Menu Close

මුහුණු වැසුම් සංස්කෘතිය

සතියකට දෙකකට පෙර මගේ මිතුරියක් තරමක් දේශපාලනික ආකාරයේ ප්‍රශ්නයක් වත්පොත හරහා ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අසා තිබුණා. මම සාමාන්‍යයෙන් දේශපාලනය, ආගම වගේ දේවල් ගැන පෞද්ගලික මිතුරන්, අසල්වැසියන්, ඥාතීන් වැනි අය සමඟ කතා කරන්නේ එසේ කතා නොකරම බැරි වෙලාවල් වලදී පමණයි. පුළුවන්කමක් තිබෙන හැම වෙලාවකම පෞද්ගලික සම්බන්ධතාව පලුදු කර නොගෙන අයින් වෙලා පයින් යන එකයි කරන්නේ. මේ ප්‍රශ්නයටත් මම පිළිතුරු දෙන්න ගියේ නැහැ.

පසුව ඈ වත්පොත් පණිවුඩයකින් මා හා සම්බන්ධ වී හැකිනම් මේ ගැන ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටියා. ඇය ලංකාවේ සරසවියක ශාස්ත්‍රාලයීය රැකියාවක නිරතව සිටින කෙනෙක්. ඇතැම් විට වෘත්තීය කරුණු හා අදාළව ඈ මගේ අදහස් විමසනවා.  බොහෝ විට දුරකතනයෙන් හෝ ඊමේල් මගින්. වත්පොත හරහා පොදුවේ අසා තිබෙන ප්‍රශ්නය ගැන මා ඇයට දැනුම් දුන්නේ ඇය මගෙන් අදහස් විමසන්නේ ශාස්ත්‍රාලයීය කටයුත්තක් සඳහානම් පමණක් පිළිතුරක් දිය හැකි වුවත්, තේරුමක් නැති වත්පොත් විවාදයකට පැටලෙන්නට මගේ කැමැත්තක් නැති බවයි.

අවසානයේදී අප දුරකතනයෙන් සම්බන්ධ වුනා. සාකච්ඡාව ටික දුරක් යද්දී ඈ විසින් ලංකාවේ ඉතා සුලබ ගිරවෙකු කූඩුවෙන් එළියට ගනිමින් ධනවාදය හොඳ වුවත් එය අමානුෂික වීමේ ගැටළුව ගැන මතක් කළා. ඇගේ පෞද්ගලික මතය අනුව ධනවාදය අමානුෂික වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඇයට දිය හැකි පැහැදිලි පිළිතුරක් තිබුණේ නැහැ. ඈ ඉදිරිපත් කළේ ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි තර්ක.

ධනවාදය අමානුෂිකයි කියන එක සමාජවාදීන් විසින් ඉතා සැලසුම් සහගතව කාලයක් තිස්සේ ලංකාවේ ඔලු වලට රිංගවා තිබෙන අදහසක්. වැඩිදුර කරුණු නොසොයා අපද කාලයක් මේ කතාව විශ්වාස කළා. නමුත්, ඇත්ත තනිකරම එහි අනිත් පැත්තයි.

ආර්ථික ක්‍රමයක් ලෙස මධ්‍යගත සැලසුම් ක්‍රමය සහ නිදහස් වෙළඳපොළ ක්‍රමය දෙමගක යන්න පටන් ගන්නේ භාණ්ඩයක වටිනාකම කියන සංකල්පය අර්ථ දක්වන තැන සිටයි. දැන් රුසියාවේ සරසවි වල පවා උගන්වන මහා සම්ප්‍රදායේ ආර්ථික විද්‍යාව අනුව භාණ්ඩයකට වටිනාකමක් ලැබෙන්නේ අවසානයේදී එය පරිභෝජනය කරන පාරිභෝගිකයාට ලැබෙන උපයෝගීතාවය මතයි. භාණ්ඩයකට විවිධ පාරිභෝගිකයින් විසින් ලබා දෙන වටිනාකම් අනුව එම භාණ්ඩයට තිබෙන වෙළඳපොළ ඉල්ලුම ඇති වෙනවා.

මාක්ස්වාදය අනුව භාණ්ඩයක වටිනාකම මූලික වශයෙන්ම පදනම් වෙන්නේ එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවනු ලැබූ අමුද්‍රව්‍ය ප්‍රමාණ හා ශ්‍රමය මතයි. භාණ්ඩයක මිල මේ “නිවැරදි” මට්ටම ඉක්මවූ විට මාක්ස්වාදීන් එය නිෂ්පාදකයා හෝ වෙනත් අතරමැදියෙකු විසින් අසාධාරණ ලාබ ලැබීමක් ලෙස දකිනවා. මිල අඩු වුනොත් එය දකින්නේ නිෂ්පාදකයාගේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි.

ධනවාදී ආර්ථික විද්‍යාවේදීත් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය නොසලකා හරින්නේ නැහැ. නිදහස් වෙළඳපොළක සැපයුම තීරණය වන්නේ නිෂ්පාදන පිරිවැය මතයි. එහෙත්, නිදහස් වෙළඳපොළක භාණ්ඩයක මිල එහි නිෂ්පාදන පිරිවැයට සමාන විය යුතුම නැහැ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම මතයි. මේ සමතුලිත මිල සාමාන්‍යයෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා වැඩියි.

ධනවාදී ක්‍රමයකදී නිෂ්පාදකයෙකුගේ ලාබ ඉහළ යන්නේ පාරිභෝගිකයා විසින් කිසියම් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම ඉහළ යන තරමටයි. පාරිභෝගිකයා විසින් භාණ්ඩයකට වැඩි වටිනාකමක් දෙන්නේ එය පරිභෝජනය කිරීමෙන් ඔහු හෝ ඇය සතුටු වන තරමටයි. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී පුද්ගලයෙකු සාර්ථක වන්නේ ඔහුට හෝ ඇයට අනෙකාව සතුටු කළ හැකි තරමටයි. කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින්ගේ කැමැත්තක් නැත්නම්, එහි නිෂ්පාදන පිරිවැය කොපමණ වුවත් එවැනි භාණ්ඩයක වටිනාකමක් නැහැ.

සමාජවාදය විසින් මේ ආකාරයට අනෙකාව සතුටු කරන්න පොළඹවන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය කළ වහාම එහි වටිනාකම තීරණය වී හමාරයි. පාරිභෝගිකයා භාණ්ඩයේ වටිනාකම තක්සේරු කරන්නේ යෙදවූ අමුද්‍රව්‍ය වල වටිනාකමට හා ශ්‍රමයට වඩා අඩුවෙන් වුවත් එය මිල දී ගන්න වෙන්නේ නිශ්චිත මිලක් ගෙවීමෙන් පසුවයි. නැත්නම් එය සැලකෙන්නේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි. සමාජවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව බය කරලා කොහොම හරි මේ මිල ලබා ගන්නයි.

මේ වෙනස නිසා සමාජවාදය ක්‍රමයක් විදිහට ගත්තොත් පට්ට අමානුෂිකයි. මෙහිදී මිනිස්සුන්ම පොළොඹවන්නේ අනෙකාව කෙසේ හෝ බලය යොදා මැඩ පවත්වා අනෙකාගේ දේ බලහත්කාරයෙන් කඩා ගන්නයි. වැඩ වර්ජන, විරෝධතා ආදියේ සිට ජන ඝාතක විප්ලව දක්වා කෙරෙන්නේ ඕකනේ. නමුත්, ධනවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව හැකි තරම් සතුටු කරන්නයි. අනෙකා ගැන නොහිතන කෙනෙකුට ධනවාදී ක්‍රමයක් යටතේ සාර්ථක වෙන්න බැහැ.

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. පරිණාමයේදී ඉතිරි වෙන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. හැබැයි සියයට සියයක්ම ආත්මාර්ථකාමී මිනිස්සු නෙමෙයි. ආත්මාර්ථකාමයත් එක්ක මිනිස්සුන්ගේ ඇතුළේ ස්වභාවයෙන්ම පරාර්ථකාමයක් හා කණ්ඩායම් හැඟීමකුත් තිබෙනවා. ධනවාදය පදනම් වන්නේ මේ මිශ්‍රණය මතයි. මිනිස්සු තමන් ගැන සිතිය යුතුයි. ඒ අතරම අනෙකා ගැනත් සිතිය යුතුයි. ධනවාදය පවත්වා ගෙන යන්න මිනිස්සුන්ගේ ස්වභාවිකත්වය වෙනස් කරන්න අවශ්‍ය නැහැ.

සමාජවාදී ක්‍රමයකදී මිනිස්සුන්ට අනෙකා ගැන හිතන්න ක්‍රමය විසින් පෙළඹවීමක් කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අමානුෂික වෙනවා. එය වළක්වන්න නිරන්තරයෙන් ප්‍රතිවිරුද්ධ බලයක් යොදවන්න වෙනවා. සමාජවාදීන් හැම වෙලාවෙම මිනිස්සු වෙනස් කිරීම ගැන කතා කරන්නේ ඒකයි. මිනිස්සු මානුෂික කරන්න රජය හෝ පක්ෂය මුල් වී අධ්‍යාපනය හෝ නීති ආදිය හරහා බලපෑමක් කළ යුතුයි. ක්‍රමය නිසාම ඇති වෙන අමානුෂිකත්වය අඩු කරන්න රජය විසින් උත්සාහ කිරීම තමයි පිටතට පෙනෙන සමාජවාදයේ මානුෂිකකම. ධනවාදය ඇතුළේ ඔය වැඩේ ස්වභාවිකවම සිදු වෙන නිසා මිනිස්සු මානුෂික කරන්න පන්ති පවත්වන්න අවශ්‍ය නැහැ.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණු වැසුම් පළඳින්න පටන් අරන්. මේ තත්ත්වය මීටත් වඩා වැඩියෙන් චීනයේ දැකිය හැකියි. ඇමරිකාවෙන් දැනට කොරෝනා රෝගීන් හය දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, ඇමරිකාවේ මෙවැනි මුහුණු වැසුම් පිස්සුවක් ඇති වී නැහැ. මා හිතන්නේ වෙනත් බටහිර රටවලත් නැහැ.

සාමාන්‍ය දවසක ලංකාවේ මෙවැනි මුහුණු වැසුමක් පළඳා සිටින අයෙකු දැකීම ඉතා දුලබ දසුනක්. නමුත්, ඇමරිකාවේ එහෙම නැහැ. කාර්යාල, සරසවි දේශන ශාලා, පොදු ස්ථාන ආදියේ බොහෝ විට මුහුණු වැසුම් පැළඳි අය දැකිය හැකියි. මේ විදිහට මුහුණු වැසුමක් පළඳින්නේ කිසියම් වෛරස් ආසාදනයකට ලක් වූ අයයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් බොහෝ විට මුහුණු වැසුමක් පළඳිනවා. රැස්වීමක් වගේ අවස්ථාවකදී අනෙක් අයට තමන් කිට්ටුවට නොඑන මෙන් අවවාද කරනවා. ඇතැම් විට ලොකු අමාරුවක් නැතත් නිවාඩුවක් දමා ගෙදර නවතිනවා. මේ සියල්ල කරන්නේ තමන් නිසා වෙනත් අයෙකුට රෝගය බෝවීම වළක්වන්නයි. එසේ සිදු වීමේ ඉඩකඩ ගැන බොහෝ දෙනෙකුට තිබෙන්නේ වරදකාරී හැඟීමක්.

ලංකාවේ මගේ අත්දැකීම මෙහි අනිත් පැත්තයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර නවතින්න්නේ වැඩට යන්න බැරි තරමටම උණ ගත්තොත් පමණයි. ඒ නිවාඩු නැති කමට නෙමෙයි. තිබෙන ලෙඩ නිවාඩු ටික ඉතුරු කර ගන්නේ මළ ගෙවල්, මගුල් ගෙවල්, විනෝද චාරිකා ආදිය වෙනුවෙනුයි. ලෙඩ තියාගෙන කාර්යාල, පොදු ප්‍රවාහන සේවා, පාසැල් ආදී තැන් වල සිටින අය තමන්ගේ සිරුරේ තිබෙන වෛරස් බාහිර පරිසරයට මුදා හරින්නේ කිසිදු වරදකාරී හැඟීමක් නැතිවයි. තමන්ට කොහොමටත් ලෙඩේ හැදිලා නිසා දැන් පරිස්සම් වෙලා මොකටද?

චීනයේ මුහුණු වැසුම් සංස්කෘතිය ඇමරිකානුවන්ට පුදුමයක්. චීනයේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරසය වැළඳී නැති අයයි. ඒ අනෙක් අයගෙන් පරිස්සම් වෙන්න. එහෙත්, ඇමරිකාවේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරස් රෝගයක් වැළඳුනු හෝ එවැනි සැකයක් තිබෙන අයයි. ඒ අනෙක් අයට තමාගෙන් රෝගය වැළඳෙන එක වළක්වන්න. ඇමරිකානු මාධ්‍ය මෙය දකින්නේ බටහිර සංස්කෘතියේ සහ ආසියානු සංස්කෘතියේ වෙනසක් ලෙසයි. මම හිතන්නේ කාලයක් තිස්සේ වෙනස් ආර්ථික ක්‍රම යටතේ ජීවත් වීමත් මෙයට හේතුවක් වෙන්න ඇති.

%d bloggers like this: