Menu Close

සුනඛ හිස්‌ පැළැඳි මරණයේ දේවතාව “අනුබිස්‌” (Anubis)

පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ තදින්ම විශ්වාස කළේය. ඇතැම් ස්‌ථානවල කෙනෙකු මරණින් පසු නැවත වෙනත් ආත්මයක උපදින බවට වඩා ඔවුහු දෙවියන් අතරට හෝ මළවුන්ගේ ලොව වෙත යන බව සඳහන් කර තිබේ. අතීතයේ ඊජිප්තුව තුළ ‘මස්‌ටබාව’ ලෙස හැඳින්වූයේ භූගත මිහිදන් කුටි වලටය. එකල රාජකීය වංශවත් පවුල්වල පුද්ගලයන් මෙන්ම රාජකීය නොවන අය හටද, මෙම මිහිදන් කුටි වෙන්කිරීමත් සිදුකර තිබුණි. මස්‌ටබාව තුළ රාජකීය පුද්ගලයකු මිහිදන් කළවිට එය අසල බිත්ති මත සිතුවම් කළේ ඔවුන් ජීවත්ව සිටින විට තිබූ තත්ත්වය, සිදුකළ ක්‍රියාවන් ආදියයි. එපමණක්‌ නොව, එම රාජකීයා භාවිත කළ උපකරණ, වටිනා දැ, සුරතල් සතුන් අශ්වයින්, සේවකයන්ද එම පුද්ගලයා අසලම මිහිදන් කෙරූබව දැක්‌වේ.

එලෙසින් සිදුකළේ ඔහුගේ මරණින් පසුව ලබන ජීවිතයේද, එම පුද්ගලයාට ඒවා ප්‍රයෝජනයට ගතහැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළ බැවිනි. ඇතැම් රාජකීයන්ගේ සේවකයන් පණ පිටින්ම එම ස්‌ථානවල වළ දැමූ බව ඉතිහාසය තුළ සඳහන් වුවත් එය අදටද ඉතිහාසඥයන් තර්කානුකූලව සිතාබලන කරුණකි. මේ මස්‌ටබා තුළ ආරක්‍ෂකයකු සිටියේය. මරණයේ සහ සොහොන් බිමට අධිපති දේවතාවා ලෙස ඊජිප්තු ඉතිහාසයේ, සඳහන් වන්නේ, “අනුබිස්‌” (Anubis) නමින් හඳුන්වන කෙනෙකුය. ඔහු සුනඛ හෝ හිවල් හිසක්‌ පැළැඳ සිටින්නෙකු ලෙස සැලකේ. කෙසේවෙතත් හේ, මිථ්‍යාවක්‌ද, නැතහොත් සැබෑවක්‌ද යන්න එකිනෙකට දොaලනය වන කරුණකි. ඒ ඉතිහාසයේ ඇතැම් ස්‌ථානවල පවා ඔහු සත්‍යක්‌ම බව හුවා දක්‌වන කරුණු දැක්‌වීම හේතුවෙනි. කෙසේ වෙතත්, ඔහු ගුප්ත ලෙස ජීවත් වූ පුද්ගලයකු විය. ‘අනුබිස්‌’ ලෙස ග්‍රීක බසින් හඳුන්වනු ලබන්නේ, මමීකරණය සහ ඊජිප්තු ආගමික තත්ත්වයට අනුව මරණයෙන් පසු ජීවිතයේ, සම්බන්ධකරු ලෙසයි. මොහු සුනඛ හිස්‌ පැළැඳි මිනිසා ලෙස හඳුන්වනු ලැබුවේ, නිතරම කළු වර්ණ සුනඛ හිසක්‌ පැළඳ සිටි බැවිනි.

ඊජිප්තුව තුළ දේවත්වයෙන් ඇදහූ අනෙකුත් දෙවියන් මෙන් අනුබිස්‌ විවිධ ක්‍රියාවන්හි සුවිශේෂීබව කැපීපෙනුනු අයෙකු විය. ක්‍රි.පූ.3100-2890 පළමු රාජවංශය සිටි කාලවකවානුව තුළ මස්‌ටබා නැතහොත් සොහොන් බිම්වල ආරක්‍ෂකයා ලෙසද, මමීකරණ ක්‍රියාවේ යෙදෙන්නකු ලෙසද හඳුන්වාදී තිබුණි. කළුවන් සුනඛ හිසක්‌ පැළඳ සිටි මොහුගේ පහළ කොටස මිනිස්‌ සිරුරකි. ඔහු පැළඳ සිටි හිවල් නැතහොත් සුනඛ හිසට කළුවර්ණය එක්‌කිරීමට හේතු ලෙස දක්‌වා ඇත්තේ සශ්‍රීකත්වයත් මරණින් පසු ලබන උත්පත්තිය පිළිබිඹු කිරීමටත්ය. අනුබිස්‌ ගේ දෙමාපියන් ලෙස ඉතිහාසය තුළ සඳහන් වන්නේ හුදෙක්‌ මිථ්‍යාවන්ය. එක්‌ මිථ්‍යාවක්‌ වන්නේ ඔහු Nephtys දෙවඟනගේ සහ මළවුන්ගේ ලොවට අධිපති ඔසිරිස්‌ගේ පුත්‍රයා වන බවයි. කෙසේ වෙතත් හේ සක්‍රීයව දායකවූ කාර්යයන් වනුයේ මළ සිරුරු කල්තබා ගැනීමේ ක්‍රමවේදයන් නැතහොත්, මමීකරණය කිරීම මෙන්ම මස්‌ටබා තුළදී සිදුකරන ආගමික පුදසිරිත් සහ මළ මිනිසුන්ගේ මතු ආත්මයට නිදහස ලබාදීම, ඔහු හෝ ඇය ඒ හා සම්බන්ධ කිරීම වැනි බලය ලත් තැනැත්තකු ලෙසය. ඇතැම් ස්‌ථානවල ඔහු ආරක්‍ෂකයකු නොව පාලකයකු බවද දැක්‌වේ. එමෙන්ම ග්‍රීක සම්භවයක්‌ ඇත්තකු ලෙසද විශ්වාස කෙරේ. නමුත් හුදෙක්‌ මේවා මතයන් පමණි. අනුබිස්‌ සිදුකළා යෑයි පවසන ක්‍රියාවන්වල ඉහළින්ම තිබෙන්නේ, සොහොන් ගැබ්හි ආරක්‍ෂකයකු ලෙසය. එකල බොහෝ මළසිරුරු තැන්පත් කරන සොහොන් පැවැතුනේ, නයිල් නදියේ බටහිර තැනිතලා භූමියේ, බව පැවසේ. ඇතැම් සොහොන් බිම් ඉදිරිපිට තිබූ කුටි තුළ සුනඛයන් මෙන්ම හිවලුන් ආරක්‍ෂාවට සිටි බව දැක්‌වෙන අතර ඔවුන්ව පාලනය කළේ, අනුබිස්‌ විසින් බව පැවැසේ. අනුබිස්‌ හට මිනිස්‌ ශරීරය පිළිබඳ විශේෂිත දැනුමක්‌ තිබූ බව පැවැසෙන අතර ඔහු මමීකරණ කාර්යය තුළ සුවිශේෂී වර්ධනයක්‌ ඇතිකළ බව හුදෙක්‌ මිථ්‍යා විශ්වාස අතර සහ ඉතිහාස කරුණු තුළද, දක්‌වා තිබේ. මේ සෑම ක්‍රියාවක්‌ අතරතුරම දිගු කන් සහිත කළු සුනඛ හිසක්‌ සහ රතු රිබන් පටියක්‌ පැළඳ සිටි බව දැක්‌වේ. මේ නිසා ඔහු කුමනාකාරයේ පුද්ගලයකුද බව සිතාගැනීම අපහසුය. ඊට හොඳම නිදසුන ටූටන්කාමන් සොහොන තුළ ඇති ඔහුගේ සිතුවම්ය. මළ සිරුරු කල්තබාගැනීමට අනුබිස්‌, විවිධ ඖෂධ, සුවඳවත් දැ යෙදූබව දැක්‌වෙන අතර, මියගිය පුද්ගලයාගේ ඥතීන් ඊට ඔහුට අනුග්‍රහය දැක්‌වීමෙන් සිදුකළේ, අනුබිස්‌ හට වැඳුම් පිදුම් කිරීමක්‌ හා සමානවය. මන්ද ඒ තුළින් තම මියගිය ඥතියාට මරණයෙන් මතු ජීවිතයට ඉහළින්ම දායකත්වයක්‌ ලබාදීමට අනුබිස්‌ පෙළඹේවී යෑයි ඔවුන් විශ්වාස කළ බැවිනි. මේ නිසා ඊළඟ කාරණය වන්නේ ඔහු මියගිය පුද්ගලයන්ට ඉදිරි භවයට මඟපෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකු බවයි. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ සොහොන් බිම්වල, ඔහුගේ රූපය සිතුවමට නගා තිබීමයි. මේ නිසා ඇතැම් ස්‌ථානවල ඔහු මළවුන්ගේ ලෝකයෙහි, පාලකයකු විය හැකි බවද හඳුන්වා තිබිණි.

මේ නිසා මළවුන්ගේ ලොවට අධිපති ඔසිරිස්‌ වෙත යැමට අනුබිස්‌ විසින්, මඟපෙන්වූ බව කියනු ලැබේ. ඇතැම් ස්‌ථානවල ඔහු සිතුවමට නගා තිබෙන්නේ “තරාදියක්‌”ද සමඟය. මේ පිළිබඳවද, යම් අත්භූත ආකාරයේ විශ්වාසයන් තිබේ. අනුබිස්‌ විසින් මරණයේ බිමට (මළවුන්ගේ ලොවට) යැමට යෝග්‍ය පුද්ගලයන්ගේ, හදවත (විශ්වාසය වන්නේ, එයින් අදහස්‌ කරන්නේ ආත්මය බවයි) මැන බැලූ බව එම සිතුවම් වලින් පිළිබිඹු වන බව අදහසයි. ඔහු ඒ සඳහාම සැකසූ තරාදිය සමඟ ‘පස්‌බර පිහාටුවක්‌’ භාවිත කළ බව පැවසේ. පිහාටුවට වඩා හදවත බරින් වැඩිනම් එම පුද්ගලයාව ‘අමිත්’ (Ammit) නම් මළවුන්ගේ ලොවෙහි යක්‍ෂයෙකුට බාර කරනු ලැබේ. එහි අදහස එම පුද්ගලයාගේ හදවත අපිරිසිදු බවයි. හදවත පිහාටුවට වඩා බරින් අඩු නම්, එනම් ආලෝකවත් නම්, එම පුද්ගලයාට දිව්‍යමය ලොවකට අවතීර්ණ විය හැකි බව අදහස විය. මෙවැනි ආකාරයේ එකල පටන්ම, පැවැතගෙන ආ විශ්වාසයන් අනුබිස්‌ දෙවියන් වටා විය. අතීතයේ පටන් අද දක්‌වාම ඔහු එකල ජනයා විසින් දේවත්වයෙන් ඇදහූ බව කියනු ලැබුවේ, ඔහු සතු ගුප්ත බලයන් සහ ක්‍රියාවන් හේතුවෙනි. අදටද, පෞරාණික සොහොන් ගැබ්වල බිත්ති මත අනුබිස්‌ දෙවියන්ගේ, සිතුවම් දැකගත හැකිය. ඒ එම සොහොන් ගැබ්වලටද, ඒවා අයිති මළගිය පුද්ගයන්ටද, ඔහුගෙන් ආරක්‍ෂාවක්‌ ලැබේවි යෑයි ඇති විශ්වාසයටය. ඔහු පිළිබඳ පවතින මිථ්‍යාවන් හෝ ඉතිහාස කරුණු වල සත්‍ය අසත්‍ය බව අදටද නිශ්චිතව සොයාගෙන නොමැත.

එහෙත්, ඊජිප්තුවේ, නැගෙනහිර “Saqqara” ප්‍රදේශයේදී, (එය එකල හඳුන්වනු ලැබුවේ Anubeion නමිනි.) සිදුකළ කැණීම් වලින්, මමීකරණය කරන ලද සුනඛයන් සහ හිවලුන් සොයාගෙන තිබෙන බව වාර්තා වේ. එසේනම්, ‘අනුබිස්‌’ යනු සත්‍යයක්‌ද, මිථ්‍යාවක්‌ද යන්න ඉතිහාසය ඇසුරින් තවදුරටත් විමසා බැලීමට සිදුවනු ඇත.

%d bloggers like this: