Menu Close

කාගේදෝ පී එච් ඩි එක සහ දවල් තාරකා විද්‍යාඥයා

රාජපක්ෂ මහතාගේ පර්යේෂණ ලිපිය 

මතකනේ ඒ දවස් වල තිබ්බ අහවල් සම්මාන උළෙල. (ඒකට කිව්වේ නෙළුම් යාය උළෙල කියල) කතා අක්රන්නත් බයයි එච්චරට ප්‍රතිචාර එනවා බුකියේ. ඉතින් ඒකට අකමැති උන්නැහේලා ටිකක් මට එරෙහිව කරන ලද  බජට් ඉල්ලූ  විවේචන අස්සේ  තව අපහාස කිරීමේ නමකුත් දාල තිබ්බ, විශේෂයෙන්ම එක්තරා බ්ලොග් අඩවියක යන ප්‍රහාර තුල. ඒ බ්ලොග් අඩවිය දැන් නැහැ. බැදුම් කරේට හෙම සෑහෙන විරුද්ධව ලිව්වා එකක.  හැබැයි මම ඒ දවස් වලම ලිව්වා බැදුම් කර වගේ ගේම්  හැමෝම කලා (ඊට කලින් ආණ්ඩුවේ ඉඳන්ම). යහපාලන මෑන්ස් ලා මහා පරිමාණයෙන් කරන්න ගියා . කරලා අහුවුනා. උන්ට එහෙම එකක්වත් හරියට කර ගන්න තේරෙන්නේ නැහැ කියල.

 ඔය බැදුම්කර  සීන් එක මේ කොටස් වෙළඳපල ක්‍රමයේම එක අංගයක්. නිත්‍යානුකුල එකෙයි හොර වැඩෙයි අතර නූලක වෙනසක් තියෙන්නේ. ඔය පිරමීඩ ගහල සල්ලි හොයනවා නේද. ඒවත්  ඔය ධනවාදී සමාජයේ ම තියෙන කෙළිම තමයි. යාලුවන්ව පවා නොදැනුවත්ව අහු වෙනවා. මාත් තවත් යාළුවෙක් නිසා  යන්තන් අහුවෙන්න ගිහින් බේරුණා, කලින් කියවල  දැනගෙන හිටි නිසා ඔයවගේ ගේම් ගැන.
එංගලන්තයේ වගේ ධනවාදී සමාජයක ඔය හැම දේම කරන්න නිදහස තියනවා, නමුත් අහුවුනොත් හිරේ දානවා . අන්න  ඒකයි මේ ධනවාදී රටවල හොඳේ.

ඒ කෙසේ වෙතත් , මට අපහාස කිරීමේ චේතනාවෙන් “එයාල” දාපු  නම තමා දවල්  තාරකා විද්‍යාඥයා කියන එක. මොකක් හරි එහෙකට බ්ලොග් ලියූ පීඑච්ඩි ලාභී මහත්මයට මම කියූ දෙයකට තරහ ගිහින් දාපු නම කියල තමා ආරංචිය ආවේ. ඒක වුනේ හැබැයි මම මේ මම ගත්තේ  උපාධියක්  ගැන කියන්න ගිහින්.

අවුරුදු අටකට කලින් මම අභ්‍යවකාශ තාරකා විද්‍යාව (astrophysics) ගැන පශ්චාත් උපාධියක් කලා. MSc එකක්. ඒක කළේ ලන්ඩන් වල ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ.  පට්ට අමාරුයි. ඉතින්  ඒ නිසාම මුලින්ම “විශ්වය වැඩ කරන්නේ කෙසේද ” (“How the universe works”)  කියන විවෘත විශ්ව විද්‍යාලයේ  (ලන්ඩන්) පාඨමාලාව හැදෑරුවා 2009 දී . ඒක හොඳට පාස් වුනහම ඊට පස්සේ විවෘත විශ්ව විද්‍යාලයේම තව පාඨමාලාවක් තිබුන S 382 අභ්‍යවකාශ තාරකා විද්‍යාව කියල. ඒකෙ අන්තර්ගත වෙලා තිබුන ඉන්ටරෙස්ටින්ග් කොටසක්  තමා   “සූර්යයන් ගේ විකාශනය සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා  “Stellar evolution and Nucleo-synthesis ” කියන කෝස් එක. ඒකත් කරල පාස් වුනා 2010 දී . ඉන්පස්සේ තමා ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ MSc එක කරන්න ගියේ. තනිකරම තිබ්බ ෆිසික්ස් පිස්සුවට හෙවත් තාරකා විද්‍යාව හදාරන්න තිබ්බ ඕන කමට තමා ඇතුළු වුනේ.  සෝවියට් දේශයේ විදුලි ඉංජිනේරු පාඨමාලාව ඉවර කලේ  1991 නිසා ගණිත විෂය අමතක ඇති  ඇති කියල හිතල ආපහු අන්තර්ජාලයෙන් බාගත්තු ගණන් කෝස්  දෙකකුත් රිවිෂන් කරා.

 හැබැයි පාට් ටයිම් ඉගෙන ගන්නවා  කියන්නේ පට්ට අමාරු දෙයක්. ඒත් ඉතින් කොහොම හරි  ඉවර කළා. සබ්ජෙක්ට් එකට ආසයිනේ. උපාධි නිබන්ධනයට  මෙරිට් එකක් හම්බ වුනා. මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ පොඩි ලිපි වගයක් තියනවා ඒ ගැන.

ඒ උපාධිය නිසා රාජකීය තාරකා  විද්‍යාඥ සංගමයේ සාමාජිකත්වය ලැබුණා. නමේ අගට අවශ්‍ය නම් FRAS (Fellow of Royal Astronomical Society ) කියල දාගන්නත්  පුළුවන් ඕනේ නම්.
හැබයි ඕව කියනවට ලංකාවේ යාලුවෝ, බ්ලොග් කාරයෝ කැමති නැහැ. උන්ට ඕක පේන්නේ නයා වගේ. අපට තියෙන්නේ පට්ට මහන්සි වෙලා ෆුල් ටයිම් රස්සාවකුත්  කරගෙන ඒ වගේ කෝස් එකක් ගොඩ දා ගැනීමේ සතුට. ඒක උන්ට තෙරෙනේ එකක්යැ නේද?  ඔය   දවල් තාරකා විද්‍යාඥයා නම් පට බැඳුණේ ඔන්න ඕකට.

ඉතින් දැන් මේ ටික ලිව්වේ ආචාර්ය  චන්දන රෝහිත රාජපක්ෂ කියා මහත්මයකුට ආචාර්ය උපාධියක් ලැබීම පිළිබඳව බුකියේ ඇති කලබලය දැකලා.  ඒ මහත්මයට ලැබිල තියෙන්නේ ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක්. ප්‍රදානය කර  තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. කොළඹ විශ්ව විද්‍යාලය නේද?

කොළඹ විශ්ව විද්‍යාලය ගැන මම මිට කලින් ලියූ ලිපියක එක්තරා මහාචාර්යවරයෙක් ගැන සඳහන් කළා . මට ඒ ලිපිය හොයා ගන්න බැරි නිසා නැවත පොඩ්ඩක්  ලියන්නම්. එතුමා දාස රජයට ඉතා දැඩි ලෙස පක්ෂපාතිව ඉඳල ඉන් පස්සේ ඉතාම ලෙහෙසියෙන් රාජ පක්ෂ රජයට හොරණෑව වයපු කෙනෙක්. මට හමුවුනේ ලන්ඩනයේ එක්තරා හෝටලයක වැඩ කළ කාලේ. මම පිලි ගැනීමේ නිලධාරී/මැනේජර් වගේ හිටියේ. බුද්ධි කියල සෝවියට් දේශයේ හිටි යාළුවෙකුත් එතනම  වැඩ කළා. ඕකට ඇවිත් නතර වෙලා  හිටිය විශ්ව විද්‍යාලයෙන් සබැටිකල් අරගෙන  ආපු මෙතුමා. දන්නවනේ ඔය කට්ටිය රිසර්ච් එක්ක දාගෙන අවුරුද්දක නිවාඩු අරගෙන ලන්ඩන් එන්නේ වැඩ කරලා කීයක් හරි හොයාන යන්න කියල. ඒකෙ අවුලක් නැහැ. ගියහම ලංකාණ්ඩු වෙන් ගෙවන පඩියත් ලැබෙන නිසා. වැටුප් ම දෙකක්. එකක් පවුම් වලින්. හෝටලයක වැඩ කරලා.

එතුමා වැඩ කරන ගමන් කොළඹ විශ්ව විද්‍යාලේ එතුමාගෙන් ඉගෙන ගන්න ගැහැණු ළමයින්ට ලකුණු දෙන හැටි ගැන මනා විස්තරයක් කළා. විශ්වාස කරන්න බැරි තරම්. නමුත් පසුව දැනගත් සිද්ධියක් නිසා ඒ කීව  ටික ඇත්ත බව දැන  ගත්ත. හැබැයි  මේ කතාවට අදාළ එක වෙන දෙයක්.

මම ලන්ඩන් ආවේත් වැඩ කරලා හොඳ වටින කොම්පියුටරයක් අරන් යන්න . සෝවියට් දේශය වැටුනට පස්සේ හැම කෙනෙක්ම ගෙවන්න ඕනේ නේ ඉගෙන ගන්න රුසියානු සමුහාණ්ඩුවේ නීතියට අනුව. දෙන ශිෂ්‍යත්ව සීමිතයි. ජල විදුලි හා පුනර්ජනනීය බල ශක්තිය පිලිබඳ පි එච් ඩි එකක් කරන්න මට විශ්ව විද්‍යාලේ අදාල දෙපාර්තමේන්තුව අවස්ථාවක් දුන්න. මුදල් වෙනුවට එයාල කීවේ එයාලගේ අවශ්‍යතාවයට  අනුව කොම්පියුටරයක් ගෙනත් දෙන්න කියල. ඒ දවස් වල (1991) ඒවා හුඟක් ගණන් නිසා තමයි එහෙම කිව්වේ. ඒ පිළිබඳව අත්සන් කරපු ගිවිසුම තවම මගේ ළඟ තිබෙනවා. මට වෙන ප්‍රශ්නයක් ඇවිත් යන්න බැරි වුනා. කොම්පියුටරයක් වසර තුනේ ගෙවීම වෙනුවට  දෙපාර්තමේන්තුවට දීල වෙන කෙනෙක් ඒ පී එච් ඩි එක කරල තිබුන කියල පස්සේ දැන ගත්ත.

ඉතින් ඔය කතාව අපේ අර මහාචාර්ය තුමා දැනන් හිටිය.
එය කියනව මට “අජිත් ඉතින් මම ඔයාට පී එච් ඩි එකක් අරන් දෙන්නම් කොළඹ විශ්ව විද්‍යාලයෙන් “
මට ඉතින් පුදුමයි . “ඩොක්ටර්  කලා විෂයන් ගෙන්”.
“ඒකෙ අවුලක් නැහැ. කවුද හොයන්නේ ඩොක්ටර් සෝ ඇන්ඩ් සෝ කීවම මොනවටද ඕක අරන් තියෙන්නේ කියල.” එතුමා කියපි.

“ඉතින් කොහොමද ගන්නේ.”
“අය්යෝ මම දන්නා  ජර්නල් දෙක තුනකට ලියන්න ලිපි ටිකක් දෙන්නම්, ඒවා පල කර ගන්න ඕනේ. මම ඒක කරල  දෙන්නම්. ඔය අපේ ගැහැණු ළමයි කරන නිබන්ධන තියනවනේ. දෙක තුනකින් කොටස් ටිකක් අරගෙන ඩිසර්ටේෂන්  එකක්   හදල දෙන්නම් හොඳ මාතෘකාවක් එක්ක. ඔයාට කලාව සම්බන්ධ දැනුමක් තියනවා කියල මට පේනවනේ.”
“ඒ වුනාට මම මුකුත් ලියල නැහැනේ. ඕනනම් ඔය කවියක් දෙකක් කරලා තියනවා. පොඩි සඟරාවක් කළා. ඒවා කලාව නෙමේනේ.”
“ඕකනේ කියන්නේ පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැ  කියල . ඔයාට ඕනේ නම් කියන්න වැඩේ කරල දෙන්නම්. පොඩි වියදමක් යයි. ලන්ඩන් වලනේ ඉන්නේ වැඩි අමාරුවක් නැහැ නේ.”

  දැන් මේ මනුස්සය ඕක ඇත්තට කීවද බොරුවට කීවද කියන්න මම අදටත් දන්නේ නැහැ. ඊට පස්සේ මට එයාව හම්බ වුනෙත් නැහැ.

හැබැයි කොළඹ විශ්ව විද්‍යාලයේ  ඉගෙන ගෙන කථිකාචාර්ය වෙලා පස්සේ ජපානයේ පීඑච්ඩි දෙකක් කරපු මගේ යාළුවෙක් ඉන්නවා. හොඳ දැනුමක් තියෙන ලංකාවේ උසස් රැකියාවන් කරලා දැන් ඕස්ට්‍රේලියාවේ ජිවත්ව ඉන්න කෙනෙක්. ඕ ලෙවල් ගණිත පේපර් එකට එන ගණනක් උදේ පාන්දර බස් හෝල්ට් එකට ඇවිල්ල කියල දුන්නේ ඒ ආදරණිය යාලුව තමයි.  මම ඒ දවස් වල විහිළුවට කියන්නෙත්  ප්‍රොෆෙසර් කියල.

තව යාළුවෙක් හිටිය මගේ පන්තියේම. කොළඹ වීවි ඉවර කරල ගුරු වෘත්තිය ටද  කොහෙද ගිහින් පස්සේ සිවිල් සේවය කරන්න ඇති. දැන් අමාත්‍යංශයක  ලේකම් වරයෙක්. ඉතින් ඒ විශ්ව විද්‍යාලය ගැන විවේචනයක් නැහැ. ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නවා  කියන එකයි මගේ මතය.

ලිපියෙන් 

ආචාර්ය රෝහිත රාජපක්ෂ මහත්මයා සහ ආචාර්ය ජේ කේ විජේරත්න මහත්මය පල කරලා තිබෙන ලිපිය මම කියෙව්වා. ඉම්පීරියල් කොලේජ් එකේ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර දාල තිබ්බ යොමුවකින්  අන්තර්ජාලයෙන් ලිපිය බාගන්න පුළුවන්.  තාක්ෂණ සහ විද්‍යාව  පිලිබඳ ඉන්දියන් සඟරාවේ  (Indian  journal of Science and Technology)  පල කරලා තියෙන පර්යේෂණාත්මක  ලිපිය (research paper ), නමින්  “අභ්‍යවකාශ  අපද්‍රව්‍ය ඉවත්කිරීම  සඳහා ක්‍රමෝපායයන් සහ ඉඩ ප්‍රස්ථාවන්  Space debris removal strategies and their feasibility  ” මම කියෙව්වා. ඇත්තටම ඒක හොඳයි. ඒකෙ තිබෙන ගණිතමය සමීකරණ එවැනි ලිපියක තිබෙන පරිදි හොඳින් ඉදිරිපත් කරලා තියනවා. වඩාත් පැහැදිලිව හැම පිටුවක්ම කියෙව්වේ නැහැ. වඩා සුව පහසු වෙලාවක නැවත බලන්න හිතන් ඉන්නවා.
අනිත් ලිපිය බාගන්න  විධිහක් නැහැ.ගෙවන්න ඕනේ. abstract එක මෙතන තිබෙනවා.

මට ප්‍රශ්න දෙකක් පැන නැගුන. එකක් තමයි ඇයි ගණිතය සම්බන්ධ ආචාර්ය උපධියක් අභ්‍යවකාශ තාරක විද්‍යාවට නේද දෙන්න ඕනේ කියල. ඊට පස්සේ දැක්කේ විශ්ව විද්‍යාලයේ අදාල දෙපාර්තමේන්තුව ගණිත අංශය කියල. පස්සේ මට මතක් වුනා. ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේත් මුලින් අභ්‍යවකාශ  විද්‍යාවන් තිබ්බේ ගණිත දෙපාර්තමේන්තුවට අනුයුක්තව කියල. පස්සේ දෙපාර්තමේන්තු දෙකක් කළා.

අනික තමයි හුඟක් රටවල් ඔය ප්‍රශ්නයට අත ගහන්නේ නැත්ත ආර්ථික වශයෙන් තවම වාසියක් නැති නිසා. තවමත් රුසියන් රොකට් තමයි ISS එකට බඩු ගෙනියන්න භාවිතා කරන්නේ. ආර්ථික පැත්ත ගැන වැඩි සඳහනක් ලිපියේ  තිබ්බේ නැහැ. ඒවා සුළු කාරනා. ත්‍රිශාන්ත  කියනවා වගේ ප්‍රශ්න තිබ්බත් මොරටු විශ්ව විද්‍යාලය පේරාදෙණිය හෙම ඉතා හොඳින් කටයුතු කරන බවයි මගේ හැඟීම.

නිසා මේ පී එච් ඩි එකට හිනා වෙන්න ඕනේ නැහැ කියන එකයි මම හිතන්නේ. ටයිමින් පොඩ්ඩක් අප්සෙට් තමයි. තාත්ත අගමැති , මාමා ජනාධිපති වුනහම මිනිසුන්ට සැක ඇතිවෙන එකත් සාධාරණයි. ඒ මහත්මයට තියෙන්නේ  තවත් හොඳින් මේ මාර්ගයේම ඉදිරියට යන්න. ඔතනින් නතර වෙන්නේ නැතිව. එතකොට ඔය කතා ඉබේම නවතීවි.

මේ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර බුකියේ ලියපු එක.:
ලංකාවෙ කෙනෙක් ලංකාවෙ ඉඳගෙන විද්‍යා ගවේෂණ කර, ඒවායේ ප්‍රතිපල අන්තර්ජාතික මට්ටමේ පල කරන්න ගන්න කුමන හෝ උත්සහයක් අපි අගය කරන්න ඕන. ඒවට කරන්න පුළුවන් උදවුවක් කරනව මිසක්, සසදන්න යන එක අපිටම කරගන්න පාඩුවක්. සමහර අංශ වලින් ලංකාව දැනටම ජ්‍යාත්‍යන්තර මට්ටමේ ඉහලින් ඉන්නෙ. රොබෝ තාක්‍ෂණය අංශයෙන් මොරටුව විශ්ව විද්‍යාලය පසුගිය වසර 10 තුල අත් කරගත් සීග්‍ර දියුණුව උදාහරණයක්. විදුලි ඉංජිනේරු අංශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් ඉතා ප්‍රසන්සනිය මට්ටමක ඉන්නව. අබ්යවකාශ තාක්ෂනය අංශයෙන් කොළඹ විශ්ව විද්‍යාලය ගන්න උත්සාහයත් අගය කරන්න ඕන. රෝහිත රාජපක්ෂ පල කරපු එක වාර්තාවක් ආසාවට කියෙවුව. අගය කල යුතු ප්‍රතිපල තියෙනව. රාජපක්‍ෂ පවුලෙ ඒ වගේ වැඩකට අත ගහන කෙනෙක් ඉන්න එකත් කොච්චර හොඳද?

රාජපක්ෂ මහතා පල කරණ ලද ලිපි දෙක :

Rajapaksa, C. R., & Wijerathna, J. K. (2014). Space Debris Removal Strategies and their Feasibility. Indian Journal of Science and Technology, 7(7), 991-1004.
Another paper:
Rajapaksa, C. R., & Wijerathna, J. K. (2017). Adaptation to space debris mitigation guidelines and space law. Astropolitics, 15(1), 65-76.


%d bloggers like this: