Menu Close

ශ්‍රී ලංකා not Vs England – අටවෙනි කොටස

හේරත් හාමි රස්සාවට කළේ මිනී කපන එකය. හදිසි මරණ පරීක්ෂණයකට යන දොස්තර මහත්වරුන් මෘත ශරීර විච්ඡේදනය කෙරෙව්වේ හේරත් හාමි වැනි අතවැසියෙකු ලවාය. නංගීට උණක් හැදුණත් හඬා වැටුණු හේරත් හාමි,  පිහියා ඇනුමකින් ඇය මියගිය විට ඇයගේ අප්‍රාණික දේහයත් කැපුවේලු.

මිනී කපන රස්සාව කරන කෙනාට නංගිගේ මිනියත් තව එක් මෘතදේහයක් විතරය!
විමලරත්න කුමාරගම කවියා ඒ බව කියා තිබුණු කවි පන්තියෙන් දෙකකි, මේ.
        අලියා වැටුණු වැව සිටි හේරත්      හාමී 
        මා වැනියකු වුවද මම වැදගත්        වීමී
        මිනී කපන මුත් ඒ හේරත්            හාමී
        ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්    දෑමී 

        නැඟණිය මළ විටදී දොස්තර සමඟ  ගොසින්
        ඇගෙ කය කපන ලදි හේරත් හාමි       විසින්
        බැන්නත් ඔහුට මේ ගැන ගම නරක    බසින්
        ඔහුහට වැඩක් නැත ලොව ඇති රිහිරි  මසින් 
අපේ නංගීගේ; නෝනාගේ මෘත දේහය කැපුවේ නැත්තේ එය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන බැවින්ය. මරණය සියදිවි නසාගැනීමක් බව සනාථ වුණේ මොන-මොන සාක්ෂි මතදැයි අදටත් මා දන්නේ නැත.

ගමක කෙරෙන කතාබහට …..(foto-අමල් මහේෂ් නුගපිටිය)
ගමක හිටින කෙනෙකුගේ අකල් මරණය ඒ කාලයේ මාස ගණනාවක් තිස්සේ කතාබහට ලක්වෙන්නකි. 
අපේ තාත්තා සියදිවි නසාගත් විට ඒකත් මිනීමරුමකියි කියැවුණත්, ඒ කතාව ඉක්මනින්ම යටගියේය. 
එහෙම වුණේ තාත්තා වියපත් කෙනෙකුත්; ඔන්න මැරෙන්නට- මෙන්න මැරෙන්නට වගේ හිටි කෙනෙකුත් නිසා වෙන්නැතිය. නෝනා එහෙම නොවේ; තරුණ කෙල්ලකි. ඒ නිසාදෝ, ලොකු නංගිගේ මරණය මිනීමැරුමක් ලෙස හංවඩු නොගැහුණත් ‘කයි-කතන්දර’ ගොඩකට උල්පතක් වුණේය. 
“අවුරුදු 23 කෙල්ලෙක් වෙලත් නිකම්ම වහ බොයිද? ගෙදර ලොකු එකා කොහෙද නොපෑහෙන ගෙදරකට කූටාලි වෙලාලු. වහ බීපු දවසෙ රෑත් මිනිහා එහෙලු හිටියේ.” 
“ඒකේ හොඳ හරිය මේකයි. බතික් ගෙදර මහ ගෑනි එංගලන්තෙනේ ඉන්නේ. අනේ, ඒ මනුස්සයා නැහිල-නැහිලා හම්බ කරපු සල්ලි වගයක් එවලා. රංජි ඒවා ගෙඩිය පිටින්ම අර ගෙදරට දුන්න එකට තරහටලු පුෂ්පා වහ බීලා තියෙන්නේ.”

මහ ගෑනි එංගලන්තේ ඉඳන් නැහිල-නැහිලා හම්බකරලා එවාපු සල්ලි වගයක්….
ඒ කතන්දර සේරම කළු අක්කලාටත් ආරංචි වෙන්නට ඇතුවා නිසැකය. එහෙත් ඒ පවුලේ කිසිවෙක් අද වෙනතුරුවත් එව්වා ගැන මා සමඟ කියලා නැත. එතෙක් පැවැතුණු අපේ හිතවත්කමේ වෙනසක්වත් ඒවායින් ඇති වුණේ නැතිය. 
“මතක ඇතිව නෝනාට කියන්න සාස්තර අහලා එහෙම මට අහුවෙන්න එපයි කියලා!” ගෙදරින් පිටත්වී එද්දී අපේ ගෙවල් දිහාවට යන අහිගුණ්ඨික ගැහැනුන් දැක්කොත් ලොකු නංගිට පණිවිඩයක් යැවීම මගේ පුරුද්දය. 
කෙල්ල ඒ තරමටම සාස්තර අහන්නට කැමැත්තෙනි හිටියේ. 
ගෙදරින්-ගෙදරට ගිහින් සාස්තර කියන ගැහැනු අපේ නෝනා ගැන දැනගෙන හිටියා වෙන්නැති; මාසයකට වතාවක්වත් ඒ පැත්තට ආවෝය. 
ඉතින් ගෙදරට පණිවිඩයක් යවන්නට කෙනෙකු මට හමු නොවුණොත්, සාස්තර කියන්නියෝ ‘නෝනාගේ අනාගතය ටක්කෙටම’ කියති.

හිතේ තියෙන දේවල් සේරම ඉෂ්ට වෙනවය කියලත්………..
“ලොකා එපැයි කිව්වට උන් කියන්නේ ඇත්තනේ. සේරම හරියට කිව්වා… ටික දවසක් විතරලු අපල තියෙන්නේ. හිතේ තියෙන සේරම දේවල් ඉෂ්ට වෙනවයි කියලත් කිව්වා…..” 
නෝනා එහෙම කිව්වත්, ඒ කිසිම සාස්තරකාර අම්මණ්ඩියෙකු ‘මාරකයක්’ තිබෙන බව දැකලා තිබුණේ නැත. ඒකෙත් හැටි! 
අමාරුවෙන් හිත එකඟ කරගෙන උඩින් ඇති කොටස කෙටුවේ, කලින් පෝස්ටුව පළකොට සති දෙකකට විතර පස්සෙය. ඒත් හිතට හරි නැත. 
ලිවීම නවත්තා ප්‍රවෘත්ති කියවන්නට ගත්තෙමි. මෙන්න එතැනත්; ආයෙමත් ලොකු නංගිව සිහි ගන්වන පුවතක්…….. 
නිලක්ෂි පටෙල් ගිනස් පොතට ගිහින්ය. 
ඒ පුවතත් එක්ක තිබුණු එක ෆොටෝවක් මා කැන්දාගෙන ගියේ සුනිල් කියූ දේකටය. සංසාරේ එපා වුණා අයියේ…. මෝචරියේ ලාච්චුවක් ඇරලා මිනිය පෙන්නුවාම. ඇඟේ නූල් පොටක් නැහැ…. ඒත් මුළු සරුවාංගෙම වැහිලා තිබුණේ නෝනාගෙ දිග කොණ්ඩෙන්…..” 

නිලක්ෂි පටෙල්ගේ බිම ගෑවෙන තරම් දිග කොණ්ඩය මට සිහිපත් කෙරෙව්වේ………..
සන්නිවේදනය විෂයේදී කියවෙන විශේෂ කාරණයක් තිබේ. ‘වචන දහසකට වඩා එක රූපයක් අගී’. මම නම් ඒ කතාව හිසමුඳුනින් පිළිගන්නා කෙනෙක්මි. 
නිලක්ෂිගේ foto එකක් මෙතැනට දමන්නේ නෝනාටත් තිබුණේ මෙවැනි කේශ කල්‍යාණයක් බැවිනි. බත් කෙණ්ඩ දක්වා දිගට තිබුණු නංගිගේ කෙහෙවවැටිය නිලක්ෂිගේ මෙන් අඩි 6 අඟල් 2ක් නම් දිගු නොවිණි. 
“ඔය මැරිච්ච කෙල්ල මහා උද්ධච්ච අම්මණ්ඩි…. කොණ්ඩේ විතරක් නෙවෙයි, ඔළුවත් හොඳටම ලොකුයි, ඉදිමිලා…. රංජියලා ඉස්සර හිඟා-නොකා හිඟාකාලා වගේ ජීවත්වෙච්චි විදිහට නෙවෙයි එයාගෙ වැඩ….. හිතන් ඉන්නේ මහධන සිටාණන්ගේ දූය කියලා…”      
“ගෙදර අය හැංගුවට මොකක් හරි රණ්ඩුවක්වත් වෙන්න ඇති. තරහට තමයි වහ බොන්න ඇත්තේ.” 
එහෙම කතන්දර කියවුණා මිස නෝනාට අගෞරවයක් වෙන; චරිතය කැළැල් වුණු විදිහේ දේවල් නම් කාගෙන්වත් කියැවුණු බවක් ආරංචි වුණේ නැති එකය පුදුමේ!
මේ ලියන්නා ලොකු නංගිත් එක්ක පුංචි සන්දියේ…….
ඒ අපේ ලොකු නංගිගේ දැඩි හිත ගැන කවුරුනුත් දැන හිටි නිසා විය යුතුය. දැනටම ඔබත් ඇය ගැන තරමක් දනියි. අඟුල්මල් දහනය කරන කාලයේ නෝනා හොඳටම පුංචිය. 
ආච්චී එක්ක බතල රණ්ඩුව ඇතිකරගෙන මාස ගණනාවක් කතාබහ කරන්නේවත් නැතිව හිටියේ නම් යව්වනියක අවධියේය. 
එහෙව් තද හිත ඇති, අහංකාර යව්වනියක වුණු ලොකු නංගී අවසාන ගමන් ගියේ ගෙදර ඉඳලාවත් නොවේ. කළුබෝවිල සාගර මල් ශාලාවේ සිටය.
“නිමලෝ, ඒක ගැන අහිතක් හිතන්න එපා බං… උඹ මට කිව්වනේ ගෙදර අයට සරම්ප හැදිලා නිසා මිනිය ගෙදරට ගෙනියන්න බැරි බව. ඒ අස්සේ ප්‍රොෆෙසර් කෝදාගොඩත් කිව්වනේ මෙඩිකල් කොලේජ් එකට මිනිය දෙනවනං හතරට කලින් ගෙනෙන්න ඕනේ බව….” 
මර්වින් කියන ටිකම, ඒ විදියටම ලියන එක වඩා හොඳය.

 මර්වින්, අයස්මන්ත දෙන්නා හපුතලේ දඹේතැන්න පාරේ තොටුලගල camp එකකදී……..
අදහනු මැනවි. දිවුරා කියමි. මේ විස්තර මා අසාගත්තේ 2020 වසරේදීය. එතෙක් ඒ ගැන මර්වින්ගෙන්වත්, අපේ සුනිල්ගෙන්වත් අසාගන්නට මට හිතුණේ නැත. 
අද අහගත්තෙත් ‘නිදිගෙ පංච තන්තරේ’ට මේවා ලියන්නටය. ඒ විස්තර දන්නේ මේ දෙන්නා විතරය. 
“මචං… එතකොට මයිකල් පීරිස් සාගර මල් ශාලාව පටන්ගෙන ටික දවසයි. ඒකෙ මිනියක් තැන්පත් කරලා තිබ්බෙත් නැහැ.
-කවුද බං එතකොට දන්නේ උඹත් මයිකල්ව අඳුරන බවක්. මගේ කීම නිසාමයි මයිකලයා ඉඩ දුන්නේ….  හරි නං ඒකට වෙනමම තෑන්ක් කරන්න වටිනවා. පට-පට ගාලා දුවලා-පැනලා, දන්නවනේ මේ කොල්ලගේ හැටි…. පාංශුකූලෙට හාමුදුරුවරුත් හොයාගත්තා.
-උඹට මතකද එදා උඹ කරපු කලබලේ… පෙට්ටිය වහන්න දුන්නෙම නැතිව, අඬ-අඬා…. 
-අන්තිමට අර ළමා නිවාසේ සර්ලා, සෝමවීරලා එකතුවෙලා උඹව පැත්තකට ඇදල දැම්මා.  අන්තිමේ පෙට්ටිය වහනකොට 3.45ටත් කිට්ටුයි.
-එතකොටයි මට මතක් වුණේ, මයිකල්ගේ හර්ස් එක එලවන්න හිටියේ වයසක පොරක්. මිනිහත් එක්ක ගියොත්, ෂුවර් එකටම late වෙනවා.

මදාවියා හර්ස් එක ගෙනිච්චේ flight එකක් වගේ…….
-කළුබෝවිල මොරිස් මයිනර් ටැක්සියක් එලවන පොරක් හිටියා මදාවියා කියලා. පිම්මේ ඇරලා යන්න දෙයියා. ඉගිලෙනවා… මම පොරව දන්නවා. 
-මචං, මෙහෙම සීන් එකක් තියෙනවා කියලා මම කතන්දරේ මිනිහට කිව්වා. විනාඩි 15න් මෙඩිකල් කොලේජ් එකට හර්ස් එක ගෙනියන්න ඕනේ කියලත් කිව්වා. මයිකල්ගෙන් ප්‍රශ්නයක් වේවි කියලා මිනිහා මුලදී ටිකක් අදි-මදි කළා. ඒ රෙස්පොන්සිබිලිටි එක මම ගන්නවා කිව්වමයි, මිනිහා වාහනේ ගත්තේ. හර්ස් එක ගියේ flight එකක් වගෙයි. උඩින්…. 
-ඒත් අපි යද්දී විනාඩි 10ක් විතර පරක්කුයි. ප්‍රොෆෙසර්ගේ කීම නිසා මෙඩිකල් කොලීජිය ඇරගෙන හිටියා, අපි එනකල්…. අද වගේ නං පෙට්ටිය ගෙදර ගෙනෙන්නයි වෙන්නේ ට්‍රැෆික් එකට අහුවෙලා. යන්නයැ….” මර්වින් කියන්නේ ඇත්තය. එදා රට තිබ්බේ එහෙමය. 
මළගමේ කටයුතු අහවරවී ගියේ දවස් දෙක-තුනකි.  අන්න ලොකු සර් නිමල් මහත්තයට ඉක්මනට එන්න කිව්වා. එංගලන්තෙන් ටෙලිෆෝන් කෝල් එකක් එනවලු කියලා…” ළමා නිවාසයේ ළමයෙක් හති දමමින් ඇවිත් කිව්වේය. 
හැකි තරම් වේගයෙන්, විජහනියට ළමා නිවාසයට දිව්වේ……..
එතකොට රෑ බෝවෙලාත් ඉවරය. මම විජහිනියට උඩහට දිව්වෙමි.
“අම්මලට ආරංචි වෙලාවත්ද?” දුවන අතරේ මගේ හිත ඇහුවා මතකය. 
ආරංචිය එංගලන්තයට ගිහින් තිබුණේ නැතිය. ටෙලිෆෝන් වයර් දිගේ දෝරේ ගලන සතුටක් ලංකාවට එවමිනි, අම්මා කතා කළේ. “ඇහෙනවද රංජි සද්දේ?” 
“ඔව්… ඔව්.” විශේෂයෙන් ඇහුණු සද්දයක් නැතත් මම කීවෙමි. 
“අද අපේ wedding ඇනිවසරි එක. මෙහෙ ඉන්න ලංකාවේ අය ගොඩකටයි, dadaaගේ යාළුවන්ටයි කිව්වා. ආන්ටි එරීනුත් ආවා….”  
සතුටෙන් සමරන උත්සව අවස්ථාවක, අකල් මරණයක් ගැන; ලොකු දෝණියන්දෑගේ සියදිවි නසාගැනීම ගැන ආරංචිය අම්මාට දෙන්නට පුළුවනිද? “අම්මේ…. සද්දේ හින්දා කියන දේවල් වැඩිය ඇහෙන්නේ නැහැ. හෙට හරියටම මේ වෙලාවට මම ළමා නිවාසෙට ඇවිත් ඉන්නවා. කෝල් එකක් දෙන්න…”
මේත් අහිංසක පාටියකි. වැඩ අතරේ කෙරෙන්නකි. අපේ අම්මලාගේ පාටිය වගේ නොවේ!
“රංජි එහෙම වෙලාවක අම්මට පුෂ්පාගේ ගැන කිව්වේ නැති එක හොඳයි.” 

කුලතුංග සර් මගේ පිළිවෙත අනුමත කළේ, පිටටත් තට්ටුවක් දාලාය. “අම්මී… අපි දෙන්නට තේ එකක් හදන්නකෝ… පොඩ්ඩක් කතා කරලා යන්න නිමල්… තුවාලේ පෑරිච්ච වෙලාවේ…..” 

“දැන් හෙටත් මෙහෙ එන්න එපාය. හෙට රෑට ටිකක් වේලාසන එන්න. අපිත් එක්කම කෑම ටිකකුත් කාලා පොඩි සාකච්ඡාවක් දාගෙන ඉඳිමු. සුනිල්වත් එක්කගෙන එන්න.” 
මනුෂ්‍ය චිත්ත සන්තානය ගැන හොඳ අවබෝධයක් තිබුණු කුලතුංග සර් කිව්වේ මගේ හිත හදන්නට බව මම හොඳාකාරවම දැනගෙන උන්නෙමි. 
‘Out of sight, out of mind’ කියමන කොච්චර ඇත්තද? එච්චර හිතවත්ව හිටි කුලතුංග සර්ලාගේ පවුලත් සමඟ අපට තිබුණු සබඳකම තුනීවී ගියේ අපටත් නොදැනීමය. එහෙම වුණේ දුර හරස්වුණු නිසාමද? ඔවුන්ගේ ලොකු දියණිය නයනා, පුතු දුලිප්, දැන් මට නම මතක නැති අනෙක් පුතා….. දැන් අම්මලා-තාත්තලා වෙන්නට ඇති!

අපි දැන් ඉන්නේ කළුතර රිච්මන්ඩ් කාසල් ළමා නිවාසේ…..
මේක අක්කර 42 ක ඉඩමක් නිමල්. අපි දැන් ඉන්න ළමා නිවාසේ බිල්ඩින් එක විතරක් අක්කරයක් තිබිලා තියෙනවා. ඇවිත් යන්නකෝ…. කළුතර පලාතොට. හොයාගන්න අමාරුත් නැහැ. රිච්මන්ඩ් කාසල් කිව්වාම නොදන්නා මනුස්සයෙක් නැහැ….” 
පසු කාලයක කළුතර ළමා නිවාසයක පාලක තනතුරට පත්වුණු කුලතුංග සර් දුරකතනයෙන් ආරාධනා කළේය.
අපිදු එහි ගියෙමු. අපේ සුනිලුත්, මල්ලිකාත් එදා උත්සාහ කළේ දඹුලු යමින් ගමන තලගොයි දඩයමකුත් කරන්නටය. “අයියේ මල්ලිකාගේ යාළුවෙකුත් එනවා අපිත් එක්ක කළුතර යන්න…..” අන්තිම මොහොතේ සුනිල් කීවේය. 
“කවුද යාළුවා?” 
“අයියත් දන්නවා… අදත් කතාබහ කරලා බලන්නකෝ, හිතට කැපෙයිද කියලා.” 
J මල්ලිකාගේ මිතුරියකි. හයිඩ්රාමනි ආයතනයේ සේවය කරද්දී මල්ලිකාට හිටි හොඳම මිතුරියන් තුන්දෙනාගෙන් එක්කෙනෙකි. දෙන්නෙකුම ‘සීතා’ලාය. එක්කෙනෙක් ඉංගිරියේ සීතාය, අනෙකිය පිළියන්දල සීතාය.

කොහොම වෙතත් අනංගයා අපේ දිහාවට මල් හී සර විද්දේ නැත!
යෙහෙළියන් හතර දෙනාගෙන් අහිංසකම යුවතිය J ය. ඇය කොච්චර අහිංසක වුණත්; කළුතර ගිහින් දවසක් තිස්සේ කතාබහේ යෙදුණා වුණත්; ‘අනංගයා’ උක්දඬු දුන්නෙන් අපේ දිහාවට මල් හීසර විද්දේ නැත.
“ඔයාලව නෙවෙයි පිළිගන්න ඕනේ. මෙයාවයි…. අහලා තිබුණා විතරයිනේ. දකින්නේ දැන්නේ.” කුලතුංග යුවල J පිළිගන්නා වෙලාවේ කී දේවලින්ම මට ‘සුමන්ත්‍රණයක’ සුලමුල තේරුම් ගියේය. 
“J හොඳ කෙල්ලෙක් කියලා සුනිලුයි මල්ලිකායි දෙන්නාම කිව්වා. මටත් පේන්නෙ නිමල්ට….” 
“කිසිම නරකක් නැහැ, සර්. එයා මට හොඳ වැඩියි!” 
අනවශ්‍ය ගහක් වැඩෙන්නට දී පොරොවෙන් කපනවාට වඩා හොඳ පැලය සන්දියේදීම නියපොත්තෙන් කඩලා දැමීමය.

පතාගෙන ආව හැටියට තමයි සේරම… (foto-LondonE3Traveller)
“අපි try කළාට බැහැ. පතාගෙන ආව හැටියට එපැයි වැඩ සිද්ධ වෙන්න…..” කියලා අප දෙන්නාගේ කතාව ඉවරයක් කළත්, කුලතුංග සර් ‘මුඩ්ලියර් දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන’ ප්‍රකෝටිපතියාගේ කතන්දරය අපට කිව්වේය. 
එංගලන්තයේදී ඉගෙනුම ලබා, මහරාජාවරයෙකුගේ මන්දිරයක් දැක එවැනිම ගොඩනැඟිල්ලක් ඉදි කරවූ මේ මුදලිතුමාගේ විවාහ මංගල්‍යයට එංගලන්ත රජ පවුලෙන් නොආවේ මහරැජනලා ජෝඩුව විතරලු. 
“කොළඹ ඉඳලා කළුතරට වෙනම කෝච්චියක් දැම්මෙව්වලු අමුත්තන්ට එන්න විතරක්. එහෙම ජයට මඟුල අරගෙනත් දෙන්නට දරුවෝ ඉඳලා නැහැ. පස්සේ පවුල කැඩිලා ගියාලු, නෝනගෙයි වැඩකාරයෙකුගෙයි සම්බන්ධයක් නිසා. මුඩ්ලියර් අන්තිම කැමැත්තෙන්ම පැවරුවාලු මේ මන්දිරේ ‘ළමා නිවාසයක් කරන්න’ කියලා.”
අක්කරයක බිමක් පුරා පැතිරුණු, තට්ටු දෙකක මැඳුරක්වූ එහි කාමර 14කි; උත්සව ශාලා- කෑම ශාලා ඊට අමතරවය. දොරවල් 99ක්- ජනේල 34ක්- ටින්ටඩ් වීදුරු….. ඒ සේරම තිබිලාත් ආතර් ද සිල්වා මුඩ්ලියර්තුමා පැතූ සතුට ඔහුට හිමි නොවුණු හැටි!
ජීවිතය සරදම් කරන්නේ එහෙමය………..
ජීවිතය සරදම් කරන්නේ එහෙමය!
“පුෂ්පා අහංකාර වුණාට, හිත හොඳ කෙල්ල.” 
එදා අම්මාගෙන් දුරකථන ඇමතුම එනතුරු බලා සිටියදී කුලතුංග සර් කිව්වේය. 
මම හීල්ලුවෙමි. එදා සැරේ වැඩියෙන්ම කතා කලේ සුනිලුත්, කුලතුංග යුවලත්ය. 
“සර් දන්නේ නැතිව ඇති. දවසක් නෝනා කොහෙද ගිහින් ගෙදර ආවේ හිඟන මනුස්සයෙක්ව එක්කගෙන. ගඳේ බැහැ… අයිය ගෙදර හිටියේ නැහැ. 
-නෝනා අපිවත් අඬ ගහගෙන අර හිඟන්නගේ කොන්ඩේ කපලා, නාවලා අලුත් සරමකුත් අන්දවලා තමයි කන්න දුන්නේ….” අපේ සුනිල් පරණ කතාවක් මතක් කළේය.

පාරේ යන හිඟන මනුස්සයෙක්ව එක්ක ඇවිත්, කොණ්ඩය-රැවුල කපලා නාවලා………..
ඔහොම කතා අතරේය අම්මාගෙන් දුර ඇමතුම ආවේ. 
අපේ අම්මා අඬන්නට සමතියක බව මීට කලිනුත් මම කිව්වෙමි. විලාප දීමේදීත් ඊට වඩා හපනියක බව මා තේරුම් ගත්තේ එදාය. 
‘අනේ අම්මෝ….’ මහා අඳෝනාවකි… විරාමයකි… 
‘සැසිල්… සැසිල්. Come….” කියන්නට දෙයක් තිබුණේ නැතිවා වෙන්නැති. Dadaa ටෙලිෆෝනය ගත්තේය. 
“නිමොල්… What හැපන්ඩ්?” 
Dadaaට කියන්නට ලැබුණේ වචන තුනකි. “Oh, My God!” අම්මා ආයෙමත් ෆෝන් එකේය. අයන්නේ සිට අං- අඃ දක්වා….. 
“තුන් මාසේ දානෙට මං ලංකාවට එනවා…. ඇයි එදාම මට නොකිව්වේ…?” වගේ තර්කානුකූල නැති කතන්දරවලට උත්තර අනවශ්‍යය. ඒවා කියවෙන්නේ හිතේ දුකටනේ. ඔහේ කියපුවාවේ…
එතරම් සමීපව හිටි අප මෙතරම් දුරස් වුණේ කොහොමද?
අපට එතරම් සමීපව සිටි කුලතුංග සර්ලා පසුකාලීනව ක්‍රමයෙන් දුරස්වී ගියේ හිතාගන්නටවත් අසීරු විදිහටය. පුදුමෙකුත් නැත. 150 තියරිය හරියටමහරි විය යුතුය. 
“මාර තියරියක්නෙ නිමල්, බුවෙනකබාවේ ප්‍රින්සිපල් සර් මගෙත් එක්ක කිව්වේ…. අර සර් කෙනෙක් සියදිවි හානි කරගෙන තිබුණේ….. ඒ මරනෙත් පුෂ්පගේ මරණය වගේමයි…. ඒ මනුස්සයාටත් සැරෙන්-සැරේ මැරෙන්න හිතිලා තියෙනවාලු. 
-පුෂ්පා වගේම ලියුම් ගණනාවකුත් ලියල තිබුණලු….. Post mortem එකෙන් තමයි අහුවෙලා තියෙන්නේ. එයාගේ ඔළුව ඇතුළේත් ගෙඩි වගයක් තිබුණලු.” 
එතෙක් අඳුරේ අතපත ගාමින් හිටි අපට තොරතුරු ලැබුණේ හෙමිහිටය. නෝනාගේ මරණයෙන් මාස ගණනාවක් යද්දීය, ‘ජිග්සෝ ප්‍රහේලිකාවේ’ කෑලි බොහොමයක් තෝරාගෙන ගළපාගන්නට ලැබුණේ!

ජිග්සෝ ප්‍රහෙළිකාවේ කෑලි සියල්ල තෝරා-බේරාගන්නට හැකි වුණේ…..
ලොකු නංගි දිවි නසාගත් දවසට කලින් දවසෙත් ඒ සඳහා උත්සාහයක් අරගෙනය. එයට දායකවී තිබුණු මානෙල් නංගී එහි බරක්-පතලක් තේරුම් ගෙන තිබුණේ නැතිය.
“අනේ ලොකා, මට බනින්න එපා. නෝනක්කා මට කිව්වා කාටවත් කියන්න එපයි කියලා…. ගඳ හින්දා මාත් හිතුවේ සැර බෙහෙතක් තමයි කියලා.” 
“හරි… දැන් තමුසෙ ඇඬිල්ල නවත්තලා කියනවකො වෙච්චි දේ…..” 
“නෝනක්කා මැරුණු දවසේ උදෙත් නැඟිට්ටේ පරක්කු වෙලානේ. නෝනක්කා මට දුන්නා ලොකු වීදුරුවක්… 
-සුදු පාට වතුරක් ඒකෙ තිබුණා. සැර ගඳයි… -මගේ ලෙඩේට දුන්න සැර බෙහෙතක්. ඊයේ රෑ බොන්න අරගෙන නිඳිමතේම අමතක වෙලා. ඕක විසි කරදාලා හොඳට සබන් දාලා වීදුරුව හෝදලා තියන්න-යි කියලා නෝනක්කා මට කිව්වේ…..”

%d bloggers like this: