Menu Close

දොළහ වෙද්දී… – පළමුවෙනි කොටස

මා හිටියේ හොරෙන් බලමිනි. කාටවත්ම නොදැනෙන්නට, කාටවත්ම නොපෙනෙන්නට, කාටවත්ම නොහැඟෙන්නට හොරෙන් බලමිනි. දැන් දින කිහිපයක හිට එය පුරුද්දට ගිහින්ය! මගේ හොර හිත! ඇයි පියසිරි දිහා කෙළින්ම බලන්නට බැරි? කාගෙන් තහනමක්ද?


බැරි වෙලාවත් කොල්ලාගේ නේත්තරා දෙක මගේ ඇහැක වැදුණොත්……

රහස එතැනය.

මං පියසිරි දිහා බලනවාට වැඩියෙන් පියසිරි මා දිහා බලයි. ඒකත් හොරෙන්ය; මටත් හොරෙන්ය. බැරි වෙලාවත් මිනිහාගේ නේත්තරා දෙක මගේ ඇහේ වැදුණොත් එයා අහක බලා ගනියි. 

ඉස්සරත් මේ කොල්ලා මා දිහා බලා හිටියාද? බලන් ඉන්නවා තියා පියසිරි කියලා කෙනෙකු පන්තියේ හිටියාද කියාවත් එතෙක් මට නිච්චි වුණේ නැති හැටි. ඔයාලටත් මෙහෙම අවස්ථාවක්; හොරෙන් බලා හිඳීමක් අත්දකින්නට ලැබී තියෙනවාද?

එතකොට මා උන්නේ හයේ පංතියේය! අවුරුද්දේ පළමු පාසල් වාරයේය. 1966 වසරය ඒ. මට දොළහක් වේගෙන එනවා විතරය.

තවත් විදියකින් කියනවා නම් මගෙත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වේගෙන එන අවදියේය. 
ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනයත් නිපදවෙන්නට පටන් ගෙන තිබුණා විය යුතුය. යෞවනෝද්ගමන සමයේදී සාමාන්‍යයෙන් ඇතිවෙන අරුම හැඟීම්, තරමක් අමුතු හැසිරීම් මටත් ඇතිවෙමින් තිබුණා වෙන්නටත් ඇත. 

එතකොට මං කොහෙද ඔව්වා දන්නේ, දැන් මිස?

හරියටම ඔය කාරණා ගැන කියවෙන ‘නිධානයක්’ මගේ අතට හම්බ වුණේ 1966 ඉඳන් අවුරුදු 14ක් ගියාට පස්සේ. 1980 දී…. ඒක පොතක්… පොතක් කිව්වට පොත් පිංචක්. ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු 56යි තියෙන්නේ.

ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති වන්නේ කොහොමද?
මොළයේ පහත කෙළවරේ තියෙන කජු මදයක් තරම් වෙන පිටියුටරි ග්‍රන්ථියෙන්……. 
මේ වෙනස ඇති වන්න ප්‍රධාන හේතුවක් තමයි ශරීරය වැඩෙන විට, එනම් ළමයෙක් උස මහත්වී ලොකු වන විට ශරීරය ඇතුළේ නිපදවන හෝමෝන නම්වූ රසායනික ද්‍රව්‍යවල බලපෑම. 
මේ වගේ හෝමෝන කීපයක්ම ශරීරයේ ඇති නොයෙක් ග්‍රන්ථීන්ගෙන් නිපදවෙනව. මෙයින් ප්‍රධාන වන්නේ මොළේ පහත කෙළවර පිහිටා තිබෙන පිටියුටරි නම් ග්‍රන්ථියයි. තරමක කජු මදයක් තරම්වූ මෙම ග්‍රන්ථිය හෝමෝන ජාති කිහිපයක්ම නිපදවනව. 

-මේ හෝමෝන ලේත් එක්ක කලවම් වෙලා ශරීරයේ ඇති අනෙක් හෝමෝන නිපදවන ග්‍රන්ථීන් කරා පණිවිඩ අරන් යනව. ඒ මඟින් ඒ ග්‍රන්ථීන් හෝමෝන නිපදවීමට උත්තේජනය කරනව…..”

නිමල් දිසානායක එක විදියක පිස්සෙක්. 
වාඩිවෙලා ඉන්නෙ මොළේ උඩ. ඒ හින්දද මන්දා හිටි ගමන්ම මොළේට එනවා ‘බ්‍රිලියන්ට් Idea’ වගයක්. මේ අයිඩියා එකත් මේ දැන් එහෙම පහළ වුණු එකක්.

මේ පෝස්ටුවට අදාළව ඉහතින් යෙදූ කොටස උපුටාගන්න ‘අසිරිමත් වූ දේකි – ලිංගිකත්වය හා පවුල් සැලසුම’ පොත අතට ගනිද්දීවත් නිදිගේ චිත්තයාට හිතුණේ නැහැ ‘අසිරිමත් වූ දේකි’ නැවතත් කල-එළියට වඩමවන්න වටිනවය කියලා.

ඔයාලට කියන්න, මාස තුනකට විතර ඉස්සෙල්ලා ‘සිරිබිරිස් උන්නැහේ’ අපේ ගෙදරට කඩා පාත් වුණා- හිටි අඩියේ.
හතේ පොතට වඩා අපූරු මේ පොත .නිදිගේ පංච තන්තරේ ‘ අස්සට ඔබන්න හිතක් ………… 
අල්ලපු ගෙදර දේවිකා නංගි තමයි කිව්වේ ‘කවුද ඇවිත් නිමල් අයියව හොයනව’ය කියලා. ගේට්ටුව ළඟ හිටියේ දන්නා කෙනෙක් නෙවෙයි. හැබැයි මනුස්සයා මාව දැක ගමන්ම කතා කළේ අඳුනන කෙනෙක් වගේ.

“ලොක්කා… කොහොමද? නිමල් අයියේ, මම සිරිබිරිස්…..ඔයාව බලලා යන්නයි ආවේ!”

හොඳයි නේද? 
බ්ලොග් එක කියවලා, කමෙන්ට්ස් දාන විදිහට නං මගේ හිතේ ඇඳිලා තිබුණේ මටත් වැඩිය නාකි පරාණයක්. මේ මනුස්සයා එච්චර දිරාපු හෝන්තුවක් නෙවෙයිනේ. 
උන්දෑ වයසක වගෙය කියලාත්, මහත්තයා කියනවාට වඩා ළෙන්ගතු ඇමතීමක්ය කියලාත් උපකල්පනය කරගත්තු නිසා මං පුරුදුවෙලා හිටියේ ‘උන්නැහේ’ කෑල්ලත් ‘සිරිබිරිස්’ නමට ඈඳන්න.

එදා උන්නැහේ හදිගැහුණාම තමා මට තේරුණේ මං වගේම- පරණ පොත්, පත්තර පිස්සෝ කොච්චර ඉන්නවද කියලා.

අපරාදේ, සිරිබිරිස් උන්නැහේට මේ පොත පෙන්වන්න බැරි වුණේ. පෙන්නුවා නම් ඒ මනුස්සයා තමයි මට යෝජනා කරන්නේ ‘ඔය පොත ආයෙම පබ්ලිෂ් කරවන්නකෝ’ කියලා. 

මට දැනට ටිකකට කලින් හිතුණා මේ පොතෙන් කෑලි-කෑලි නොදා, සම්පූර්ණ පොතම  ටිකෙන් ටික ‘පංච තන්තරේ’ අස්සට ඔබන්න.
පොත පුංචි වුණාට මොකෝ කියන කාරණ පුංචි නැහැ! පින්තූරත්………..
(හැබැයි කාටවත් කියන්න එපා. ‘හතේ පොත’ වගේ මේකත් තහනම් කරන්නැයි කියලා පෙළපාලි යයි!)

පොත පුංචි වුණාට මුල් වතාවේ පළ කරන්නට දායක වෙලා තියෙන පිරිස පුංචි නැහැ. අපත් ඒ මල් වට්ටියට අත ගැහුවය කියන්නේ හරි ආඩම්බරෙන්- 1987 දෙවෙනි මුද්‍රණයේදී…

…. දයා අබේවික්‍රම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දොස්තර දියනාත් සමරසිංහ, ප්‍රභාත් මානවසිංහ, පාල පීරිස්, රන්ජන් ඉන්ද්‍රානි, ප්‍රෑන්ක් පුෂ්පනායගම්, බන්දුල පීරිස්, සුනිල් ගෝවින්නගේ, දොස්තර හේ.සු.කු. විමලරත්න හා හැරල්ඩ් පීරිස් කට්ටියම සහාය දුන් බව මිසක් කතුවරුන් ගැන වෙනම සඳහනක් පොතේ තිබුණේ නැහැ.

ඔන්න එහෙනම් කැපයි, තීන්දුයි, නිවාරණයි. 
විජහනියෙන්ම ‘අසිරිමත්වූ දේකි’ පෝස්ටු කිහිපයක් ‘අකුරු මැකී නෑ’ කැටගරිය යටතේ ලියවෙයි. එතකල් හිටපු පීල්ලටම යන්නම්කො.

කොහොමින් වුණත්, 1966දී මං හිටියේ (අපේ තාත්තගේ යෙදුමකින් කියනවා නම්) නැට්ටට කිරි උනන වයසේ. 
(ඒ කාලේ කොල්ලන්ගේ යෙදුමකින් කියනවා නම්) උදේට නැඟිටිනකොට සරමෙන් කූඩාරමක් ගැහිලා තියෙන වයසේ. ඉතින්…
වැඩියත්ම මට ‘නෝටිස්’ වුණේ කොල්ලාගේ බෙදුණු නිකටයි!
හරියටම දවසක්: වෙලාවක් නිච්චි නැතත් හිටි ගමන් මට පන්තියෙදී වෙනසක් දැනෙන්නට පටන් ගත්තේය. කවුරුන්ම හරි ඔබේ දිහාවම බලා ඉන්නවා නම් ඒක ඔබටත් දැනෙන්නට ගනියි.

හයවෙනි ඉන්ද්‍රියයක් තියෙනවා කියන්නේ. අන්න ඒකද මන්දා, අමුත්තක් දැනෙයි. ඉතින් තියෙන්නේ ටිකක් සෝදිසියෙන් ඉන්නා එක විතරය. හොරා හිරේය. අතටම අහු වෙයි. මෙතැනදීත් වුණේ ඒකය! 

පියසිරි නිතරෝම නේත්තරා පූජාවක ඉන්නා බව මට වැටහුණේය. මම සෝදිසියෙන් ඉන්නට වීමි.

ඒ එක්කම පියසිරි ගැන ගොඩාක්…. ගොඩාරියක් දේවල් මගේ ඔළුකට්ට ඇතුළට කාන්දු වෙන්නටත් පටන් ගෙනය. ඒවා එකතු වුණේ ටිකෙන්-ටිකය. කුමාරතුංග මුනිදාස මහත්තයා කිව්වා වගේ ‘බිඳෙන් බිඳෙන් ජලේ – සෙමෙන් පිරෙයි කළේ’ය.

මටම පුදුමය. මෙපමණ දවසක් මට මේවා පෙනුණේ නැති හැටි! 
ඔහු අපේ පන්තියේ හිටි ආරෝහ-පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු කොල්ලාය. 
තීක්ෂණ ඇස් දෙකක් හිමියෙකි. 
ඉගෙන ගැනිල්ලට නම් හපනෙක් නොවේ. ඒත් බාහිර ක්‍රියාකාරකම්වලදී ඉදිරියෙන්ම ඉන්නෙකි.

කොච්චරද කියතොත් ඉස්කෝලේ කැඩෙටින් කණ්ඩායමේත් නායකයෙකි. මට ඔය සේරම පෙනුණේ; දැනුණේ; තේරුණේ අන්තිමටය. ඉස්සෙල්ලාම මට නෝටිස් වුණේ පියසිරිගේ දෙකට බෙදුණු නිකටය!
ඊළඟට පියසිරි කළේ පුහුණු අභිරූපණ ශිල්පියෙකු වගේ එක කම්මුලක් පුම්බා- යළි එය හකුළා කට කුඹුස්සන…
එතකොටත් මං එහෙමය. 
සමහර පුංචි; තුට්ටු දෙකක් නොවටින දේවල්ය ගණන් ගන්නේ.

කොල්ලා පන්තියක් දෙකක් පේල් වෙලාවත්ද? අප අතරේ හිටි සද්දන්තයා වෙන්නට ඇත්තේ ඒකය. ඒ හින්දාම පියසිරි කොයි වෙලාවෙත් සූදානමින් හිටියේ කා එක්ක හරි රණ්ඩුවක් ඇදගන්නට සැරසීගෙනය.

ඉතින් මිනිහා මගේ දිහා බලන් ඉන්නා බව මට තේරුණාම මාත් කළේ හොර අල්ලන්නට හැදූ එකය. ඒකෙන් වුණේ වෙනත් දෙයකි. 
නිතර අපේ නෙත් යුග ගැටීමය. මුලදී එහෙම වෙලාවට පැකිළෙමින් බිම බලාගත් පියසිරි ටිකෙන්-ටික එඩිතර වුණේය. 

ඊළඟට අභිරූපණයෙන් මොකක්දෝ කිව්වේය.

ඒක නම් මට තේරුණේ නැත. මේකය. බලන්නකෝ ඔයාලටවත් ගනිච්චියක් වෙනවද කියලා.

ඔහු එක කම්මුලක් පුම්බයි. හරියට වතුර උගුරක් කටේ පුරවාගෙන වගේය. ඊළඟට කට කුඹුස්සයි. 
ඒ එක්කම ඇස් දෙකත් විපරීත කරලා යාන්තමට ඔළුව හොලවයි. 
ඒක නම් හරියට ‘හා’ද කියලා අහනවා වගේය. මට තේරුණේ  ඔය අන්තිම අභිනය විතරය.
ඇයි කොල්ලා කාටත් හොරෙන් වගේ රඟන්නේ?
ඒත් එකක් නම් හොඳටම; සහතිකවම මට වැටහුණු බවත් නොකියාම බැරිය. මේ අහන්නේ; කියන්නට දත කන්නේ මොකාක්ම හරි හොරයකි. නැත්තං ඇයි කොල්ලා ඔය ටික කාටත් හොරෙන් රඟන්නේ?

එහෙම වෙලාවට මට නම් දැනෙන්නේ සතුටකි. 
ඔයාලටත් එහෙමද? 

ලෝකේ ඉන්න හැමෝම වුණත් අපට විශේෂයක් කරනවා නම් අප කැමැතිය. අපව අගයනවා නම් අප කැමැතිය. fb එකේ, මුහුණු පොතේ සරන්නට අප මේ තරම් කැමැති තමුන්ගේම ego එක පුම්බාගන්නට; තමන්වම up කරගන්නට එහිදී ඉඩ ලැබෙන නිසාලු. එහෙම කියන්නේ සමාජ විද්‍යාඥයන්ය. 
ඇත්තමද කියලා හිතන එක නම් රසික ඔයාලටම බාරය.

ඒකට අප එකඟ වුණත්-නැතත් එකක් නම් අපට පිළිගන්නට වෙයි. අපි වැඩි-වැඩියෙන් හුදෙකලා වෙමින් ඉන්නෙමු. අපේම හිරගෙවල් තනාගනිමින් ඒවායේ සිරගත වෙමින් ඉන්නෙමු! තාක්ෂණික හිරගෙවල් වුණත් වෙන්නේ හිරගත වීමම නම්……
අපේ ගෙදර දෙපැත්තේ ගෙවල් හතරක පුංචි පැංචන් පස් දෙනෙකු……..
සැර උණයකින් හෙම්බත්වී හිටින නිසා, අද උදේ මට ටිකක් වැඩියෙන් නින්ද ගිහින්ය. 

“නිමල් සීයේ…. නිමල් සීයේ…” දිදුල මන්තුජ පුතණ්ඩියා දොරට ගහලා මාව කීද්දුවේය. ඒ ඉස්කෝලේ යන්නට කලින් මට වැඳලා යන්නටය. දිදුල පුතාට ආසිරි පතලා, කොපි ජෝගුවත් හදාගෙන, පුරුදු විදිහටම මම පාරට දෙනෙත් යවමින් හිටියෙමි.
පාරය කිව්වාට එය වෙන කොහාටවත් යාවෙන එකක් නොවේ. Dead End එකකින් යුතුය. ගෙවල් දහයක් විතරය පාරේ තියෙන්නෙත්. 

අපේ ගෙදර දෙපැත්තේ ගෙවල් හතරක කුඩා දූ-පුතුන් පස්දෙනෙක් දැන් පාසල් යති. පස්දෙනා යන්නේ පාසල් දෙකකටය. 
හැබැයි එක-එක ගෙදරින් එක වැඩිහිටියෙකු බැගින් හතර දෙනෙක්, වෙන-වෙනම දවසට දෙපාරක් බැගින් ඉස්කෝලේ යති!

අනේ…. ඒ දවස්වල අප පාසල් යද්දී අතරමඟින් කීදෙනෙකු එකතු වෙනවාද? 
අන්තිම හරියේ පෙරහරක් වගෙය. එකෙකුට ලෙඩක් හැදී පාසල් නොගියොත් ඉස්කෝලේ ඇරිලා එන ගමනේදී අර පෙරහැර එයාගේ ගෙදරටත් ගොඩ වැදෙනවාමය!!
නන්දා මලවිසූරිය අක්කාගෙන් ලැබුණු රත්තරන් වටිනා …………..
එහෙම සහපිරිවරෙන් යද්දී ‘නන්දා මලවිසූරිය’අක්කාගෙන් මට ලැබුණු ‘රත්තරන් වටිනා ජග වාසියක්’ ගැනත් මා කලින් කියා ඇත.
මනුස්සකම ඈත්වී ගිහින් තියෙන්නට මේ අද්‍යතන පුරුදුත් උදව් වෙනවාය කියා මට හිතෙයි.  
ඉතින්…හයේ පන්තියට ආයෙම. 

ඉස්සෙල්ලාම මං කළේ පියසිරිගේ ‘බහුබූත හැසිරීම’ පන්තියේ තව කාගේවත් ඇහැට වැටිලා තියේද කියා සෙවිල්ලක් දැමීමය. 
ම්හු! පියසිරි මට වැඩිය ඇම්ඩන් කෙනෙකි. 
ඊළඟට මාත් පරෙස්සම් වීමය කළේ. එහෙම පරිස්සම් වෙන්නට වුණේ දවස් කීපයක් විතරය.

පියසිරිම මා එක්ක කතාවට ආවේය. නිතරමත් නොවේ. අහම්බෙන් වගේය. මොනවා ඇහුවාද කියලා නම් මතක් වෙන්නේ නැත. එකක් නම් හොඳටම මතකය.

“හතරේ පන්තියට නේද මෙහාට ආවේ. එන්.එම්. පෙරේරා ටීචර්ගේ පන්තියට… මාව මතක නැද්ද? මාත් ඒකෙනෙ හිටියේ… තුනේ පන්තියට යනකං බදුල්ලේ ඉස්කෝලේකට නේද ගියේ?”
“හ්ම්…”
අපේ පන්තිය භාර ටීචර්ගේ මහත්තයා; විමලසිරි පෙරේරා මහතා සරසවිය පත්තරේ………
(විද්‍යාකර විද්‍යාලයට මා ඇතුළු වුණේ හතරේ පන්තියටය. එහි මගේ පන්ති භාර ගුරුතුමිය වුණේ එන්.එම්. පෙරේරා ටීචර්ය. ඇය ප්‍රවීණ පුවත්පත් කලාවේදී විමලසිරි පෙරේරා මැතිඳුන්ගේ ප්‍රියම්බිකාවය.)

එන්.එම්. පෙරේරා ටීචර් එයාගේ මහත්තයා ලේක්හවුසියේ පත්තරකාරයෙක්ය; සරසවිය පත්තරයේ දෙවෙනි කතුවරයාය; බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා කිවිඳුන් තමාගේ මාමණ්ඩියය වගේ කිසිම දෙයක් ඉස්කෝලේදී කිව්වේ නැත. 
ඉතින් අපට ඒවා දැනගන්නට විදිහක් තිබුණේත් නැතිය.

ඒ වුණත් පෙරේරා ගුරුතුමියට ප්‍රණාමය වේවා. එතකොට අපට සිංහල විෂය ඉගැන්වූයේ ඇයයි.

පොඩ්ඩක් හෝව්! මගේ පාමුල් පෙට්ටියේ විමලසිරි පෙරේරා මහත්තයා ගැන ලියැවුණු ලිපියක් තිබෙයි. එයින් කෑල්ලක් මෙතැනට ඔබන්නේ ටීචර් වගේම මහත්තයත් ගෝලයන්ට විෂය බාහිර දේවලුත් එඩිතරව ඉගැන්වූ හැටි එයින් කියවෙන බැවිනි. ලිපියේ රචකයා චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. 
“….. සරසවිය පුවත්පතේ ඇසුර නිසා අපට ලැබුණ දේ බොහෝය. මා පත්තර කලාව උගත්තේ සරසවිය මාධ්‍ය පාසලෙනි. වරක් මම  කොළඹ යුගයේ කවි ගැන සිරි ගුණසිංහගේ මතවාද සරසවිය පත්‍රයට සකස් කළෙමි. ඒ ලිපියේ විමලරත්න කුමාරගම හැර කොළඹ යුගයේ ප්‍රකට කවීන් සියල්ලන්ම ගුණසිංහගේ නිර්දය විවේචනයට ලක් කර තිබිණි. පිටුවේ ආකෘතිය කිය වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ මා අමතා ලොක්කාගේ තාත්තාගේ නමත් තියනවා නේද?” විමසා සිනාසිණි.
කර්තෘලාට ඕනේ විදිහට පත්තර කළාට කමක් නැහැ……….. එයාලට කැමති දේවල් විතරක්…..
අපේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා ප්‍රකට කවියෙකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ වැඩිමහල් පුතාය. ලක්ෂ්මන් කළේ විහිළුවකි. ඒ විහිළුව මා තුළ මොකක්දෝ දෙගිඩියාවක් ඇති කිරීමට සමත් විය.

මම හෙමිහිට වැඩ අංශයට ගොස් පිටුව සැකසූ බාස් හමු වී මගේ ලිපියෙන් ජී. එච්. පෙරේරාගේ නම සහිත ඊයම් කොටස ගලවා ඉවත් කළෙමි. ඉන්පසුව මට යම් පහසුවක් දැනිණ. පසුවදා මුද්‍රණය වූ පුවත්පත පෙරළා බලමින් සිටි විමලසිරි පෙරේරා මා කැඳවීය.

කවුද අපේ තාත්තාගේ නම පත්‍රයෙන් කපලා දැම්මේ.” මට දෙලෝ රත් විය. දිය හැකි උත්තරයක් තිබුණේ නැත. තමා හමුවේ සිටගෙන සිටි මට වාඩිවෙන්න කියා විමලසිරි පෙරේරා අතින් සන් කළේය.

චන්ද්‍රසිරි තමුසෙලා තවම පොඩි ළමයි. කර්තෘලට ඕනෑ විදියට පත්තර කළාට කමක් නැහැ. කර්තෘලා කැමති දේවල් විතරක් ලියන්න පුරුදු වෙන්න එපා. අපේ තාත්තා කවියෙක් කියලා පේරාදෙණියේ කට්ටිය කියන බව කවුරුත් දන්නවා.
එදා වගේම අදත් රජවරුන්ට ආවඩා වාසි ගන්නට…………
ඒ වාගේම තාත්තා කොළඹ කවියෙක් කියලා ලංකාවම දන්නවා. ඒ නිසා තීරණයක් ගන්න පාඨකයාට භාරදීලා හොර ඇරලා ලියන්න පුරුදු වෙන්න.” 
අදත් අත දිගහැර යමක් බය නැතිව ලියන අභ්‍යාසය මා ලබා ගත්තේ සරසවිය නිසා බව ගෞරවයෙන් සිහිපත් කරමි. අපේ කාලයේ වැඩිහිටි පත්‍ර කලාවේදීන් අප හසුරුවන ලද්දේ එසේය….

එදාය. අද?

පියසිරි මගේ ඇස්වලට එබීගෙනය.

“නිමල්ට ඒ ඉස්කෝලේ යාළුවො මතක් වෙන්නෙ නැත්ද?”
“එච්චර මතක් වෙන්නෑ… ගංගානන්දව නං මතක් වෙනවා!”

“එයාද හොඳම යාළුවා?”

මං බදුල්ලේ ධර්මදූත මහ විදුහලට ගිය විස්තරත්, ගංගානන්දගේ නමත් පියසිරි තදින්ම හිතේ ධාරණය කරගෙන හිටි බව හෙළි වුණේ මාස දෙක-තුනකට පස්සෙය. ඔහු හිටියේ නම් ඒවා කණකටවත් නොගත් විදිහටය.
ඔහොම යද්දී හිටි ගමන් අමුතු වැඩකුත්……………
හිටි ගමන් කෙරෙන කතාබහෙන් ඔහොම යද්දී අමුතු වැඩකුත් වුණේය.

දවසක් පියසිරි ‘රොඩ්ඩකුත්’ දැම්මේය. 
ඒකත් මට දැනුණේ මහමෙරක් වගෙය; තවමත් එහෙමය. එහෙම වෙන්නේ මේ මීහරකාට ‘ඇස් ගහන්නට’ බැරි නිසාය. 
බැරිය කිව්වේ… එක නිමේෂයකින්, වෙනින් කාටවත් නොපෙනෙන්නට ඇහැක් වහලා ඉඟියක් කරනවා කියන එකටය. 

මං වහන්සේ ඒ කර්තව්‍යය කරන්නට යද්දී ඇහැ විතරක් නොවේ, මුහුණේ පදාසයක්ම ඇදවී, නැටවෙයි.

ඉතින්, සහසුද්දෙන්ම- ඇත්තම කියනවා නම් ඒ ඇස් ගැහිල්ලේ කවදාවත් අත්නොවිඳි අමුතු චමත්කාරයක් තිබුණා වගේය, මට දැනුණේ. ඒවා සේරම මටම විතරනේ. එහෙම විශේෂ කෙනෙකු වීම කොයිතරම් දෙයක්ද?

(‘දෙයක්’ය කිව්වේ එදා වහරෙන්ය. අද වචනවලින් කියනවා නම් ‘මාර ගති’ය; හරි සොමි’ය; ‘පට්ට ආතල්’ය.)

ඒ අතරේ වාර විභාගයත් ආවේය……

%d bloggers like this: