුකක් සිදුවෙනවාට මම අකමැති වීමි.
සැලසුම් කළ පවුලක දරුවන්ට දුකක් වීමට තිබෙන්නේ ඉතා අඩු ඉඩකි!
අදටත් මා විශ්වාස කරන්නේ ‘වගකිවයුතු මව්පියභාවය ගැන දන්නා දෙමව්පියන්’ ඉන්නා ‘සැලසුම් කළ පවුලක්’, ප්‍රීතිමත් දූ-පුතුන් බිහි කරන බවයි. ඒ පණිවිඩය තරුණ පරම්පරාවට ලබාදීම මගෙත් යුතුකමකියි මම සිතුවෙමි. මගේ ආශාව වුණේ ඒකය. ඊට තජකය හොඳම මාර්ගයක් විණි.
ඒවාට යන්නට මට නිදහස අවැසි විය!
“අයියේ, අපේ ….ට Li ගැන හිතිලා….” දවසක් සුනිල් කිව්වේය.
Li අපේ වැඩපොළේ හිටි අතිදක්ෂ සේවිකාවක වූවාය. ඇයට හිටියේ එක අවිවාහක සොහොයුරෙකි. අපේ සුනිල්ගේ මිතුරුකම මත ඉඳහිට බතික් වැඩපොළට පැමිණෙන්නට පුරුදුව සිටි මිතුරෙකි; Li ගැන සිතක් ඇති කරගෙන තිබුණේ. කොල්ලා පෙම් හසුනක් ලියලාය. එය කෙල්ලට දෙන්නයි කියලා තවත් මිතුරෙකුට දීලාය. ඒ මිතුරා නැවතී උන්නේ Liලාගේ නිවසට යාබද කාමරයකය.
ඒ මිතුරාත්, මේ මිතුරාත්, අපත් එකතු වුණේ අපේ ගෙදරදීය. හරියටම කියනවා නම් ‘සංගීත පන්තියේදී’ය.
ඒ දවස්වලම Liගේ වියපත් අම්මා මිය ගියෙන් අපි හැමෝම ඒ වැඩකටයුතුවලට උපරිමයෙන් උදව් වුණෙමු. “මචං…. අරූ මගේ ලියුම Liට දුන්නද දන්නෙ නැහැ.” පෙම්වතා වික්ෂොප වෙමින් බලා හුන්නේය.
තුට්ටු දෙකේ බාසාවෙන් කියනවා නම් කොල්ලා හිටියේ ‘සුරේ වතුරේ දමා ගන්නට ඉවසිලි නැතිව’ය……
“කවුද බං අම්මා අන්තරා වෙලා ඉන්න වෙලාවක කෙල්ලෙකුට ලියුමක් දෙන්නේ… අරූ එච්චර මොට්ටයෙක්ද? හත් දවසේ දානේ එහෙම ඉවර වෙනකල් උගෙන්වත් අහන්න යන්න එපා… කැතයිනේ…”
එහෙම හිතුවේ අපය. 
ලියුම අතැති මිත්තරයාට, එතෙක් නොදුටු ලස්සනක්; අගයක් Li ළඟ තිබෙන බව පෙනිලාය. 
ඒ දුෂ්ටයා “මචං, උඹ කැමතියි නං මම කැමතියි උඹල නංගිව කසාද බඳින්න.” කියලා කෙල්ලගේ අයියාට කියලාය. එතකොට අයියා හිටියෙත් කසාදයක් කරගන්නට සූදානමිනි; (තුට්ටු දෙකේ බාසාවෙන් කියනවා නම් ‘සුරේ වතුරේ දමාගන්නට නොඉවසිල්ලෙනි’). අම්මා වියෝවුණු නිසා පළමුව නංගිගේ බරෙන් නිදහස්වී ඉන්නැයි නොමිලේ ලැබෙන උපදෙස්වලින් ඒ අසරණයාට හිඟයක් නොතිබිණි.
අල්ලපු ගෙදර හාදයා යෝජනාව කළේ ඒ අතරේය. මිනිහා කඩා වැටුණු මරාලයට පයින් ගැහුවේ නැත; කැමැත්ත දුන්නේ නැඟණියගෙන් අහන්නෙවත් නැතිවය.
“අර පරයා Liව බඳින්නං කියලා කෙල්ලගේ අයියට කියලනේ….”
“කුපාඩියා…. මෙච්චරකල් ඉඳලා ඌට දැනුයි….”
සුනිල්ගේ යහළුවා; පෙම් හසුන් රචකයා දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකි; දෙදරු පියෙකි; සීයෙකුත් වෙලාද කොහෙදය.
ඒ ආදර කතාවට  දුෂ්ටයා වුණු මිතුරා අදටත් තනිකඩ දිවියක් ගෙවයි!

ඒ ආදරයට දුෂ්ටයා වුණු මිතුරා තවමත් තනිකඩය. වුණේ මේකය!


මිතුරාට කටුව ගහලා කෙල්ලව දිනාගන්නට ගියත් Li එයට කැමැත්ත දුන්නේ නැත. 
“අනේ නිමල් අයියේ, මම කොහොමද ඒකට කැමති වෙන්නේ… ඔයාම දන්නවනේ… අපේ කෙල්ලෝ එකෙක්වත් මිනිහට කැමති නැති හැටි. සවුත්තුව දාන හැටි…. අපේ අයියට ඕනේ මාව මොකාටම හරි බන්දලා දීලා ගෙදරින් එළියට දාන්න. මං බැහැයි කිව්වට අහන්නෙ නැහැ….”
එහෙම අසරණ වුණු Liට කරුණු කිව්වේ වැඩපොළේ මිතුරියන්ය. කළු අක්කාය; ඒ පවුලේ උදවියය; සුනිල් හා මාය!
“මොනවා වුණත් ඌ 100%ක් නරක නැහැනේ. වෙන කෙල්ලෝ පස්සේ ගිය එකෙකුත් නෙවෙයි. හොඳ රස්සාවකුත් තියෙනවා. ඔයාලගේ අයියා හිතන්න ඇත්තේ ඒවා ගැනයි. දැනටත් ඔයාලා ඉන්නේ කුලී ගෙදරකනේ… ඒ සේරම බලද්දී ඔයාට පුළුවනිද අයියගේ කීමට පිටුපාන්න…”
එදා රාත්තිරියේ Li කැලණිවැලි කෝච්චියට බෙල්ල තියන්නට යද්දී………… 
සද්ද නැතිව සේරම අහගෙන හිටි Li එදා රාත්තිරියේ කැලණිවැලි කෝච්චියට පැන දිවිහානි කරගන්නට යද්දී අහුවෙලාය!
අන්තිමට මා තීරණයක් ගත්තේ අපේ සුනිලුත්, ආච්චීත් එක්ක කතා කරලාය.
“පණ නහගන්න එක ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි නේද? දැක්කනේ අපේ නංගි… Li, මේ වෙලාවේ සුනිලුයි මායි දෙන්නත් ඔයාගේ සහෝදරයෝ වගේ හිතන්න පුළුවනි නම් මං විසඳුමක් දෙන්නම්…. මම ඔයාලගේ අයියටත් කියන්නම්. එයා කැමති වුණත්-නැතත් අපට කමක් නැහැ. ඔයාට මේ ප්‍රශ්න ඉවර වෙනකල් අපේ ගෙදර නවතින්න පුළුවන්!”
එදා මා කියූ දේවල් මට තවමත් හොඳට මතකය.
“… හැබැයි මිනිස්සු කතන්දර කියන්න ඉඩ තියෙනවා. ඒත් සුනිල්වත් මංවත් ඔයාව කසාද බැඳගන්න බලාගෙන නෙවෙයි ඔයාට අපේ ගෙදරට එන්න කියන්නේ…. මේ වෙලාවේ ඔයාට යන්න තැනක් නැති නිසා. හොඳට හිතලා එඩිතර තීරණයක් අරගෙන ප්‍රශ්නෙට මුහුණ දෙමු!”
ඒ නසරානියා ඊට පස්සේ උම්මග්ගේ සිරි කාලකන්නියා වගේ………….
Li අකමැත්තෙන් නමුත් අර හාදයාට කැමැත්ත දුන්නේ ඉන් පස්සෙය. ඊටත් අවුරුදු දෙකකට විතර පස්සේ ඒ නසරානියා ‘උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නියා’ම වුණේය.
අසද්ද කතාවක් කියා විවාහයට පස්ස ගැහුවේය. Li එවර සැලුණේ නැතිය. දෙවැනි වරටත් සොහොයුරා සොයා දුන් කෙනෙකු විවාහ කරගත්තාය. (දැන් ඇයත් ආච්චි කෙනෙකි).
ඔය කතාන්දරය කිව්වේ අපේ වැඩපොළේ ගැහැනු ළමුන් හා අප අතර තිබුණු හිතවත්කමේ දිග-පළල විදහන්නටය. 
එච්චර හිතවත්කමින් හිටි නිසාය ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ එකේ කියවුණු හොරකමෙන් පස්සේ මගේ හිත හොඳටම කුරුවල් වුණේ. 

එහෙම එක පවුලේම අය වැනිව හිඳ කවුරුන් විශ්වාස කරන්නද- නොකරන්නද කියන ප්‍රශ්නය මතු වුණාම… නිදහස සොයා යමින් හිටි මට….. ඒ කාරණය ‘අඬන්නට උන් මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක්’ වෙන්නට ඇතිවා නිසැකය.
නිදහසේ රසය සොයා යමින් හිටි මට………….
“බොරලැස්ගමුවේ කඩෙන් එන ආදායමෙන් ගෙදර වියදම් පිරිමහගන්න පුළුවන්…. සුනිල්ලත් තව ටික දවසකින් වෙන්වෙලා යයි… මං එපාය බතික් එකට හිරවෙන්න…. ඒක වහලා දාන්නයි හිතුවේ…..” මම තීරණය ප්‍රකාශ කළෙමි.
නායකත්ව ගති ලක්ෂණ ප්‍රකට කළ පසුව කෙනෙකුට සිදුවන ලොකුම හානිය මටත් සිද්දවෙමින් තිබුණේය.
එහෙම කෙනෙකුට විරුද්ධව බොහෝ දෙනා කතා නොකරති; වැල යන අතටම මැස්ස ගහති. ගොඩක් නායකයන්ට වරදින්නේ අන්න එතැනදීය; එහෙයියන් හින්දාය. 
“අපිට දැන් මොනවා තේරෙනවද පුතේ….. වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න අපිට වැඩිය රට-තොටේ දේවල් ගැන දන්නේ උඹනේ. මෙච්චර කාලෙකට උඹ කරපු හරිය මදැයි. ඉස්සරහටත් උඹ වැරදි දෙයක් නොකරනවය කියලා අපට විශ්වාසයි!”
ආච්චී විතරක් එක එල්ලේම වගකීම මගේ පිටේ ගැහුවාය.
දීපානි බතික් වසා දැමිණි.
ඡන්ටින්වලින්, පින්සල්වලින් ඉටි තවරන යුගය ගිහින්ය. අච්චුවලින් wax කරන යුගය බතික්වලට ඇවිත්ය!
එදා මා දැනුවත්ව නොහිටියත් දැන් එසේ නොවේ. බතික්වල ස්වර්ණමය යුගය ගෙවී ගිහින්ය. අතින් කරන ඉසියුම් කලාවන් අගයන සමාජයක් නොවේ අද තියෙන්නේ. 
මේ පෝස්ටු මාලාවට ඔබින fotos හොයද්දී හමුවුණු දේවලින් මම වික්ෂිප්ත වීමි. (දැන් ඉටි තැවරීමෙදී  අච්චු භාවිත වෙයි. අඩු වෙලාවකින් වැඩි නිරවද්‍යතාවකින් යුතුව wax කිරීම ලංකාවට ඇවිත්ද කියලා නම් මට අදහසක් නැත.)
එහෙම වුණත් බතික් වැඩපොළෙන් උගත් සමහර දේවල් අදටත් මට උදව් වෙයි. මේ පෝස්ටු ලියද්දීත්!
“ඔන්න මේ සැරේ අලුත් අවුරුද්දට ඔයාලා හැමෝටම කැමති පාටක්, කැමති මෝස්තරයක් දාලා රෙදි යාර දෙකහමාරක් බතික් කරගන්න ඉඩ දෙනවා…. නොමිලේ. (ලුන්ගියකට, අත් දිග කමිසයකට, ගවුමකට යාර දෙකහමාරක් හොඳටම සෑහෙයි.)” මම වැඩපොළේ ළමුන්ට නිවේදනය කළෙමි.
වැඩේ කෙරුණි. එකිනෙකාගේ මනාපයට අනුවය. එහෙත් එකියකවත් තෘප්තියට පත්වුණේ නැත.
ලස්සන අංග ගොඩක් එකතු කළාම හැදෙන්නේ අච්චාරුවකි….
එතෙක් එකිනෙක අවස්ථාවලදී දැක තිබුණු හොඳම මෝස්තර අංග, හොඳම වර්ණ සංකලන රටා සේරම එයාලා තම-තමන්ගේ එකම බතික් රෙද්දට ඔබන්නට ගිහින්ය. සමහර අංග වඩාත් කැපී පෙනෙන්නේ; දිදුලන්නේ එතරම් අනුචිත යැයි හිතෙන දේවලුත් එක්ක තිබෙද්දිය. හොඳම- ලස්සනම අංග සියල්ල එකට එකතු කළාට නිමවුමක් සර්ව සම්පූර්ණ නොවේ. අච්චාරුවක් වෙනවා විතරය.
ලේඛනයත් එහෙමය!
මා හිතා හිටියේ, වඩාත්ම ප්‍රශස්ත; හරවත්; පලවත්; විශිෂ්ට; පරිසමාප්තම ලියවිල්ල රචනා කරන ‘ලේබකයා’ වෙන්නටය. මගේ මොට්ටකම මටම තහවුරු වුණේ 1996දීය.
එහෙම වෙලාත් 2018 වෙනතුරු දිගටම ලියන්නට හිතක් පහළ නොවුණු හැටි. සාර්ථකත්වය ඔහේ තිබිච්චාවේ…. අප්‍රතිහත දිරියෙන් යුතුව දැන් මගේ කාර්යය නොකඩවා කරගෙන යන්නෙමි. අතැඟිලි වැඩ කරවිය හැකිතෙක්…….
දසනායක රත්නවතී හා දිසානායක හේවගේ චාර්ල්ස් නිසා පමුණුවේ ‘මඤ්ඤොක්කා ගෙදර’ ප්‍රසිද්ධ වුණේය. එයාලගේ ලොකු මුනුබුරා නිසා පසු කාලයක ඒ නම අභිභවා ‘බතික් ගෙදර’ ඉදිරියට ආවේය. ඒ දෙකම දැන් වැඩි දෙනාට මතකය. ඒවායේ නෂ්ටාවශේෂ පවා නැතිව ගිහින්ය.
පොළොන්නරුවේ ගල්පොත වගේ මේ පෝස්ටුත් ගොඩ කාලයක්………
එහෙත් මේ ලියවිලි ඊට වඩා වැඩි කාලයක් පවතිනු ඇත. ඒ චේතනාවෙන් යුතුවය ‘මෝස්‌තර එක්ක හත් වසරක්’ නිමා කරමින්, මගේ ජීවනාන්දරයේ තවත් පරිච්ඡේදයක් ඔබට හෙළි කරන්නට සැරසෙන්නේ෴
%d bloggers like this: