Menu Close

දැනට බිහිවු භයානකම වෛරසය කොරෝනද?

වසංගතයක් පිළිබද දන්නා නොදන්නා කාරණා, වසංගතයක් වී ඇත.

වසන් විය යුතු උන් වසන් නොවුණා දෝ, වසන් කලයුතු උන් මුදා හැරියා දෝ, කියා පසු කලෙක වසන් නොවෙන සත්‍යය පශ්චාත්-වසංගතයක් වී මිනිසුන් ඉදිරියේ දිග හැරෙනු ඇත.

ඒ කෙසේමුත්, විසිඑක්වන සියවසේ දැවැන්ත මිනිසා ශිෂ්ටාචාරයේ සිය ආදිකල්පික පුංචි පසමිතුරා ඉදිරිපිට තව නොදරුවෙකු බව ඔබට හැගී ගොස් ඇතුවා නිසැකය.

ඒ හැගුම ලෝකයට අළුත් නැත. මන්ද අද මෙන් එදා ද පාරම් බෑ උන් විය. ජගතාය, හපනාය, අපි එනම් මිනිසාය සිතූ පුංචි මානව ගැටව් විය. උන්ට ස්භාවධර්මයා පාඩම් උගන්වා මෙල්ල කර, උන් තවත් එක් විශේෂයක් බැව් ඉගැන්වූ යුග විය. ඒවා උන්ට ඉක්මණින් අමතක වූ බැවින් තව තවත් එවන් යුග උදා විය. යුග යුග ගෙවුණද මිනිසාට මතක අමතක පුරුදු මතක නැත. ඉතිං මේ ගෙවෙන්නේ එවන් මතක් කරදීමේ සංක්‍රාන්තියක් ද?

අපි එසේ නොවේවා යැයි සිතමු! (හිතවත එසේ සිතීමට පවා, අපි ඉතා කුඩා වැඩි වෙමු.)කෙස්මුත් ඒ සිතා ඉතිහාසයට හැරෙමු.

හොංකොං උණ

මරණ සංඛ්‍යාව – මිලියන 01 යි.
රෝගකාරකය – ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H3N2 මාදිලිය
බලපෑමට ලක් වූ කලාපය – ආසියාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය
කාල ප්‍රාන්තරය – 1968-1969

විසිවැනි සියවසෙහි අතොරක් නොවූ ඉන්ෆ්ලුවන්සා වසංගත අතොරින් තුන්වන මහා වසංගතයයි. 1968 වසරෙහි ජූලි මස මුල දී චීනයෙන් පළමු රෝගියා වාර්තා විය. ඉන්පසු සති දෙකක් ඇතුළත හොංකොං ප්‍රධානකොට ගනිමින් රෝගීන් ලක්ෂ 5ක් වාර්තා වූ අතර ජූලි මස අවසාන වනවිට අග්නිදිග ආසියාවේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෛරසය පැතිර ගොස් තිබිණි. ඒ සමගම ඒ වන විට වියට්නාමයෙහි සිට මව්‍ රට බලා පිටත් වෙමින් සිටි සොල්දාදුවා පිට නැග වෛරසය ඇමෙරිකාවට පැනගති. ඉන් ඇතැම් සංචාරකයින් හරහා එංගලන්තය ඇතුළු බටහිර යුරෝපය ආක්‍රමණය කළ තුන්වන ඉන්ෆ්ලුවන්සා අධිරාජ්‍ය ඒ සමගම ජපානයත්, ඔස්ට්‍රේලියාවත් යටත් කරගති.

1957 හි හටගත් ආසියාතික උණ ලෙස හැදින්වූ දෙවන මහා ඉන්ෆ්ලුවන්සාවෙහි හේතුකාරකයා වූ H2N2 වෛරස් මාදිලියෙහි H ප්‍රතිදේහික විකරණයකින් H3 මාදිලිය හටගෙන තිබූ අතර එහෙයින්ම 1957 හි දිවි රැකගත් බොහොමයක් මෙහිදී ද දිවි රැකගත් හ. වසරක් ඇතුළත, අවම වශයෙන් ලෝ පුරා ජීවිත මිලියනයකට වගකියූ මෙම වෛරසය තවමත් අප අතර සරමින් ඉදහිට සෘතු විපර්‍යාසික හෙම්බිරිස්සා උණක් ලෙස ඔබ ආතුර කොට ඇත. දැනට දළ වශයෙන් මේ හේතුකොටගෙන වසරකට රෝගීන් 12,000 ත් 60,000ත් අතර ප්‍රමාණයක් මිය යන අතර පසුගිය සති දෙක තුළ පමණක් H3N2 ආසාදිත රෝගීන් 11,005 දෙනෙකු රටවල් 104 කින් වාර්තා විය.(WHO)

තුන්වන කොළරා මහා වසංගතය

මරණ සංඛ්‍යාව – මිලියන 01යි.
රෝග කාරකය – විබ්‍රියෝ කොලෙරා බැක්ටීරියාව
බලපෑමට ලක් වූ කළාපය – ඉන්දියාව ප්‍රමුඛ ආසියාව, යුරෝපය, උතුරු ඇමෙරිකාව, අප්‍රිකාව
කාල ප්‍රාන්තරය – 1852 – 1860

ජල මාර්ග ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යන කොළරා වසංගතය ලොවපුරා කිහිපවරක් අති මහා වසංගත ඇති කළ අතර ඉන් තුන්වන මහා වසංගතය 1852 වසරේදී ඉන්දියාවෙන් ඇරඹී ඒ ඔස්සේ අධිරාජ්‍යවාදී යටත්විජිත සියල්ලටම වාගේ පැතිර ගොස් වසර අටක් ඇතුළත මිලියනයකට මරු කැදවීමට සමත් විය. වසංග රෝග අධ්‍යනයෙහි පියා ලෙස සැළකෙන වෛද්‍ය ජෝන් ස්නෝ විසින් කොළරා බැක්ටීරියාව ජලය හරහා පැතිර යන බැව් සොයා ගැනීමත් සමග වසංගතය මැඩලීමට වහා පියවර ගැණිනි.

වර්තමානය වනවිට දළ වශයෙන් ලෝ පුරා කොළරා රෝගීන් මිලියන 4ක් පමණ වාර්තා වන අතර මනා ප්‍රතිවිජලනය හා ඉක්මන් ප්‍රතිකාර මගින් 80% කගේ පමන ජීවිත සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කරගත හැකිව ඇති අතර ඒ තිබියදී පවා වසරක්ට රෝගීන් 20,000 ත් 140,000ත් අතර ප්‍රමාණයක් ඉන් මරු වැළද ගනිති.

රුසියානු උණ
මරණ සංඛ්‍යාව – මිලියන 01යි.
රෝග කාරකය – ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H3N8 මාදිලිය (හෝ H2N2 මාදිලිය)
බලපෑමට ලක් වූ කලාපය – උතුරු අර්ධ ගෝලය
කාල ප්‍රාන්තරය – 1889 -1990

රේල්ලුව යුරෝපය වසා පැතිර තිබිණි. සුවිසල් යුරෝපා රටවල් 19ක් පුරා ඉදිව තිබූ දුම්රිය මාර්ගයන් හී මුළු දිග කිලෝ මීටර් 202, 887 කි. දුම්රියකින් යුරෝපයෙහි ඕනෑම ඉසව්වකට දින හයක් ඇතුළත යා ගත හැකිවන ලෙස පොදු ප්‍රවාහනය දියුණුව තිබිණි. හිතවතුනි ඉතිං, ඒ ඔස්සේ පළමුවම පියනැගූ හිතවතෙකි, ඉන්ෆ්ලුවන්සාව.

පළමු රෝගියා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ගයෙන් වාර්තා විය. ඒ 1889 හි දෙසැම්බරයේ ය. ජනවාරී 12 වනවිට යුරෝපය අඩපණ කොට වෛරසය ඇමෙරිකාවට පය තබා තිබිණි. සති පහකින් සමස්ථ උතුරු අර්ධ ගෝලයම සිය අණසකට ගත් නවමු ඉන්ෆ්ලුවන්සා A H3N8 මාදිලිය වසරක් පුරා හිතුමනාපයෙන් පල්ලම් ගසා අවම වශයෙන් මිනිස් ජීවිත මිලියනයකට සමු දී, නිහඩ විය.

වර්තමානය වනවිට සුනඛයින් සහ අශ්වයින් අතර වසංගතයක් වී ඇති මෙම වෛරස් මාදිලිය මිනිසාට වැළදුනු මෑත කාලීන දත්ත නොමැති තරම් වන අතර මෙය බොහෝ විට පශු වෛද්‍යවරුන් අතර canine flu ලෙස හැදින්වෙයි.

හයවන කොළරා මහා වසංගතය

මරණ සංඛ්‍යාව – මිලියන 1.5 යි.
රෝග කාරකය – විබ්‍රියෝ කොලෙරා බැක්ටීරියාව
බලපෑමට ලක් වූ කළාපය – ඉන්දියාව,මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, රුසියාව ඇතළු නැගෙනහිර යුරෝපය
කාල ප්‍රාන්තරය – 1899 – 1923

දහනව වන ශතවර්ෂයෙහි අගභාගයේදී ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයෙන් ඇරඹ අට ලක්ෂයක් ඉන්දියානුවන් මරා දමා මැදපෙරදිගටත්, ඉන් උතුරු අප්‍රිකාවට හා නැගෙනහිර යුරෝපයටත් පැනගති. 1900 වනවිට පිලිපීනයෙහි දිනෙන් දින උග්‍ර වෙමින් පැතිර යමින් වසර දෙකක් ඇතුළත එහි අග්‍රාමාත්‍යවරයා ඇතුළු ලක්ෂ දෙකක් හා 1900 සහ 1923 අතරතුර රුසියාවේ තැනින් තැන පන්ලක්ශයකට මරු කැදවීමට සමත් වූ හයවන කොළරා මහා වසංගතය හත්වන සහ අවසාන මහා වසංගතය 1961 හි දී ඇති වීමට ඉඩ ඉතිරිකොට තබා 1923 හි දී නිහඩ විය.

ආසියාතික උණ

මරණ සංඛ්‍යාව – මිලියන 02 යි.
රෝග කාරකය – ඉන්ෆ්ලුවන්සා A වෛරසයෙහි H2N2 මාදිලිය
බලපෑමට ලක් වූ කළාපය – චීනය, සිංගප්පූරුව, හොංකොං ඇතුළු අග්න්දිග ආසියාව, ඇමෙරිකාව
කාල ප්‍රාන්තරය – 1957 – 1958

වල් තාරාවන්ගෙන් බොහෝවිට ආසාදනය වන්නට ඇතැයි සැළකෙන ආසියාතික උණ වසංගතය 1956 දී චීනයේ ගුයෑං ප්‍රදේශයෙන් පළමුව හටගති. ඉන්පසු සිංගප්පූරුවටත්, ඒ හරහා ඇමෙරිකාවටත් පසුව අග්නි දිග ආසියාවටත් පැතිර ගති. 1957 වසරෙහි අග භාගයෙහි නිපදවුනු ඉන්ෆ්ලුවන්සා එන්නතක් මගින් රෝගය පාලනය කරගන්නා විට ඉන් මිනිස් ජීවිත මිලියන දෙකක් තුරන් වී තිබිණි.

වසූරිය – ජපන් පර්ච්ජේදය

මරණ සංඛ්‍යාව – මිලියන 2 – 3.5 යි (ජපන් ජනගහනයෙන් 35%-60%)
රෝග කාරකය – වැරියෝලා මේජර්
බලපෑමට ලක් වූ කළාපය – ජපානය
කාල ප්‍රාන්තරය – 735-737

වසූරිය පිළිබද දීර්ඝ ලිපියක් ලිවිය යුතුය. මහාමාරියේ කළු මරණය මෙන් මෙහිද ඉතිහාසය පිටුවෙන් පිටුව පෙරළා, පූර්ණ විග්‍රහයක් සිදුකළ යුතුය. එතෙක්, මේ ලිපිය සම්පූර්ණ කරනු වස් වසූරියේ ඒ ඒ වසංගතමය පරිච්ඡේද පිළිබද පමණක් සැකවින් ලියා තබමි.

වර්ෂ 735 හි අගෝස්තුවෙහි කොරියානු අර්ධද්වීපයෙහි සිට ක්යූසූ දූපත් උතුරු කළාපය වෙත පැමිණි ධීවරයෙකු විසින් ජපානයට නුපුරුදු වසූරිය රැගෙනවිත් තිබිණි. වර්ෂ 736 වනවිට දූපත මිනිස් වාසයෙන් තොරව යන තරමට වසූරිය එක එකා බැගින් ගිලගෙන තිබිණි. එම වසරේම කොරියානු කළාපයෙහි දූත මෙහෙවරක් සදහා අගනුවරෙහි සිට පැමිණි ජපන් දූත පිරිසක් ක්යූසූ වෙත ළගා විය. උන් එකෙකු හෝ කොරියාවට යාම සදහා ජීවිතය රැකගන්නට සමත් වූයේ නැත. ආසාදනය වී සිටියදී අගනුවරට යළි පළා ආ නිළධාරීන් දෙදෙනෙක් මුළුමහත් නැගෙනහිර ජපානයටම හා කන්සායී හී නාරා වෙත වසූරිය කැන්දා ආහ. ඉන් උන් බොහොමයක් අප්‍රකට වේදනාබර මරණයකට ගොදුරු වී ජන්මාන්තර ගතවිය. 737 හි දි වසංගතය අවසන් වනවිට ජපානයේ උක්ත වටපිටාවල සැතපුම් සියක් සිය දුර අශාවකට කන වැකෙන්නට මිනිස් හඩක් ඉතිරිව තිබුනේ නැත.

මේ ලැයිස්තුව පුරා ඔබ වරින් වර වසූරිය දකිනු ඇත. එහි ප්‍රචන්ඩ අමානුෂිකත්වය දැක ඔබ බොහොමයක් භීතියෙන් ඇළලී යනු නියතය. නමුදු ඒ සියල්ලට පෙර ඔබ, වසූරිය වර්ෂ 1977 හි දී මෙලොවින් සම්පූර්ණයෙන්ම තුරන් කොට අතු ගා දැමූ බැව් දැනගත යුතුය. දැන් ඔබට බිය නැත. ඒ තරම් බිය නැත.

කොකොලිස්ට්ලි

මරණ සංඛ්‍යාව – 1545 සිට 1548 දක්වා මිලියන 15 යි,1576 හිදී මිලියන 2.5 යි.(ncbi)
රෝග කාරකය – නොදනී! (සැල්මොනෙල්ලා එන්ටෙරිකා විය හැක.)
බලපෑමට ලක් වූ කළාපය – ඇස්ටෙක්, මිස්ටෙක් අධිරාජ්‍ය ඇතුළු වත්මන් මෙක්සිකෝ භූමි භාගය.
කාල ප්‍රාන්තරය – 1545-1548/1576

පළමුව නගර වැසියා කහ ගැහිණි. ඒ සමගම හටගත් උග්‍ර උණකි. කහවන්ව තැඹිලි පැහැයට හැරුනු උන්ගේ නහයෙන් ඇසින් රුධිරය ගලා එන්නට විය. ඉන්පසු දිව තද පැහැව අදුරු කබොලක් බවට පත්වන විට දෙකණ පිටුපසින් කුඩා ගැටිත්තක් මතුවිය. ඇතැම් ගැටිත්තක් විශාලව මුහුණ හා ගෙල වසා පැතිරගති. තද කළුව මුත්‍රා පිටවූවෝ ඉක්මණින් මරු වැළද ගත් හ. ඇතැමෙක් මායාරූපී විකාර ඇස් විවර නින්දක දැකගත් හ. තවෙකෙකු වේදනාකාරී වලිප්පුවක ගෙවී ගිය හෝරා ගණනක් අහවර සදහටම නිශ්චල විය. සියල්ලටම ගතවූයේ දින පහක් පමණි. ඇස්ටෙක්වරු ඊට කොකෝලිට්ස්ලි කියා කීහ. ඒ උන් අදහසින් මහා වසංගතය යන්නයි.

වසූරියෙන් දුර්වලව අඩපණව(ලැයිස්තුවේ ඉදිරියේදී වෙනම විස්තර කෙරේ), අභ්‍යන්තර ගෝත්‍රික සටන් හා අසමගිය ඇතුළු බොහෝ දෑ හේතුකොට විභූතිමත් ඇස්ටෙක්වරු සිය ශිෂ්ටාචාරීය චාරිකාවේ අවසන් ඉසිඹුව ඉන් සනිටුහන් කරගෙන තිබිණි. දැන් උන් යුරෝපීය කුලවතා ගේ දාසයෙකි. අවියේ බලයෙන්, නාදුන්න ආගමක් හිස් මත පටවා, බිම කණින පැල වවන ඒ නෙළන වහල් ගොවිකම අත රන්දා උන් මුඩුක්කු බිම් තීරුවල සිර කෙරුණි. ඒ මතම යුරෝපයෙන් ආනයනය කෙරුණු කුකුළන්, ඌරන්, බැටළුවන් ගාල් කෙරුණි. උනුන් නොදන්නා, ඇසින් නොදකිනා ජීවී පරම්පරා සියක් දහසක් උනුන් හමු වී දොඩමළුව තම ශක්ති ප්‍රමාණ උරගා බැලීමට මග බලා ඉන්නට ඇත.

කොකෝලිට්ස්ලි යනු සැබවින් කුමක් විය හැකි ද?

පසුකාලිනව යුකන්දාවෙහි ටෙපොස්කොලූලා පෙදෙසින් සොයාගත් ඇස්ටෙක් ගෝත්‍රික අස්ථි සහ ඉතිරිව හමුවූ දන්ත සැකිලි ඇතුළු මානව අවශේෂ විසිහතරක් මත පැවත් වූ ජානමය පරීක්ෂණ රැසකින් පසු බොහෝ විට සැල්මොනෙල්ලා කුලයේ සැල්මොනෙල්ලා එන්ටෙරිකා වර්ගයේ බැක්ටිරියාවකින් ඇතිකල, ටයිෆොයිඩ් හා සම, ආන්ත්‍රික උණක් ඊට හෙතුවන්නට ඇති බව තීරණය කෙරිණි. ඒ අනුව ඉන් ආසාදනය වූ ඕනෑම අහරක්, ජල බිදිත්තක් නව්‍ය ලෝකයේ පුරාණ ඇස්ටෙක් වැසියාට ලියවුණු නිශ්චිත මරණ වරෙන්තුවක් විය.

වර්ෂ 1200 හි මිය යන්න ඇතැයි සැකකෙරුනි නෝර්වීජියානු ජාතික කාන්තාවකයේ සිරුරෙහි තිබී ශිෂ්ඨාචාරයක් වැනසූ සැල්මොනෙල්ලා එන්ටෙරිකා ට සර්වසම DNA අනුක්‍රමයක සාක්ෂ්‍ය පසුකලෙක සොයා ගැණිනි. එසේ නම් මෙක්සිකෝ බිම් මත මහා ජන සංහාරය සිදුවීමට සියවස් තුනකට ප්‍රථමව, අත්ලාන්තික සාගරයට මෙපිටින් වූ යුරෝපයට ආන්ත්‍රික උණ හුරුපුරුදු වී තිබෙන්නට ඇත. එවන් එකමෙක බැක්ටීරියා බිදිත්තක් එක් ආසාදිත සොල්දාදුවෙකු හරහා නවමු පාංශු සාගරයක් මත උන්ට රිසි මරණීය රමණයට ඉඩහැර දමන්නට පුංචි අවකාශයක් ප්‍රමාණවත් වන්නට ඇත!

%d bloggers like this: