Menu Close

ලංකා ඉතිහාසය – ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

මේ ඉතිහාස කතාවේ පුර්විකාව මෙසේය  . පෙමස් ගුණසිංහ මහත්මයා තම බ්ලොගයේ ලියන උග්ගල් අලුත් නුවර දේවාලය හා ඒ අවට විස්තර කියවීම හේතුවෙන් මිට දෙවසරකට පමණ පෙර ලංකාවට ගිය විටෙක  මම ඒ ප්‍රදේශයට ගියෙමි. රත්නපුර ප්‍රදේශයේ සුන්දර පෙදෙසක පිහිටි දේවාලය සහ විහාරස්ථානය නරඹා කපු මහතා සමගද කතා බහ කර ඡායාරූප කිහිපයක් ද ගෙන පැමිණියෙමි. ඒ දේවාලය ගොඩනැගූ  ප්‍රාදේශීය රජු කවරෙක්ද යන්න පිළිබඳව ගුණසිංහ මහතා හා මා අතර  දීර්ඝ සංවාදයන් විටින් විට පැවති අතර  දේවාලයෙන් විමසුවද ඔවුන්ට ඒ පිළිබඳව අදහසක් නොතිබිණි. 

 මම ලංකාවේ ජීවත්වූ කාලයේ ලංකා ඉතිහාසය පිලිබඳ පොත් හැදෑරීම ඉතා උනන්දුවෙන් කළ අයෙක්මි. සිංහල මෙන්ම ද්‍රවිඩ ප්‍රදේශ වලද රජකම් කල රජවරුන් පිළිබඳ විස්තර ගැන වැඩි උනන්දුවක් තිබුනේ ඒ තොරතුරු රසවත් නිසා පමණක් නොව ඒ කාලය පිලිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමටද එය වැදගත් වූ බැවිනි. ඉහත කී දේවාලය සාදන ලද  රජු සීතාවක රාජසිංහ විය නොහැකිය යන මතයට මා  එළඹුණේ ඒ කාලයේ එම ප්‍රදේශයේම රජකම් කල තවත් ප්‍රාදේශීය රජෙක් ගැන විස්තරයක් මගේ මතකයේ තිබූ හෙයිනි. 




මගේ මතකයේ තිබූ පරිදි පරණවිතාන මහතා ද එකතුව සංස්කරණය කර එවකට ලංකා  විශ්ව විද්‍යාලය මගින් පළ කරන ලද  “ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථයේ මෙවැනි ප්‍රාදේශීය රජෙකු ගැන විස්තරයක් තිබුණි. එම ග්‍රන්ථයේ  කාණ්ඩ  දෙකක් කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ ආශ්‍රේය පුස්තකාලයේ (reference library) තිබුණි.  නමුත් මට අවශ්‍ය  අවශ්‍ය දෙවන කාණ්ඩය අතුරුදහන් වී ඇත. මේ පොතේ ඉංග්‍රීසි මුද්‍රණයක් ලන්ඩනයේ පිහිටා  ඇති “බ්‍රිතාන්‍ය පුස්තකාලයේ” ඇති බවට ඉඟියක් ලැබුණි. ඒ පිළිබඳව පසුව සොයා බැලිය යුතුය.


පළමුවම මේ හදිසියේ ලංකා ඉතිහාසය සෙවීමට උත්සාහ කරන්නේ ඇයිදැයි කාට  හෝ පැනයක් මතුවිය හැක . මේ දිනවල සාකච්ඡා වෙන  ප්‍රශ්න දෙකක් පිළිබඳව සැකෙවින් සඳහන් කරමි.


පළමුවැන්න නම් ලංකාවේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව ගෙන් බහුතරය දකුණු ඉන්දියානු දෙමළ හෝ  ද්‍රවිඩ ජනතාවෙන්  (Dravidian) පැවත එන්නන් යයි මතවාදයක් සිඝ්‍රයෙන් පැතිරී යාමයි. මේ මතය මිට ප්‍රථම  ඊලම් යුද්ධය පැවති  කාලයේ සිට  තිබූ එකකි. ඊළාමය යනු ලංකාවට කියූ තවත් නාමයක් බව මෙන්ම ලංකාවේ මුල් පදිංචිකරුවන් සිංහලයන් නොව මහාවංශයේ  යක්ෂ, නාග ගෝත්‍රිකයන් ලෙසින් වරදවා හැඳින්වූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් බව ඊලාම් යුද්ධය කාලයේ දෙමල ජනතාව  අතර බහුලව ප්‍රචලිත වූ මතයක් විය. වර්තමානයේ සිංහල විද්වතුන්ගෙන් සමහරක්ද ඒ මතයට සහය දක්වති. එයට අවශ්‍ය සාක්ෂි සපයනුයේ මේ මේ බ්ලොග් අඩවියේ සඳහන්  DNA පර්යේෂණයක් පිළිබඳව වන සටහනයි. 

මෙය සැබවින්ම වටිනා පර්යේෂණයකි.මහාචාර්ය  කමනි තෙන්නකෝන් පවසන්නේ සිංහල, දෙමළ සහ වැදි  ජනගහනය  අතර ජානමය සමානකම් පවතින බවයි. එනිසා ශ්‍රී ලංකාවේ  මුල් ජනගහනය ද්‍රවිඩ විය හැකි බවටත් සිංහලයන්ට ඇත්තේ ඔවුන් සමග භාෂා වෙනස් කමක් පමණක් බවත් ඇය සඳහන් කරයි. ඔවුන් මේ සඳහා  දෙසියයක  පමණ පිරිසක් නියැදියක් ලෙස ගෙන   DNA පරීක්ෂාවක් කරති.   මේ අධ්‍යයනයෙන් සිංහලයන්ට දකුණු ඉන්දියානු දෙමල ජනතාව සමග ජාන සමානකම්  69.86% තිබෙන බවත්  ශ්‍රී ලංකාවේ දෙමළ  ජනතාවට  සිංහලයන්  හා ජාන  සමානකම 55.2% බවත් තහවුරු වන බව පර්යේෂකයන් පවසති. මේ නිසා සමහර දෙමළ සහෝදරවරු තර්ක කරන්නේ සියලුම සිංහලයන් පැවත එන්නේ ඔවුන්ගෙන් බවත් සිංහල යනු පස්වන හෝ හයවන සියවසේ සිට  පරිණාමය වූ  භාෂාවක් බවත්ය. ලංකාවේ මුල් බෞද්ධයන් වූයේ දමිළ  ජනතාව බවද උතුරු ප්‍රදේශයේ ඇති බෞද්ධ නටබුන් වලින් එය තහවුරු වන බව ද ඔවුහු තව දුරටත් පවසති.  ෆේස්බුක් සමාජජාලයේ ලෙනිටා ඩීන් මේ ගැන කල සාකච්ඡාවට මමද සහභාගී වුනෙමි. (යොමුව මෙතැන ෆේස්බුක්)මේ හේතුව අනුව ඔවුන් තර්ක කරන්නේ ද්‍රවිඩ ජනතාව ලංකාවේ මුල් පදිංචි කරුවන්  බවත් සිංහලයන් (විජයගෙන් පසු) පසුව පැමිණ ඔවුන් හා මිශ්‍ර වූ බවත්ය. 


මම ඇගේ තර්කයට මූලික වශයෙන් විරුද්ධ වුනෙමි. එක හේතුවක් නම්  DNA පරික්ෂණයට සහභාගී වූ නියැදිය ප්‍රමාණවත් නොමැති වීමයි. අසූ කොටියක් පමණ  දෙමළ ජනතාවක් තමිල්නාඩුවේ වෙසෙති. ද්‍රවිඩ හෙවත් Dravidian සම්භවයක් ඇති ජනතාව කේරලය, අන්ද්‍රා ප්‍රදේශය හා  කර්ණාටකයේද  ජිවත් වන හෙයින් ද්‍රවිඩ ජනතාව ලෙස   ගතහොත් එය අති විශාල සංඛ්‍යාවකි.  ලංකාවේ ජනගහනය ලක්ෂ විසි හතරක් පමණ වේ. එනිසා ද්‍රවිඩ සම්භවය  ඇති දෙසීයක්  සොයා ගැනීම අතිශයින් මිශ්‍ර ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ සුළු දෙයකි. 

මේ පර්යේෂණය මග හරින කරුණු බොහොමයක් තිබේ. කාලිංඝ මාඝගේ ආක්‍රමණයෙන් හා ඉන්පසු පැමිණි සොළී ආක්‍රමණ වලින් ඉතිරි වූ ජනතාව, ඉන්පසු අවධියක කේරළයෙන්  හා  මලබාරයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූවන්ද , නායක්කර් වන්ශිකයන්ද ඉංග්‍රීසින් විසින් ගෙන් වූවන්ද ඔවුහු අමතක කරති.   


දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත්  උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරන්නීය.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව  ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ඔවුන් ලංකාවට සංක්‍රමණය වූයේ අප්‍රිකානු ප්‍රදේශ වලින් විය හැකිය.  ඒ කියන්නේ මේ සිංහලයන්ගේ හෝ ලංකාවාසී ජනතාවගේ  මුල් පදිංචිකරුවන්ය.

 මෙම ලාංකිකයන්ට පසුව විජයගෙන් පැමිණි හත් සියයක පමණ සුළු පිරිස සම්බන්ධ වන්නට ඇත. ප්‍රක්‍රිට් භාෂාව මෙන්ම තවත් වහරන්ද දියුණුවී එකතුවී සිංහලය නම් භාෂාව විකාශනය වන්නට ඇත. සොළි ආක්‍රමණයන්ගෙන හා පසුව පැමිණි යුරෝපීයයන් ගේ ආක්‍රමණයෙන් මේ ආදී සිංහලයන්/ලාංකිකයන්  පසුව  බහුල වශයෙන් ඌව වෙල්ලස්සට  සහ උඩරටට සංක්‍රමණය වූහ. වෙල්ලස්සේ දී ඉංග්‍රීසින් විසින්  ගම්  බිම් ගිනි තබමින් මරා දැමූ බහුතරයක් මේ මුල් ලංකාවාසීන් යයි මම සිතමි. ඉංග්‍රීසින් හා ස්පාඤඤ වරුන්ද ඔවුන් යටත් කරගත් රටවල මුල් පදිංචිකරුවන් සෑහෙන ප්‍රමාණයක් විනාශ කිරීමට වග බලාගත්හ. ඔවුන්ගේ පාලනයන්ට මූලික ප්‍රතිවිරෝධය එන්නේ ඔවුන්ගෙන් බව මේ අධිරාජ්‍යවාදීන් දත්හ.


මේ  ආදි  ලාංකිකයන් හෝ සිංහලයන් ගෙන්   පැවතෙන ජනතාව අදටත් බදුල්ල , වැලිමඩ සිට නැගෙනහිර දක්වා ම ජිවත් වෙති. ඔවුන්ගෙන් සමහරක් සුද්දන් ගෙන් ජීවිතය බේරා ගැනීමට නැගෙනහිරට පලා  විත්  නැගෙනහිර පදිංචිව සිටි අරාබි වෙළෙඳුන් ගෙන් මුස්ලිම් ආගම වැළඳ ගෙන වෙස් වලා ගන්නට ඇති බවටද මතයක් තිබේ. (සාක්ෂි සොයා ගත යුතුය). මේ ආදී ලාංකිකයන් වඩා සමාන වන්නේ ඉහත කී  පොලිනිසියාවේ, අන්දමන් දුපත් , නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ මුල් පදින්චිකරුවන්ටය.  


මේ ඇවිලෙන වාදයට තවත් ගින්නක් එකතු වී තිබේ. ඒ බුදුන් හෙවත් සිද්ධාර්ථ කුමරු උපන්නේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ  යන්නයි.  ඒ සඳහා බොහෝ යු ටියුබ් වීඩියෝ තිබුනද ප්‍රධාන සාක්ෂිය වැන්නක්  තිබෙන්නේ  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ බව පිරිසක් පවසති.


 ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ ඉන්දියානු රජය යටත් විජිත පාලන සමයේදී සේවයෙන් පහකළ ජර්මන් පුර විද්‍යාඥයා සම්බන්ධවය. අලොයිස් ඇන්ටන් ෆියුරර් වන මොහු ගෞතම බුදුන් උපන්නේ ලුම්බිණි නගරයේ යයි සොයා ගත්  තැනැත්තායි. ඉන්දියානු රජය වෙනුවෙන් මදුරා පුරයේ කැණීම් කළේ ඔහුය. ඔහු වංචනිකයෙක් බවට (වෙනත් ශීලා ලිපි සම්බන්ධව) ඔප්පු වීම නිසා ඉන්දියානු යටත් විජිත රජය ඔහුව ඉවත් කරන ලදී. ඔහු සමහර ශිලා ලිපි වලට තමන්ම අකුරු එක්කර ඇති බවට චෝදනා පවතී. මේ චෝදනාවම මහාචර්ය  සෙනරත් පරණවිතාන මහතා කෙරෙහිද පවතී. 


මේ කතාවේ තවත් සාධකයක් නම් ජොහැන්නස් ජෝර්ජ් බුලර් ගේ ඉරණමයි. බුලර් ඇන්ටන් ගේ ගුරුවරයා වන අතර ඔහු  පුරාතන ප්‍රකිත් භාෂාව ට අදාළ (ද්‍රවිඩ මිතුරන් කියන භාෂාවමය)  ශබ්ද කෝෂයක් පරිවර්තන කල අයෙකි. ඔහු අභිරහස්  ලෙස වැවකට වැටී මිය ගියේය. 


මම  මේ සිදුහත් කුමරු  ශ්‍රී ලංකාවේ උපන්නේය යන  අදහසට විරුද්ධ අයෙක්මි. මගේ ඉන්දීය සංචාරයේදී බුදුන්වහන්සේ  වැඩ සිටි බොහෝ තැන්වලට යාමට මට හැකිවුණි. මා සිතන්නේ ඉතා ලෙහෙසි කාබන් පරීක්ෂණ වලින් ඒ නටබුන් කොයි කාලයේද කියා ඔප්පු කල හැකි බවයි. එවැනි නටබුන් ශ්‍රී ලංකාවේ නැත.


එසේම එසේ සිද්ධාර්ථ කුමරුන් ලංකාවේ උපන්නේ  නම් ඔහු උපදින්නට  ඇත්තේ ඉහත කී  ආදි  ලාංකිකයන්ගේ පවුලකය. එසේ නම් සිද්ධාර්ථ උත්පත්ති කතාව  ගැන මෙන්ම බුදුන්  වහන්සේ ගැනද ජනකතා පැතිරෙනු ඇත්තේ එහි හෝ දකුණු ඉන්දියාවේ මිස දැන් පවතින බිහාරයේ නොවේ. එසේ නම් අපගේ ද්‍රවිඩ මිතුරන් කියන ඔවුන් බෞද්ධයන් යයි පවසන කතාවේ සත්‍යතාවයක් තිබිය හැකිය. එනම් බුදුන් උපන්නේ ලංකාවේ ද්‍රවිඩ පවුලක හෝ ආදිවාසී සින්හල ලාංකික පවුලකය. 

එසේම මේ පිරිස මේ මස 26 වනදා සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.  ඔවුන්ගේ නීතිඥ මහතා වන වජිර ධනපාල මහත් ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනයක්ද එවා තිබේ. ඔවුන් බ්‍රිතාන්‍ය පුස්තකාලය පුස්කොල පොත් ලංකාවෙන් ගෙන ඒම  ගැන නඩු පවරන බවද පවසති.  මේ සංවාදයට එක්වන ලෙස ආරාධනය කරමි. 


එයට මගේ අදහස් හා  හිටපු ගුරු විදුහල්පති වරයෙකුද වන පෙමස් ගුණසිංහ මහතාගේ අදහස පහත පල කරමි. (ෆේස්බුක් සංවාදයකි ).


// අජිත් – මට හිතෙන්නේ මේ පුස්කොළ පොත් ඔවුන් ගෙනාවේ නැත්නම්, ලංකාවේ තිබ්බ නම් ඒවා එක්කෝ ගිනි තියල. නැත්නම් කාට හරි විකුනලා. මෙහෙ (ලන්ඩනයේ) තිබුන නිසා බේරුනා කියන එකයි මගේ අදහස.




පෙමාස්  ගුණසිංහ: මාත් එකගයි. වර්තමානයේත් ලංකාවේ පුස්කොල පොත් විකිණීයමින් තිබෙන බව ගමේ තිබුණ පැරණි පුස්තකාල වලට සිදුවූ දෑ ගැන සිතන විට පෙනී යනවා. මගේ මුත්තකු සතුව  තිබූ පැරණි පුස්කොල පොත් වලට කුමක් සිදුව ඇත්ිද යන්නවත් නොදනිමි. මා සරසවියේ සිට එන විට ඒ සියල්ල නොතිබිණි. උග්ගල් අලුත්නුවර විවේකාරාම විහාරයේ ඉනිදරතන හිමිපාණන් වහන්සේ ගේ අපවත් වීමෙන් අනතුරුව කාමරයක් පුරාවා තිබූ පුස්කොල පොත් ගොනුවම පන්සලේ භාරකාරත්වය පැවරී තුබූ පොඩිහාමුදුරුවන් රවටා කිසියම් වෙළෙන්දකු විසින් ගෙන ගොස් තිබුණා. (ඒවා වෙනුවට හාමුදුරුවන්ට බල්බ තොගයක් දී තිබුණා) ගමේ පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්කොල පොත් වෛද්‍යවරයාගේ අභාවයත් සමගම අතුරුදහන් වී ගොසින් තිබුණා. එම පොත් එකක් රුපියල් 10000 ගණනේ ඉල්ලා  තිබුණ බව සාකච්ඡා අවස්ථාවක අපට පැහැදිලි කළා. මේ වෙදපොත් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව මාවෙත ඉදිරිපත් කළ විස්තරයේ කොටසක් යූටියුබ් චැනලයේ තිබෙනවා. පසු දින කීපයකට පසුව හදිසියේම වෙදමහතා අභාවප්‍රප්ත වුන බව ආරංචි වුනා. අර පොත් කොහේ තියන්න ඇතිදැයි විමසමින් වෙද බිරින්දෑ අපේ නිවසට පැමීණ මා විමසුවා. තවත් අවස්ථාවක වෙනත් පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්තකාලයක පුස්කොල පොත් වරින් වර විකිණි යමින් ඇති බව අසන්නට ලැබුණත් ඒවා බේරා ගන්නට හැකිවුනේ නෑ. මේ උදාහරණ සලකන විට යටත්විජිත සමයේ ගෙන ගිය ඒවා ලොව කොහේ හෝ පුස්තකාලයකවත් සුරක්ෂීතව පැවතීම වාසනාවක් බව මට ද හැගියනවා. ඓතිහාසික ග්‍රන්ථ හා වස්තු කාලය දේශය නොසලකා රැකිය හැකි තැනක රැකියයතු මානව උරුමයන් නොවේද යන කල්පනාව මට ද ඇතිව තිබෙනවා. මා ඉහතින් කියන ලද ගමේ තිබී අවතැන්ව ගිය පුස්කොල පොත් ද ලොව කොතැනක හෝ සුරක්ෂිතව තිබෙවි. කිසියම් දිනක විද්‍යාර්ථීන්ට හමුවේවියි සැනසෙමි.

 ඔබ පවසන පොත් ගැන මගේද මතකයේ යාන්තමට තිබෙනවා. බළන්ගොඩ පන්සල් පුස්තකාලයක තිබූන බවට ද මතකයේ පවතිනවා. මෙවර ලංකාවට ගිය පසුව  ඒ ගැන සොයන්න දැඩි පෙළඹිමක් ඔබේ ලිපිය නිසා ඇති වුනා. මා පැවසූ ඇතැම් විස්තර අඩංගු, ගමේ දැනමුත්තන් සතුව තිබූ පුස්කොල පොත් ඇතුළු ලේඛන සියල්ලම පාහේ ඒ පැරැන්නන්ගේ අභාවයන් සමගම අවතැන්ව ගිහින් පැවතීම ලොකු විපතක්. හටන්පල “ආචාරිපංගුවේ” පැවති “වෛජයන්තය” මෙන්ම ලේකම් මහතා ළඟ පැවති “මෛමතය” වැනි බොහොමයක් පැරණි පුස්කොල ග්‍රන්ථ ද සොයන්නම බැරිව ගිහින්. මේ පොත් දෙකේ තවත් පිටපත් කොහෙන් හෝ හමු වී තෙන්නකෝන් විමලානන්දයන් සහ ආනන්ද කුමාරස්වාමි වැනි වියතුන් කියවා ඇති බව ඔවුන්ගේ පොත් කියවන විට හමු වෙනවා. එහෙත් ඒවායේ උපුටා දක්වා ඇති විස්තර ප්‍රමාණවත් නැති බව පෙනී යනවා. ඔබට අලුත්නුවරට තදාසන්න හටන්පල ගමට යන්නට අවස්ථාව ලැබී නැති බව සිතන්නට හැකියි. හමුවී ඇත්තේ ද මෑත දී රාජකාරි පැවරී ඇති තරුණයන් බවද පෙනී යනවා. රාජසිංහයන් සම්බන්ධව මෙන්ම යකඩ වානේ කර්මාන්තය, විශේෂයෙන් විවිධ වානේ ආයුධ පණ පවීම සම්බන්ධව තොරුතුරුද හටන්පල පැරණියන් වෙතින් සොයන්නට ඉඩ තිබුණා. කාලය විසින් බොහෝ මූලාශ්‍ර අපට අහමිව ගිහින් උත්තරවිහාර වංශය(උත්තර විහාරට්ඨ කතාව) ගැන මහාවංශයේ සටහන් තිබුණත් අදාල ග්‍රන්ථය සොයන්නට බැරිවම ගිහින්. එහි මේ ප්‍රදේශයට අදාලව සැඟව ඇති බොහෝ දේ තිබෙනු නිසැක බව පෙනීයනවා. ඒවා සැඟව ගිය විස්තර පමණක් වීම කණස්සල්ලට හේතුවක්, ඔබට හැකිනම් අදාල ග්‍රන්ථ පිටපතක් බ්‍රිතාන්‍යයේ පවතී දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

– පෙමාස් ගුණසිංහ

%d bloggers like this: