Menu Close

236. සුහදිනියේ – 30 | මධුලිකා අනතුරක?

 කලින් කොටසට 

විධාරණය වන්නට ආසන්න ගිනිකන්දක් තරණය කරන තිදෙනෙකු සේ අප තිදෙනා එකිනෙකාට වෙනස් දිශා වලින් බංගලාව දෙසට ගමන් කලේ සැලසුම් සහගතවය. තාත්තා පැමිණ ඇත්තේ කා සමඟ දැයි මට එකවරම සිතාගත නොහැකි විය. එබැවින් මම ඉදිරිපස මිදුල දෙසින් පිවිසුණු අතර මම මධුලිකා සුන්දර් සමඟ වතු යායේ තාවකාලික ඩිස්පැන්සරිය වෙත පිටත්කොට හැරියෙමි.

මම එනවිටදී තාත්තා සිය ජීප් රථය තුලින් බැස මිදුලේ සක්මන් කරමින් සිටි අතර මගේ උකුසු ඇස්  ඒ මේ අත දුවමින් ඔහුගේ ඔත්තු සොයන්නට විය. පෙනෙන අයුරින් ඔහු හා කිසිවකු පැමිණ නොමැති හැඩකි. මා දුටු වනම තාත්තා සක්මන නවතා මා දෙස වරක් බලා සිට පෝටිකෝවේ ඇති හාන්සි පුටුව වෙත ඇවිද ගියේය. ඉන් අදහස් කරන්නේ මම ඔහු පසුපස පැමිණිය යුතු බවකි.

මම නිවස තුලින් එන ශබ්ද වලට කන් දුන්නෙමි. කිසිවකුත් පැමිණ නැතිවාද?

“මම මේ … සුන්දර් එක්ක කෝවිල් ගියා “

තාත්තා කිසිවක් පැවසුවේ නැත. ඔහු අත තවමත් ජංගම දුරකථනය රැඳී තිබිණ. එය කුඩා කනප්පුව මත තැබූ තාත්තා සිය වම අතින් නිකට පිරිමදින්නට විය. එය එතරම් සුබ ලකුණක් නොවන බව මම දනිමි. ඒ ඔහුගේ කල්පනාකාරී ස්වභාවයයි.

තාත්තාගේ මේ හැසිරීම් සියල්ල මල්ලිත්, ඊට වඩා මමත් හොඳින් අවබෝධකොටගෙන සිටින්නේ වඩා ශරීර සෞඛ්‍යට යහපත් බැවිනි. ඔහු සිය පුටුවට ඉදිරියෙන් ඇති අනෙක් පුටුව මට දැක්වූයේය. මම චකිතයෙන් යුතුව එහි හිඳගත් අතර, හිස තුල දහසකුත් එකක් පිළිතුරු අනේක ආකාරයෙන් පටලවමින් බොරු කන්දක් ලැස්ති කරගත්තෙමි.


නමුත් තාත්තා විමසුවේ මම සිතු කිසිවක් නොවේ. ඉතාමත් සන්සුන් විලාසයෙන් කතාකල ඔහු පැවසු සියල්ල පැහැදිලිය. මම තිගැස්මක්; වෙනසක් නොපෙන්වා සිටීමට මට උපරිමයෙන් උත්සහ කලේ එක බැල්මක් හෝ හුස්මක් පවා තාත්තාගේ ඉවට හසුවේ යයි බිය නිසාමය.
මම සිත එකලාසයක් කරගන්නට යත්න දරමින් උන්නෙමි. මුවින් කිසිවක් පිට නොවුනේ කුමක් පළමුව කියන්නට දැයි සිතාගත නොහැකි නිසා නොවේ; මම කියනා කිසිවක් හෝ මේ මොහොතේ මට අවාසි සහගත වේදැයි සිතාගත නොහැකි වූ බැවිනි.

“මම උත්සහ කරලා බලන්නම්”
මම සෑහෙන තරමේ සංයමයෙන් යුතුව පැවසුවෙමි.

තාත්තා මගෙන් මෙවැනි ඉල්ලීමක් කල පළමු අවස්ථාවය. ඊටත් එහි ඇති අහුකොන් සියල්ල ප්‍රශ්න කිරීමට මට ඇත්තේ ඉතාම අල්ප අවස්තාවක් වීම ඊට වඩා අපහසුතාවයක් දනවයි. නමුත් මේ මොහොතේ මම එසේ නොකිරීම ඉදිරිය සෑහෙන භයානක ප්‍රතිඵල ලබාදෙනු ඇත.

“… ක… කවුද ඔය කියන ළමය?”

මගේ උගුරෙන් මෙන් එය ඇසුවේ මේ මොහොතේ හැරුණුවිට ඒ පැනයේ ඇති වටිනාකම අන් කවර මොහොතකවත් නොවටනා බැවිනි. තාත්තා යම් කල්පනාවකට වැටුනේය. ඔහුගේ මුහුණේ හැඟීම් කියවීම උගහටය.

 මගේ හදවත සැලෙන්නට විය. ඔහු මේ සියල්ල පසුපස සිටීනම් ; මගේ ක්‍රීඩාව ඉතාම අපහසු චෙස් ක්‍රීඩාවක් වනු ඇත. මේ මොහොතේ ; ඔහුගේ වත්ත තුල; ඔහුගේම නිවහන තුල ඔහු මේ සොයා පීරන තරුණිය සිටිනවාද?

“ඒක මම හරියටම දන්නේ නැහැ ලොකූ… “

තාත්තා මගේ පැනයට කඩාපනිනවා වෙනුවට පිළිතුරක් දීමට උත්සුක වුයේය. එය විමතියක් වුවද, මේ මොහොතේ කල්පනා කලයුත්තක් නොවේ. කෙලෙසක වුවත් ඔහුගේ මුහුණෙන් කිසිම හෝඩුවාවක් ලබා දීමට ඔහුගේ සුදානමක් නොමැති හැඩකි.

මගේ සිතට සහනයක් මෙන්ම යම් පමණකට අසහනයක්ද දැනෙන්නට විය. සහනය නම් ; මේ සොයන්නේ මධුලිකා නොවීමට යම් පමණක සම්භාවිතාවයක් ඇති බව දැනීමය.  එලෙසම දුටුවනම ඈ හඳුනා නොගන්නට ඇති ඉඩ මගේ සිත පමණක් දුරට අස්වසන රැවටිල්ලක් බඳුය. අසහනයට හේතුව අන් කවරක්වත් නොව , මධුලිකා වීමට ඇති සම්භාවිතාවය විසින් ඈ සිටිනා අනතුර තවත් තීව්‍ර වීමය.

තාත්තා මගෙන් ඉල්ලන්නේ අප නිවසේ උපකාරයක් අවැසි කෙනෙකු නතර කරගන්නට අම්මා කැමති කරවාගන්නා ලෙසයි! අම්මාගේ ප්‍රියතමයා වන මගේ එවන් ඉල්ලීම් අම්මාගේ සැලකිල්ලට ලක්වන බව තාත්තා වුවද පිළිගන්නා බවකි.

තාත්තාත් අම්මාත් මේ ගැන පෙර වතාවක් උණුසුම් වාදයක් ගිය බවත් , ඔවුන්ගේ මන්ත්‍රණය රහසේ අසා සිටි මට අම්මා විසින් එයට විරුද්ධ වූ බව දනිතත්, තාත්තාගෙන් එය ප්‍රශ්න කරන්නට නොහැකිය. ඒ සැමට වඩා ඔහු මෙවන් ඉල්ලීමක් කිසිදිනෙක කර නොමැති බැවින් එහි ප්‍රශ්න කිරීමට තරම් මට අවස්තාවක් නොවීමය. තාත්තාට ඉව වැටීම වඩාත් අනතුරුදායක බැවින් එය නිහඬව බාරගන්නට මම උත්සහ කලෙමි.

“.. මගේ දුරින් නෑයෙක් වෙන අංකල් කෙනෙක් තමයි කිව්වේ. තව දවසකින් දෙකකින් එක්කගෙන එනවා කිව්වා. මට බෑ කියන්න බැහැ; ඒ අන්කල් මට ඉස්සර උදව් කරලා තියෙනවා”

තාත්තාගේ වචන වෙනදාට වඩා තුනී ස්වභාවක් ගත්තේය. ඔහු සිටින්නේ යම් මානසික කැළඹීමක් සමග බව මට පෙනේ.

ඒ මධුලිකාගේ ප්‍රශ්නය නිසාද?
අනුලා බිසවගේ ප්‍රශ්නය නිසාද?
දුලිප් සතරසිංහගේ ගැටලුවක්ද?
ඒ කිසිවක් නොවන යමක්ද?

මධුලිකා ඩිස්පැන්සරියේ රඳවා සුන්දර් පැමිණ සිටියී සැකයක් නොසිතෙන්නටය. එහි සිටින හෙදිය සුන්දර්ගේ නෑයෙකු බව ඔහු මට කියා ඇත. එබැවින් මධුලිකා එහි ආරක්ෂා සහිත බව මට සිතින.
කතාබහෙන් අනතුරුව තාත්තා සුන්දර් සමඟ තවත් අඩහෝරාවක් පමණ වත්තේ අනෙකුත් කටයුතු ගැන සාකච්ජා කල අතර මම සිටියේ මධුලිකා ගැන කෙසේ හෝ ඉවක් වැටේදෝ යයි බියෙන් ගැහෙමිනි.

පුදුමයකට මෙන් තාත්තා තේ පානයෙන් අනතුරුව පිටත්වන්නට සුදානම් වුයේය.

එය මහත් අස්වැසිල්ලක් වුවත් ; මට ඉපදුනේ සැකයකි!

මගෙන් මෙවන් ඉල්ලීමක් කරන්නට තාත්තා මෙතරම් දුරක් ගෙවාගෙන ආවා යයි සිතිය හැකිද? ඊටත් ආ පයින්ම නැවත යාමට??

මම වහා සුන්දර්ට කතා කලේ තාත්තාගේ පිටත්වීම ගේට්ටුව අසලින් සනිටුහන් වනවාත් සමඟය.

“… සුන්දර්… ඉක්මනින් ෂෝට් කට් එකක් කියපන් මට පහලට යන්න.”

සුන්දර් එක වතාවක් මා දෙස පුදුමයෙන් බැලු අතර ඒ සමඟම මිදුලේ දකුණුපස බෑවුම කරා දුවගිය සුන්දර් මා දෙස බැලු හෙයින් මම ඔහු අසලට දුව ගියෙමි.

“ෂෝට් කට් එක බෑවුම සර්..”

“උඹ ඒ ගැන වදවෙන්න එපා.. ඉක්මන් කරපන්! මට වෙලා නෑ..!! මට ජීප් එක පහලට යන්න කලින් යන්න ඕනේ!”

මම ගුගුරා හැලුනෙමි. සුන්දර් මට බෑවුමේ එක කොනක් පෙන්වා සිටියේය.

“යං සර්… ඔතන කානුව දිගේ..”

“උඹ එන්න එපා…. නෝනාව බාලගනින්..!”

මගේ ස්වභාවය දන්නා බැවින් ඒ වචනවල තිබුණු විධානය නිසා සුන්දර් අඟලක් වත් නොසෙල්වී එතැනම රැඳුනේය.

ඒ ක්ෂණයෙන් මම තවත් නොහිතා අඩි ගානක් යටට කපනලද කාණුවේ කටෙන් ඇතුලට පැන්නෙමි. සීරීම් හෝ වෙනත් අපහසුතා කිසිවක් මට දැනුනේ නැත. මම විදුලි වේගයෙන් කානුව දිගේ තද බෑවුමේ දිව ගියෙමි. ඉනෙන් ඉහලට ඇරුණු කොටසෙන් වැහුණු තේ පඳුරු අතරින් දුව යන මට විනාඩි දෙකකින් පමණ ජීප් රථයේ එන්ජින් හඬ ඇසෙන්නට විය. මගේ සර්වාංගයම සීරි ගොස් බව මට දැනේ.

මට ඉහලින් මාර්ගයේ දිවෙන ජීප් රථය එකවරම නතර වුවා මට ඇසුනි. මම කාණුවෙන් එලියට බඩගා යන්තම් පඳුරු අසලින් එසවී බැලුවෙමි.

මම නිවැරදිය. ඒ තාත්තාගේ ජීප් රථයයි.. එසේම මම ඉඳුරාම ගල්ගැසී ගියෙමි. නතර කරනලද ජීප් රථයට ගොඩවෙමින් සිටියේ කහපාට ඇඳුමක් හැඳගත් මැදිවියේ අග භාගයේ පමණ සිටින ගැහැණියකි!

***************************************

මම කාමරයේ ඒ මේ අත සක්මන් කලේ මානසික ආතතිය නිසා වන්නට ඇත.

වාකිෂ්ඨ මහතා ඔහු ගෙනා ලිපිගොනුව තුලින් ගත් කොළ කිහිපයක් මේසය මත දිගහැරියේය. මම එයට එබුනෙමි. මගේ හැඳිනීම තියුණු නොවුවත් එහි සිටියේ මගේ පියා බව කීමට උගහට නොවේ! ඔහුගේ ඉතා තරුණ අවධියේ පින්තුර දැක තිබුණු මම ඉන් ඔහුව වහා හඳුනා ගත්තෙමි.

හෝටලයක් හෝ තානායමක් හෝ යම් ආකාරයක ක්ලබ් නිවසක් යයි කිවහැකි ස්ථානයක ඔහු සිනාසෙමින් බියර් වීදුරුවක් අතැතිව සිටියි. නමුත් ඔහු සිටියේ තනිවම නොවේ!

ඔහුගේ වම් අතෙහි එල්ලී ඉතා සුරූපී ගැහැනියක සිටි අතර, ඒ මගේ අම්මා නොවන බව මට නිසැකයෙන්ම කිව හැකිය. ඇගේ මුහුණ උල්ය. අම්මාගේ මෙන් රවුම්, පිරුණු කම්මුල් ඈ වෙත නොවුණු අතර, ඒ වෙනුවට විශාල රවුම් ඇස් සහ නෙත් පැහැරගන්නා ශරීරයකින් යුක්ත වුවාය.

මම වහා වාකිෂ්ඨ මහතා දෙස බැලුවෙමි.

“… මේක තිබ්බේ ‘සිනමා’ පත්තර කන්තෝරුවේ, සෝදුපත් බලන තැන! බලන්න අවුරුද්ද!”

මට ඒ කිසිවක් බලන්නට අවැසි නොවුනි. පරාජිත ලෙස මම වාකිෂ්ඨ මහතා දෙස බැලුවේ ඔහුගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් මෙනි. ඔහුට එය වැටහෙන්නට ඇත.

“…. මේක පත්තරේ ගියේ නැහැ.. එහෙම උනේ මයිකල් ඒ වෙනකොට මේ තරුණිය විවාහ කරගන්න හිටපු නිසාත්….”

වාකිෂ්ඨ මහතා දිගු හුස්මක් ඇල්ලුවේය.

“…. මේ පත්තරේ කලේ මිස්ටර් ජයවර්ධන නිසාත්!.. “

“……………”

“තමන්ගේ මල්ලිගේ විවාහ අපේක්ෂිත පෙම්වතිය , වෙනත් පිරිමියෙක් සමඟ සමාජ ශාලාවකදී පත්තරකාරයෙක්ගේ පින්තුරයකට හසුවෙනවා. ඒක ලොකු පුවතක්! ඒ දවස්වල හැටියට මිස්ටර් ජයවර්ධනට ඒක අවාසියි වගේම…. පුතාගේ තාත්තටත් ලොකු අපකීර්තියක්”

වාකිෂ්ඨ මහතාගේ ඉංග්‍රීසි ඉතා චතුරය; පැහැදිලිය. මගේ හදවත පහුරු ගාන්නා වැනිය.

“ඉතින් ඕක පත්තරේ ගියේ නැතිනම්…..? “

“…………..”

“ඊටත් ඕක කොහොමද මිස්ටර් වාකිෂ්ඨ ගාවට ආවේ?”

මම එකිනෙකට වෙනස ප්‍රශ්න දෙකක් ඇසුවෙමි. මගේ ව්‍යාකුලත්වය අනුව එය එසේ නොවන්නට ඉඩක් නැත.

“මේ ඔක්කොම මට මිස්ටර් ජයවර්ධන දීලා තිබ්බේ. මොකටවත් නෙවෙයි, ආරක්ෂාවට. නමුත්…. මම හිතන්නේ මේකේ කොපියක් තියෙනවා”

“ඒ කිව්වේ?”

“ඊට කලින් මම කියන්නම්කො පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ, මේක පත්තරේ ගියේ නැති උනාට මේ පින්තුරය ගැන මිස්ටර් ජයවර්ධනගේ මල්ලි ; මයිකල් දන්නවා. මගේ අනුමානය නම්.. මේකේ කොපියක් තියෙනවා මිනිහා ගාව.. “

මට යමක් වැටහෙන්නා සේ දැනුනි.

“මුන් අපේ ඩඩාව බ්ලැක් මේල් කරනවද?”

වාකිෂ්ඨ මහතා දෙවුර දෙපසට කොට, හිස ඉහල පහල සලන්නට වුයේ එය අනුමත කරමින් මෙනි.

“වෙන්න පුළුවන්”

මම වහා පළමු පින්තුරය බැලුවෙමි. ඈ සුරූපී යුවතියකි.

“මේ ඉන්නේ අනුලා අලස්ද?”

“හ්ම්ම්.. අනුලා අලස් තමයි. ඒ දවස්වල එයා..”

“ඒ දවස්වල ඒ ගෑනි නිලියක්!”

වාකිෂ්ඨ මහතා පුදුම වුයේ නැතත් යම් පමණකට සිනහවකින් මා දෙස බැලුවේය. මම දත්කුරු කන්නට වීමි.

“මේ ගෑනි එහෙනම් ඩඩාව බ්ලැක්මේල් කරලා මධුලිකාව අල්ලගන්නද හදන්නේ? %#%$^$^”

මට ශුද්ද සිංහල මතක් වීම වලක්වනු බැරිවිය.

“මේ ගෑනි මිට කලිනුත් මෙහෙ ඇවිත් තියෙ….. තියෙන්න ඉඩ තියෙනවා….. මට ෂුවර් එන්න ඇත්තේ මධුලිකාව මෙහෙ තියන්න පුලුවන්ද බලන්න වෙන්න ඇති.”

මුල වාක්‍යයේ මැද කොටසේදී මට සුන්දර් ඒ බව කිසිවකුට නොකී බව සිහියට නැගීමෙන් වෙනස් වී ගියේය. වාකිෂ්ඨ මහතාට එය නොතේරෙන්නට ඇත.

“මිස්ටර් සෙනරත් වාසලමුදලි; ඔය ළමයාගේ තාත්තා;  කියන්නේ මේ වෙනකොට බිස්නස් වලින් යමක් කමක් තියෙන කෙනෙක්නෙ. ඒ නිසා ඒක පාවිච්චි කරලා මෙහෙම කරන්න හිතන්නත් ඇති. ඒ ලේඩි මේ බූදල් නඩු යන කාලේ හිටියේ නැහැ ලංකාවේ.”

අනුලා ගැන ඇසීම මට දැනුනේ වධකාගාරයක විඳින වදයක් පරිද්දෙනි. නමුත් මම කිසිවක් නොකියා අසා සිටියෙමි.

“…. මිනිස්සු කියන හැටියට ඒ ලේඩිගේ මුදල් හැසිරවීමේ අවුල නිසා තමයි මයිකල් ජයවර්ධනලා ඔතරම්ම නට්ටන් උනේ. ලඟදි ලංකාවට ආවා කියලා තමයි මට නම් ආරංචි උනේ. ආරංචිය ආපු ගමන් මම කොහොමත් අවධානයෙන් හිටියේ. ඒ නිසා පුතා කියද්දීම මට හිතුනා මේ කියන්නේ අනුලා අලස් ගැනම තමයි කියල”

“පොඩ්ඩක් ඉන්න… ඒ කියන්නේ මුන් කවුරුත් දන්නේ නැද්ද.. මම කියන්නේ වාසුලයා දන්නේ නැද්ද මධුලිකා ඉන්නේ මගේ ගාව ; මේ බ්ලැක්මේල් කරන්නේ මගේ ඩඩාය කියල? ඒක මහ අමුතුයි වගේ දැනෙන්නේ නැද්ද?… මම කියන්නේ.. “

මම සෙමෙන් මුමුණමින් කල්පනා කලෙමි.

වාසුල විසින් මෙහෙයවනු ලැබුණු කුලී ඔත්තු බලන්නන් දෙදෙනා මම නිවසේදීම කොටුකර ගත්තෙමි. ඔවුන් ඒ ගැන වාසුලට නොකිවයුතු බව මම පැවසුවත්, මට ඒ ගැන විස්වාසයක් තැබිය නොහැකිය. ඔවුන් කීවා නම් ; වාසුල මගේ පියා වහා අනුමාන කරනු ඇත. එය නිසැකයෙන්ම මා උගුලේ තරව සිරකරනු ඇත. මගේ හදවත ගැහෙන්නට විය. මම තදබල උගුලක සිරවී ඇති සෙයකි.

එනයින් බලනකල මෙහි සෑහෙන තරමක අසාමාන්‍ය බවක් ඇත. ඔවුන්ගේම කුලී ඔත්තුකරුන්වන් විසින් ඔවුන්ගෙන් යම් තොරතුරු සඟවනවාද?

මේ සියල්ලම විසඳා ගන්නට තවත් තොරතුරු සහිතව  අයියා සමඟ සාකච්ජා කලයුතුය. එබැවින් මම ඉක්මනින් සුදානම්ව වාකිෂ්ඨ මහතා පිටත්කොට, මධුලිකා උන් තැනින් ගෙන්වා ගත්තෙමි.

සුන්දර් සමඟ පැමිණි මධුලිකාගේ මුහුණ යම් පමණකට වෙනස් වී තිබිණ. ඇගේ ‘මූඩ්’ එක පිරියම් කරනවාට වඩා මට මේ මොහොතේ පියාගේ මේ ගැටලුව මහත් මානසික වදයක් ලෙස දැනී තිබිණ.
කුමක් හෝ යමක් කියන්නට මෙන් පැමිණි ඈ මම මගහැර ගොස් ඒ ගැන වදනොවී සිටින්නට කල්පනා කලෙමි.

ඇයට නොකියා වුවද ,මධුලිකාගේ ඇඳුම් කිහිපයක් සමඟ ඈ නංවාගත් මම ජීප් රථය ප්‍රධාන පාරට පැමිණෙන තුරුම කිසිවක් කතා බහ නොකළේ හිතා මතා නොවුනත් හිත තුල නොසන්සුන් බව මා ගොළුවකු බවට පත්කොට සිටියේය. තාත්තා විසින් මගේ සිත තුල ඇතිකළ ගරුත්වය මගේ දෑස ඉදිරියේම එලෙස ගිනිබත්වයාම මේ සා කැළඹීමක් මා තුල ඇතිකිරීම අමුත්තක් නොවේ. එය තදින් සිත තුල වේදනා දෙන්නාක් මෙන් මට දැනේ.

ප්‍රධාන පාරෙන් නගරය පසට හරවන විටදීම නොසැලකිල්ලෙන් පැමිණි කබල් වෑන් රථයක් නිසා මම ඉතා තදින් තිරිංග තදකල අතර වෑන් හිමියා මට අත දිගුකොට කුමක් හෝ පැවසුවේය. මට වුයේ කුමක්දැයි මතකයක් නැත. ආවේස වුනු මගේ මුවින් නොසරුප් වදන් වැලක් පිටවූ අතර ජීප් රථය මම මහා ශබ්දයෙන් රේස් කලෙමි.

වෑන් රථ රියදුරා මට පහර දෙන්නට මෙන් බිමට බහින්නට උත්සහ කරනුත්, එයට කවුරුන් හෝ ඉඩක් නොදෙනුත් මට පෙනුනි. මගේ කෝපය තවත් ඇවිලී ගියේය.

“ඇයි ? බහින්න හදන්නේ ගහන්නද?!”

මමද වාහනය රේස් කොට නතර කලෙමි. මධුලිකා මගේ බාහුවක් තදකොට අල්වා ගත්තාය.

“තීක්ෂණ!! පිස්සුද? මෝඩයෙක් වගේ මොකද මේ?”

මම මධුලිකාගේ අත ගසා දැමුවෙමි. නමුත් බිමට බහින්නට පෙර පසුපසින් පැමිණි පොලිස් ජීප් රථය දුටු සැනින් වෑන් හිමියා වහාම රියත් සමඟ දුම් දමාගෙන පිටත්ව ගියේය.

“මොකද්ද මෙතන වෙන්නේ?”

ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියෙක් හිස එලියට දමා එතරම් ගරුසරුවක් නොමැතිව වුවද විමසුවේය.

“නෑ ඔෆිසර් මේ වෑන් එක නතරවෙලා තිබ්බා පාර මැද්දේ. අපිත් ඒක ස්ටාර්ට් වෙනකල් බලාගෙන හිටියේ. බෙන්ඩ් එකේනේ!”

මධුලිකා සිනහවක් පාමින් කීවේ සියල්ල සමථයකට පත්කරමිනි. මධුලිකාගේ ස්වරයෙන් සහ හැසිරීමෙන් එය විස්වාස කල පොලිස් නිලධාරියා මා දෙස ඇහිබැම ඔසවා බැලුවේය. ඉන් අනතුරුව කුමක් හෝ පිටුපස සිටින අයෙකුට පැවසු අතර ජීප් රථයේ පිටුපසින් මතුවූ නිලධාරියෙක් අප රථය දෙසට එනු දුටු මට තරු විසිවුණි.

“ලයිසන් එක ගන්න”

මට එකවරම මධුලිකා දෙස බැලුණි. ඇගේ දෑසේ තිබුනේ මා දවාලන බැල්මකි. එය ඒ සමඟම ප්‍රශ්නාර්ථයක් විය.

“කබි හෝල් එකේ බලන්න මගේ පර්ස් එක”

මධුලිකා වහා කබි හෝල් එක විවෘත කර බැලුවාය. පසුම්බිය එහි නොවුනි.

“..ආ….  බෑග් එකේ”

මගේ උගුර වියලී ගියාක්  මෙනි. නිලධාරියාට එකවරම සැකයක් ඇතිවූ බව මට වැටහුණි. රියදුරු බලපත්‍රය මම අමතකව පැමිණියාද කියා මගේ සිත ගිනිගත්තේය. මම පිටුපසට හැරී , බිම තබා තිබුණු මගේ සංචාරක මල්ල තුලට අත ඔබා කලබලයෙන් එය කලතන්නට වීමි.

වාසනාවට එහි තිබී මගේ පසුම්බිය හමුවිය. බලපත්‍රය පරික්ෂා කරන අතරතුර පොලිස් නිලධාරියා මධුලිකා දෙසත් මගේ දෙසත් බලනු මට හොඳින් දැනුනු අතර ,මධුලිකා දෙස වැඩිපුර අවධානයක් යොමුව තිබීම මගේ කෝපය නංවන්නක් විය.

“දහා… අටයි නේද? මේ කවුද සර් ගේ?”

ඔහුගේ දෑසේ තිබුණු කෑදරකම මා තවත් කෝප ගන්වන්නට සමත්ව තිබිණි.

“ලයිසන් එක දෙන්න ඔෆිසර්.. අපිට පරක්කු වෙනවා”

“මම අහපු එක තේරුනේ නැද්ද? මේ කවුද තමුන්ගේ?”

“මගේ ලයිසන් එකනේ ඔෆිසර්ට බලන්න ඕනේ උනේ… මේ කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ”

පොලිස් නිලධාරියා කෝප ගන්වන්නට ඒ වචන හොඳටම ප්‍රමාණවත් විය. එවිටම එතනට පැමිණියේ ඉදිරි ආසනයේ උන් නිලධාරියාය. ඔහුට පටි තිබුණු අතර විශාල උදරයක් සහිත හැඩි – දැඩි පුද්ගලයෙක් බවත් මුහුණේ කිසිදු සිනා රැල්ලක් නොමැති බවත් එකවරම මට පෙනුනි.

“මොකද සෝමසිරි?”

“සර්….”

ඔහු කුමක් හෝ උසස් නිලධාරියාට කොඳුරා පැවසුවේය. මම බිය නොවුනා කියා කීවා නම් එය මුසාවකි.

“මේ ළමයි….”

ඔහු මගෙත් මධුලිකාගේත් මුහුණු දෙස හොඳින් නිරීක්ෂණයක යෙදුනේය.

“.. කොහේ අයද ? වාහනේ නම් කොළඹ නේ…? කොළඹද?”

පිළිතුර පමාවන හැම තත්පරයක්ම අපට අවාසි වන බව මට වැටහී හමාරය.

“ඔව් ඔෆිසර්.. මේ ස්ටේට් එක අපේ  ඩඩාගේ… මම ඇවිත් මේවා බලාගන්නවා… මේ මගේ කසින් සිස්ටර්. අපි මේ ටවුන් එකට යනවා ගෙදරට බඩු ගේන්න “

හැකි තරම් සාමාන්‍ය ලෙස මම කියාගෙන ගියෙමි.

“ආ….. මේ වාසලමුදලි සර්ගේ පුතාද? ආ.. හරි හරි කියන්න එපැයි ! මේ ජීප් එක දැකල නැහැ වැඩිය… සර්ගේ තාත්තා මම දන්නවා.. සෝමසිරි ඔය ලයිසන් එකේ අවුලක් නෑනේ?”

“නෑ සර්”

“ආ එහෙනම් යන්න දෙන්න.. මේ මම දන්න සර් කෙනෙක්ගේ පුතෙක්… “

එකෙනෙහිම මගේ අතෙහි රියදුරු බලපත්‍රය ලබාදුන් පොලිස් නිලධාරියාගේ මුහුණ කෝපයෙන් කරවී තිබිණ.

ඔහුගේ ඇස්වල මධුලිකා පැටලීම මගේ කෝපය නංවාලුවද, මට ඒ මොහොතේ ඒ සඳහා කළහැකි යමක් නොවීමත්, පොලිසිය සමඟ මට ගැටුමක් අවැසි නොවීමත් නිසා ජීප් රථය පදවාගෙන මම නිහඬවම එතැනින් පිටවුනෙමි. මගේ නොමනාපය නිසා රථයේ වේගය සහ පැදවීම වඩාත් නරක විය.

“මේ… මාව මෙතන හප්පලා මරන්නේ නැතුව එක්කෝ පිළිවෙලට ඩ්‍රයිව් කරනවා.. නැතිනම් මාව ඔතනින් බිමට බස්සනවා!”

මධුලිකා අකුණක් සේ කඩා පැන්නාය.

“ඇත්තට? “

“ඇත්තට තමයි කිව්වේ.. මෝඩයෙක් වගේ ඩ්‍රයිව් කරන්නේ…”

“මම එතකොට මෝඩයා.. තමුසේ හෙන පට්ට මීටරේ නේ… කරපු තරමක් කලේ ඔලමොට්ටල වැඩ!”

“ඔලමොට්ටල? හුහ්.. එතකොට මමද මෝඩි ? ඔව්.. මම මෝඩි තමයි.. මම යනවා යන්න බැහැල මේ දැන්ම”

මම එකවරම තිරිංග තද කලෙමි.

“බහිනවා ඉතින්!?”

තත්පරයක් වත් ප්‍රමාද නොවූ මධුලිකා වහා පිටුපසට හැරී ඇඳුම් බෑගය ගෙන, සිය ඔඩොක්කුවෙහි තබාගෙන සිටි යමක්ද අතැතිව බිමට බැස්සාය. මහා ශබ්දයක් නගමින් දොරත් වැසී ගියේය. මගේ කෝපය නැංගේ උද්දච්චකම පරදමිනි.

“මෝඩි! නගිනවා වාහනේට!”

පසුපසින් වාහන සියල්ලම මහා හඬින් නලාව ශබ්ද කරද්දී මම මොරදුන්නෙමි. මධුලිකා ආපසු හැරී වේගයෙන් අඩි තබා ගොස්, ඒ අසල වූ බස්නැවතුමක හිඳගත්තාය.

පසුපසින් වාහන පෝලිමකි. ජීප් රථය ඉවත් කරගත යුතුය. එබැවින් මට බිමට බට නොහැකිය. මේ හිතුවක්කාර මනුස්ස දියණිය කරනලද තකතීරු ක්‍රියාව නිසා ඉදිරියේ ඇති ස්ථානයක වාහනය නතර කරන්නට ඉටාගත් මම ජීප් රථය ඉදිරියට ගත්තෙමි. බස් නැවතුමේ සිට ජීප් රථය සෙලවනු දුටු මධුලිකා වරක් හිස ඔසවා ඒ දෙස බලනු මට පෙනුනි. ඇගේ හිස පැළඳි පිච්ච මල් වලින් කොටසක් පමණක් ඉතිරිව තිබෙනු මට පැති කණ්නාඩියෙන් පෙනුනි.

“උද්දච්ච කෙල්ල!”

මට පමණක් ඇසුනා වුවද මම කෝපය මුදා හැරියෙමි. ජීප් රථය නතර කිරීමට ස්ථානයක් ඉව කරමින් මම ගමන් ගත්තේ දඩ බල්ලෙකු පරිද්දෙනි. වාහනය යම් පමණකට හෝ අයින් කොට නතරව තැබිය හැකි කොටසක් සොයන්නට මට මීටර් 200 පමණ යන්නට සිදුවූ අතර එයද වංගුවකින් පසුවය.

මම ඉක්මනින් වාහනයෙන් බැස මද වේගයෙන් ආපසු දුව ආයේ බස් නැවතුම පෙනෙන තෙක් මානයටයි. එයට මට ගතවන්නට ඇත්තේ විනාඩි දහයකට වඩා අඩු කාලයක් විය හැකිය. මේ උද්දච්ච මනුස්ස දියණිය කෝපය නිවී යනතුරු බස් නැවතුමේ රැඳී සිටිනු ඇති යයි මම පැතුවෙමි.

ඈතින් දුටු දේ විශ්වාස කරන්නට මට නොහැකි බැවින් මම පවනට බඳු වේගයෙන් දිව ආවෙමි.

මුළු බස් නැවතුමම හිස්ව පැවතුනි!

මධුලිකාද, ඒ සමඟම අතුරුදහන්ව ගොස් තිබිණි!!

හිස්ව ගිය බස් නැවතුමේ තිබුණු සිමෙන්ති පඩිය මත, මධුලිකා හිස මෙතෙක් පැළඳ සිටි පිච්ච මල් මාලය මා දෙස වික්ෂිප්තව බලා සිටිනු මට පෙනුණි.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: