Menu Close

මනෝ ගැන වචන දහසක්

(2020 ‍ජනවාරි 26  වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
(සේයාරුව: ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ රූපාවලියක් ඇසුරෙන්
 www.colombotelegraph.com වෙබ් අඩවිය නිර්මාණය කළ රූප සැකැස්මකි.)
මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් ජයලත් මනෝරත්න නැතිනම් ‘මනෝ‘ දැයෙන් සමුගෙන ගොසිනි. ඔහුගේ සමුගැනීම යෙදී තිබුණු දිනයේ විදේශගත මිතුරෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ.

“මචං, සරච්චන්ද්‍රගෙන් පස්සෙ හිටපු විශිෂ්ටතමයා මනෝ නේ ද?“

මම නිරුත්තර වීමි. එය එක්වරම පිළිතුරු සොයාගැනීම අසීරු පැනයකි. සරල ‘ඔව්‘ යෙදුමක් එකපැහැරම හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන ඈ ගෙවුණු දශකවල විශිෂ්ට නාට්‍යකරුවන් සියල්ලම ජයලත් මනෝරත්නට වඩා පහළ රේඛාවක් වෙත තල්ලු කර දමන හෙයිනි. කෙසේ වෙතත්, මා පිළිතුරක් සොයද්දී, නාට්‍ය ලැදි මගේ මිතුරා ඔහුගේ ස්ථානගත කිරීම සඳහා කරුණු ගොණු කරන්නට පටන් ගත්තේ ය.

“හෙන්රි ජයසේනල, සුගතපාල ද සිල්වල ඉහළ ගණයේ වැඩ කරල තියෙන බව ඇත්ත. ඒත් ඒ හැමෝගෙම තියෙන්නෙ හොඳම මට්ටමේ වැඩ දෙකයි නැත්තං තුනයි. ඒත් මනෝගෙ ඒ ජාතියෙ වැඩ හත අටක්ම තියෙනව නේද? ඉහළම මට්ටමේ වැඩ?“

එම සැසඳීම සාධාරණ දැයි යන පැනය සමගින් යළිත් මගේ සිත නැගුණේ තර්කයකි. කෙසේ වෙතත්, කලාව හා සාහිත්‍යය පිළිබඳ බොහෝ සහෘද අදහස් ඇති මගේ මිතුරා හා මා අතර වාදයක් පැන නොනැගුණේ මනෝරත්නයන් පිළිබඳ අප දෙදෙනාටම (මෙන්ම මෙය කියවන බහුතරයකට ද) පොදු අතීත ස්මරණ මාලාවක් ඔස්සේ අපේ දීර්ඝ සංවාදය විහිද ගියේ ය.

කලා ලොව බොහෝ මග සලකුණු තැබූ විශිෂ්ටතමයකු දිවියෙන් සමුගන්නා සෑම විටකම සිදුවන පරිද්දෙන් මනෝගේ මරණය ද ඔහු පිළිබඳ එකිනෙකා වෙත ඇති විශාල සහ කුඩා ස්මරණයන්, වැදගත් මෙන්ම නොවැදගත් අතීත වෘත්තයන්, ඡායාරූප, වීඩියෝ පට ආදිය ද සමග සමාජ මාධ්‍ය වෙත කැඳවා දුන් අතර මනෝ ඉතා සුළු කලකට මුත් අධි නිශ්චය වීම ද ඒ හා සමග සිදු විය. ඉහත මිතුරාගේ ඇමතුමට පෙර සිටම මගේ මෙම වචන දහසකට ආසන්න කුඩා සටහන ඔහු පිළිබඳ  වෙන් කිරීමට මා සිතා සිටි අතර එම ඇමතුම ඒ ලිවීම සඳහා වන පෙළඹීම ඉහළ නැංවී ය.

සැබවින්ම මනෝ කවු ද? ඔහුගේ වසර හැත්තෑ එකක දිවිසැරිය නිමාවන මොහොතේ අප ඔහු කියවාගත යුත්තේ කෙසේ ද?

මෙම පැනයන්ට මනෝගේ රසිකයින්, මිතුරු සහෘදයින්, ඔහුගේ කලා නිර්මාණ හා එක්ව කටයුතු කළ සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔහුගේ සමීප ඥාතීන් ඇතුළු ඔහු හා සමග විවිධ සමීප කලාපවල කටයුතු කළ අයට විවිධ පිළිතුරු ඇති බව මම හොඳින් දනිමි. මේ සියල්ල ඉක්මවමින් ඔහු පිළිබඳ අවසන් තක්සේරුවක් ලබා දීමේ විශේෂ බල කලාපයක මා නොසිටින බව ද ඉඳුරා දනිමි. නමුත්, මනෝගේ කලා භාවිතාව දෙස මැදිහත්ව හැරී බලමින් ඔහු කියවා ගැනීම වැදගත් වන බව යෝජනා කිරීමට එය බාධාවක් නොවන බව ද මම විශ්වාස කරමි. අත්‍යාවශ්‍ය වන්නේ ද නිර්මාණකරුවකු ලෙස ඔහුගේ දීර්ඝ සහ බහුවිධ මැදිහත්වීම් දෙස මැදිහත්ව විමසා බැලීමයි.

මනෝගේ ක්‍රියාකාරී කලාප කොතෙක් ද? ඔහු විශිෂ්ට නළුවෙකි. වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. වේදිකා නාට්‍ය රචකයෙකි. නව කතා හා කෙටි කතා රචකයෙකි. කවියෙකි. ගායකයෙකි. ගුරුවරයෙකි.

ඉහත කුඩා වදන් පෙළ වෙත ඌණනය කොට තැබුව ද මනෝගේ කලා භාවිතාව කෘති වශයෙන් ගෙන පෙළ ගැස්විය හැක්කක් බව මම දනිමි. කෙසේ වෙතත්, මෙම වචන දහස තුළ මම යෝජනා කරන්නට යත්න දරන්නේ එම පුළුල් කලාප තුළ මනෝ නිවැරදි ලෙස ස්ථානගත කිරීම සඳහා සංවාදයක් ඇරඹීම වැදගත් බවයි.

මනෝගේ විශිෂ්ටතම කලාපය වේදිකාව බව ඔහුගේ කලා නිර්මාණ ඇසුරු කළ සැවොම පිළිගනු ඇත. ඔහු නිර්මාණය කළ නාට්‍ය පෙළ අතරින් වැඩි ප්‍රමාණයක් ලාංකික වේදිකාව තුළ යළි යළිත් සාකච්ඡා කළ යුතු නිර්මාණ බව පැහැදිලි ය. ‘තල මල පිපිලා‘, ‘අන්දරේලා‘ සහ ‘ගුරු තරුව‘ මෙම නාට්‍ය පෙළෙහි පෙරමුණෙන්ම ලියැවෙනු ඇති නමුත් ඔහුගේ සෙසු නිර්මාණ නොවිමසීමට ඉහත නාට්‍ය හේතු සපයා දෙන්නේ නැත. එහෙත්, නිර්මාණකරුවකු ලෙස ඔහු විමසීමේ දී පෙනී යන සුවිශේෂත්වය නම් මෙම නාට්‍ය රචනා කරමින් නොනැවතී අධ්‍යක්ෂණය කරමින් ද, ඒ සීමාව තුළ නොනැවතී ඒ සියළු නිර්මාණ තුළ ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් ද ඔහු පෙන්වා ඇති විශිෂ්ට කුසලතා පෙළහරයි. සරච්චන්ද්‍ර සිට ඇරඹෙන මෙරට නූතන නාට්‍ය කථිකාව තුළ මෙම රචකයා – අධ්‍යක්ෂවරයා – ප්‍රධාන නළුවා භූමිකාව මෙතරම් පුළුල් කලාපයක විහිද යන පරිදි තනිව හෙබවූ වෙනත් නිර්මාණකරුවකු නොවන බව ස්ථිර ය.

අධ්‍යක්ෂවරයෙකු හා රචකයෙකු ලෙස ඔහුගේම භූමිකාවලට එරෙහිව යමින් ඔහුව ඉහළට ඔසවා තබන්නේ නළුවෙකු ලෙස ඔහුගේ භූමිකාවයි. එය සෙසු කලාපවලට සාපේක්ෂව බොහෝ ඉහළ තලයක පිහිටන බව මගේ නිරීක්ෂණයයි. වේදිකාවේ හමුවන පුළුල් භූමිකා එකතුවත්, සැලකිය යුතු ප්‍රමාණයක වන ටෙලි නාට්‍ය භූමිකා ප්‍රමාණයත්, සුළු නමුත් කැපී පෙනෙන චිත්‍රපට භූමිකා ප්‍රමාණයත් ඒ බවට දෙස් දෙයි. සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය භූමිකාවෙන් ඇරඹ, ‘තලමල පිපිලා‘ හි හේතු ගුරුන්නාන්සේ වැනි ස්ව-අධ්‍යක්ෂිත, ගීත ද ඇතුළත් භූමිකා හරහා යමින් ‘ද්විත්ව‘ වැනි නාට්‍යයක ද්විත්ව චරිත නිරූපණයක් දක්වා ඔහු වේදිකාවේ මවන භූමිකා එකතුව සුවිශිෂ්ට ය. ‘දූ දරුවෝ‘ හි පුන්සිරි ද, ‘සකිසඳ එළියස්‘ හි එළියස් ද පුළුල් ටෙලි භූමිකා පෙළක අන්ත දෙකක් සඳහා උදාහරණ දෙකක් පමණ ය. චිත්‍රපට තිරයේ මනෝ වැඩිපුර මුණ නොගැසීමට වේදිකාව තුළ ඔහු නංවාගත් වේදිකා රංගනය ‘මාස්ටර් කිරීම‘ හේතුවක් වූයේ ද යන්න විමසිය යුතු කරුණක් වුවත් ‘හඳයා‘හි නිවේදකයාගෙන් ඇරඹ ‘හෝ ගානා පොකුණ‘ හි ජස්ටින් මාමා දක්වා ඔහු එක් කළ භූමිකා විමසීමට එය බාධාවක් නොකොටගත යුතු ය.

මනෝ ස්වකීය කලාප තුළ දී දුර්වලම වූයේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තුළ බැව් හඟිමි. ‘රංසිරිගේ සංග්‍රාමය‘ සමගින් ඇරඹෙන ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණකරණය තුළ සමකාලීනයන් හා එක පෙළට තැබිය හැකි මට්ටමේ නිර්මාණ මුණගැසෙන්නේ නැති තරම් ය. ඇතැම් නිර්මාණයක දී ඔහුගේ රංගනය මතුවී පෙරට පැමිණ තිබුණු නමුත් වේදිකාව පිළිබඳ ඔහු තුළ වූ දැනුමට සාපේක්ෂව රූප බස පිළිබඳ වූ ඔහු තුළ වූ දැනුම යම් පහළ තලයක වූ හෙයින් එම නිර්මාණ රූපමය වශයෙන් පොහොසත් තැනක වූයේ නැත.

කෙසේ වෙතත්, අප මනෝ කියවිය යුත්තේ ඔහුගේ මෙම බහුවිධ කලාපවල සාර්ථක හා අසාර්ථකතාවයන් අනුව පමණක් යමින් නොවන බව මගේ යෝජනාවයි. ඔහුගේම නිර්මාණ කලාප එකිනෙක ගෙන සැසඳීම තුළ ද, ඔහුගේම රංගන භූමිකා එකිනෙක ගෙන විමසීම තුළ ද අපට ඒ එක් එක් කලාප හා භූමිකා තුළ වන වටිනාකම් හා දුර්වලතා හඳුනාගත හැකි වනු ඇත. ඔහුගේ සමකාලීනයන් මෙන්ම මගේ මිතුරාගේ යෝජනාව පරිදි පසු-නිදහස් සමයේ ලාංකික වේදිකාවේ පුරෝගාමී නිර්මාණකරුවන් හා තබමින් සාකච්ඡා කරමින් ද අපට ඔහුගේ මැදිහත්වීමේ තරම වටහාගත හැකි වනු ඇත. නමුත් ඒ සියල්ල අප වෙත තබන්නේ මනෝ හා මනෝගේ භූමිකා පිළිබඳ සාපේක්ෂ හා සන්සන්දනාත්මක කියවීම් මිස මනෝ වෙන්ව ගෙන හඳුනාගැනීම සඳහා වන කියවීමක් නොවේ.

මට මනෝ පෙනෙන්නේ ස්වකීය ප්‍රමුඛ භූමිකා කලාපයන් වන වේදිකාව හා රංගනය තුළ දී ඒ සඳහා සිය උපරිමය ලබා දීම වෙනුවෙන් කටයුතු කළ, තමන් විශ්වාස කළ කලා භාවිතය වෙනුවෙන් සෘජුව මැදිහත් වූ සහ ඒ භාවිතයට කැඳවූ, ඒ සියල්ලටම වඩා සිය ජීවන පැවැත්ම තුළ ද එම දැක්ම පවත්වාගෙන ගිය අයෙකු වශයෙනි. මනෝ පිළිබඳ කුඩා අතීත මතකයක් පිළිබඳ සමාජ ජාල සටහනක වුව මට හමුවන්නේ ඒ පැවැත්ම පිළිබඳ සේයාවයි.

‘නොමළ කලාකරුවෙකු ලෙස මියෙන්න‘ යනුවෙන් ධර්මසේන පතිරාජයන්ගේ සමුගැනීමෙන් වසරක් ගෙවුණු තැන මම මෙහි ලීවෙමි. මනෝ මිය යන්නට මත්තෙන් කිහිප වරක්ම ඔහු මළ බව සමාජ ජාලවල ප්‍රචාරය වී තිබුණු අතර දැන් ඔහුගේ භෞතික ශරීරය සැබවින්ම අප හැර ගොසිනි. එහෙත් සංස්කෘතික මිනිසෙකු තැනීම සඳහා වන දියුණු පුරවැසි අරගලය තුළ මනෝගේ භූමිකාව ඔහුගේ අන් සියළු භූමිකා අභිබවමින් ඔහු නොමළ මිනිසෙකු බවට හරවා ඇත. ඒ ‘මනෝ‘ හෙට ද අපට හමුවනු ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා –   

%d bloggers like this: