Menu Close

කොස්ලන්ද තානායමේ මීටින් මිනිට් එක

මේ ලිපියට පසුබිමක් සකස් කෙරෙන සටහනක්  මම පහුගිය සතියේ ලීවෙමි.

මා සිටියේ කොස්ලන්ද තානායමේ ඉතිහාසය හා අනාගතය ගැන විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.  ලෝ පතල ව්‍යවසායකෙකු  වූ තෝමස් ලිප්ටන් හා සුප්‍රසිද්ද ලේඛක ලෙනාඩ් වුල්ෆ්  සමග මා තානායමේ සුවපහසු අසුනකට  වී බලා සිටියේ මගී ප්‍රවාහන සේවයේ පුරෝගාමිකයකු වූ  සර් ලියෝ  ප්‍රනාන්දු එනතුරුය. මේ තිදෙනාම කොස්ලන්ද තානායමේ ඉතිහාස කතාව ලියද්දී වැදගත්වන පුද්ගලයන්ය.  රැස්වීමට මත්තෙන්  පොඩි නින්දකට වැටී සිටි  මා සේවකයෙකෙකුගේ හඬින් අවදි වද්දී මා මුලින් සිටි පරිසරය සහමුලින්ම වෙනස් වී තිබිණි.

ලන්දෙන් වැසී ජන ශුන්‍ය වූ ඉඩමක තිබු  ගල් පුවරුවක් මත අප සිව් දෙනෙක් වාඩි වී සිටියෙමු. දියළුම ඇල්ල සිලි සිලි ගා ඇද හැලෙන හඬ තරමක් ඈතින් ඇසේ. ඒ හැර හාත්පස නිශ්ශබ්දය . මම දින සටහන් පොතේ අලුත් පීටුවක් පෙරලා  ගතිමි. ඉන්පසු අනෙක් තිදෙනා දෙස හිසෝසවා බැලීමි. අරුමයකි එහි සිටින්නේ මුලින් සිටි තිදෙනා නොව  මා හොඳින් හඳුනන මිතුරන් තිදෙනෙකි. එකෙක් 88 -89 කාලයේ මා සමග සරසවියෙම උගත් පාලිතය, දෙවැන්නා මට කොස්ලන්ද ගැන බොහෝ දේ කියා දුන් මිතුරා උදේෂ්ය   . තුන්වැන්නා කොස්ලන්ද පමණක් නොව ශ්‍රී ලංකාවේ වනාන්තර හා ජන ජීවිතය ගැන හසල දැනුමක් ඇති පරිසර වේදියෙකි . හේ සමාජ විද්වතෙක්ද වෙයි.

රැස්වීම පටන් ගන්නට මත්තෙන් මම කැෂුවල් පර්ශනය්ක් ඇසුවෙමි . ” මගේ ගිය පාර බ්ලොග් පෝස්ට් එකෙන් පස්සේ ගොඩක් දෙනෙක්  මගෙන් අහනවා කොස්ලන්ද තානායම ගැන . එහෙ ගිහින් නිවාඩුවක් ගත කරන්න ආසයි කියලත් සමහරු කියල තිබ්බා. මටත් එතෙන්ට ගිහින් බිස්නස් කාඩ් එකක් අරන් යන්න පුළුවන් වෙයි නේද ?” අනිත් තිදෙනා කිසිවක් නොකියා උණුනුන් දෙස බලා ගත්හ  .

මීටීම  ඇරඹිණි. ඉස්සෙල්ලාම  මම කතා  කලෙමි. “1960 දශකයේදී අපේ තාත්තා කොස්ලන්දේ ඉස්කෝලේ උගන්නලා තියෙනවා. ඒ පාසැලේ වග විස්තරත් පළාතේ සාර  සොබාව ගැනත් තාත්තා නිතර කියෝන නිසා මේ පලාතට එන්න මට ලොකු වුවමනාවක්  ඇති වුනා . වරින්වර කොස්ලන්ද හරහා බස් එකේ ගියා වුනාට කොස්ලන්ද නගරයේ බැහැලා ඇවිදින්න ලැබුනේ අනිල්ගේ  මල ගෙදර ආපු වෙලාවේ. ඒ වෙලාවේ මට හොඳටම වුවමනා වුනා මේ පුංචි කඩ මණ්ඩිය ගැන  විස්තරයක් ලියන්න ඕනි කියල”.

ඊළඟට කතා කලේ උදේෂ් . “ඔව් අපේ අයියා අනිල් මම අපි හැමෝම හැදුනේ වැඩුනේ කොස්ලන්දේ. ඉස්කෝලේ ගියේ කොස්ලන්දේ . අපේ තාත්තා , අම්මා  දකුණේ ඉඳන් මෙහෙට ඇවිත් පදිංචි වුනා. අපේ තාත්තගේ  ගම අහංගම  අම්මා මාතර . ඉතින් අපි හැමෝම ගමේ ගියේ  නොම්මර 12 බස් එකේ තමයි. අපේ ගේ ලඟින් බස්සෙකට නැග්ගම  ආච්චිලා ගේ ලඟින් බහින්න පුළුවන් ඒ කාලේ. ඒ බස් එක නැති වුනාට පස්සේ මේ නගරේ ටිකක් ආපස්සට ගියා. අපේ තාත්තා  වගේ දකුණේ ඉඳන් ඇවිත් බිස්නස් පටන් ගත්ත අය තමයි මේ පැත්තේ වැඩිපුර ඉන්නේ” .

ඊළඟට අප සමග සිටි පරිසර වේදියාගේ අවස්ථාවය.
“1850 ඉඳන් 1890 කාලේ තමයි හම්බන්තොට වැල්ලවාය, කොස්ලන්ද හරහා හපුතලේ පාර හදල තියෙන්නේ. ඒ වකවානුවේම තමයි කොස්ලන්දෙන් පුනාගල හරහා බණ්ඩාරවෙලට යන පාර හැදිලා තියෙන්නෙත්.”

ඔහු කතාව මදකට නතර කරද්දී  පාලිත මෙසේ  කීවේය.
” ඒ පාරවල් ඉස්සර  ඉඳන් තිබ්බ ඒවා. තවලන්වලින් බඩු පටවාගෙන ගිහින්  තියෙන්නේ. ඉස්සර බලන්ගොඩ විකිලියෙන් කොස්ලන්දේ මාවෙලගමින් ගන්න වී කොස්ලන්ද හරහා බණ්ඩාරවෙලට ගෙනිහින් තියෙන්නේ ඔය කොස්ලන්ද පුනාගල පාරෙන්  කියල අපේ තාත්තා කීවා. දැන් හාල්අටුතැන්න කියන්නේ විකිලිය පැත්තෙන්  ගෙනාපු හාල් තාවකාලිකව ගබඩා කරලා තිබ්බ ගමක්ලු”.

ඉන්න මම කතා කරනකං. පරිසරවේදී මිතුරා දිගටම කතා කළේය.
“මෙහෙමයි හම්බන්තොට  ඉඳන් හපුතලේට කරත්ත වල ලුණු අද්දා කියල මම අහල තියෙනවා. ඒවා හපුතලෙන් කෝච්චියේ පටවලා තමයි කොළඹ ඇරලා තියෙන්නේ .

“හපුතලෙට කෝච්චි දාලා තියෙන්නේ 1890 ගනන්වලනේ . මම කිව්වේ ඊට කලින් කතාවක් ” පාලිත  කීව්වේය.

“හරි හරි .  එහෙම හරි කොහොම හරි හම්බන්තොට ඉඳන් හපුතලේ ආපු කරත්ත වල උඩරටට බඩු භාණ්ඩ ගෙනාවා. මේ කරත්ත සාමාන්‍යයෙන් දවසකට යන්නේ හැතැම්ම එකොළහක් විතර . එහෙම දුරක් ගියාම හම්බවෙන දිය කඩිත්තක් ළඟ රෑට වාඩිලා ගෙන ඉඳලා තමයි පහුවදා ගමන පටන් ගන්නේ. ඔය වගේ කරත්ත නැවතිච්ච තැන්වල තමයි මුල්ම කාලේ පොඩි පොඩි කඩවත්  හැදුනේ . කොස්ලන්දත් එහෙම එකක්. හැබැයි විශේෂත්වයක් තියෙනවා. කොස්ලන්ද තේ වතු යායවල් වලට සම්බන්ධ වෙච්ච නිසා ඒවායේ පාලකයන්ට සේවා සපයන්න දියුණු පිටිසර නගරයක් වුන. මුල්ම කාලේ ඉඳන් හොඳ තානායමක්, ඉස්පිටිතාලයක්, තැපැල් කන්තෝරුවක් , ඉස්කෝලයක් එහෙම හැදුනා . පොඩි මිනිස්සුනුට විතරක් නෙවෙයි ඉහළ පැලැන්තියේ වතු පාලකයන්ට , ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයන්ටත් කොස්ලන්දේ  නගරයත් තානායමත් වැදගත් වුනේ ඒ නිසයි”. 

ඔහු කුඩා කල සිය පියාත් සමග  කොස්ලන්ද ප්‍රසිද්ද වැඩ දෙපාර්ත මේන්තු හෙවත් පී ඩබ්ලිව් ඩී කන්තෝරුවට  යන්නට  පුරුදු වී තිබුනේය . ඒ එහි සිටි ඉංජිනේරුවා  ඔහුට ලොකු ලොග් පොතක් දිග ඇරගෙන කතන්දර කියා දෙන නිසාය. වැල්ලවායේ සිට කොස්ලන්ද පොලිසියට අසරුවකු පිට නැගී ආ පොලිස් නිලධාරියෙකු වල් අලියෙකුගේ පහරදීම නිසා මිය ගිය බවට වූ ලොග් සටහනක්ද මෙහි තිබුන බව  අපේ පරිසරවේදී මිතුරාට මතකය. ඔහු කියන්නේ රස්සාව කරමින් සිටියදී මියගිය පළමුවන පොලිස් නිලධාරියා 1864 දී සරදිල්යල් අතින් මියගිය සභාන් නොව  මේ කියන වල්  අලි පහලින් මැරුම්   කෑ නිලධාරියා බවය. කොස්ලන්ද පී ඩබ්ලිව් ඩී එකේ තිබු ලොග් පොත අයිතිහාසික ලේඛනයකි. කොස්ලන්ද හරහා ආ ගිය  රාජ්‍ය නායකයන් පවා මේ ලොග් පොතේ සටහනක් තබා යන්නට පුරුදු වී තිබු බව ඔහු කීවේය.

කොස්ලන්ද තැපැල් කන්තොරුවද පළාතේ පැරණිම තැපැල් කන්තෝරුවක් වූ බව උදේෂ්  කීවේය  . එය එතැන් සිට තිස්සමහාරාම දක්වා සියලුම තැපැල් කටයුතු මෙහෙයවා තිබුනේ එමගිනි. කොස්ලන්ද රෝහලද ඉතා දිගු ඉතිහාසයක් ඇති රෝහලකි. එය දැන් අවුරුදු සීයක් පමණ පැරණිය . මුල් කාලයේ පවා එහි ශල්‍යාගාරයක් තිබී ඇති බවද ඔහු  කීවේය.

පාලිත සිහිපත් කලේ 1988 ඔක්තෝබර් මාසයේදී   සරසවි සිසුවෙක් ඇතුළු තරුණයන් තිදෙනෙක් අති   අමානුෂික ලෙස මරා දමා තිබුනේද කොස්ලන්ද ආසන්න වතුයායකදී බවයි.

” ඉතින් ඒ පැත්තේ භීෂනේ මදිවට මේ පැත්තෙන් මෝඩ භීෂණයක් ආවා ” පරිසරවේදියා කීවේය .

“හැබැයි ඒ හැම දේම කලේ මේ පැත්ත පළාතේ මිනිස්සු නෙවෙයි” පාලිත කීවේය .

 ඊළඟට යෝජනා වුනේ කොස්ලන්ද පී ඩබ්ලිව් ඩී එකට ගොස් අර අයිතිහාසික ලේඛනය හෙවත් ලොග් පොත බලමු කියලාය .

පරිසරවේදී මිතුරා කීවේ ඒ පොත පමණක් නොව පී ඩබ්ලිව් ඩී ගොඩනැගිල්ල පවා අසූ නවයේදී  ගිනිගත් බවය. .

“ඒ විතරක් නෙවෙයි තැපැල් කන්තෝරුවටත් ගිනි තිබ්බා . ඒක 2008 ආපහු හදා ගන්නකම් පවත්වාගෙන ගියේ තාවකාලික ගොඩනැගිල්ලක . උදේශ් ලා   ගමේ ගිය නොම්මර 12 බස් එකත් ගිනි තියන්න හැදුවා  . ඒ බස් එක ආයේ කවදාවත් මේ පාරෙන් ගියේ නෑ”

බොහෝ විශ්මයපත් හා ශෝකයට පත් දෑසින් මා අවට බලද්දී ඔහු මෙසේද කීවේය.

ඔහෙට ඕනි කිව්වා නේද කොස්ලන්ද තානායමේ බිස්නස් කාඩ් එකක් . ?  මම ඔව් කීමි

අපි මේ ඉන්නේ අර තරම් ඉතිහාසයක් තිබ්බ කොස්ලන්ද තානායම 1851 ඉඳන් 1989 වෙනකම් තිබ්බ තැන තමයි.

මම හාත්පස  බැලීමි . විශාල ඉඩක තැන තැන විසිරී  ගිය කළු ගල් හා ගඩොල් , දැවී ගිය දොර උළුවහු හා ඒවා අතරින් තැන තැන විසිරුණු පිඟන් මැටි කැබලි මගේ නෙත ගැටිණි.

විශේෂ ස්තුතිය මේ ලිපියට අවශ්‍ය තොරතුරු රැසක් ලබා දුන් නම හෙළි කිරීමට අකමැති පරිසරවෙදියාට  හා කොස්ලන්දේ  අලුත් ෆොටෝ ටිකක් මට එවූ විජේසුන්දර මිතුරාට 

%d bloggers like this: