Menu Close

මෑත කාලීන සිනමාවෙ තාක්ෂණික විස්මයක් වුණු 1917

2020/01/28 මව්බිම Young අතිරේකයේ පළ විය.
දිනය 1917 අප්‍රේල් 6 වෙනිදා; තැන උතුරු දිග ප්‍රංශය. ඈතට බොඳ වෙච්ච කඳු පන්ති දර්ශනය වෙන, කහ පාට කැලෑ මල් පිපිච්ච යුරෝපියානු තැනිතලා බිමක කෙළවර ගහක් යට විවේක සුවයෙන් වැතිරිලා ඉන්න බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙන්නෙක්. හමා එන හුළඟේ සුවදායක බවට ඔවුන්ගේ ඇසුත් පියවිලා ගිහින්. නමුත් එකවර ම මේ නිහඬතාවය බිඳ වැටෙන්නේ එතැනට එන හමුදා නිලධාරියෙකුගේ කටහඬිනුයි.
“බ්ලේක්………..බ්ලේක්”
ලාන්ස් කෝප්‍රල් බ්ලේක් අවදි වෙනවා.
“සමාවෙන්න සාජන්”
“තව මිනිහෙක්ව අරගෙන මාත් එක්ක එනවා”
“හොඳමයි සාජන්”
පළමු වන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය පාබල හමුදාවේ, අට වෙනි භට ඛණ්ඩයේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් වුණ Blake සහ Schofield නිදිගැට කඩමින් නැගිටලා යන්න පටන් ගත්ත ඒ ගමන විනාඩි 119 කින් තවත් ගහක් යට අවසන් වන තුරු ම ත්‍රාසය, කුතුහලය පිරුණු, යුද්ධයේ බියකරු බව හොඳට ම ඇඟට දැනෙන trip එකක් බවට පෙරළෙනවා.
මේ සෙබළුන් දෙදෙනාගේ අන්දෝලනාත්මක ගමන ඇසුරින් Sam mendes නිර්මාණය කළ “1917” චිත්‍රපටය ගැනයි අද Lumier’s Art තුළින් අද අපි කතා කරන්නේ.
Blake සහ Shofield තමන්ට ලැබුණ අණ පරිදි ජෙනරල් Erinmore මුණගැහෙනවා. එතැනදී ඔවුන් දෙදෙනාට සුවිශේෂි රාජකාරියක් භාර වෙනවා. හමුදාවේ දෙවන භටකණ්ඩයේ ප්‍රධානී කර්නල් Mackenzie හඳුනාගත් ජර්මන් මර්මස්ථානයට පහරදීමේ අරමුණෙන් සෙබළුන් 1600ක පිරිසක් අරගෙන පිටව ගොස් තිබෙනවා. නමුත් මේ ජර්මානුවන්ගේ උගුලක් බවත්, ජර්මානුවන්ඒ අරමුණ හමුදා කණ්ඩායමක් තමන් වෙත ගෙන්වා ගෙන ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම බවත් බ්‍රිතාන්‍ය හමුදාවට දැනගන්න ලැබෙන්නේ පසුවටයි. බ්‍රිතාන්‍ය හමුදාවට කර්නල් Mackenzie ඇතුළු පිරිස මේ මර  උගුලෙන් ගලවාගත යුතුමයි. නමුත් සංඥා පද්ධති බිඳවැටී ඇති නිසා පණිවිඩය දෙන්න ඔවුන්ට පුළුවන් කමක් නෑ. Blake සහ Shofieldට භාර වෙන්නේ මෙන්න මේ කාර්යයයි. දෙවනි භට කණ්ඩය සොයාගෙන ගිහින් ප්‍රහාරය නැවැත්විය යුතු බව ඔවුන්ට දැනුම් දීම; 1600ක පමණ සෙබල පිරිසක් මරණයෙන් ගලවා ගැනීම. ඉතින්  ඔවුන් දෙදෙනා කොහොමද මේ වැඩේ කරන්නේ ?
චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට Dean Charles Chapmen (Game of thrones කතාවෙ ටෝර්මන්) සහ George McKay විසින් පණපොවනු ලබනවා. Benadict Cumberbatch, Collin Firth, Andrew Scott, Richard Madden චිත්‍රපටයේ අනෙකුත් සෙසු චරිතලට රංගනයෙන් දායක වෙනවා
1917 චිත්‍රපටයේ දක්නට ලැබෙන  සුවිශේෂී ම ලක්ෂණය තමයි මුළු චිත්‍රපටය ම එක camera shot එකක් ලෙස පෙනෙන ආකාරයෙන් නිර්මාණය කර තිබීම. චිත්‍රපටය Cut වෙන්නේ එක ම තැනකදී පමණයි. අවස්ථා කිහිපයකදී චිත්‍රපටය Cutවී ඇති බව අපට අනුමාන කළ හැකි. ඒක ඇත්තට ම දිගු කැමරා දර්ශන (Long Shot) ගණනාවක එකතුවක්. නමුත් වෙනසක් නොපෙනෙන්නත්, සියල්ල ම තනි Shot එකක් විදිහට පෙනෙන්නත් මෙහි සංස්කාරක Lee Smith ඉතා විශිෂ්ට ආකාරයට ඒ දර්ශන එකිනෙකට පුරුද්දා චිත්‍රපටය Edit කර තිබෙනවා. නමුත් හැබෑවට ම එක ම කැමරා Shot එකකින් රූගත කළ චිත්‍රපට සිනමා ඉතිහාසය තුළදී අපට හමුවෙනවා. Russian Arc (2002), Timecode (2000), Victoria (2015) කියන්නේ  එවැනි චිත්‍රපට කිහිපයක්.
අනෙක් විශේෂත්වය මේ චිත්‍රපටයේ කැමරාව වැඩ කරන ආකාරයයි. කලින් සඳහන් කළා වගේ මේ චිත්‍රපටයේ මුල සිට අග දක්වා ම ඇතුළත් වෙන්නේ  සොල්දාදුවන් දෙදෙනා ඔවුන්ගේ ගමන යන ආකාරයයි. මෙතැනදී කැමරාව පිටස්තර යම් තැනක ඉඳන් ඔවුන් දෙදෙනා දිහා බලන් ඉන්න කෙනෙක් වෙනවාට වඩා මේ ගමන යන ගමන් සගයෙක් බවට පත්වී තිබෙනවා. මඩ කඩිති උඩින් පනිමින්, බිම පෙරළෙමින්, යුධ අගල් ඇතුළට රිංගා ගනිමින් කැමරාවත් මේ සෙබළුන් දෙදෙනා එක්ක ගමන යනවා. මේ අපූරු කැමරාකරණය ගැන ගෞරවය හිමිවෙන්න ඕන  1917 චිත්‍රපටයේ Cinematography අංශය භාරව කටයුතු කළ Rodger Deakinsටයි. ඔහු හොලිවුඩයේ Cinematography ගැන Master කෙනෙක්. Assassination of the Jess James, The Reader, Beautiful Mind, Showshank Redemption වගේ ප්‍රේක්ෂකයකු නැරඹිය යුතු ම  ලැබෙන ලස්සනම Cinematography ඔහු නිර්මාණය කර තිබෙනවා.
Thomas Newmanගේ සංගීතය ගැන යමක් නොකිව්වොත් එය ලොකු අඩුවක්. ඒ ගැන කතා කිරීමේදී මේ චිත්‍රපටයේ ඇතුළන්තයත් එක්ක පසුබිම් සංගීතය බැඳිලා තියෙන බව අපට දැකගන්න ලැබෙනවා. එක අවස්ථාවක Schofieldට වෙනත් සොල්දාදුවන් පිරිසක් එක්ක වාහනයක ගමන් කරන්න සිද්ධ වෙන තැනකදී අනෙක් සොල්දාදුවන් සිනාමුසු මුහුණින් කතාබහ කරමින් හිටියත් Schofieldට මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව එහෙම ඉන්න බෑ. ඔහුගේ මුහුණෙන් පළවෙන්නෙ ශෝකයක්. මෙතනදී  පියානෝවත්, වයලීනයත් හැඬවෙන්නේ ඒ මුහුණෙන් මතුවන  ශෝකී භාවයන් තව තවත් තීව්‍ර කරමින්. .
ඒ වගේ ම 1917 කියන්නේ වචනයේ පරිසමාප්ත  අර්ථයෙන් ම දැවැන්ත නිර්මාණයක්. අඩි 5200ක් පමණ යුධ අගල් චිත්‍රපටය වෙනුවෙන් ම නිර්මාණය කර තිබෙනවා. නිසැකව ම 1917 මෑතකාලීන සිනමාවේ සිදු වුණ තාක්ෂණික පෙරළියක් ! මේ පෙරළියේ මහමොළකරුවා වෙන්නේ 1999 වර්ෂයේ American Beauty චිත්‍රපටයෙන් සිනමා ලෝකයේ තම අනන්‍යතාවය සළකුණු කරලා  ගමන ආරම්භ කළ Sam Mendes. Golden Globe සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට සහ හොඳ ම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන දිනා ගනිමින් සහ ඔස්කාර් සම්මාන 10කට නිර්දේශ ලබමින් Sam සහ ඔහුගේ1917 සිනමාපටය 2019 අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවේ පෙරළියක් කරන්න සමත් වුණා.
ස්පීල්බර්ග් Saving Private Rayan චිත්‍රපටයෙන් දෙවෙනි ලෝක යුද්ධය ප්‍රතිනිර්මාණය කළා වගේ, ඔලිවර් ස්ටෝන් Platoon චිත්‍රපටයෙන් වියට්නාම යුද්ධය ප්‍රතිනිර්මාණය කළා වගේ 1917 චිත්‍රපටය පළමු වන ලෝක යුද්ධය ප්‍රතිනිර්මාණය කරනවා. පිකාසෝ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කැන්වසය මතට ගෙනෙමින් “ගුවර්නිකා” සිතුවම නිමැවූ ආකාරයට Sam Mendis සිනමා තිරය මත මිනිත්තු 119ක් පුරා යුද්ධයේ බිහිසුණු වේදනාකාරී ස්වරූපය ගැන සිතුවමක් අඳිනවා. කවර අරමුණෙන් කළත් අවසානයේ මොන ප්‍රතිඵලය ලැබුණත්, යුද්ධය කියන්නේ ඊට සහභාගි වන අයට ඉතා ම පීඩාකාරි අත්දැකීමක්. කලාකරුවෙකු කළ යුත්තේ මේ යථාර්ථයන් ලෝකය හමුවට ගෙන ඒමයි. Leave no trace, You were nere really here වගේ චිත්‍රපට  යුද්ධයට ගොදුරුවෙන්නන්ගේ ජීවිතවල පසු ඛේදවාචකයන් පෙන්වා දුන්නා. 1917 නරඹන්නාව යුද්ධයේ ම කොටසක් කරගනිමින් ඒ වේදනාව, බලාපොරොත්තු විරහිත බව ඇඟට දැනෙන්න සලස්වනවා. මඩ ගොහොරුවල මීයන්ට ආහාර වෙන මළ කඳන්, තැන තැන දිරාපත් වෙන මිනිස් අතුණුබහන්, දෑසට පෙනී පෙනි අවසන් ගමන් යන ළඟ ම මිතුරන්, සොහොයුරන්, නොසිතු මොහොතක කඩා වදින වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර..මේ හැම දෙයක් ම යුද්ධයක අනිවාර්‍ය උරුමයන් වෙනවා. 1917 මේ හැම දෙයක් ම ඉතා ම යථාර්ථවාදීව පෙන්වා දෙනව. මේක මෙතෙක් ලෝකයේ නිපදවී ඇති  හොඳ ම යුධ චිත්‍රපට අතරට එක්වන බව සැකයක් නෑ. ඉතින් 1917 තවමන් නැරඹුවේ නැති නම් නොපමාව Blake සහ Shofield එක්ක මේ ගමන යන්න ; යුද්ධයේ සැබෑ  අත්දැකීම ඔබ ම විඳගන්න.
%d bloggers like this: