Menu Close

නැති වූ අම්මා සොයන කුඩා දරුවා!

සියවස් ගණනක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සතුව තිබූ නිදහස නැති වී ගිය විට ජනතාව තුළ හට ගත් කම්පනය, ඉතා ව්‍යක්ත ලෙස පළ කෙරෙන කතාවක් වෙයි.

මේ කතාව ඉන්දියාවේ මුල්ක්රාජ් ආනන්ද් නම් නිර්මාණකරුවාගේ කෘතියකි.

ඒ මෙසේය.

මවක් සිය දරුවා සමග සැණකෙළි බිමකට යන්නීය. විශාල ජනකාය මැද්දේ ගමන් කරන කුඩා දරුවා, සිය මාතාවගේ අත තදින් අල්ලා ගෙන සිටී.

මෙසේ සැණකෙළි බිමේ අසිරිය බලමින් යන කුඩා දරුවා වර්ණවත් බැලුම් බෝල දකී. ‘අම්මේ මට බැලුම් බෝල ඕනෑ’ යැයි දරුවා කියන්නේය. ‘නෑ පුතා අපි යමු’ යැයි කියමින් මව දරුවා ඇද ගෙන යන්නීය.

දරුවා ඉනික්බිතිව දකින්නේ රසකැවිලි සල්පිලකි. ‘නෑ පුතා අපි යමු’ යැයි කියා මාතාව දරුවා ගෙන යන්නීය.

දරුවා වරින් වර, සෙල්ලම් බඩු, වෛවර්ණ ඇඳුම් පැලඳුම් ඉල්ලා සිටී. මව ඒ කිසිත් නොතකා දරුවා පෙරට ගෙන යන්නීය.

මෙසේ යන අතර දරුවාට සිය මාතාවගේ ග්‍රහණය අත හැරේ.

අම්මාගේ ඇඟිලි තුඩුවල ග්‍රහණය නැති වී යන දරුවා, මහ හඬින් කෑ ගසන්නට වෙයි.

දරුවා අඬන විට සැණකෙළියේ සංවිධායකයෝ ඔහු වෙත එති. ‘දරුවා, ඔබට බැලුම් බෝල ඕනෑද?’

‘නෑ මට, අම්මා ඕනෑ’

‘දරුවා, රසකැවිලි ඕනෑද?’

‘නෑ මට ඕනෑ මගේ අම්මා’

අම්මාගේ අතේ එල්ලී යන විට ඉල්ලූ කිසිම දෙයක් දැන් දරුවාට ඕනෑ නැත. දරුවාට ඕනෑ කරන්නේ අම්මාය.

නිදහස නැතිවූ විට දැනෙන සංතාපය එවැනිය. ඒ දැඩි පසුතැවිල්ල ආරම්භ වූයේ 1815 මාර්තු 2 දාය.

මුල්ක්රාජ් ආනන්ද්

(මේ කතාව අප උපුටා ගත්තේ කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ‘නිදහස – සදා ජප කළ යුතු මන්ත්‍රයක්’ යනුවෙන් ලංකාදීප පුවත්පතට ලියූ ලිපියෙනි.)

%d bloggers like this: