Menu Close

රංග කලාව ගැන – න්‍යායික ප්‍රවේශයක්

83554773_175763877036795_1847299677783851008_n

 

මෙරට රංග කලාව පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට වඩා සුදුසු ලක්ෂ්‍යය වන්නේ රාජිත දිසානායක යැයි සඳහන් කිරීම හා එම තෝරාගැනීම යුක්ති යුක්ත වන්නේ යැයි සිතමි. මන්ද අද වන විට රංග කලාව සම්බන්ධයෙන් වසර 20කට වඩා අඛණ්ඩව, අනවතර, බලපෑම් සහගත පෙනී සිටීමක් කරමින් සිටිනා රංග කලාවේදියා ලෙස ඔහු නම් කළ හැකි ය. එලෙසම බුද්ධික දමයන්තද ඔහුගේම සමකාලීනයකු ලෙස මෙවැනි යුගයක විප්ලවීය තෝරාගැනීමක් සිදු කරමින් අද වන විටත් වටිනා පරිවර්තන කෘති මෙරට ප්‍රේක්ෂකයා වෙතට ගෙන එමින් සිටියි. මොවුන් දෙදෙනාම දශක තුනකට ආසන්න කාලයක සිට රංග කලාව වෙනුවෙන් කැපවුණු ඒ වෙනුවෙන් දිශානත වූ අව්‍යාජ පැවැත්මවල් ලෙස නම් කළ හැක්කේ ඔවුන්ගේ යුගයේ බිහිවුණු අනෙක් නාට්‍යකරුවන් අපට අද දවසේ නාට්‍ය නිෂ්පාදනය තුළින් මෙතරම් සජීවී ලෙස හමුනොවන නිසා ය. එම නිසා ම අද දවසේ රංග කලාව පිළිබඳ සාකච්ඡාව සඳහා, විශේෂයෙන් මෙරට ස්වතන්ත්‍ර නාට්‍ය කලාව පිළිබඳ සාකච්ඡාවට රාජිත දිසානායක තුළින් ආරම්භ කිරීම වැදගත් වන්නේ ඇයිද යන්න ගැටලුවක් නොවනු ඇතැයි හගිමි.

            මේ ලිපිය ලියන්නේ මෙරට රංග කලාව පිළිබඳ සිතා බැලීම සඳහා යෝජනා කරන න්‍යායික අදහස් කිහිපයක් වෙනුවෙන් ය. එය න්‍යායික අදහසක් ලෙස සඳහන් කිරීමට වඩා රංග කලාව පිළිබඳ යළි සිතා බැලීමට උනන්දු කරවන අදහසක් ලෙස ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. තවද මේ තුළින් රංග කලාව පිළිබ‍ඳ යහපත් සංවාදයක් ඉදිරියට ගෙන යාමට ද හැකිවනු ඇතැයි සිතමි. මෙහිදී මා මූලික වශයෙන් අවධානයට ලක් කරන්නේ අද දවසේ රංග කලාව යන්න තේරුම් ගැනීමේ සංකීර්ණතාවය පිළිබඳවයි. මේ වෙනුවෙන් අද වන විට විශාල ශාස්ත්‍රාලයීය හැදෑරීම් විවිධ සන්දර්භ තුළ සිදුවේ. එම අදහස් ලාංකේය සන්දර්භය තුළින් තේරුම් ගැනීමට රාජිත දිසානායකගේ රංග කලා භාවිතය මෙහිදී උපයෝගී කොටගෙන ඇත.

             මේ සඳහා මාගේ මූලික ප්‍රවේශය වන්නේ අප ජීවත් වන යුගයේ සමාජ හැසිරීම් තේරුම් ගන්නා ආකාරය පිළිබඳ සවිඤ්ඥාණික වීමයි. එනම් අපගේ දෛනික ජීවිතය සකස් වී තිබෙන ආකාරය සහ ඒ සඳහා ඍජු මැදිහත්වීමක් සිදු කරන ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල හැසිරීම අවධානය ලක් කිරීමටයි. මෙහිදී මූලික වශයෙන් අද දවසේ ජන මාධ්‍ය පෙර යුගවලට සාපේක්ෂව නාටකීයබවක් දක්නට ලැබෙන බව තේරුම්ගැනීම එතරම් අපහසු වන්නේ නැත. උදාහරණයකට සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ප්‍රකාශකට සවන් දීමේදී අද දවසේ සමාජයේ සිදුවන විවිධ සිදුවීම් නව තාක්ෂණය තුළින් අපට නාටකීය අයුරින් ගෙන ඒමට උත්සහ කරයි. ඒ සමගම වෙළඳ දැන්වීම්, වෙනත් වැඩසටහන් මෙන්ම බොහෝ විට ටෙලි නාට්‍ය තුළද සාමාන්‍ය ජීවිතය ඉක්මවා යන ආකාරයේ අධි-රංගයක් අප වෙත අභිමුඛ කරවීමට උත්සහ කරයි. ඉන්දියානු සෝප් ඔපෙරා ලෙස නම් කරන ඉන්දියානු මෙගා නාට්‍ය හරහා ගෙන එන්නේ එවැනි ශෛලියකි. මෙය එක්තරා අර්ථයකින් 1930/40 දශකවල මෙරට ජනප්‍රිය වූ ජයමාන්න නාට්‍යවලට සමාන වේ. මෙම විවිධ ප්‍රකාශමානවීම් තුළ අපට අපගේ සාමාන්‍ය ලෝකය ඉක්මවා ගිය විකාරයක් – Uncanny – අත්විදිය හැකි වෙයි. අප එම ප්‍රවෘත්ති නිවේදන සහ වෙළඳ දැන්වීම් සමග සම්බන්ධ වන්නේ මේ අමුතු හැසිරීම නැරඹීමටයි.

            ඊටත් අමතරව සුපිරි වෙළඳ සංකීර්ණ, මහමග මෙන්ම කොළඹින් බැහර ප්‍රදේශවලද මෙම නාටකීයත්වය අත්දැකිය හැකි වන්නේ ඒවා බොහොමයක් අපගේ ලෝකය යළි යළිත් අලුත් කරන ඉක්මනින් වෙනස් වන තොරතුරු රාශියක් සහ සිදුවීම් ගොන්නක් එකවර අභිමුඛ වීමේ ප්‍රතිඵලයක් ලෙස යි. තවද වඩාත් ජනප්‍රිය ම මාධ්‍ය භාවිතයක් වන සමාජ මාධ්‍ය ජාලා ඊට දෙවැනි වන්නේ නැත. ඒ එක්කම ගොඩනැගිලි හා නොයෙක් වාස්තු අලංකරණයද තම සීමාවන් බිඳ දමමින් විවිධත්වය සහ චමත්කාරය ගුරු කොට ගනිමින් ඉඳි වෙමින් පවතියි. මෙම තත්ත්වය විසින්ද අපගේ අවකාශය සිතා ගත නො හැකි පරිද්දෙන් වෙනස්කම්වලට ලක් වෙමින් පවතියි.

            මේ සම්බන්ධයෙන් අපට තිබෙනා ජනප්‍රිය න්‍යායික නිර්වචනය වන්නේ පශ්චාත් නූතනත්වය පිළිබඳ අදහසයි. එනම් මීට පෙර ප්‍රාග්ධනයට අසු නොවුනු අවකාශය සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධනය තුළට අවශෝෂණය කර ගැනීම යි. අපගේ දෛනික ජීවිතයේ හැසිරීම් පොදුවේ මාධ්‍ය ආයතන සහ ප්‍රසිද්ධ ස්ථානවල අවකාශය හා එහි නිරූපිතයන් මේ ආකාරයට විපරිවර්තනය වීම තේරුම් ගැනීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. තවත් ආකාරයකට මේ සියලු සිදුවීම් සඳහා හේතුවක් නැතිනම් සම්භවයක් නැතිනම් හරයක් නිශ්චිතව හඳුනාගත නො හැකි වීම එයට හේතුවයි.

            මෙම ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ වන්නේ ආගම්වල කාර්යභාරය සහ එය පොදු අවකාශය තුළ ප්‍රකාශ වන ආකාරයද මෙම පසුබිමෙහි ම කොටසක් වීමයි. අද වන විට ආගමික නායකයින්ගේ පෙනී සිටීම, එම වත් පිළිවෙත් සහ ඇදහීම් තාක්ෂණය සමග මිශ්‍ර වී ඇති ආකාරය සහ ඔවුන් අත්කරගෙන ඇති ජනප්‍රියත්වය මෙන්ම ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇති මාධ්‍ය සහ ස්ථානීය වශයෙන් වෙන් කර ඇති අවකාශය මීට වසර තිහ හතලිහකට පෙර තිබූ තත්තවයෙන් සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. අද දවසේ අපට බොහෝවිට පන්සල් ආශ්‍රිත සිදුවීම් පෙනෙන්නේ පෙරට වඩා නාටකීය අයුරින් මෙන්ම එම පන්සල් හා ආගමික ස්ථාන ආශ්‍රිතව මතුවන පුවත් ද එම නාටකීයත්වය තවත් තීව්‍ර කරයි.

            මේ තත්ත්වයන් මගින් රංග කලාව තුළින් ඉල්ලා සිටින්නේ පවතින දේශපාලන-ආර්ථික දේහය සමග ගනුදෙනු කළ හැකි නව දේශපාලනික කලා භාවිතයකි. ඉතිං මෙවැනි තත්ත්වයකදී රංග කලාව තමුන්ගේ ආස්ථානය අර්ථකථනය කළ යුත්තේ කෙසේද? As you Like it නාට්‍යයේ ෂේක්ස්පියර්ගේ ජනප්‍රිය ප්‍රකාශය වන ‘මුළු ජීවිතය ම රඟ හලකි, අපි එහි රඟන නළුවෝ වෙමු’ යන්න තුළ ඇත්තේද මෙම සංකීර්ණතාවය වෙතට රංග කලාවේ මැදිහත්වීම තේරුම් ගැනීමට ඇති අපහසුව යි. එනම් රංග කලාව යනු අපගේ දෛනික ජීවිතයේම සමපාත වීමක්ද නැතිනම් එයට වඩා විශාල හෝ නිශ්චිතව පැවසිය නොහැකි අදහසක්ද යන්න නාට්‍යකරුවන් මුහුණ දෙන කේන්ද්‍රීය ගැටලුවකි.

        අද සමාජය තුළ පවතින නාටකීයත්වය 19 වන සියවස සහ 20 වන සියවසේ මුල් භාගයේ එසේත් නැතිනම් හෙන්රික් ඉබ්සන්ගේ සිට ආතර් මිලර් දක්වා කාලයට වඩා පැහැදිලි වෙනසක් ඇති බව උදාහරණ සහිතව පෙන්විය යුත්තක් නොවෙයි. එනම් ධනවාදය පිළිබඳ කියැවීම්, ඓතිහාසික කලා ව්‍යාපාරය පිළිබඳ අදහස්, සමාජ විකාශනය සිදුවී ඇති ආකාරය අනුව ගත්විට 20 වන සියවසේ සමාජයීය නාටකීයත්වය සහ අප ජීවත්වන යුගයේ බොහෝ වෙනස් කම් දක්නට හැකි ය. යථාර්ථය ලෙස අප අත්දකින්නේත්, සිතා බලන්නේ අප ඉදිරියේ ඇති යමක්, එය මේ මොහොතේ අප ඉදිරියේ පෙනෙන්නට තිබෙන ආකාරය ලෙස යි. නමුත් ඒවා සෑම විටම තිබෙන්නේ අරුත්සහගතව එකිනෙකට බැඳී පවතින එකතුවක් ලෙස යි. යථාර්ථය අපට කිසිවිටෙක අත්දකින්නට නො හැකි වන්නේ අපට පෙනෙන්නට තිබෙන දෙයෙහි නොපෙනන දෙයක් පිළිබඳ අවබෝධය අපට පෙනෙන දෙය මගින් සම්පූර්ණයෙන් ලබා නොදෙන නිසා ය. මේ අර්ථයෙන් යථාර්ථය පිළිබඳ අදහස අපට හමුවන්නේ පවතින දෙය එලෙස ම අත්දැකීමෙන් නොව පවතින දෙය විසින් අපට සගවන සහ පවතින දෙයෙහි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන එම නොපෙනෙන පැවැත්ම සහ එය දරා සිටිනා ලෝකය හඳුනා ගැනීම තුළින් ය. ඒ සඳහා පවතින දෙය, පවතින ලෙස එලෙසින් ම අභිමුඛ වීම යනු අප තවදුරටත් මුලාවට පත්වීමයි.

        එනම් අද දවසේ රංග කලාව පවතින සමාජ දේශපාලන මාධ්‍ය, වටපිටාව සමග සන්සන්දනය කරනා විට අපට හැගීයන්නේ රංග කලාව අපට අභිමුඛ වන යථාර්ථයට වඩා විශාලත්වයක් අත්පත් කරගත යුතු යන්නයි. තවත් විදියකට කියනවා නම්, එනම් වේදිකාවේ රංගයත් එදිනෙදා ජීවිතයේ රංගයත් සමපාත වීමෙන් අපේ ජීවිත තුළ භාව විශෝධනය හෝ දුරස්ථීකරණ හෝ කුමන හෝ සුවිශේෂී සම්බන්ධයක් ගොඩනැගෙන්න අවශ්‍ය පසුබිම සැකසෙන්නෙ නොමැති බවයි. ඒ සඳහා වේදිකාවේ සාරය එනම් නාටකීයත්වය, පවතින සමාජ දේහයට සාපේක්ෂව සුවිශේෂී ලෙස ප්‍රකාශ විය යුතුය. ග්‍රීසියේ සිට සමකාලීන පශ්චාත් නූතන වේදිකාව දක්වා පැමිණ ගමන් මග තුළ ඉස්මතු වූ කේන්ද්‍රීය ගැටලූව වන්නේ එය යි. ඒ සඳහා යළි අපට ග්‍රීක, රෝම, මධ්‍යකාලීන යුගය, එලිසබතියානු යුගය මෙන්ම නූතනවාදී ඛේදාන්තය වෙතටද යළි පියමනින්නට වීම අනිවාර්යතාවයක් වනු ඇත. මන්ද සමකාලීන කලාව යනු ම මේ ආකාරයේ වෙනස් කාලිකත්වයන් එක ම අවකාශයක මුණ ගැසීමයි.

             එම ගුණය රාජිතගේ නිර්මාණ තුළ අප සළකුණු කරන්නේ කෙසේද? එලෙස සලකුණු කරන්නට අවකාශයක් එහි තිබෙන්නේ නම් එය කිසිසේත්ම එදිනෙදා ජීවිතයට සමපාත වන රංගයක් යැයි කීම අර්ථ විරහිතය. එනම් මෙහිදී ඇසිය යුතු වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ තාත්වික රංගය කුමන ස්භාවයක් ගන්නේද යන්න නොව පවතින කාලිකත්වය හා අවකාශය තුළ වැඩි තීව්‍රතාවයකින් සමාජය ආමන්ත්‍රණය කළ හැකි රංග කලා භාවිතය කුමක්ද යන්න යි. යළිත් කියන්නේ නම් ඒ සඳහා යළි ග්‍රීසිය, මධ්‍යකාලීන යුගය, පුනරුද යුගය මෙන්ම ලිබරල් ට්‍රැජඩි ආකෘති වෙතද අපගේ නිර්මාණාක්ෂිය යොමු කළ යුතු බව ඉන් යෝජනා වෙයි. එම නිසා වේදිකා රංගය යනු රාජිත දිසානායකගේ නාට්‍යවල රංග කලා භාවිතය ලෙස පරාමාදර්ශ කර ගැනීම අප ජීවත්වන යුගයේ තරුණ නාට්‍යකරුවා කිහිපවාරයක් සිතා බැලිය යුත්තකි. එලෙසම රාජිතගේ නාට්‍ය කලා භාවිතය ක්‍රමයෙන් දෛනික ජීවිතය සමග සමපාත වීමක් බලාපොරොත්තු වන්නක් බව නිශ්චිත වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ, අප ජීවත් වන ලෝකය ඒ අයුරින් වේදිකාව තුළ යළි නිර්මාණය කිරීමට ඔහු ගන්නා උත්සාහය දෙස බලා සිටීමේදීය.

        ඉන්පසුව රාජිතගේ පෙළ රචනා පවතින සමාජ දේහය බලපෑම් සහගත ලෙස ආමන්ත්‍රණය කරනවාද යන ගැටලූවද අතිශය ස්වතන්ත්‍ර නාට්‍ය පෙලක් පිළිබඳ සිතාබැලීමේදී වැදගත් වනු ඇත. රාජිත සම්බන්ධයෙන් සිදුකෙරෙන විචාර තුළ දක්නට ලැබෙන කේන්ද්‍රීය අදහසක් වන්නේ මධ්‍යම පාංතිකයා නිරුත්තර කරන එසේත් නැතිනම් මධ්‍යම පාංතිකයාගේ නිරුවත ඔහු ඉදිරියේ ම ඔහුට පෙනෙන්නට සලස්වන ප්‍රබල දේශපාලනික මැදිහත් වීමක් රාජිතගේ පෙළ රචනා තුළ දක්නට ලැබෙන බවයි. මෙහිදී ‘මධ්‍යම පාංතියා’ යනු කවුද යන සංකීර්ණ ගැටලූව මොහොතකට අමතක කර එම සංකල්පත කිරීම අප භාරගන්නේ නම්, පවතින දේශපාලන සමාජ යථාර්ථය යනු කුමක්ද? පවතින දේශපාලන යථාර්ථය යනු දේශපාලකයන්ගේ නොමනා හැසිරීම් නැතිනම් අභිරහස් ගනුදෙනු හඳුනා ගැනීම දක්වා ඌනනය කළ හැකිද? රාජිතගේ නාට්‍ය තුළ අප අත්දකින්නේ මෙම Back door deal සිදුවන ආකාරය පිළිබඳ මුඛරි සංවාදයකි. නමුත් දේශපාන යථාර්ථය එයට ඌනනය කිරීම මගින් අපට අහිමි වී තිබෙන්නේ ආගමික අන්තවාදය, විපත් ධනවාදය, සමකාලීන දේශපාලනය විසින් ධනවාදයේ නව ප්‍රවනතා හසු කරගන්නා ආකාරය පිළිබඳ කියවීම්ය. සමස්ථයක් ලෙස අද දවසේ ජනතාව දේශපාලනය ලෙස හඳුනාගන්නා ඉතාම සීමිත වපසරිය තුළ ම පවතින බොහෝ විට ඊට සමාන සිදුවීම්ය. අද දවසේ මධ්‍යම පංතියට මෙම Back door deal පිළිබඳ ඇත්තේ ඉහළ සවිඤ්ඥාණිකත්වයක් බව පරික්ෂා කිරීමට වෙහෙසිය යුතු දෙයක් නොවේ. ඉතිං එවැනි ප්‍රවේශ රැගත් නාට්‍යය රන්ජන් රාමනායකගේ හඬපට අසා ආහ්ලාදයට පත් වන තරමේ බලපෑමකින් එහාට ගිය දෙයක් ලෙස අර්ථකථනය කළ හැකිද? රාජිතගේ උත්ප්‍රාසාත්මක රචනා විලාසය අද දවසේ මිනිසා ඇතුළු වී ඇති සදාකාලික වර්තමානය වෙතට වීසී වී ඇත්තේ මෙම දේශපාලන යථාර්ථය රන්ජන්, රාජිත සේනාරත්න, එස්.බී. හෝ ඉරාජ් වැනි විවිධ චරිත විසින් සුළු සුළු රංගනයන් ඉදිරිපත් කළද ඊට යටින් දිවෙනා තනි සමස්ථය වෙතට ඌනනය වී තිබීමයි. එම නිසා ම අද දවසේ ස්වතන්ත්‍ර රචනාකරණය අප අත්දකින මෙම දේශපාලන නාටකවලින් ඔබ්බෙහි තිබෙනා අපගේ පැවැත්මේ මූලධාර්මික ගැටලූ පිළිබඳ පවතින නව ප්‍රවනතා හඳුනා ගැනීමේ අනාගත වක්තෘත්තවයක් වෙතට පිවිසිය යුතුය.

        අවසාන අර්ථයෙන් යළි නූතනත්වය විසින් බලාපොරොත්තු වූ ප්‍රබුද්ධත්වය යනු කුමක්ද? යන්න අප ජීවත් වන යුගය තුළින් අවබෝධ කරගත යුතු ය. ප්‍රබුද්ධත්වය පිළිබඳ ඉමැනුවල් කාන්ට්ගේ What is Enlightenment? රචනයෙන් අදහසක් ගෙන එන්නේ නම් “අපගේ යුගය යනු විචාරයේ අව්‍යාජ යුගය යි” එම විචාරය වෙත සියලූ දේ යටත් විය යුතුය. ආගම එහි ශුද්ධත්වයෙන් සහ නීතිය එහි රාජකීයත්වයෙන් මෙයින් ගැලවීමට පොදුවේ උත්සහ කරයි’’ (පරි. වංගීස සුමනසේකර) මෙලෙස විචාරශීලීත්වය උත්කර්ෂයට නැංවීමට නම් දේශපාලන  ඕපා දූපවලට වඩා විශ්වීය වූ අදහස් පද්ධතියක් මත බිහිවුණු ලිබරල් ට්‍රැජඩිය පිළිබඳ පුුළුල් සංවාදයක් අවශ්‍ය බව නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිදුකරන මෙවැනි මැදිහත්වීම් තුළින් යෝජනා කරයි.

   මෙවැනි විවේචන මගින් බලාපොරොත්තු වන්නේ රාජිත දිසානායක වැනි ධෛර්යසම්පන්න වේදිකා නාට්‍යකරුවන් අධෛර්යයට පත් කිරීම නොව, පවතින සමාජ දේශපාලන කොන්දේසි හමුවේ අතිශය අපහසු ක්‍රියාවලියක් වෙනුවෙන් තම ආත්මය කැප කර සිටින අපේ කාලයේ රංග කලාකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමයි. ඔහුගේ මෙම නොනවනතින විප්ලවීය කාර්ය සාධනය වඩා වැදගත්, ශක්තිමත් කලාපයක් වෙත පරිවර්තනය කිරීමට අවශ්‍ය විචාරාත්මක සහයෝගය ලබා දීමයි.

 

රංග මනුප්‍රිය

 

 

 

***

%d bloggers like this: