Menu Close

Little Women (2019)

2020/02/04 මව්බිම Young අතිරේකයේ පළ විය.
“මගේ ජීවිතේ දුක් කරදරවලින් පිරී ගිය එකක් වුණා. ඒ හින්දා මම සතුටුදායක කතා ලියන්න පෙලඹුණා”

එහෙම කියන්නේ ඇමරිකානු ලේඛිකා Louisa May Alcott. Louisaගේ “Little Women” නවකතාව පදනම් කරගෙන 2019 අවුරුද්දේ ඒ නමින් ම තිරගත වුණු  චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඈ විසින් කියා තිබුණු ඒ වචන පේළියෙනුයි. නමුත් ඇගේ අතින් Little Women නවකතාව ලියැවෙන්නේ ජීවිතයේ දුකත් සතුටත් එකිනෙක මුහුවෙමින් නිමැවුණු ගෙත්තමක් වගේ අපූර්වත්වයකින් යුතුවයි. මේ නවකතාව මුලින් ම ප්‍රකාශයට පත් වෙන්නේ 1868 අවුරුද්දේදී. නවකතාව ලියැවිලා අවුරුදු 151ක් මේ වෙද්දී ගතවෙලා තිබුණත් අදටත් පාඨක, ප්‍රේක්ෂක ජනතාව එය ආදරයෙන් වැළඳ ගන්නේ එහි තියෙන නැවුම්බව, අපුරුබව නිසාමයි.
1800 ගණන්වල, ඇමරිකාවේ ගම්බද පළාතක, ගැහැනු ළමයි හතර දෙනෙක් ඉන්න March පවුල මුල් කරගෙනයි Little Women නවකතාව ගොඩනැගෙන්නේ. Meg March (Emma Watson) තමා මේ පවුලේ වැඩිමල් සහෝදරිය වෙන්නේ. Meg කියන්නේ  ගතානුගතික අදහස් දරන, ගැහැනු ළමයෙක් වුණා ම හරි වයසට කසාද බඳින්න ඕන, දරුවන් හදන්න ඕන වගේ මතවාද පිළිගන්න කෙල්ලෙක්. March පවුලේ  දෙවනි ගැහැනු ළමයා තමා Josephin නැත්නම් Jo March (Saoirse Ronan). Little Women නවකතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ මැයයි. අතිශය විනෝදකාමී, හිතුවක්කාර සහ නිදහස් ජීවිතයක් ප්‍රියකරන Jo කුඩා කාලයේ පටන් ලිවීමට උපන් හපන්නියක්. දවසක රට ම දන්න හඳුනන මහා ලේඛිකාවක් වීමයි ඇගේ හීනය වුණේ. මේ පවුලේ තුන්වෙනි ගැහැනු ළමයා Amy March (Florence Pugh). කඩදාසියක්, පැන්සලක් දුටු ගමන් අතට අරගෙන යමක් සිතුවම් කරන ඇගේ  අරමුණ වුයේ චිත්‍ර ශිල්පිනියක් විදිහට යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි.  March පවුලේ  බාල ම ගැහැනු ළමයා වුණේ, ලැජ්ජාශීලී ගතිගුණ ඇති Beth March (Eliza Scanlen). පියානෝවක් තියෙන්නේ කොතනද Beth ඉන්නේ එතැන. පියානෝවේ යතුරු මත ඇඟිලි මෙහෙයවමින් ස්වර වයන්න ඇයට තියෙන්නේ පුදුමාකාරයේ දක්ෂතාවයක්. මේ සොයුරියන්ගේ මව (Laura Dern) නිතර ම සිනාමුසු මුහුණින් ඉන්න, නිදහස්කාමී කාරුණික තැනැත්තියක්. ඔවුන්ගේ පියා (Bob Odenkrik) ඇමරිකානු සිවිල් යුද්ධයට සහභාගි වෙන්න ගෙදරින් පිටව ගොස් තිබෙනවා. මේ සහෝදරියන් අතරේ නොයෙක් මත ගැටුම් තිබුණත් ඔවුන් ඇත්තට ම සතුටින් ජීවත් වුණා.
Little Women චිත්‍රපටය ආරම්භ වෙන්නේ New York නගරේ නවාතැන්ගෙන ඉන්න Jo March පුවත්පත් කතුවරයෙක් මුණගැහෙන්න යන සිදුවීමකිනුයි. ඈ ලිව්ව නවකතාවක් පුවත්පතේ පළ කරගන්න ඈට අවශ්‍ය වෙනවා. කතුවරයා කතාව කියවා බලලා, තැනින් තැන කපලා, දිග අඩු කරලා පුවත්පතේ පළ කරන්න කැමති වෙනවා. මේක අහපු ගමන් Jo ප්‍රීතියෙන් පිනායනවා. ඇගේ ලිවීමට යම් වටිනාකමක් ලැබිලා. නමුත් සාහිත්‍ය පිළිබඳව ආචාර්යවරයෙක් වගේ ම ඇගේ ළඟ ම හිතවතෙක් වුණ Friedrich (Louis Garrel) නම් ඇගේ කතා තව ම ප්‍රමාණවත් මදි කියලා අවංකව ම ඇගෙ මූණට ම කියනවා. මේක Joට ටිකක් දරාගන්න අමාරු වෙනවා. බාල සහෝදරිය Beth රෝගාතුරවීම නිසා අසාද්‍ය තත්ත්වයෙන් පසුවෙන බව කියමින් ගමෙන් Joට ලියුමක් එන්නේ ඔය අතරවාරයේදීයි. ආරංචිය දැනගත් වහා ම Jo  ගමට යන්න පිටත් වෙනවා.
Jo March ගමට එන අතරේදී ඇගේ මතකයන් ඇසුරෙන් අතීත සිදුවීම් සහ ඒ සමඟ සමපාත වෙන වර්තමාන සිදුවීම් එකිනෙක යා වෙමින් චිත්‍රපටය ගලාගෙන  යනවා. නව යොවුන් වයසේ උණුහුමෙන් පිරුණු, උද්‍යෝගිමත්, ආදරණීය අතීතය උෂ්ණ වර්ණ වෙච්ච රතු, කහ, තැඹිලි වර්ණවලිනුත්, වඩාත් වගකීම් සහගත වේදනාකාරී වැඩිහිටි විය ශීත වර්ණ වුණු නිල් පැහැයෙනුත් චිත්‍රපටියේදී නිරූපණය කරනවා. මේ විදිහට එක ම කාල රේඛාවක එකිනෙක සම්බන්ධ වුණ තල දෙකක කතාව ගමන් කරවීමෙන් අපුරු රසයක් ප්‍රේක්ෂකයාට  අරගෙන එන්න Little Women නවකතාව ඇසුරෙන් පිටපත ලියා අධ්‍යක්ෂණය කෙරු Greta Gerwig සමත්ව තිබෙනවා.
2020 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 6 කට මේ වෙනකොට Little Women චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා. හොඳ ම අනුවර්තිත පිටපතට වගේ ම හොඳ ම නිළිය විදිහට Saoirse Ronan, (Brooklyn, Lady Bird) සහ හොඳ ම සහය නිළිය විදිහට Florence Pugh (Midsommar) අදාල සම්මානයන් සඳහා නිර්දේශ වී තීබිම ඒ අතරින් සුවිශේෂී වෙනවා.
Little Women කියන මේ චිත්‍රපටය හදවත උණුහුමෙන් පුරවාලන  සුන්දරත්වය පිරුණු සිනමා අත්දැකීමක්. කිසිදාක පැරණි නොවෙන, Classic ගණයේ කතාවකට ගැලපෙන ආකාරයෙන් රූප රාමු, කැමරා කෝණ, දර්ශන තල, ඇඳුම් ආයිත්තම්, සංගීතය මේ හැම දෙයක් ම උසස් ම මට්ටමකින් චිත්‍රපටය ඇතුළේ  භාවිතා කර තිබෙනවා. ඒ වගේ ම මේ චිත්‍රපටය රූපගත කරලා තිබෙන්නේ Little Women නවකතාවේ කතුවරිය හැබෑවට ම ජීවත් වුණ ඇමරිකාවේ Massachusetts ප්‍රදේශය ආශ්‍රිතවයි.
Greta Gerwig ඇගේ  මින් පෙර තිරගත වුණු Lady Bird චිත්‍රපටයේදී වගේ ම මෙවරත් සිනමාවට පිවිසෙන්නේ ගැහැනිය මුල් කරගත් කතා වස්තුවකින්. ගැහැනිය සමාජයේ දුර්වල, අනාරක්ෂිත සත්ත්වයෙකු නොවිය යුතු බවත්, තමන්ගේ ම ශක්තියෙන් තමා වෙනුවෙන් පෙනී සිටීමට ඇයට හැකිවිය යුතු බවත් Little Women චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට එත්තු ගන්වනවා. Greta මේ සිනමාපටය කූටප්‍රාප්තියට කරා ගෙන එන්නේ “ඉතින් Jo තමන් ආදරය කරන මිනිසෙක් සමඟ විවාහ වී සතුටින් ජීවත් වුණා” කියන තැනින් නෙවෙයි. ඇය පොත් ප්‍රකාශකයින් සමඟ හෙට්ටු වෙන, තමන්ගේ අයිතිය වෙනුවෙන් බය නැතිව කතා කරන, අවසානයේ ස්වකීය ආත්ම ශක්තියෙන් ම තම සිහින මල්පල ගන්වාගන්න දිරිය යුවතියක් බවට පත් කිරීමෙනුයි. චිත්‍රපටයෙ එක තැනක Jo කියන මේ වචනවලින් ඒ බව හොඳින් ම තහවුරු වෙනවා.
“ගෑනු කියන්නේ ආදරේ වෙනුවෙන් ම විතරක් ඉපදිලා ඉන්න ජාති‍යක් කියන කතාව මට නම් එපා වෙලා. ගෑනියෙකුට ලස්සන වගේ ම තියෙනවා හිතන්න මනසක්, ආත්මයක්, හදවතක්..”
නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණත් Little Women චිත්‍රපටයක් විදිහට ඊට ම අනන්‍ය වුණ සුන්දරත්වයකින් හා රසයකින් පිරුණු සිනමාපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
හෂාන් රන්දික ඩයස්
%d bloggers like this: